ලග්ගල පොලීසියේදී ධරුනු ලෙස පහරදීම්වලටත්, හිංසනයටත් ලක් වූ බව කියන තරුණයෙකු ලග්ගල හත්තොට අමුණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මාතලේ මහ රෝහලට මාරු කර යවා තිබේ.
මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ ලග්ගල කළුගඟ හත්තොට අමුණ ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකු බවයි වාර්තාවන්නේ.
පසුගිය දිනෙක වැලි පැටවු ටිපර් රථයකට යටවී මවක හා දරුවෙකු මිය ගිය අතර ඊට විරෝධය පළකර ප්‍රදේශවාසී ජනතාවගේ සහභාගිත්වයෙන් උද්ඝෝෂණයක්ද පැවැත්විණ.
මෙම උද්ඝෝෂණය සංවිධානය කිරීමේ වරදට අදාළ තරුණයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ලග්ගල පොලීසියේදී තමාව නිරුවත් කර ඇඳකට දමා පහරදුන් බවත්, පොලිස් ස්ථානයට පිටුපසින් ඇති කළුඟඟේ හිස ඔබමින් ද පහරදුන් බවත් හිංසනයට ලක්වූ තරුණයා පවසයි. එසේම ගං ඉවුරේ ගසක අත්තක් පහත් කර තමාගේ අත්දෙක ගැට ගසා පොලීසිය එම අත්ත අතහැරිය බවත් එහිදී තමාව ගඟට වැටුණු බවද එම තරුණයාවැඩිදුරටත් පවයි.
පසුව අධිකරණයට ඉදිරිපත් කර ඇති මෙම තරුණයා ඇප මත නිදහස් කර ඇති අතර පොලීසියේදී සිදුවු පහරදීම්වල ප්‍රතිඵලයක් ලෙස මේවන විට රෝහල්ගතව තිබේ.
වැලි පැටවූ ලොරිවල කිසියම් භාණ්ඩ වගයක් අතුරුදහන් වී ඇති බවත් මේ ගැන එම තරුණයාගෙන් ප්‍රශ්න කළ බවත් කියමින් පොලීසිය මෙම සිදුවීම වෙනතකට හැරවීමට සුපිරුදු උත්සාහයන් ගනිමින් සිටී. ඒ සඳහා අවම බලය පාවිචි කළා යැයි කයිවාරු ගහන පොලීසියේ මහත්වරුන්ගෙන් අප අසන්නේ එල්ලා පහරදීමත් ගසක අත්තක එල්ල ඔහු ගඟට වැටෙන තුරු පහරදීමත් අවම බලය වන්නේ කෙසේද…?
සටහන: වසන්ත බංඩාර