අපරාධපුවතකට වැඩි යමක්

තමන්ව දූෂණය කළ සෙබළාව කුඩා දැරිය අධිකරණයේදී හඳුනා ගනියි

පසුගියදා වවුනියාව නෙඩුන්කේනි ප්‍රදේශයේදී 7 හැවිරිදි ළදැරියකුව දූෂණය කළ සිද්ධියට සම්බන්‍ධ සැකකරු වන යුධහමුදා සෙබළාව දූෂනය වූ ළදැරිය විසින් අධිකරණයේදී හඳුනා ගැනීමට සමත්ව ඇති බව වාර්තාවෙයි.

පසුගිය මස 14වැනි දා නෙඩුන්කේනි සීනියාමෝට්ටයි පාසලට ගොස් නිවසට පැමිණෙමින් සිටියදී මෙම යුධ හමුදා සාමාජිකයා විසින් ඇයව පැහැරගෙන ගොස් දූෂණයට ලක්කර තිබේ. අනතුරුව පාළු ළිඳක් අසලදී එම ළදැරියව සොයාගැනීමට දෙමාපියන් හා අසල්වාසීන් සමත්වී ඇති අතර, ප්‍රදේශයේ ඇති හමුදා කඳවුරට ගම්වාසීන් විසින් මේ පිළිබඳව දැනුම් දුන්නද ඔවුන් එය සමච්චලයෙන් බැහැර කර ඇත. එයින් උරණවූ ප්‍රදේශ වාසීන් තම විරෝධය පළකරමින් විරෝධාතාවයකද පසුගියදා නියැලුණි.

කෙසේ නමුත් ප්‍රෙදේශවාසීන්ගේ උද්ගෝෂනයෙන් පසුව අදාල හමුදා කඳවුරේ ප්‍රධානීන් විසින් මෙම සිද්ධියට සම්බන්‍ධ හමුදා සෙබළා මාන්කුලම් පොලීසියට භාරදී තිබේ.

ඉන්පසුව අධිකරණයේ හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත්කළ මෙම හමුදා සෙබළාව අතවරයට පත්වූ එම ළදැරිය විසින් වවුනියාව අධිකරණ විනිසුරු ඉදිරියේ හඳුනාගෙන තිබේ.

යුද්ධය අවසන්වීමෙන් පසුව අතිවිශාල හමුදා සාමාජිකයින් පිරිසක් තවමත් ගාල්කර තිබෙන මෙම ප්‍රදේශයේ සාමාන්‍ය ජන ජීවිතයට මෙවන් කුරිරි හමුදා සෙබළුන්ගෙන් එදා මෙන්ම අදත් තාඩන පීඩනය එල්ලවෙමින් තිබීම නින්දා සහගත ක්‍රියාවකි. කුඩා දැරියකට සිදු වූ අවලම් ක්‍රියාවක් නිසා ප්‍රදේශවාසීන් උරනවූ අතර, දිනපතාම පාහේ වැන්ඳඹු කාන්තාවන්ගේ නිවෙස්වලට හොර රහසේ ඇතුල් වෙමින් ඔවුන් බියවද්දමින් සමූහ වශයෙන් කෙරෙන දූෂනයන් ඉවසාගෙන සිටීමට ප්‍රෙදේශවාසී බොහෝදෙනකු කලක සිට පුරුදුව සිටින බවයි අප සමඟ අද්හස් දැක්වූ නම සඳහන් කිරීමට අකමැති ප්‍රදේශවාසියකු සඳහන් කර සිටියේ.

ළදැරිය දූෂණය කළ පුද්ගලයාව අත්තඩංගුවට ගෙන නීතියේ ඉදිරියේ තබන්නයි මෑතකදී පැවති විරෝධතාවයේ සේයාරුවකි.

පිංතූරය GTN එකෙන්
සටහන : වසන්ත බංඩාර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *