අපරාධපුවතකට වැඩි යමක්වීඩියෝ

හමුදා බුද්ධි අංශ උදයන් කාර්යාලය ගිනිතබයි

යාපනයේ පළවන දෙමළ පුවත්පතක් වන උදයන පුවත්පතේ ප්‍රධාන කාර්යාලයේ මුද්‍රණ අංශය අද අලුයම 5.00 ට පමණ තිදෙනෙකුගෙන් යුතු ආයුධ සන්නද්ධ හමුදා බුද්ධි අංශ  පිරිසක් විසින් ගිනිතබා තිබේ. වැඩිදුරටත් වාර්තා වන්නේ යාපනය,කස්තුරියාර් මාවතේ පිහිටා ඇති උදයන් ප්‍රධාන කාර්යලට අද අලුයම 5.00 ට පමණ කඩාවැදුන් තිදෙනෙකුගෙන් යුතු ආයුධ සන්නද්ධ පිරිස එහි මුරකරුට පහර දී උදයන් පුවත්පතේ ප්‍රධාන මුද්‍රණාලයට ඇතුලු වී එහි වූ අධික වටිනාකමකින් යුතු මුද්‍රණ යන්ත්‍රවලට සහ එහි වූ පරිඝණක යන්ත්‍රයන්ටද ගිනිතබා විනාශ කර ඇත. එපමණක් නොව මුද්‍රණ කටයුතු සදහා උපයෝගී කර ගන්නා කඩදාසි රෝල වෙතද ගිනි තබා තිබේ.

එම අවස්ථාවේ කාර්යාලයේ සිටි සේවකයන් සිය ජීවිත බේරා ගැනීම සදහා පිටතට දිවගොස් ඇති අතර පැමිණි පිරිස විසින් ඔවුන් දෙසට වෙඩ් ප්‍රහාර කීපයක්ද එල්ල කර තිබේ. මුද්‍රණාලය ගිනි තැබීමට පැමිණි පුද්ගලයන් තිදෙනාම ආයුධ සන්නද්ධව සිටි බවත් ඔවුන්  T-56 වර්ගයේ ගිනි අවි අත දරා සිටි බවත් එම කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන උදයන් පුවත්පත් ආයතනයේ හිමිකරු වන දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඊ.සරවනභවන් ප්‍රකාශ කර සිටින්නේ  “සුපුරුදු පරිදි අද උදෑසන පුවත්පත් බෙදාහැරීමේ කටයුතු සදහා 4.45 ට පමණ කාර්යාලය විවෘත කර තිබෙනවා. එත් 5.00 පමණ පැමිණි ආයුධ සන්නද්ධ පුද්ගයන් තිදෙනෙකු කාර්යාලයේ ගේට්ටුවේ  සිටි ආරක්ෂක නිළධාරියාට ආයුධ පෙන්වා තර්ජනය කර මුද්‍රණ අංශයට ඇතුලු වී එහි වූ මුද්‍රණ අංශ,පරිඝණක යන්ත්‍ර වලට සහ මුද්‍රණය සදහා තිබූ කඩදාසි වලට සහ බෙදාහැරීමට තිබූ දහස් ගණනක් පුවත් පත් වලට ගිනිතබා විනාශ කර තිබෙනවා.” යනුවෙන් පැවසීය.තවදුරටත් අදහස් දැක්වූ ඔහු පවසා සිටින්නේ උතුරු පළාත් සභා මැතිවරණය ඉලක්ක කරගනිමින් උතුරේ ජනමාධ්‍ය පාලනය කිරීමට මෙවැනි මිලේච්ඡ ක්‍රියාවන් සිදුකරමින් සිටින බවත් කුමන බාධා පැමිණියද උදයන් පුවත් පත පළකිරීම සහ ජනතාවට සත්‍ය හෙළිකිරීම නොනවත්වන බව ද පැවසීය.

මේ සම්බන්ධව අදහස් දැකුවූ යාපනයේ මූලික කරගත් මාධ්‍යවේදියෙකු පවසා සිටියේ සෑම පැත්තෙන්ම හමුදා මුරකපොලු, හමුදාකදවුරු පිහිටා තිබෙන වටපිටාවක් තුළ මෙවැනි බිහිසුණු ක්‍රියා උතුරේ මාධ්‍යයට එරෙහිව සිදුකරන්නේ අන්කිසිවෙකු නොව ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව සහ තවදුරටත් ඔහු ප්‍රශ්ණ කර සිටියේ උතුරේ ජනයාට තොරතුරු දැනගැනීමට තිබෙන ප්‍රජාතාන්ත්‍රික අයිතිය අහිමි කිරීම මගින් රාජපක්ෂ රජය දෙමළ ජනයාට නැවත කියන්නේ ආයුධය අතට ගන්නා ලෙසද යනුවෙනි.

පසුගිය 5 වැනිදා ද උදයන් පුවත්පත් ආයතනයේ කිලිනොච්චිය ප්‍රදේශීය කාර්යාලයටද ප්‍රහාරයක් එල්ල කළ අතර මෙම ප්‍රහාරය මෙම වසර තුළදී උතුරේ දෙමළ මාධ්‍යයට එරෙහිව එල්ල කළ 5 වන ප්‍රහාරය වන අතර මෙම මාසය තුළදී පමණක් උදයන් පුවත් පත් ආයතනයට හමුදා කූළී හේවායන් විසින් දෙවතාවක් පහර දෙන ලදී.

සටහන: ඩෙස්කා කුඩාවිල

හමුදා බුද්ධි අංශ උදයන් කාර්යාලයට ගිනිතැබීමෙන් හානි සිදුවී ඇති අයුරු

වීඩියෝව.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *