සාමාන්‍ය

පිල්ලේගේ ශ්‍රී ලංකා සංචාරය සාර්ථකයි

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේ මහත්මිය ශ්‍රී ලංකාවේ සංචාරය කරමින් සිදුකළ වැඩ කටයුතු සම්බන්ධයෙන් සිය සංවිධානය සියයට සියයක් තෘප්තිමත් වන බව එම සංවිධානය පවසයි. බදාදා (04) නිව්යෝක් හී එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී පැවැති පුවත්පත් සාකච්ඡාවකදී මේ බව පළ කළේ එහි මහ ලේකම් බෑන් කී මූන් මහතාගේ මාණ්ඩලික ප්‍රකාශක ෆර්හාන් හක් මහතා විසින් ය.

ශ්‍රී ලං‍කාවේ දී නවනීදන් පිල්ලේ මහත්මිය හමුවේ සාක්කි දුන් සමහර සාක්ෂිකරුවන්ට සහ මානව හිමිකම් නියෝජිතයින්ට රජ‍‍යේ හමුදා සහ තවත් පාර්ශව විසින් විවිධ තර්ජන කර තිබෙන බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයට වාර්තා වී ඇතැයි එම පුවත්පත් සාකච්ඡාවේදී හක් මහතා පවසා තිබේ.

“අපි අවධාරණයෙන් කියනවා, කිසිදු පුද්ගලයකුට, කිසිදු විටෙක, කිසිදු තර්ජනයක් හෝ බිය ගැන්වීමක් සිදු නොකළ යුතු බව. විශේෂයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉහළ පෙළේ නිලධාරීන් හමුවේ සාකච්ඡා කරන කිසිදු පුද්ගලයෙක්ට එම සාකච්ඡාවෙන් පසු බිය ගැන්වීම්, තර්ජන නොකළ යුතුයි. ඒ වගේම අපි ධෛර්‍යමත් කරනවා ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සංවිධාන විසින් ඉටු කරන රාජකාරි තවත් ඉදිරියට පවත්වා ගෙන යන්න” යැයි හක් මහතා පවසා ඇත.

ශ්‍රී ලංකාවේදී මුහුණපෑමට සිදු වූ සමහර සිදුවීම් ගැන නවනීදන් පිල්ලේ මහත්මිය එක්සත් ජාතීන්ගේ සංවිධානයට සැපයූ වාර්තාවේ සඳහන් කර තිබෙන බව පැවසූ හක් මහතා ඒ පිළිබඳ සංවිධානයේ අභ්‍යන්තර පරික්ෂණයක් සිදු කොට තවත් කරුණු ඉදිරියේ දී ජනමාධ්‍යයට ඉදිරිපත් කරන බව පවසා තිබේ.

ලක්බිම ඇසුරෙන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *