කත්මන්ඩු ගුවන්තොට ඉසුරැ සොයා සිය ශ්‍රමය පූජා කිරීමට ගුවන් ගතවීමට පේලි ගැසුනු නේපාලි තරැණයින්ගෙන් පිරී ගොස් තිබුණි. ලාබ ටෙට්රන් කොටන් කලිසම් සහ ඊට උඩින් වැටුනු අත් කොට කමීස හෝ ටි ෂර්ට් ඇඟ ලූ ජීවිතයේ, සුපිපිත යෞවනය විඳිමින් සිටිය යුතු තරැණ සේනාවක්ම එකා පසු පස පේළි ගැසුනේ තමන්ට හිමි ගුවන් ආසනය අනෙකෙකුට හිමිවෙතැයි යන බියෙන් මෙනි. ඒ හැමකෙකුම පිටෙහි එල්ලුනු ගමන් මල්ලකි. දෙපා වැසී සෙරෙප්පු හා කැන්වස් සපත්තු වලිනි. ගුවන් ගමන් බලපත්‍රයත් ගුවන් ගමන් ටිකට් පතත් අතින් මිටිකරගෙන සිටි ඔවුන්ගේ මුහුණූ හිස් බැල්මෙන් අඳුරැ වී තිබුණි. වත්මනෙහි අපේ දකුණු ආසියාතික ගුවන් තොටවල් අන්තර් ජාතික ශ්‍රම සූරාකෑමේ ජීවමාන සංකේත වෙති. ඩකා, කරච්චි, කොළඹ, මාලේ හෝ මේ කත්මන්ඩු ගුවන්තොට යන සියල්ල පිරෙන්නේ අන්තර් ජාතික ප්‍රාග්ධනය හමුවෙහි ලාභ ශ්‍රමය සැපයීමට කේවල් කැරෙන යෞවනය විසිනි.
ඩුබායි බලා යන ගුවන් යානය පමාවනු ඇතැයි ගුවන් තොට නිලධාරිනියක කෑ ගසා කීවේ ඔවුන්ට ය. සැනෙන් ඔව්හු විසිර ඈදි ගැනීමට ආසන සොයන්නට වූහ. ආසන දෙපේලියක් සැනෙන් පිරැණි. අපට පිටු පසින් වූ ආසන දෙපේලිය අරක් ගෙන තිබුනේ නේපාලයට සංචාරය පිණිස බටහිරින් ආ තරැණ පිරිස් ය. දෛවයේ සරදමකට මෙන් මේ දෙපිරිසම එකම වයසේ වූහ. අප සිටි දෙපේලිය මැදින් ඒ යෞවනයින් පාවී ගියේ කරවටා දැමූ අතින් යුතුව තෙදොල් වෙමින් සිනහ නගමිනි. කෙටි කළිසම් හෝ සාය හෝ ඩෙනිම් සමඟ ගැළපෙන උඩුකය ඇදුම් ලා සිටි ඔව්හු ගමන් මළු කිරි කිරි හඬින් ඇදගෙන ගියහ. ඒ පිටුපස දෙපේලිය දෙසින් ඇසුණු කොක් හඩලෑම් නේපාල තරුණ ශ්‍රමිකයින්ගේ දෙපේලියෙහි වූ අවිනිශ්චිතවූත් දුක්බරවූත් නිහඬතාවය තීව්ර කළේ ය. පුදුමයකට මෙන් නේපාල තරුණයින් කිසිවකු පිටුපස දේපේලිය කරා ගියේ නැත. එනයින්ම ගිටාරයක් අතින් ගෙන මළානික පෙනුමැති එක් සුද්දෙකු හැරැණ විට අන් කිසිදු සංචාරක තරැණයකු හෝ තරැණියක අප සිටි පේළිය කරා ආවේ ද නැත.
මේ දෙපේලිය මැද මනෝමය ආසනයක් සොයන මට ආචාර්‍ය උපාධිය පිණිස ශ්‍රී ලංකා සරණාගතයින්ගේ අනන්‍යතා උභතෝකෝටිකයින් විමසා බලන මිතුරියක එවා තිබූ පළමු පරිච්ජේදය සිහි විය. එම පරිච්ජේදයට යම් යම් එක් කිරීම් කළ මම මෙසේ ලියා යැවීමි. “අනන්‍යතාවය සෙවීම සරනාගත/ පිටුවාහල් ජීවිතයේ සදාතනික අරගලයක්”. මා කවරෙක්ද? මා බටහිරයන්ගේ පසුපස පේලියටත් නේපාලි ශ්‍රමිකයිනගේ ඉදිරිපස පේළියටත් අයත් නැත. පසුපසින් ඇසන්නේ නිදහස් ජීවිතයක රාවය යි. ඉදිරිපසින් පෙනෙන්නේ සමාජ අසාධාරණත්වයේ සහ ශ්‍රම සූරා කෑම පිළිබඳ සංකේතය යි.
