ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාතාවරණය සම්බන්ධ යෝජනාව ඇමෙරිකා එක්සත් ජනපදය විසින් මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මණ්ඩලයට ඉදිරිපත් කරන ලදි. යෝජනා කෙටුම්පත ඉදිරිපත් කෙරුණු නමුත් පාර්ශවයන් අතර පැවැත්වෙන නිළ නොවන සාකච්ඡාවලින් අනතුරුව ජිනීවා වේලාවෙන් බ්‍රහස්පතින්දා දහවල් එක දක්වා එයට සංශෝධන ඉදිරිපත් කිරීමට අවස්ථාව තිබෙන බව ජිනීවා නුවර ඇම්නස්ටි ඉන්ටර්නැෂනල් කාර්යාලයේ ප්‍රධානී පීටර් ස්ප්ලින්ටර් පැවසීය. මානව හිමිකම් මණ්ඩලයේ 22 වැනි සැසිවාරයේදී සාකච්ඡා කොට අනුමත කිරීම් වස් එක්සත් ජනපදය විසින් එම යෝජනාව න්‍යාය පත්‍රයට ඇතුලත් කෙරුණු බව සනාථ කෙරුණේ යෝජනා කෙටුම්පත සම්බන්ධයෙන් තවත් නිල නොවන සාකච්ඡාවක් ජිනීවා නුවරදී පැවැත්වෙමින් තිබියදී.
එක්සත් ජාතීන්ගේ මන්දිරයේ කාමර අංක 27 හි පැවැත්වුන එම නිළ නොවන සාකච්ඡාවට ශ්‍රී ලංකා ආණ්ඩුව වෙනුවෙන් කිසිදු ඉහල මට්ටමේ නියෝජිතයෙක් සහභාගි නොවූ අතර, ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශය නියෝජනය කරමින් පැමිණ සිටි මධූක වික්රමමසිංහ නමැත්තෙක් රැස්වීමේ සාකච්ඡා වූ කරුණු සටහන් කර ගත්තේය.
පසුගිය සිකුරාදා පැවති නිළ නොවන සාකච්ඡාවේදී ශ්‍රී ලංකා ආණ්ඩුව මතු කළ විරෝධතා සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් මෙතෙක් ගෙන තිබෙන ඇතැම් පියවර අගය කිරීම එල් එක (L1) ලෙසින් නම් කොට තිබෙන නිළ යෝජනා කෙටුම්පතේ විශේෂත්වය බව ද පීටර් ස්ප්ලින්ටර් සඳහන් කළේය.
“යටි තල පහසුකම් යලි ගොඩනැගීම, බිම් බෝම්බ ඉවත් කිරීම, යුද්ධයෙන් අනාථ වූ බහුතරය යලි පදිංචි කිරීම,” යන ක්ෂේඅත්රයන්හි ශ්‍රී ලංකා ආණ්ඩුව දක්වා තිබෙන ප්‍රගතිය අගය කරන L1 යෝජනාව, කෙසේ නමුත් “අධිකරණය, සංහිඳියාව සහ ජනජීවිතය නැවත ගොඩ නැඟීම,” යන අංශයන්හි තවත් බොහෝ දේ කළ යුතුව තිබෙන බව අවධාරණය කරයි. එමෙන්ම ශ්‍රී ලංකාව සම්බන්ධ මානව හිමිකම් පිලිබඳ මහා කොමසාරිස්වරියගේ වාර්තාව ක්‍රියාත්මක කරන මෙන් සහ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයන් සමඟ සහයෝගයෙන් කටයුතු කරන මෙන් ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් “ඉල්ලා සිටින” බවට තිබුණු සඳහන ආණ්ඩුව “දිරිමත් කරයි,” යනුවෙන් නව කෙටුම්පතේ සඳහන් වෙන්නේ.
ලබන සැප්තැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුව මානව හිමිකම් මණ්ඩලයට “ලිඛිත වාර්තාවක්” ඉදිරිපත් කළ යුතු බවට තිබූ යෝජනාව “වාචික වාර්තාවක්” බවට වෙනස් කොට තිබේ. බදාදා සවස පැවති නිල නොවන සාකච්ඡාවේදීත් චීනය, රුසියාව, කියුබාව සහ පකිස්තානය යෝජනාවට දැඩි විරෝධය පල කළ බවයි, එයට සහභාගිව සිටි යුක්තිය පුවත්පතේ හිටපු කර්තෘ සුනන්ද දේශප්‍රියය කියා සිටියේ.
එහෙත් යෝජනාවේ අන්තර්ගතය එසේම තිබිය යුතු බවට කැනඩාව සහ යුරෝපා රටවල් අවධාරණය කොට තිබේ. ලබන වසරේ මාර්තු මාසයේදී මානව හිමිකම් මණ්ඩලය ශ්‍රී ලංකාව සම්බන්ධ විශේෂ සැසිවාරයක් පැවැත්විය යුතු බවටද යෝජනාවේ ඇතුලත් වන අතර මෑත ඉතිහාසයේදී එක්සත් ජාතීන් වෙනත් කිසිදු රටක් සම්බන්ධයෙන් එවැනි විශේෂ සැසිවාරයක් පවත්වා නැති බව ද සුනන්ද දේශප්‍රියය කියා සිටියේය.