Skip to content
යළිත් ඒ බිහිසුණු අඳෝනාව ඇසේ. දෙසවන් යවුලින් පහරන්නාක් සේ ඇසේ. එහි වේදනාව හිස දෙදරවාලමින් මතුව එනු දැනේ. අවුරුදු විසිපහකට පෙර අමතක කර දැමුවේ යෑයි සිතා සිටි ඒ මරණයේ වේදනාව රුධිරය වැකුණු මාතලේ පස්‌කඳු අතරින් යළි මතුව එන විට සියොළඟම කිළිපොලා යයි.
මාතලේ දිස්‌ත්‍රික් රෝහලේ සමූහ මිනීවළෙන් හමු වූ මිනිස් අස්‌ථි කොටස් වර්ෂ 1980 හා 90 කාල පරාසය තුළ සිදුවූ මරණවලට සම්බන්ධ ඒවා බව මාතලේ අතිරේක දිසා විනිසුරු මහෙස්‌ත්‍රාත් චතුරිකා ද සිල්වා විසින් පසුගිය බදාදා /(27) විවෘත අධිකරණයේදී ප්‍රකාශයට පත් කෙරිණි. ඇය විසින් මෙම ප්‍රකාශය කරනු ලබන්නේ කැළණිය විශ්විද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන අංශයේ මහාචාර්ය රාඡ් සෝමදේව හා මාතලේ මහරෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ අජිත් ජයසේන විසින් අධිකරණයට ඉදිරිපත් කළ විද්‍යාත්මක සාක්‌ෂි විශ්ලේෂණ වාර්තාව මත පදනම් වෙමිනි.
මෙසේ මාතලේ අධිකරණයෙන් යළිත් ඇසෙමින් ඇත්තේ තරුණයෙක් වීම ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවිය හැකි අපරාධයක් වු අතීතයක කතාවය. තරුණයෙක් වුවාට වන්දි ලෙස අනන්ත වදයට ලක්‌ව මහ මග ටයර් මත දැවී සොහොන් වීමට නියම වු අතීතයක කතාවය. මරණය ගමක් ගමක් පාසා ගෙයක් දොරක් පාසා හඹාගිය රුදුරු අතීතයක කතාවය. හැට දහසකට ආසන්න තරුණ පිරිසක් මරා ගංගාවල පා කළ, මග දිගට ටයර් මත පුළුස්‌සා හළ, සමුහ මිනිවළවල් තුළ සාධක රහිතව අතුරුදන් කළ මහා අපරාධයක කතාවය. ඒ මාරක පන්නාගෙන තවමත් ජීවත්වන අපේ පරම්පරාවේ බිහිසුණු යෞවනය ගැන කියනා කතාවය. ඇට සම් මස් ලේ නහර විනිවිදින ඒ අතීත මතකය මේ සමාජය විසින් සුරියකන්ද දැදුරු කර මතු වු ඇටකටුත් සමග වළ දැමූ බව අප සිතා සිටියේය. ඒ මීට දශක දෙකකට පෙරය.
එහෙත් ඒ තුච්ඡ අතීතයේදී තිරිසන් වධ බන්ධනයට ලක් කර ම්ලේච්ඡ ලෙස මරා දමා මාතලේ රෝහල් භූමියේ සමුහ මිනී වළක් තුළ මිටි බැඳ වළදැමු තරුණ තරුණියන් එකසිය පනස් හතර දෙනකුගේ නොදිරූ ඇටකටු දැන් යළිත් කතා කරමින් හිඳී. ලංකා ඉතිහාසයේ මෙතෙක් හමු වු දැවැන්තම සමුහ මිනීවළ සදාකාලිකව සඟවා තබන්නට උත්සාහ කළ ඒ තුච්ඡ සමුහ ඝාතනයේ කතාව අවුරුදු විසිපහකට පසු සාධනීය විද්‍යාත්මක සාක්‌ෂි මත පදනම්ව අධිකරණය තුළ සනාථ වෙමින් තිබේ.
දැන් අප ඔබට කියන්නේ අනේක බලපෑම්, අවහිර කිරීම් හා නොසලකා හැරීම් විඳගනිමින් ජාතියට වගවිය හැකි ගෞරවනීය පෞරුෂයක් සහිත විශිෂ්ට වෘත්තිකයන් දෙදෙනකු විසින් ඒ තිරශ්චීන අතීත ඝාතනයේ සුලමුල රටට හෙළිකළ ආකරයය. කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අංශයේ මහාචාර්ය රාඡ් සෝමදේව හා මාතලේ මහරෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ අජිත් ජයසේන විසින් ඉවසීම හා තීක්‌ෂණ අධ්‍යයනය ප්‍රගුණ කරමින් ජාතිය වෙනුවෙන් කළ මෙම ශාස්‌ත්‍රීය මෙහෙයුම විටෙක කුතුහලය දනවනා කතන්දරයක් වැනිය. ඒ කතාව පෙළගැසෙන්නේ මෙසේය.
ඉහත සාකච්ඡාවේදී මා විසින් මගේ ආනුභවික දත්ත සහ ඒ අවටින් ලබාගත් අනෙක් දත්ත සාරාංශ කොට මිනී වළ අයත් කාලවකවානුව තීරණය කිරීමට උත්සාහ කළෙමි. මේ මිනීවළේ ස්‌වරූපය පිළිබ`ද මානව විද්‍යාත්මක හා පුරාවිද්‍යාත්මක අධ්‍යයනයන්ගෙන් ඉතා පැහැදිලි අදහසක් ලබා ගත හැකිය. මිනීවළ සම්බන්ධයෙන් අදාළ කාලය මා ගොඩනන්වා ඇත්තේ මිනිවළෙන් ලද භාණ්‌ඩවල ශෛලීය විශේෂතා අධ්‍යයනය කිරීමෙනි. දන්නා දින දෙකක් මගින් යම් සිද්ධියකට අදාළ දිනයක් සොයාගැනීම ස`දහා පුරාවිද්‍යාවේදී භාවිත වන කාලනිර්ණමය සැන්විච් යන අදහස මේ ස`දහා යොදා ගතිමිs. ලැබුණ දත්ත විශ්ලේෂණයන්ට අනුව මෙම මිනීවළ වර්ෂ 1986 හා 1990 කාල වකවානුවට අයත් බව පෙනේ.
මීට වඩා සියුම් ලෙස මෙම දත්ත විශ්ලේෂණය කිරීම අවශ්‍යය. මක්‌නිසාද යත් මේ මරණ බලයක් හා කර්තෘත්වයක් ඇති අයෙකුගේ විසින් සිදුකර ඇතිබව සාධනය වන බැවිනි. අවසාන වශයෙන් මට කියන්නට ඇත්තේ පරීක්‌ෂා කළ මිනී වළ සම්බන්ධ සම්පූර්ණ කර්තෘත්වය හෝ එහි කාරකයාත් ඔහුගේ පසුබිමත් ගොඩනැගීමට ප්‍රමාණවත් භෞතික සාධක මා ළ`ග නොමැති බවය.
නමුත් කවරෙකු හෝ විසින් හෝ කුමන හේතුවක් නිසා පුද්ගලයින් එකසිය පනස් හතර දෙනකුට නිදහසේ මිය යැමට ඇති අයිතියත් උදුරාගෙන ඇති බව මගේ වෘත්තීය සීමාවෙන් ඔබ්බෙහි සිට කල්පනා කරන විට මගේ හදවතට දැනෙමින් තිබේ.
මහාචාර්ය රාඡ් සෝමදේව – උපුටා ගැනීම – මාතලේ මිනීවළේ විද්‍යාත්මක සාධක විශ්ලේෂණ වාර්තාව – පිටු අංක 45
සමුහ මිනීවළ සොයා ගැනීම
පසුගිය නොවැම්බර් මස 26 වැනිදා මාතලේ මහ රෝහලේ කසළ කළමනාකරණ ඒකකය විසින් ජීව වායු ජනකයක් ඉදිකිරීම සඳහා රෝහල් භූමියේ එක් ප්‍රදේශයක් බැකෝ යන්ත්‍රයක් යොදාගෙන කැණීම් කරමින් සිටියේය. ටික වෙලාවකින් යන්ත්‍රයෙන් බුරුල් වි ඉවත්වන පස් සමග මිනිස් අස්‌ථි කොටස් කීපයක් මතුව පැමිනිණි. වහාම කැණීම් කටයුතු නැවැත්වු රෝහල් නිලධාරීහු මේ සම්බන්ධව රෝහල් වෛද්‍ය අධිකාරී අර්ජුන තිලකරත්නව දැනුවත් කළහ. රෝහල් අධිකාරිවරයා සිද්ධිය පිළිබඳව මාතලේ මුලස්‌ථාන පොලීසියේ පැමිණිල්ලක් කිරීමෙන් අනතුරුව මාතලේ අතිරේක දිසාවිනිසුරු මහෙස්‌ත්‍රාත් චතුරිකා ද සිල්වා මේ ඇටකටු පිළිබඳව පරීක්‌ෂණයක් කිරීමට නියෝග කළාය. මාතලේ සමුහ මිනිවළ පිළිබඳ කතාව ආරම්භ වන්නේ එසේය.
අධිකරණ නියෝගය මත මෙම ඇටකටු කීපය මතුකරගෙන ඒ පිළිබඳව අධිකරණයට වාර්තාවක් සැපයීමේ වගකිම මාතලේ රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ අජිත් ජයසේන වෙත පැවරිනි. රහස් පොලීසියේ ආධාරයෙන් ස්‌වකීය අධීක්‌ෂණය යටතේ වෛද්‍ය අජිත් ජයසේන මෙම ස්‌ථානයේ කැණීම් ආරම්භ කළේය. පරීක්‌ෂණ කටයුතු කෙරෙනා මෙම බිම සාමාන්‍ය ජනතාවට තහනම් කලාපයක් කිරීමට මේ අතර අධිකරණය කටයුතු කළේය. උපරිම දින තුනක් තුළ පර්යේෂණ නිමා කිරීමට වෛද්‍ය අජිත් ජයසේන විසින් සැලසුම් කර තිබිණි.
එහෙත් ඔහු හිතුවාට ඔහු හමුවේ ඇති යථාර්ථය සංකීර්ණ එකක් වුයේය. කැණීම් ආරම්භ කළ දෙවන දිනයේ සිට නිතිපතාම, මියගිය මිනිසුන් ගණනාවකගේ මිනී ඇටකටු පස් ක`දු අතරින් මතුවිය. රටේ අවධානය මේ ස්‌ථානයට යොමුවුයේය. ඇටකටු පමණක් ශේෂ වී ඇති මේ අතීත මිනිසුන් සම්බන්ධව විවිධ කතා පැතිර යන්නට විය. අයෙක් මේ ස්‌ථානය 1920 පමණ අතීතයේ දී සොහොන් බිමක් වු බව කීවේය. හතලිහ දශකයේදී වසුරියෙන් මියගිය පුද්ගලයින් වළදැමුවේ මේ ස්‌ථානයේ බව අයෙක් කීවේය. සමහරෙක් ඒ සම්බන්ධව ඇති සිය අතීත මතකයන් සිහිපත් කළේය. තවත් අයෙකුට අනුව මේ හමුවෙමින් තිබුණේ එක්‌දාස් අටසිය දහඅටේ හෝ එක්‌දහස් අටසිය හතලිස් තුනේ මාතලේ කැරැල්ලේ විරුවන්ගේ ඇටකටුය. තවෙකෙක් කීවේ මෙය එක්‌දාස් නවසිය හැත්තෑ එකේ කැරැල්ලේදී මරාදැමුවන් බවය. දශක කීපයකට පෙර සිදුවු නාය යැමක් ගැන අයෙක් කතා කළේය. බොහෝ බලධාරීහු මෙම අවසන් අදහස් දෙකට වඩාත් රුචි වුහ. එහෙත් සමහරෙක් ඉතා රහසිගතව අදහස් ප්‍රකාශ කරමින් සිය දැනුවත් සාක්‌ෂිද සහිතව මේ අසු අට අසුනවය භීෂණ වකවානුවේ කළ තිරශ්චීන ඝාතනයන් බව කීවේය.
