ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා භාරයේ පවතින රැඳවුම් කඳවුරුවලදී මේ වසර ඇතුලත පවා කාන්තාවන් සහ පුරුෂයන් ලිංගික දූෂණයට ලක් වී තිබෙන බව බීබීසී ලෝක සේවයේ Our World වැඩසටහන මගින් කරන ලද ගවේෂණයකදී හෙළි වී තිබේ.
එසේ දූෂණයට සහ වධ බන්ධනවලට ලක් වූ කාන්තාවන් සහ පුරුෂයන් දොළොස් දෙනකු තමන්ට හමුවූ බවයි බීබීසී ය වෙනුවෙන් ගවේෂණයේ යෙදුනු බීබීසී යේ හිටපු කොළඹ වාර්තාකාරිය ෆ්රාන්සිස් හැරිසන් වාර්තා කරන්නේ.
බ්‍රිතාන්‍යයේදී වෛද්‍ය පරීක්ෂණවලට භාජනය කරනු ලැබීමෙන් අනතුරුව වෛද්‍ය විශේෂඥයන් විසින් නිකුත් කරන ලද වෛද්‍ය වාර්තා ඒ අතරින් බහුතරයක් අත තිබෙන බවද ගවේෂණයෙන් හෙළි විය.
නන්දනී ඒ දොළොස් දෙනා අතර සිටින එක් දෙමළ තරුණියක්. මේ වසරේ මුල භාගයේදී සිය නිවසට පැමිණි කණ්ඩායමක් තමන් බලහත්කාරයෙන් පැහැර ගනු ලැබූ බවයි, ඇය පවසන්නේ.
“පස් දෙනෙක්, හය දෙනෙක් විතර ඇවිල්ල මම කොහේද කියල ඇහුව. අම්ම එයාලට ගෙදරට එන්න දුන්නේ නෑ. එතකොට ඔවුන් අම්මව තල්ලු කරලා දාල, මගේ අත පය බැඳලා වෑන් එකකට දාගත්ත,” යනුවෙන් ඇය කියා සිටියාය.
“පැය පහක් විතර වෑන් එකේ ගිහිල්ල උන් මාව කාමරේකට දාල එදා රෑ ඉඳලම එකා පස්සේ එකා මාව දූෂණය කළා. එයාල හමුදා ඇඳුම් ඇඳගෙන හිටියේ.”
නන්දනීගේ ලිංගේන්ද්‍රිය ඇතුළු ශරීරය පුරාම දුම්වැටි වලින් පිළිස්සුම් ලකුණු තිහකට අධික ප්‍රමාණයක් බ්‍රිතාන්‍යයේදී නන්දනී පරීක්ෂා කළ වෛද්‍යවරියට දැක ගන්නට ලැබිණ.
රවි, ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා විසින් වධ බන්ධනවලට ලක් කරන ලද බව පවසන තවත් තරුණයෙක්.
“මාව රඳවාගෙන හිටපු හැම තැනකදිම මට වද දුන්න. ප්‍රශ්ණ කරන්න කියල අරගෙන ගිහිල්ල, උන් මගේ වෘෂණ කෝෂ ලාච්චුවකට දාල තැලුව. සමහර වෙලාවට මට සිහිය නැතිවුනා. එතකොට උන් කාව හරි අර ගෙන ඇවිල්ල මාව දූෂණය කළා,” ඔහු පවසයි.
රඳවා ගෙන ප්‍රශ්න කරන අතරවාරයේ වධ බන්ධනවලට ලක් කරන ලද බව බව පවසන තවත් හය දෙනකුවත් බ්‍රිතාන්‍යයේදී තමන්ට හමු වුන බවත් ගවේෂණයේ යෙදුන ෆ්රාන්සිස් හැරිසන් පවසන්නීය.
ඔවුන් රැඳවුම් කඳවුරුවල සිටි බවට ලිඛිත සාක්ෂිද එයින් සිවු දෙනකු අත තිබූ බවත් ඇය සඳහන් කරයි.
බීබීසීය විසින් රැස් කරන ලද සාක්ෂි, එක්සත් ජාතීන් සහ අනෙක් මානව හිමිකම් සංවිධාන විසින් රැස් කරන ලද සාක්ෂි සමඟ සසඳා බැලූ මානව හිමිකම් සම්බන්ධ බ්‍රිතාන්‍යයේ ප්‍රධාන පෙළේ නීතිවේදිනියක වන කර්ස්ටි බ්රිම්ලෝ රාජ නීතිඥවරිය, මෙවැනි සාක්ෂි වැඩිදුර පරීක්ෂණ සඳහා ජාත්‍යන්තර අපරාධ අධිකරණයට යොමු කළ යුතු බව කියා සිටියාය.
“ඔබ රැස් කරලා තිබෙන තොරතුරු බොහොම බරපතලයි. අතවරයට ලක් වුනු අය පැහැර ගත්ත ආකාරය, ඔවුන්ට සිදු වුනු දේ, විශේෂයෙන්ම ඔවුන් නම්මා ගැනීම සඳහා සිගරට්වලින් පුච්චපු එක … ඒ හැම දේකම හුඟක් එක හා සමාන ලක්ෂණ තියෙනව. සිගරට් යොදා ගැනීම කියන්නේ කාලයක් මුළුල්ලේම අනිවාර්යයෙන්ම වධ බන්ධනවලට ඇතුලත් වෙන දෙයක්. ඒ ගැන කිසිම විවාදයක් නෑ. ඒක සංවිධානාත්මක දෙයක්ද, පුළුල් ලෙස පැතිරී ගිය දෙයක්ද? මම හිතන්නේ ඒ හැම දෙයක්ම සනාථ කරන්න අවශ්‍ය සාක්ෂි මෙතන තියෙනවා. ඒ කියන්නේ මේක මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයක් බවට කිසිම සැකයක් නැහැ,” බවයි රාජ නීතිඥවරිය පවසන්නේ.
එහෙත් ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව ඒ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරයි.
වධ බන්ධන සම්බන්ධ නඩු විභාග 15 ක් වත් මේ වන විටත් ශ්‍රී ලංකා අධිකරණයේ විභාග වෙමින් පවතින බව පවසන බ්‍රිගේඩියර්වරයා, සියලුම පුරවැසියන්ගේ ආරක්ෂාව ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව මගින් සහතික කොට තිබෙන බව බීබීසී සංදේශය කළ විමසීමකදී කියා සිටියේය.
පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට එරෙහිව ගෝලීය දෙමළ සංසදය විසින් ගෙන යමින් තිබෙන ප්රචාරක ව්‍යාපාරයේම තවත් පියවරක් ලෙසිනුයි හමුදා ප්‍රකාශකවරයා බීබීසී වාර්තාව හඳුන්වා දුන්නේ.
උපුටා ගැනීම – බීබීසී සංදේශය