අපරාධ

පොදු රාජ්‍ය මණ්ඩලයේ ප්‍රධාන හමුව යුද අපරාධකරුවන්ගේ නායකත්වය යටතේද? – ෆ්‍රාන්සස් හැරිසන්

අයහපත් අතට හැරෙමින් පවතින ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය හේතුවෙන් මෙම වසරේදී කොළඹ පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය නායක හමුව වෙනත් ස්ථානයක පැවැත්වීම සඳහා කෙරෙන බලපෑම් උත්සන්න වෙමින් පවතිද්දී පොදු රාජ්‍ය මණ්ඩලයේ කැනඩා රජයේ විශේෂ නියෝජිත හියුජ් සෙගාල් ශ්‍රී ලංකාව බලා පිටත් වී තිබේ. මෙම හමුව ශ්‍රී ලංකාවේ පැවැත්වෙන්නේ නම් එයට සහභාගිවීමේ අදහසක් නැතැයි කැනඩා අගමැතිවරයා ප්‍රකාශ කර ඇත. අගමැති විසින් පත්කරන ලද විදේශ සම්බන්ධතා පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කමිටුවක් විසින් ඒ පිළිබඳව තීරණයක් ගැනීමට නියමිත යැයි බ්‍රිතාන්‍ය පවසයි. තහවුරු නොකරන ලද වාර්තා මගින් කියැවෙනුයේ පොදු රාජ්‍ය මණ්ඩලීය නායිකාව වන බ්‍රිතාන්‍ය රැජින එයට සහභාගි නොවනු ඇති බවයි.

2009 සිවිල් යුද්ධය අවසානයේදී සිය රටේ සිවිල් වැසියන් 40,000-7,000කට අතර ප්‍රමාණයක් මරා දමමින් යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදුකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව චෝදනා ලබා ඇත. එක්සත් ජාතීන්ට අනුව යුද්ධයේ අවසානයෙන් පසුව ගත වූ සිව් වසර තුළ ජනාධිපතිවරයා සහ ඔහුගේ පවුල විසින් බලය සහ සම්පත් ඔවුන්ගේ අත රැස්කරගෙන ඇති අතර ඉතාම මධ්‍යස්ථ දේශපාලන විසඳුමක් හෝ දෙමළ ජනයා වෙත ලබා දීම ප්‍රතික්ෂේප කර ඇත. ශ්‍රී ලංකාවේ අගවිනිසුරුවරිය ඉවත් කිරීමට ඔවුන් කටයුතු කළ ආකාරය විසින් ද , අතුරුදහන් කිරීම්, අත් අඩංගුවේදි සිදු කරන වධ බන්ධන සහ ලිංගික අතවර සහ මුස්ලිම්වරුනට එරෙහිව වැඩිවෙමින් පවතින ප්‍රහාර ආදිය විසින් ද ඔවුන් ජාත්‍යන්තර ප්‍රජාවට නින්දා කර තිබේ. පශ්චාත් යුද ප්‍රගතිය පිලිබඳ සලකුණක් සෙවීමට අරගල කරන ජාත්‍යන්තර ප්‍රජාවට පෙන්වීම‍ට හැකිව ඇත්තේ නව මහාමාර්ග ඉදිකිරීම් ගැන පමණි.

අත්‍යවශ්‍යව තිබූ ප්‍රතිසංස්කරණයන් කතිකාවකට පාත්‍ර කළාවූත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය තමන්ට සහ රැජනගේ නව ප්‍රඥප්තියට අදාළ නිදසුන් පරීක්ෂාවක් ලෙස සළකන්නාවූත් ජාතීන් 54කින් සැදුම් ලද කණ්ඩායමක් කැනඩාව විසින් මෙහෙයවනු ලබයි. “මෙහි ලා පවතින අවදානම වන්නේ හරයන් අලුතෙන් සූත්‍රගතකිරීම් හෝ ඒවා බලාත්මක කිරීම ඇත්ත වශයෙන්ම කිසිදු තේරුමක් නැති දෙයක් බවට ජනතාව විසින් නිගමනය කිරීමට ඇති ඉඩකඩයැ” යි සෙනේට් සභික සෙගාල් පවසයි. ඔහු සිය ශ්‍රී ලංකා තොරතුරු ගවේෂණ දූත මෙහෙයුමේදී කලින් වූ යුද කලාපයේ ජීවත්වන දෙමළ ජනතාව සහ ජනාධිපතිවරයා හමුවීමට නියමිතය.