ගුවන් තොටෙහි සිසිරා ගිය දූවිලි කුණාටුවක් විසින් ලක්ෂ්මී සමඟ වූ දිර්ඝ සංවාදය දෙසවන්හි දෝංකාර නැංවී ය.
ඇගේ කුඩා කුලී නිවහනෙහි, මේස පරිඝනකයට පැත්තකින් බිත්තියේ එල්ලා තිබූ මාකස්, එංගල්ස්, ලෙනින්, ස්ටාලින් සහ මාඕගේ ජායාරෑප පෙළ සමඟ ජායාරැපයකට පෙනී සිටින ගමන් ඇය මෙසේ කීවා ය. “සමහරැ ස්ටාලින්ට කැමැති නැහැ, ඒත් මට මේ ජායාරෑප දුප්ත්කම නැති කිරීම සමාජවාදය සහ විප්ලවය පිළිබඳ සංකේත. මං ඒකට ආසයි”. අනන්‍යතාවය ජීවත්වීම සහ ජීවිතයේ අරමුණු උදෙසා අප ගොඩ නඟා ගන්නා මෙවළමක්යැයි තර්ක කළ පෙර කී ආචාර්‍ය නිබන්ධයේ පළමු පරිච්ජේදය යළි සිහි විය.
මාඕවාදී ජනමාධ්‍යවේදිනියක වන ඇය, නේපාලය හැර ඒමට දෙදිනකට පෙර දවල්කෑමට එන්නැයි ආරාධනයක් කලේය. නේපාලයෙහි වෙසෙන ශ්‍රී ලාංකික ස්වයං- පිටුවහලකු ද සමඟ එහි යන විට පමා තිබුනෙන් ඇය මඟට පැමිණ සිටියා ය. “ඔබට පාර වරදින්න පුළුවන්, ඒකයි මං ආවේ”, යැයි කී ඇය මඟ දිගට දොඩමළුවෙමින් විහිළුවට මෙසේ කීවා ය. “දන්නවද මට කතා කරන්න ගත්තම නවත්තන්න බැහැ”. චතුර ලෙස ඉංග්‍රිසි බස හසුරැවන ලක්ෂ්මී මැද පංතික පවුලකින් පැවත එයි. ඇගේ පුංචි නිවහනට පා ගමනින් පටු වීදි දිගේ ලහි ලිහියේ යන ගමන්ම “මේ හරියේ ඉන්නේ ඔක්කොම තාපාවරැ. ඒ කියන්නේ ක්ෂත්‍රියන්. ඒකයි පිළිවෙළකට තියෙන්නෙ”. ක්ෂත්‍රියන් යනු රජ පෙළතට නෑකම් කියන පාලක ජන කණ්ඩායම වූ අතර ලක්ෂ්මී අයත් වුයේ ඊට ඉහළින් සිටින බ්‍රාක්මණ ජන කන්ඩායමට ය.
මා එහි ගියේ ඇගේ මාඕවාදී ගරිල්ලා ජනමාධ්‍ය ජීවිතය පිළිබද ආරම්භ කළ සම්මුඛ සාකච්ජාවේ අඩු පාඩු පුරවා ගැනීම පිණිසත් ” රේඩියෝ චයිල්ඩ්” යන ආදර නමින් ගරිල්ලන් හැදින් වූ මහ වනය මැද උපත ලද ඇයගේ දියණිය දැක ගැනීම පිණිසත් ය. විප්ලවයට එක්වීම පිනිස නිවෙසින් පලා ගොස් මහ වනය මැද වූ මාඕවාදී කැරලිකරැවන්ගේ ගුවන්විදුලි සේවාවෙහි ඉංග්‍රිසි නිවේදිකාව ලෙස දිවි ගෙවා ඇති ඇගේ ජීවිතයෙහි විප්ලවීය අධිශ්ඨානය නොනිමි ය. විප්ලවය සහ පාර්ලිමේන්තුවාදය අතර වන විවාදය හරහා මාඕවාදී කදවුරෙහි ඇතිව තිබෙන බෙදීම ගැන කණස්සළු වන නමුත් සාම ගිවිසුමට එළඹිම නිවැරදි තීරණයක් යැයි ඇය විශ්වාශ කරයි. ” රටේ දුප්තුන්ට තවමත් විප්ලවයෙන් ලැබුණු දෙයක් නැහැ, දස දහස් ගනන් දිවිපිදුව විප්ලවය සහ සමාජ සාධාරණත්වය වෙනුවෙන්. අපට අයිතියක් නැහැ, අරගලය අතහරින්න. ”
අප එක්ව දවල් කෑම කන අතරේ ඇය මෙසේ කීවා ය. “කෑම රහ නැත්ද? අපේ කඳුකරයේ මිනිස්සු නිකම් අල විතරක් තම්බගෙනත් කනවා. කඳුකර ගැහැණු උදේ පහට නැගිටලා හරකුන්ට තණ කොළ කපන්න යනවා. දර ගෙන්න යනවා. ඊට පස්සේ වගා වැඩට. වෙලාවක් නෑ හරියට උයා ගන්න. ඒනිසා කඳුකරයේ ආහාර සංස්කෘතිය දුර්වල යි.” බත්, පරිප්පු හොදි, කුකුල් මස් සහ කංසා ඇට සපිරි සළාදයක් දහවල් කෑමට ඇය පිළියෙළ කළා ය. ” අපි දෙන්න ගියා දුවට එයා ඉපදුන තැන පෙන්වන්න. දවස් හතක පාගමනේ දුර. අපි ඇවිදගෙනමයි ගියේ. පාරවල් නැහැ. එහෙන් තමයි කංසා ඇට ගෙනාවේ. බය වෙන්න එපා. මත් වෙන්නෙත් නෑ. තහමමුත් නෑ” ඇය සිනා සෙමින් කීවා ය.
පස් දිනක් පුරා සුමිට් හෝටලයේ මුළුදුන් ජනමාධ්‍යවේදී ආරක්ෂාව පිළිබද වැඩ කන්ඩායමේ ලක්ෂ්මී ද එක් සාමාජිකාවක් විය. ඇය පමණක් නොව අප අතර, කලින් මාඕවාදී සටන්කරැවන් වූ දැන් ජනමාධ්‍යවේදීහු වන තවත් ගනනාවක්ම සිටියහ. ඒකාකාරිකම දැනුම් දීමක් වශයෙන් පිට වන ඈනුම් යටපත් කිරීමට ඔව්හු ඉළ ඇදෙන විහිළු කතා කීහ. බෙදී ගිය මාඕවාදී දෙපාර්ශයටම මෙන්ම නේපාලයෙහි සෑම දේශපාලන ධාරාවකටම වාගේ ඇගෑළුම්කම් දක්වන ජනමාධ්‍යවේදීන් සහ වේදිනියන් අපේ වැඩ කන්ඩායමේ විවිධත්වයට සහ අනොන්‍ය ගරුත්වයට රුකුළක් වූවා මිස මතභේදයට උල්පන්දමක් වූයේ නැත. ගී ගයන විට හැමෝම නැටූහ. හූ කියන විට හැමෝම එක් වූහ.
සුමිට් හෝටලයේ කෑම අරැචියෙන් මිදී සවසක කත්මන්ඩුවෙහි වෙන වෙනත් ශ්‍රී ලාංකික ස්වයං-පිටුවාහල් යුවලකගේ කුලී නිවසට ගියෙමි. වටරවුම් පාරෙන් වක්‍රපාත් හන්දියට ගොස් ඇවිද එහි යා යුතු විය. ඇත්ත නේපාලය, හෝටල් කාමර කෙරෙන් කොතරම් දුර දැයි පැය බාගයක ඒ ගමනාන්තය ඇස් ඉදිරිපිටට ගෙන ආවේ ” මෙන්න බලාපන්” කියන්නාක් මෙනි. අපිරිසිදු සහ දූවිලි ගහණ පදික වේදිකාවෙහි තැබු එවැනිම මේස මත මිනිස්සු මොමෝ කමින් සිටිය හ. විදෙස් සගයින් සමඟ සුව පහසු හෝටලයක අඩ අඳුරෙහි බියර් වලින් සන්තර්පනය වී, එළවළු මොමෝ භෝජනය කර නේපාලි රැපියල් දහසක් ගෙවූ හැටිත් මෙවැනි පදික කඩයක නිවෙස්හි පෙරන රොස්කි බී මීහරක්මස් මොමෝ කා රැපියල් සියයක් පමණක් ගෙවූ හැටිත් සිහි වී මට හීන් හිනාවක් ගියේ ය.