වෛද්‍ය අජිත් ජයසේන මුහුණ දී සිටියේ මේ සංකීර්ණ ගැටලුව නිරාකරණය කර ගැනීමේ අභියෝගයටය. නිතිපතා මිනිස් ඇටසැකිලි හමුවෙමින් තිබිණි. ඒවායේ ශේෂ වු විශේෂතා පිළිබඳ හෙතෙම අධ්‍යයනය කළේය. තමන් අබියස තිබෙන්නේ බිහිසුණු අපරාධයක් සම්බන්ධ සාධක සහිත සමුහ මිනීවළක් බවට වන මුලික උපකල්පනය සඳහා ඔහුට ඒ සාක්‌ෂි ප්‍රමාණවත් වී තිබිණි. එබැවින් කැණීම විධිමත් කර අපරාධය සිදුවු කාල වකවානුව පිළිබඳ නිශ්චිත අදහසක් ලබාගැනීමට හැකි විද්‍යාත්මක දැනුමක් සහිත වෘත්තිකයෙකුගේ සහාය ලබාගන්නට හෙතෙම උත්සාහ කළේය. ඒ සඳහා අවශ්‍ය ශාස්‌ත්‍රීය දැනුම හා සම්පත් ලබාගෙන අභිමත තොරතුරු ලබා ගැනීම සඳහා අධිකරණය විසින් වෛද්‍ය අජිත් ජයසේනට අවසර දී තිබිණි.
පුරාවිද්‍යා සහාය
අපේ රටේ මානව විද්‍යාව සම්බන්ධ විශේෂඥ වෘත්තිකයන් හමුවන්නේ නැත. අධිකරණ වෛද්‍ය කටයුතුවලදී ඉතිහාසේ මෙතෙක් මානව විද්‍යාඥයෙකුගේ වගකීම් කොටසද ඉටුකර තිබුණේ අධිකරණ වෛද්‍ය විශේෂඥයින් විසිනි. එහෙත් දැන් වෛද්‍ය අජිත් ජයසේන අබියස තිබෙන්නේ මෙතෙක් රටේ කිසිම අධිකරණ වෛද්‍යවරයෙකුට නොලැබුණ අභියෝගයකි. ඒ වන විටත් අවිධිමත් තැන්පත් කිරීමක් ලෙස හමුවන මිනිසුන් විසි දෙදෙනකුගේ ඇටකටු හමු වී තිබිණි. තවත් කී දෙනකුගේ හමුවේදැයි සිතා ගත නොහැකි තරමට මේ කටයුත්ත සංකීර්ණ බව පෙනුණි. කැණීම නිමා කරගත හැකි දවසක් පිළිබඳ අදහසක් නොවේ. රජයේ රස පරීක්‌ෂකවරයාගේ සිට රහස් පොලීසියේ නිලධාරීන් දක්‌වා සියල්ලෝම නිවැරදි ශාස්‌ත්‍රීය පදනමකින් පරීක්‌ෂණ මෙහෙයවීම සඳහා සහයෝගාත්මකව කටයුතු කරන ආකාරයක් නොපෙන්වූයේය.
මේ පසුබිමේදී මෙම කැණීම වඩාත් විද්‍යාත්මක පදනමකින් පුළුල්කර ඒ දත්ත ඇසුරින් නිශ්චිත කාලනිර්ණයක් ලබාගැනිමට හෙතෙම පුරාවිද්‍යා ක්‌ෂේත්‍රයේ වෘත්තිකයෙකුගේ දැනුම යොදා ගැනීමට අදහස් කළේය. ඒ අනුව කැළණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය රාඡ් සෝමදේව, විශේෂඥ අධිකරණ වෛද්‍ය අජිත් ජයසේනගේ ඉල්ලීම මත කැණීම සඳහා සම්බන්ධ වුයේය.
මහාචාර්ය රාඡ් සෝමදේව කැණීමට සම්බන්ධ වන විට එහි මිනිස් ඇට සැකිලි විසි හතරක් රහස් පොලිස් නිලධාරීන් විසින් මතුකරගෙන තිබිණි. ඔවුන් වැඩි අවධානයකින් යුතුව සුරක්‌ෂිතව ඇටසැකිලි ගොඩගෙන තිබුණද ඒ පස් ස්‌ථර අතර හමුවන වෙනත් භෞතික සාධක සම්බන්ධව අවධානය යොමුකර තිබුණේ නැත. ඒ අනුව මුලින්ම මෙම කැණීම ශාස්‌ත්‍රීය පදනමකින් විධිමත් ලෙස කිරිම මහාචාර්යවරයාගේ උපදෙස් පිට සිදුවිය. එතැන් සිට පුරා දෙමසක් කැණීම සිදු කෙරිණි. කැණීම නිමා වු පෙබරවාරි 12 දා වන විට මිනිස් ඇටසැකිලි 154 ක් මේ ස්‌ථානයෙන් සොයා ගත්තේය. සියලූම තොරතුරු රූප සටහන් හා ඡායා රූප සහිතව සියුම් ලෙස වාර්තා කෙරිනි. අවට හමුවන ද්‍රව්‍ය සම්බන්ධව වැඩි අවධානයක් යෙදවිනි. ඇට සැකිලි හමුවන පස් ස්‌ථර සම්බන්ධව සැලකිලිමත් විය. මේ අතර හිටි අඩියේම මෙම සමුහ මිනීවළ වසා දැමීමට රහස් පොලීසිය අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියේය. එහෙත් මාතලේ මහෙස්‌ත්‍රත් චතුරිකා ද සිල්වා එම ඉල්ලීම ප්‍රතික්‌ෂේප කළා පමණක් නොව, මෙම ස්‌ථානයට පොලිස් ආරක්‌ෂාව සැපයීමට ද නියෝග කළාය.
ඇට සැකිලි කී කතාව
මහාචාර්ය රාඡ් සෝමදේවයන් ස්‌වකීය කැණීම් දත්ත මගින් තහවුරු කළ ආකාරයට මේ ඇටසැකිලි වලින් කියෑවෙමින් තිබුණේ මහා බිහිසුණු අපරාධයක කතාවකි. මේ කිසිම මිනියක් ගෞරවාන්විතව තැන්පත් කර ඇති ආකරයක් නොපෙනුනි. දේශීය සම්ප්‍රදායන්ට අනුව කනත්තක වළ දමනා මිනියක හිස බටහිරට දිශානුගතව පිහිටුවයි. එහෙත් මේ මිනී එක් දිශාවක සිට වළ වෙත විසිකර දැමු ආකාරයක් පෙන්වීය.
ඇට සැකිලි තිබුණේ මිටි බැඳි ආකාරයටය. මරා දමා අනතුරුව මළමීනි දෙක, පහ, හය ආකාරයට බන්ඩල් කර මේ මිනී වළට විසිකර තිබු ආකාරය මහාචාර්වරයා තහවුරු කළේය. එමෙන්ම ඝාතකයන් හඳුනාගත හැකි සියලූම සාධක මළමිනීවලින් ඉවත් කිරීමට ඝාතකයන් විසින් කටයුතු කර තිබිණි. මිනී වළදමා ඇත්තේ නිරුවත් කරය. එමෙන්ම අතිශයින්ම විකෘති සහගත ආකාරයටය. උදාහරණ ලෙස එක් සිරුරක බඩවත ප්‍රදේශයේ අනෙක් සිරුරක හිසත් එහි අත් දෙක යට සිරුරේ ගෙලටත් හිටින සේ තැබු ඇටසැකිලි දෙකක් හමුවී තිබුණේය. ඒ එක් සිරුරක දෙකකුල් අතරට කපා දැමු හිසක් දමා තිබිණි. එක් හිස් කබලක් හමුවන්නේ කියතකින් කපාලය කපා දැමු ආකාරයටය.
වධ බන්ධනයට ලක්‌කර මරා දැමු ආකාරය ගැන කියවෙනා වටිනාම සාක්‌ෂිය හමුවන්නේ කාන්තාවකගේ කකුලේ අස්‌ථියක තිබීය. එය කම්බි වළල්ලකි. මෙවැනි කම්බි වළළු භාවිත වන්නේ වධක භූමියේදී මිනිසුන්ට විදුලිය වැද්දීම සඳහා බවට වන හඳුනාගැනීම මහාචාර්ය රාඡ් සෝමදේව සිය පර්යේෂණ වාර්තාවට ඇතුළත් කළේය. එමන්ම කැණීම් භූමියෙන් අස්‌ථි කොටස් සහිත දිරාපත් යකඩ ඇණයක් හමුවී තිබිණි. මේ යකඩ ඇණ අත්වල ඇඟිලිවලට ගසා තිබුණු ආකාරය හේ තහවුරු කළේය. ඇඟිලිවලට දමා ඇති මුදු හා ඒ වකවානුවේ ඩෙනිම් සාය සඳහා බහුලව යොදාගත් බොත්තම් දෙකක් ඇටසැකිලි අතරින් සොයා ගත හැකි වුයේය.
ඉතා පැහැදිලිවම මේ විද්‍යාත්මක සොයාගැනීම් සමග මෙය සොහොන් බිමක්‌ය යන තර්කය බිඳ වැටුණි. වසුරිය රෝගීන්ගේ මරණ හා නාය යැම් පිළිබඳ කතා හිතළු වුයේය. ඉතා ස්‌ථාවර සාධක අනුව මේ මිනිසුන් මරා දමා තිබුණේ අනන්ත වධ බන්ධනයට ලක් කරමින් බව හෙළි විය. එමෙන්ම වළදමා තිබුණේ තිරිසනුනටත් නොගැළපෙන ලෙස බව පෙනුණි. දැවැන්ත වළක් කපා, මුලින්ම එයට මිනී ප්‍රමාණයක් පුරවා, අනතුරුව ඒ මත පස් අතුරා , ඒ පස් මත ඉතිරි මිනී ටික දමා වසා දැමු සමුහ මිනීවළක නින්දා සහගත කතාව විද්‍යාත්මක දත්ත හරහා තහවුරු වී තිබිණි. දැන් අවශ්‍ය වුයේ මේ ඝාතන සිදු වු කාල වකවානු තහවුරු කර ගැනීමය.
එහෙත් කාලනිර්ණය සඳහා වන වැදගත් සාධකයක් මේ කැණීමේ මුල් වකවානුව පුරාම හමුවුයේ නැත. වෘත්තීය ඝාතකයෝ එම තොරතුරු වසන් කර තිබුණහ.
විද්‍යාත්මක දත්ත මත මූලික කාලනිර්ණය කළ හැටි
එහෙත් ඕනෑම ඝාතකයෙක් යම් තරමකට හෝ ස්‌වකීය සලකුණු ඉතිරි කර යන්නෝය. එම සලකුණු කියවාගත හැක්‌කේ සියුම් විචාර බුද්ධියක් හා විෂය ඥානයක් සහිත වෘත්තිකයෙකුට පමණය. මාතලේ සමුහ ඝාතනය කළ ඝාතකයෝත් මේ සිද්ධිය සිදුවන වකවානුව හඳුනා ගැනීම සඳහා ඔවුන් සිහිනයෙන් වත් නොසිතූ ප්‍රබල සාක්‌ෂි දෙකක් ඉතිරිකර ගොස් තිබිණි.
ඝාතකයන් මේ සමුහ මිනීවළ හාරනා වකවානුව වන විට මේ භූමිය පාලූවට ගොස් තිබු කටු ලැහැබ් සහිත ප්‍රදේශයක් වුයේය. ඒ වන විට මේ මිනීවළ හාරන ස්‌ථානයට යාව කුණු වළක් පැවතිනි. රෝහලේ අපද්‍රව්‍ය දමා තිබුණේ මේ වළටය. මිනීවළ හාරන ඝාතකයන් අතින් නොදැනුවත්වම මේ කුණුවළෙන් කොටසක්‌ද කැඩී ගොස් තිබුණේය. ඒ සමහර අපද්‍රව්‍ය මිනීවළේ පස් සමග මිශ්‍ර වූයේය. මේ අපද්‍රව්‍ය අතර තිබු කොළපාට ප්ලාස්‌ටික් කැබැල්ලක් මිනිවළ අඩියේ තැන්පත්ව තිබිණි. එය තැන්පත් වන්නේ මරා දැමු පුද්ගලයෙකුගේ හිසක් යටය. මෙය මහාචාර්ය සෝමදේවයන් විසින් මෙහෙයවන ලද කැණීම් නිලධාරීහු හිස් කබල යට තිබී මෙම ප්ලාස්‌ටීක් කැබැල්ල සොයා ගත්හ. එය ඔස්‌සේ පරීක්‌ෂණ මෙහෙයවිනි. මහාචාර්ය සෝමදේවයන් හෙළිකරගත් ආකාරයට ඒ ප්ලාස්‌ටීක් කැබැල්ල ස්‌මිත් ඇන්ඩ් නෙවිව් නැමැති වෙළෙඳ ආයතනයෙන් නිෂ්පාදනය කළ, ජිප්සෝනා 77 නැමැති වෙළෙඳ නාමයෙන් යුතු ප්ලාස්‌ටර් විශේෂයක රුඳවුම් දණ්‌ඩකි. ආයතනයේ නිෂ්පාදන තොරතුරු සෙවිමේදී මෙම ප්ලාස්‌ටර් විශේෂය නිෂ්පාදනය කිරීම අරඹා ඇත්තේ වර්ෂ 1986 දී බව තහවුරු විය. මේ කාලයේදි රෝහලේ මෙම ප්ලාස්‌ටර් විශේෂය භාවිත වු ආකාරය එවකට සිටි ප්‍රධාන ඖෂධ වේදියා විසින් තහවුරු කළේය.
මේ අතර මිනිවළේ ඉහළ ස්‌ථරයෙන් කට බිඳීගිය සෙරමික් මැටි බඳුනක් ලැබිණි. ඕලන්ද යුගයට අයත් යෑයි හැඟෙන පෞරාණික පෙනුමක් සහිත මේ මැටි බඳුන කලකට ඉහත රෝහල්වල බෙහෙත් දියර ගබඩා කිරීම සඳහා භාවිත වි තිබිණි. මෙම බඳුන් විශේෂය නිර්මාණය කර තිබුණේ ලන්ඩනයේ ඩෙන්බිෂයර් වල පිහිටි සමාගමකි. මෙම බඳුන වෙළෙඳපළට හඳුන්වා දී තිබුණේ බර්න් බෙන්ඩි නැමැති වෙළෙඳ නාමයෙනි. මේ බෝතල් විශේෂයේ නිෂ්පාදන වාර්තා එම සමාගමේ වෙබ් අඩවියෙන් සොයා බැලිනි. එම බෝතල් වර්ගය හඳුන්වා තිබුණේ ඔරෙන්ජ් රෙඩ් ඔටම් බොට්‌ල් නමිනි. මෙම බෝතල් විශේෂය 1988 වන විට නිෂ්පාදනය කර 1989 දී නිෂ්පාදනය කිරීම නවතා දමා තිබිණි. මේ සිද්ධි පිළිබඳ විද්‍යාත්මක අර්ථකථන අධිකරණය වෙත මහාචාර්යවරයා විසින් ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන්ව තිබිණි. මුලික රසායනාගාර පරීක්‌ෂණ හා වෝහාරික පරීක්‌ෂණවලින් වඩාත් තහවුරු කරගන්නා තුරු ඉතා විශ්වසනීය කාල නිර්ණයක් මහාචාර්ය සෝමදේව විසින් මේ මිනී වළ සම්බන්ධව ලබා දුන්නේය.
ඔහු සාධනය කරන විද්‍යාත්මක තර්කනය අනුව මේ සාහසික අපරාධය සිද්ධවන්නේ වර්ෂ 1987 හා 1990 අතර කාලයේය. මේ සම්බන්ධව මහාචාර්ය රාඡ් සෝමදේව විසින් සකස් කළ පිටු 54 ක වාර්තාව දැන් අධිකරණයට ඉදිරිපත් කර තිබේ. සිදුවී ඇති අපරාධය සම්බන්ධව විශේෂඥ වෛද්‍ය අජිත් ජයසේන ස්‌වකීය විෂය පථයට අදාළව විශේෂ වාර්තාවක් සකස් කරමින් සිටී. එය රටට නව දැනුමක් සහිත විද්‍යාත්මක ලේඛනයක් වනවා සේම අධිකරණය වෙත ඉදිරිපත් වන විශිෂ්ට විද්‍යාත්මක වාර්තාවක්‌ද වීමට නියමිතය. අපට කියන්නට ඇත්තේ සදාකාලිකව වළලා දැමීමට අපේක්‌ෂා කර ම්ලේච්ඡ ලෙස මරාදැමු මිනිසුන් එකසිය පනස් හතර දෙනෙක් අවුරුදු විසිපහකට පසු තමුන් මුහුණ දුන් තුච්ඡ අපරාධය ගැන ලෝකයට කියන්නට සුදානම් බවය. මළ මිනිස්‌සු කතා කරන විට ඉන් නැගෙන හ`ඩ ජීවත්ව සිටිනා උන්ගේ හ`ඩට වඩා ප්‍රබලය.
මේ අතර මාතලේ සමුහ මිනීවළේ ඛේදවාචකය අපටත් නව දැනුමක් ලබාදෙමින් හිඳී. මේ සාහසික අපරාධය කළ වකවානුවේ රටේ ආණ්‌ඩුව කළ ම්ලේච්ඡයින් අද යාපනයට ගොස් අතුරුදන් වු තරුණයන්ගේ මානව හිමිකම් රක්‌ෂා කිරීමට කෑමොර දෙමින් සිටි. එදා මේ ම්ලේච්ඡ මිනී මැරුම්වලට එරෙහිව ජීනීවා ගිය උන් මේ වන විට විලිලඡ්ජා රහිතව කඩ කළ මානව හිමිකම් පිළිබ`ද ජිනීවා වලින්ම චෝදනා ලබමින් ගර්හාවට ලක්‌වෙමින් සිටී. අප කොටු වී සිටින්නේ එකම චක්‍රයක් තුළය. එහිදී රටක් ලෙස අප ලබනා අත්දැකීම් එක හා සමානය. අපට කළ හැක්‌කේ අනාගතයේ ඕනෑම දවසක ආණ්‌ඩුවකින් කපාදෙන සමුහ මිනීවළක් තුළ කොටස් වශයෙන් තැන්පත්වීම සඳහා හිත හදාගැනීම පමණය.
පශ්චාත් පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ අනුෂා සමන්මලී වන්නිනායකට හා දිනේෂ් දෙවගේට විශේෂ ස්‌තුතිය පිරිනැමේ.
ජානක ලියනආරච්චි