ඕස්ට්‍රේලියා වාසී දෙමළ තිදරු පියකුට ශ්‍රී ලංකා රජයේ හමුදාවේ යැයි සැක කැරෙන සන්නද්ධ කණ්ඩායමක් ලංකාවේදී වද හිංසා පැමිණවීම ගැන ඕස්ට්‍රේලියාවේදී හෙළි කිරීමෙන් පසු ඔහුගේ පවුලේ සාමාජිකයින් තර්ජනයට ලක්ව සිටින බව වාර්ථාවෙයි. ශ්‍රී ලංකා රජයේ හමුදාවේ ඔත්තු සේවා භටයන් විසින් තමන් දරුණු වධ බන්ධනයටත් ලිංගික හිංසනයටත් පත් කරන ලද බවයි ‘කුමාර්’ යන අන්වර්ථ නාමයෙන් හැඳින්වුණු තරුණයකු ඕස්ට්‍රේලියාවේ ABC රූපවාහිනියට පවසා තිබේ.
ඔහු පරීක්ෂා කළ ඕස්ට්‍රේලියානු වෛද්‍යවරියක සහතික කොට තිබෙන්නේ ඒවා ගිනියම් යකඩ පොලු වලින් සිදු කැරුණු පිළිස්සුම් තුවාල බවයි. දැඩි කම්පනයට පත්ව සිටින තරුණයාට වහාම මානසික වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම අත්‍යවශ්‍ය බවයි ඇයගේ නිර්දේශය වී ඇත්තේ.
ශ්‍රී ලංකාවට ගොස් සිටියදී සති තුනකට ඉහතදී හිසට පිස්තෝලයක් එල්ල කොට පැහැරගෙන යනු ලැබ, රහසේ අත් අඩංගුවේ තබා තමනට වද හිංසා පැමිණවූ පුද්ගලයන්, ඔවුන් රජයේ යුද හමුදා නිලධාරීන් ලෙස හඳුනා ගත් බවයි කුමාර් යනුවෙන් ABC රූපවාහිනිය විසින් හඳුන්වන ලද තරුණයා කියා තිබුනේ.
මෙම දමිළ තරුණයා රැකබලා ගන්නා ඥාති සහෝදරයකු දුරකතනයෙන් බීබීසී සංදේශය හා කියා සිටියේ වද හිංසා පිළිබඳ තොරතුරු හෙළි වීමත් සමගින් ඔහුගේ ඥාතීන් දැඩි පීඩාවට ලක්ව සිටින බවයි. තම ඥාති සහෝදරයා සහ පවුලේ සාමාජිකයන්ගේ අනන්‍යතාව හෙළී වී අනතුරට පත් වීමෙන් ආරක්ෂා කරගත යුතු බව ඔහු කියා සිටියේය.
යුද හමුදා නිලධාරීන් ලෙස හඳුන්වා ගත් සන්නද්ධ පිරිමින් ගෙන් මිදී යාමට සිව් දිනකට පසු මග සැලසුනේ ඕස්ට්‍රේලියානු ඩොලර් විසි දහසක අල්ලසක් තම වධකයන් හට දීමෙන් අනතුරුව බවයි කුමාර් නමින් හැඳින්වුණු තරුණයා ඕස්ට්‍රේලියානු රූපවාහිනියට කියා තිබුනේ.
සටහන: වසන්ත බංඩාර
ABC රූපවාහිණියේ ඔහුගේ වීඩියෝව.