ආර්ථික පිටුවහල/සරණාගතවීම ආසාවකි. එනමුත් දේශපාලන පිටුවාහල අවසානයන් නැති විශම වක්‍රයකට වැටීමක් වැන්න. ජීවිතය සමාජයෙහි පහළම තලයේ මට්ටම බවට පත් වෙයි. නිමක් නැති අපේක්ෂාව ජීවන හුස්ම බවට පත්වෙයි. එවැනි පිටුවහල් යුවළක කුඩා නිවහනෙහි බිම එරමිණිය ගොතා ගෙන වියළාගත් හරක් මස් දැමූ පොල් සම්බල් සහ මිරිදිය කරවල සමඟ තරායි පෙදෙසින් ගෙනා කොස් රෑට කෑ අපි ආ ගිය කතා ද විය හැකි කතා ද දෙඩමින් ලෑලි ඇඳන්වල වක ගැසී නිදා ගත්තෙමු.
සෑම යහපත් දෙයක් ම අවසානයට පැමිනෙන්නේ යැයි කියන්නාක් සේ ආපසු ඒමට දිනය ළඟා විය. යන්නේ කොතැනකටදැයි සිතන්නට ඉඩක් නොතබා ඉරණම ඒ බව තීරණය කර තිබුණි. ශ්‍රමය විකිනීමට මැද පෙරදිග යන තරුණයින්ට ගුවන් යානයේ පසුපස අසුන් ගන්වා තිබුණි. කත්මන්ඩු සිට ඩොහා දක්වා සහ ඩෝහා සිට ජිනීවා කරා පියාඹන එකම සමාගමේ ගුවන් යානයන්හි වූ වෙනස කත්මන්ඩු ගුවන් තොටෙහි පසුපස සහ ඉදිරිපස පේළි සිහි ගැන්වීය. ජීනීවා කරා යන කෑම වේල චිස් ද ජැම් ද බටර් ද යෝගට් ද දොඩම් යුෂ ද විසින් වර්ණවත් කළේ ය. ගුවන් සේවිකාව ආහාර බන්දේසිය තැබීමට පෙර ඊට යටින් පිරිසිදු කඩදාසි ලේන්සුවක් එලුවා ය. තේ සහ කොපි අඩුවක් නොවුනි. ශ්‍රමිකයින් ඩෝහා ගුවන් තොටින් බැහැර ගෙන යනු දුටු බව පසක් විය.
ජීනීවා. ගුවන් තොට කුඩා ය. පිරිසිදු ය. ඉක්මන් ය. කිසිවක් පිරවීමට නැත. මුහුණ බලා, ගමන් බලපත්‍රය පරිඝණකයෙන් පරීක්ෂා කළ ආගමන විගමන නිලධාරියා සුබ දවසක් කීය. තීරැබදු රහිත සාප්පුවෙන් රහමෙර බෝතලයක් ගෙන අයකැමිවරිය වෙත ගියෙමි. “පාස් පෝර්ට් එක දෙන්න”. ඈ මන්දස්මිතිය පෑවා ය. “මේ මොකෙක්ද , මං අදයි දැක්කේ?” ඇය විමතිය පෑය. “ඇත්ත, මිස් ඕක පාස්පොර්ට් එකක් නොවෙයි. ටැවල් ඩොකියුමන්ට් එකක්, මං පිටුවහලෙක්, ඕකෙ මං අයිති මොන රටටද කියළ නෑ,”
“ඔහෝ, නෝ ප්‍රෙබ්ලම්, මට යන්න තියනවා, සුබ දවසක්” කී ඇය දිව යමින්ම ආපසු හැරී මෙසේ කීය. “ජින් බෝතලේ අමතක කරන්න එපා. මං බෑගයකට දැම්මා” ජංගම දුර කථනය නාද විය. “බැස්ස ද? බතුයි, පරිප්පුයි, සම්බලුයි කන්න එන්න” ඒ හඩ ආවේ කත්මන්ඩු හෝ කොළඹ හෝ ජිනීවා හෝ සිට දැයි නිච්චියක් තිබුනේ නැත.
සුනන්ද දේශප්‍රිය | Sunanda Deshapriya
උපුටාගැනීම: විකල්පයෙන්