අපරාධඋපුටාගැනීම්

දහසක් විරෝධයන් ඇවිලූ ඒ මුහුණ

චෙන්නායි මීනම්බක්කම් ගුවන් තොටුපළේ සිට නගරයේ ටිඩෙල් උද්‍යානයේ තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානය වෙත රිය පදවමින් සිටින අතරතුර මගේ අවධානයට මුලින්ම හසු වූ යමක් වූයේ ගමන් මගෙහි දිගින් දිගටම දක්නට වූ පෝස්ටර් ය. කතාවට කියන්නේ ‘දහසක් නෞකා දියත් කළ මුහුණ’ කියා ය*. නමුත් මේ මුහුණ වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ පුත්‍රයා වූ අවිහිංසක,12 හැවිරිදි බාලචන්ද්‍රන්ගේ ය.

ජනතාවගේ හෘදය සාක්ෂිය සොළවාලමින්, ලෝකවාසීන්ගේ, විශේෂයෙන් එක්සත් ජාතීන්ගේ, අවධානය හා බැල්ම දිනාගැනීමේ මහත් අපේක්ෂාවෙන් යුතුව පෙර නොවූ විරෑ විරෝධතා ව්‍යාපාරයන්ගෙන් තමිල්නාඩුව සසලවා තිබුණේ ඔහුගේ ඝාතනය දැක්වෙන චැනල් 4 වීඩියෝවෙන් උපුටා ගත් නිෂ්චල රූපාවලියේ එන මුහුණයි.

ටිඩෙල් උද්‍යානයෙන් පිටත ප‍්‍රධාන පාරේ, අවම වශයෙන් තරුණ වෘත්තීයවේදීන් දහසකින්වත් සමන්විතව තැනුණ කෙළවරක් නොපෙනෙන මිනිස් දම්වැල පැවතියේ කිලෝමීටර ගණනාවක් දුරට දිගැදෙමිනි.

කොහොම නමුත් දේශපාලන පක්ෂයක හෝ වෙනත් අභිලාෂයක තල්ලූවක් නො මැතිව විරෝධතාවන් මේ සා හොඳින් සැළසුම් සහගත හා මනා සේ සංවිධානාත්මක වනු ඇතැයි ඔබ අපේක්ෂා නො කරනු ඇත. එසේ සදහන් කළ විගස මතුව එන්නේ කෝපය යි. ඊට ලැබෙන ශක්තිමත් පිළිතුර වන්නේ ‘‘කිසිම දේශපාලන සම්බන්ධයක් නැත’’ එයයි.

මේ සියලූ ජනයා දේශපානයෙන් තොරද? මුලදී ම මට යම් සංශයක් තිබුණු බව කිව යුතුයි. සටන්පාඨවලින් පෙනුණේ කිසියම් දේශපාලන යටිතානයක් සහිත බවකි.

දෙමළ ඊළමට පුබුදින්න ඉඩදෙනු !

මෙය මධ්‍යම රජයට අනතුරු ඇඟවීමකි.

ලංකා තානාපති ගෙදර යවනු !

දෙමළ ඊළමට ජයවේවා !!!

නිර්භීත දෙමළ ජනතාවට අපේ ආචාරය !

මා දැනගත් ආකාරයට විරෝධතාව සංවිධානය කරන ලද්දේ දැනට වසර කිහිපයක සිටම මෙම අරමුණු වෙනුවෙන් පෙනී සිටින තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සමන්විත දෙමළ හිතවාදී කණ්ඩායමක් වන ‘‘දෙමළ ජනයා රැක ගැනීමේ ව්‍යාපාරය’’ විසිනි. නමුත් සටන්පාඨ හඬ ගා කීමට අවතීර්ණව සිටි මෙම සාමුහිකයේ බොහෝ අය ඊට කෝඩුකාරයෝ වූහ. ජනයා ඊට එක්ව සිටියේ එක පෙළට පෙළ ගැසී, විරෝධතා පළකිරීමේ කිසියම් හෘදයාංගම උවමනාවකින් හා සිය විරෝධය බැරෑරුම්ව ගණන් ගැණෙනු ඇතැයි යන අපේක්ෂාවෙනි.

‘‘මං මෙතන ඉන්නේ, ඉන්දියානුවෙක්, ද්‍රවිඩයෙක් මෙන්ම මනුෂ්‍යෙයක් හැටියට’’ යි ජෝස්ලින් ජින් නොවළහා පැවසීය. ‘‘ඔබේ සහෝදරයෝ සහෝදරියො මරා දැම්මම ඔබ අඬන්නැද්ද? ඒකයි අපි හඬනගන්නෙ, මේක අපේ සහෝදරයන්ට වෙච්ච ප‍්‍රශ්නයක්. නමුත් ඉන්දියානු රජයට පුළුවන් වෙලා නෑ අපේ වේදනාව තේරුම් ගන්න.’’ ඔහු පවසයි.

‘‘මධ්‍යම ආණුඩුවට බලකිරීමක් ලෙස ඩීඑම්කේ එක ආණ්ඩුවෙන් ඔවුන්ගේ සහයෝගය ඉවත් කර ගැනීම ගැන ඔබට සතුටුයිද?’’ ප‍්‍රතිචාරයකට පොළඹවාලනු පිණිස මම හිතාමතා ම අසමි.

‘‘ඔය කියන ද්‍රවිඩ දේශපාලන පක්ෂ කරන්නෙ සෙල්ලම්. ඔවුන්ට ඔය තරම් හැඟීමක් තියනව නම් ඒ තීන්දුව ගන්න තිබ්බෙ තත්ත්වය අන්තිම නරක අතට පෙරළිල තිබ්බ 2009දි. නමුත් ඔවුන් එහෙම කළේ නෑ. 2009දි වුනත් මං ශිෂ්‍යෙයක් වෙලා ඉන්දැද්දිත් මං විරෝධය පෑවා විතරක් නෙවෙයි අත්අඩංගුවටත් පත්වුණා, නමුත් එදා දේශපාලන බලපෑමකුත් තිබුණා. මේ පාර අපි දේශපාලන පක්ෂ විශ්වාස කරන්නෑ. ඔවුන් ඇහැගහන්නෙ ඊළග ඡන්දෙට. අපි බලන්නෙ එක්සත් ජාතීන් දිහා”යි එක් වෘත්තිකයෙක් කියයි. බොහෝවුන් ඔහු සමග එකගවීමට එකතු වෙති.

“ඉතින් මේ පාර වෙනස් වුණේ මොකක්ද? සෑහෙන කාලයක් නිහඩව තිබුණු මේ හඬවල් දැන් මොකටදැ”යි මම අසමි.

‘‘ජන මාධ්‍ය මේ පුවත් වළක්වන නිසා, බහුතරයක් ජනයා සියල්ල නොතකා හරිමිනුයි තිබුණේ’’ පාණ්ඩියන් විග‍්‍රහ කරයි. ‘‘නමුත් දැන් සිද්ධ වුණු බොහෝ හිංසාවන් ඔප්පු කරන්න සාධක හා සාක්කි තියෙනවා. මේවා ජාත්‍යන්තර සංවාද මණ්ඩපයකට ගෙන ඒම සදහා ආණ්ඩුව දැඩි ස්ථාවරයක් ගත්තොත් විතරයි යුක්තිය ඉෂ්ඨ වෙන්න පුළුවන්.’’

කාර්තිගේයන්, මෙහි තොරතුරු තාක්ෂණ සමාගමක ආධුනික පුහුණුව ලබයි. කොයිම්බතූර් සිට පැමිණි ඔහු හා ඔහුගේ මිත‍්‍රයා වන විග්නේෂ් බාබු පවසන්නේ ඔවුන්ට අවශ්‍ය, මේ සිද්ධිය කිසිම දේශපාලන පක්ෂයක් හරහා නොගොස් කෙලින්ම එක්සත් ජාතීන්ගේ කවුන්සිලයට කෙලින්ම රැගෙන යාම බවයි.

‘‘හිමින් හිමින් වුණත් හැමෝගෙම ඔලූව පෑදෙමින් තියෙන්නෙ. මං හිතුවෙ නෑ මෙච්චර සෙනඟක් මෙතෙන්ට එයි කියලා, නමුත් ඉස්කෝලවල, පාරවල්වල, හැමතැනම ඔවුන් විරෝධය පානවා. ට්විටර් ඇතුළු සමාජ මාධ්‍ය ජාලාවන් මේ වෙනස්කම් ඇතිකරලා’’ කාර්තිගේයන් කියයි.

බිලී ග‍්‍රැහැම් පවසන්නේ, මුළු මහත් ලෝකයේ ම හෘදය සාක්ෂිය හෙල්ලූම්කන යම්දෙයක් එළියට ඇද දමන්නට හැකි වූයේ අන්තර්ජාතික ප‍්‍රවෘත්ති ආයතනයක් වුණු එක්සත් රාජධානිය කේන්ද්‍රකරගත් චැනල් 4 නාලිකාවට බවයි. ‘‘ශ‍්‍රී ලංකාව දහස් ගාණක් මරා දමනු ලැබ තියෙනවා. ඉන්දියානු ධීවරයො 500ක් දෙනා මරා දමනු ලැබ තියෙද්දි පවා ඉන්දියානු ආණ්ඩුව කිසිම දෙයක් කිරීමට අකමැතියි. මේ ගැන මට දැනෙන්නෙ ලැජ්ජාවක්. ’’

‘ඔබ සේවය කරන තොරතුරු තක්ෂණ ආයතනය, පාරට බැහැලා විරෝධය පාන එක ගැන ඔබෙන් ප්‍රශ්න කරන්නේ නැද්දැ’යි මම අසමි. පුළුල් සිනහ මැද ඇතැමෙක් ලැජ්ජාවට පත්වෙයි. ‘නැහැ, මම ආවේ කාර්යාල වෙලාවෙන් පස්සෙයි’ අයෙක් කියයි. ‘මට මේකට සහභාගී වෙන්න මුල පිරීම කළේ මගේ ආයතනයැ’යි තවකෙක් කියයි. ‘මේක මානව හිමිකම් ප්‍රශ්නයක්. ඇයි අපිටත් නැගී සිටින්න බැරි?’ තුන්වැන්නෙක් අසයි. ‘ඉන්දියානු රජයත් එසේ කළ යුතු යි.’

විරෝධතාවන් අවසන් වූ වහාම එහි සිටි තරුණියන් අතුරින් තොරතුරු තාක්ෂණ වෘත්තියෙහි නියුතු තරුණියක් එක් අතක පෝස්ටරක් අතැතිව, අවට විසිකළ පොලිතින් වතුර උර එක්කාසු කරමින් සිටිනු මම දකිමි.

‘දැනුවත් ජනයා සමාජීය සවිඥාණකත්වයක් සහිත පුරවැසියන් ලෙස කටයුතු කරනු දැකීමම අපේක්ෂා අවුළුවන බව’ මම මට ම කියා ගනිමි.

*ට්‍රෝජන් යුද්ධය ඇවිළ වූ දහසක් නෞකාවන් දියත් වූයේ ට්‍රෝයි හී හෙලන් පාරිස් විසින් පැහැරගෙන යාමෙනි.

උමා සුධීර් විසිනි

TN

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *