වැලිවේරියේ පසුගිය දිනකදී ඇති වූ සිදුවීම අනිවාර්යෙන්ම මිනී මැරුමක් බවත්, මෙය නිරායුධ මිනිසුන් නිරපරාදේ මරා දැමීමක් බවත් එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
මේ සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන අධිකරණ පරීක්ෂණයක් ඉල්ලා සිටින බව අද(07) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේය.
එසේම යුධ හමුදාවටත් ජනතාව විසින් වෙඩි තබා ඇති බව පවසා මේ වන විටත් ආණ්ඩු පක්ෂයෙන් පාර්ලිමේන්තුවේදී අලුත් චෝදනාවක් ගොඩනගමින් සිටින බව කිරිඇල්ල මහතා පෙන්වා දුන්නේය.
වැලිවේරියේදී ඇති වූ ගැටුම්කාරී තත්ත්වයට ආරක්ෂක අමාත්‍යංශය මැදිහත්වීමට කිසිදු උවමනාවක් නොමැති බවත්, මේ සිද්ධියට සම්බන්ධයෙන් මැදිහත් වීමට අවශ්‍ය වී තිබුණේ ජල සම්පාදන අමාත්‍යංශය හා පරිසර අමාත්‍යංශයට බව හෙතෙම සඳහන් කළ සිටියේය.
කෙසේ වුවද මේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය හා හමුදාව අතර ගැටුම්කාරී තත්ත්වයත් හටගෙන ඇති බවත්, පොලීසියේ වගකීම හමුදාව විසින් භාරගෙන අති බවත් ඒ මහතා එහිදී සඳහන් කළේය.
නිරායුධ මිනිසුන් සඳහා වෙඩි තැබීමට අණ කළේ කවුරුන් විසින්ද යන්න හෙළි කරන ලෙස අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද හෙතෙම පැවසීය.
එසේම වතුර ටැංකි ඉල්ලපු මිනිසුන්ට ලබා දුන්නේ යුධ ටැංකි බවත්, මේම සිද්ධියෙන් උතුරේ කුමක් සිදු වූවාද යන්න
ජාත්‍යන්තරය මේ වන විටත් තේරුම් ගෙන ඇති බවත් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එහිදී සඳහන් කළේය.
ශ්‍රී ලංකා හමුදාව යුද්ධය දිනු පමණින් නිරායුධ සිවිල් වැසියන්ව ඝාතනය කිරීමට ඉඩ දිය නොහැකි බවත්, මෙම සිද්ධියෙන් හමුදාවේ කීර්තිනාමයට කැලලක් සිදු වී ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
එම මාධ්‍ය හමුව ඇමතු බස්නාහිර පළාත් එ.ජා.ප විපක්ෂ නායක මංජු ශ්‍රී අරංගල මහතා කියා සිටියේ ආණ්ඩුවට ජන බලයට වඩා ධන බලය ලොකු වී ඇති බවත්,මේ ආණ්ඩුව ඉදිරියට යන්නේ බෞද්ධ ලේබල් අලවාගෙන බවත්ය.
තවද වැලිවේරියේ ඇති වී තිබු සිද්ධිය උතුරේ යුද්ධයට දෙවැනි වී නොමැති බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
උපුටාගැනීම: අද දෙරණ