පොදු රාජ්‍ය මණ්ඩලයේ ප්‍රධාන හමුව කොළඹ පැවැත්වීමෙන් ආන්තික සිංහල ස්වෝත්තමවාදි න්‍යාය පත්‍රයට පිළිගැනීමක් ලබා දෙමින් සහ යුද අපරාධ පිලිබද චෝදනා සෝදාහරිමින් රාජපක්ෂ පාලනයට අනුමැතියේ රබර් මුද්‍රාව ලැබෙනු ඇත. සත්කාරක රට ලෙස ශ්‍රී ලංකාව ජාතීන් 54ක් සාමාජිකත්වය දරන සංවිධානයක නායකත්වයට වසර දෙකක් සඳහා පත්වනු ඇත. එමෙන්ම ඊට ඉතා කර්කශ විෂයයන් වන ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ පාලනය පිලිබඳව ක්‍රියාමාර්ග ගැනීමේ කාර්යයන් පැවරී ඇති පොදු රාජ්‍ය මණ්ඩල නියෝජිත ක්‍රියාකාරි කණ්ඩායමේ ( Commonwealth Ministerial Action Group) ආසනයක්ද ස්වයංක්‍රීයවම හිමිවනු ඇත. ශ්‍රී ලංකාව මෙවර රාජ්‍ය නායක හමුව සඳහා සත්කාරක රට නොවන්නේ නම් එය සාකච්ඡාවට ගැනීම සඳහා දැනටමත් නියෝජිත ක්‍රියාකාරි කණ්ඩායම වෙත යොමු කර තිබිය යුතු බව නිරීක්ෂකයෝ පවසති. හරයාත්මක වටිනාකම්වලට වඩා ස්ථානය වෙනස්කිරීමේ දී හෝ හමුව කල්දැමීමේදී මතුවන සංවිධානමය ගැටළු කෙරෙහි සැළකිල්ල යොමුවීම විසින් ප්‍රස්තුතයේ දීප්තිය අඩුකර ඇත. කැනඩා රජයේ විශේෂ නියෝජිතයාට අනුව “ශ්‍රී ලංකාව ගැන කිසිවක්ම සිදු නොවනු ඇති බවට කෙරෙන ඇඟවීම් විසින් පොදු රාජ්‍ය මණ්ඩල නියෝජිත ක්‍රියාකාරි කණ්ඩායමේ (CMAG) රැස්වීමේ අස්ථිර බව යුක්ති සහගත කරයි.”නියෝජිත ක්‍රියාකාරී කණ්ඩායම (CMAG) අප්‍රේල් 26 වැනි දින රැස්වනු ඇත. එහෙත් ශ්‍රී ලංකාවට එරෙහි තාවකාලික තහනමක් පැනවීමක් ගැන තබා අවම තරමින් ශ්‍රී ලංකාව ගැන සාකච්ඡාවක් හෝ කෙරෙනු ඇත්ද යන්නද අපැහැදිලිය. පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම්ගේ ඉදිරිපත් කිරීම අනුව හෝ සාමාජිකයන්ගේ එකඟතාව අනුව යම් විෂයයක් සාකච්ඡාවට ගත හැකිය. ශ්‍රී ලංකාව ගැන නියෝජිත රැස්වීමේ න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමේ කැනේඩියානු උත්සාහයට පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් 15ක පමණ සහාය ලැබෙනු ඇත. ඇමෙරිකාව විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති යෝජනාව තව සතියකින් සම්මත වූ පසුව තවත් බොහෝ රටවල් මෙයට එක්වීමට ඉඩ ඇත. නව කාර්ය පරිපාටින්ට අනුව නියෝජිත ක්‍රියාකාරි කණ්ඩායමේ (CMAG) අසුන් ගන්නා සාමාජික රටවලට පමණක් නොව, පොදු රාජ්‍ය මණ්ඩලයේ ඕනෑම සාමාජික රටකට ශ්‍රී ලංකාව ගැන සාකච්ඡාවක් ඉල්ලා සිටීමට හැකිය.

එහෙත් පොදු රාජ්‍ය මණ්ඩලය බොහෝ විට එකඟතාවන් අනුව කටයුතු කිරීමට වැඩි රුචියක් දක්වන අතර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මතුව ඇති බෙදීම් විසින් එය අකර්මණ්‍ය කොට තිබේ.

මානව හිමිකම් ගැන අවධාරණය කිරීම “ පැරණි සුදු පොදු රාජ්‍ය මණ්ඩලය” ගැන සිහින දකින බටහිර ජාතීන්ගේ පූර්ව නියුක්තියක් බව ඇතැමුන් තර්ක කරති. සෙස්සන්ගේ අදහස ශ්‍රී ලංකාව වනාහි සංවිධානයේ අදාළත්වය සහ ප්‍රජාතාන්ත්‍රික වටිනාකම් පිළිබඳව කැපවීම පරීක්ෂා ‍කෙරෙන මා හැඟි මොහොතක් බවය. පොදු රාජ්‍ය මණ්ඩලයේ ලේකම්වරයා වනාහි ශ්‍රී ලංකාව සමග එක්ව කටයුතු කළ යුතු යැයි විශ්වාස කරන්නවුන්ගෙන් එකෙකි. ඔහු මෑතකදී ලන්ඩනයේ පැවැති නිල රාත්‍රී භෝජන සංග්‍රහයකදී ලංකා තානාපතිවරයාව උණුසුම් අන්දමින් වැළඳගත් දර්ශනය එහි වූ සමහරුන් ගේ ඇස් උඩ ඉන්දවීමෙහිලා සමත්විය.

නොවැම්බරයේදී කුමක් සිදුවේදැයි යන්න ගැන සාකච්ඡාවන් මාස ගණනක් තිස්සේ පවතී. වෙනත් ස්ථානයක පැවැත්වීම ගැන පූර්වාදර්ශ පවතින බව ඇතැමුන් පැවසුවද අනු රැස්වීම් ගණනාවක් සහිත එවැනි මහාපරිමාණ අවස්ථාවක් වෙනස් කිරීම සඳහා ලැබෙන කාලය ශීඝ්‍රයෙන් ගෙවී යමින් පවතී. සමුළු අංග සැළකිය යුතු තරමින් අවම කොට නවලිදිල්ලයේ පැවැත්වීම පිළිබඳවත් යෝජනා ඉදිරිපත්ව තිබේ. තවත් විකල්පයක් ලෙස සමුළුව කල් දැමීමක් ගැන ද සාකච්ඡා කෙරේ.

මෙහි දී පරදුවට තබා ඇත්තේ පොදු වටිනාකම් විසින් එක්කරන ලද විවිධ ජාතීන්ගෙන් සැදුම් ලද කණ්ඩායමක් වූ පොදු රාජ්‍ය මණ්ඩලීය හරයනුයි. වැඩිකල් නොයාම එයට නායකත්වය දෙනු ඇත්තේ, එක්සත් ජාතීන් විසින් ම පවසන පරිදි “ ජාත්‍යන්තර නීතියේ පාලනයට එල්ලවූ මාරක ප්‍රහාරයක් ලෙස හැඳින්විය හැකි ” මහා පරිමාණ යුද අපරාධ සිදු කළ රටක් විසිනි.

ශ්‍රී ලංකාවේ හිටපු බීබීසී වාර්තාකාරික වන ෆ්‍රාන්සස් හැරිසන් විසින් ලියන ලදුව Asian Correspondent වෙබ් අඩවියේ මාර්තු 15 වෙනිදා Commonwealth struggles for unity amid Sri Lanka HR concerns මැයෙන් පළ වූ ලිපියේ සිංහල අනුවාදයයි.

YPL

Leave a Reply

Your email address will not be published. Required fields are marked *