ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවල අනු දැනුමක් නොමැතිව යාපනයේදී සිය පුතා පැහැර ගැනීම සිදු විය නොහැකි බව අතුරුදහන්වූ ලලිත් වීරරාජුගේ පියා, ආරුමුගම් වීරරාජු පවසයි.
සිය පුතා අතුරුදහන්වීමට පෙරාතුවද හමුදාවෙන් ඔහුට හිරිහැර සිදු වූ බවත් ඔහුගේ පියා පැවසීය. ඔහු ඒ බව කියා සිටියේ, ලලිත් කුමාර් වීරරාජු සහ කුගන් මුරුගානන්දන් මානව හිමිකම් ක්‍රියාධරයන් අතුරුදහන් වී දෙවසරක් පිරීම නිමිත්තෙන් සහ ලෝක මානව හිමිකම් දිනය සැමරීම් වස් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් කොළඹ කොටුවේ දුම්රිය ස්ථානය ඉදිරිපිට දියත් කරනු ලැබ තිබූ විරෝධතාවයකදී බීබීසී සංදේශය සමඟ අදහස් දක්වමින්.
අතුරුදහන් කළ ලලිත් සහ කුගන් වහා නිදහස් කරන ලෙසත් රට පුරා සිදුවන පැහැර ගැනීම්, අතුරුදහන් කිරීම් ඇතුළු ප්රජාතන්ත්ර විරෝධී ක්‍රියාවන් වහා නතර කරන ලෙසත් උද්ඝෝෂකයෝ රජයට බල කොට සිටියහ.
යතුරු පැදිය
ලලිත් සහ කුගන් අතුරුදහන් වූයේ 2011 වසරේ මානව හිමිකම් දිනය වෙනුවෙන් යාපනයේ මාධ්‍ය හමුවක් සංවිධානය කරමින් සිටියදී. පසුව ඔවුන් ගමන් ගත් යතුරු පැදිය කෝපායි පොලිසියේ තිබී හමුවීම විශේෂත්වයක්.
උද්ඝෝෂණයේදී සංදේශය සමඟ අදහස් දැක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්රචාරක ලේකම් පුබුදු ජාගොඩ ඔවුන්ගේ අතුරුදහන් වීමට සම්බන්ධ බවට ආණ්ඩුවට චෝදනා කළේය.
ලලිත් කුගන් පැහැරගැනීම සම්බන්ධයෙන් තවමත් පරීක්ෂණ පැවැත්වෙන අතර කිසිදු සැකකරුවකු අත් අඩංගුවට ගෙන නොමැති බවයි, ඒ පිළිබඳව කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සංදේශයට කියා සිටියේ.
ලලිත් හා කුගන් ආරක්ෂක අංශ මගින් රඳවා ගෙන සිටින බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂය කරන චෝදනාව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තරයේ ප්‍රතික්ෂේප කළේය.
උපුටා ගැනීම: BBC