අපරාධ

පාට පාට බොලිවුඩ් හීන වලට වෙඩි තියන මහපාරේ ගායකයෝ

බොලිවුඩ් කියන්නේ සිනමාවක්. ඒත් සිනමා කර්මාන්තයක සීමා මායිම් පහුකරල ඉන්දියාවේ සමාජ ජීවිතය තුළ පාට පාට ලෝකයක් මවන්නට බොලිවුඩ් සිනමාව සමත් වී තිබෙනවා. ඉන්දියාවේ, විශේෂයෙන් මුම්බායිනගරයේ පැල්පත් තුළ හිරවුණු ලක්ෂ ගණන් ජිවිත වෙලා ගත් දුෂණය, භීෂණය සහ පොලිස් රාජ්‍ය බලහත්කාරකම් ලස්සන බොලිවුඩ් සිහින ලෝකයක තවරා ඔවුන් මතම මුදා හරින්නේ ඔවුන්ගේ සැබෑ ජිවිත වල බුර බුරා පැන නඟින සැබෑ ගින්දර යටපත් කරමින්.

ඒත් මේ බොලිවුඩ් හීන සමඟ ගුවන්ගත වී සිටින මිනිසුන්ගේ හීන වලට වෙඩි තබා යළිත් මහ පොළව වෙත ගෙන ඒමට සමත් සංගීත රැල්ලක් මුම්බායි නගරයේ පැල්පත් තුළින් බිහි වී දවසින් දවස සමාජ ගත වෙමින් තිබෙනවා. “ගලි රැප්” (Gully Rap) නමින් ප්‍රසිද්ධියට පත් වෙමින් පවතින සංගීත රැල්ල නිර්මාණය කරන්නේ බොලිවුඩ්වල පැල්පත්වාසී තරුණයින්. තම ගීත තුළින් ඔවුන් කථා කරන්නේ පාට පාට බොලිවුඩ් හීන වල අනික් පැත්ත ගැන. හීන වල හිරවුණු ඔවුන්ගේ ජිවිත ගැන, රාජ්‍ය මර්දනය ගැන, දුෂණය ගැන. ඩොලර් ට්‍රිලියන් ගණන් පොහොසත් බොලිවුඩ් සිහින රාජ්‍යට මතවාදී වෙඩි ප්‍රහාර එල්ල කරන මේ තරුණයන් අත තියෙන්නේ සමාන්‍ය කැමරා ආම්පන්න, පුංචි පටිගත කිරීමේ යන්ත්‍ර, ජංගම දුරකථන වගේ සරල උපකරණ ටිකක්. ඒත් මේවා වලින් ඔවුන් නිර්මාණය කරන රැප් ගීත ඉන්දියාවේ බොලිවුඩ් හීන කර්මාන්තයට යටින් වෛරසයක් සේ පැතිර යනවා.

බි‍්‍රතාන්‍යයේගාර්ඩියන් පුවත්පතේ හනා පීටර්සන් තම පුවත්පත වෙනුවෙන් මේ ගලි රැප් රැල්ල ගැන පර්යේෂණයක් කරනවා. [ Poverty, corruption and crime: how India’s ‘gully rap’ tells story of real life ] ඇය කියා සිටින්නේ මේ රැල්ල 1970 වසරේ නිව්යෝර්ක්නගරයේ බිහි වූ හිප් හොප් සංගීත රැල්ලට හැම අතින්ම සමාන බවයි. නිව්යෝර්ක් නගරයේ ප්‍රධාන සංස්කෘතික ධාරාවෙන් පිටමං වූ කළු ජාතිකයන් සමාජයට එරෙහිව තමාගේ පීඩනය එළියට දැම්මේ හිප් හොප් සංගීතයෙන්. පසුව හිප් හොප් සංගීතය කළු ජාතිකයන්ගේ විමුක්ති ගී බවට පත් වුණා.

විසිහතර හැවිරිදි නවීඩ් ෂයික් (Naved Shaikh) කියන්නේ ගලි රැප් රැල්ලේ ඉදිරියෙන්ම ඉන්න තරුණයෙක්. ‘NAEZY’ කියන අන්වර්ථ නාමයෙන් ප්‍රසිද්ධ ඔහු ජීවිතය පටන් ගත්තේ මුම්බායි නුවර Khatarnak කියන පැල්පත් ප්‍රදේශයෙන්. මේ පළාත ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ මත් ද්‍රව්‍ය ව්‍යාපාර, මංකොල්ලකෑම් වලට. මේ අඳුරු ලෝකය ඇතුලේ ඔහුටඇමරිකාවේ රැප් ගායකයින් වන Tupac සහ Notorious BIG වැනි අයගේ අභාසය ලැබෙනවා. ප්‍රතිඵලයක් ලෙස ඉන්දියාවේ ආබාධිත සමාජයේ අඳෝනාව ඔහු විසින් ගලි රැප් ගීතයට නඟනවා. මේ ගීත මුළු ඉන්දියාවේම ප්‍රසිද්ධ වෙනවා.


Aafat!- Naezy (Introductory Verses) [@ YoutTube]

මේ ජනප්‍රියකම ගැන නවීඩ් ඉන්නේ හරිම අවදියෙන්. මේ ඔහුගේ වචන-“නියම ඉන්දියාව කියන්නේ දුප්පත්කම, දුෂණය සහ බලහත්කාරකම පිරිච්ච තැනක්. බොලිවුඩ් සිනමාව කියන්නේ බොරු වීරයන් මවල ඒ වීරයින් ඇතුළේ මේ ඇත්ත හංගල දාන එක. රටේ ප්‍රසිද්ධ රැප් ගායකයින් කියන සිංදු වල තියෙන්නේ මොනවද? ලස්සන කෙල්ලෝ, මධුවිත පිරුණු පාට පාට ප්‍රිය සාද, සෙක්ස් වලින් පිරුණු බොරු සුන්දර ලෝකයක්. මට ඕනි වුණා අපේ මිනිස්සුන්ගේ අරගලය, බඩගින්න, මිනීමැරුම් වලින් ගහණ දිනපතා ජිවිත මේ සිහින වලට ආදේශ කරන්න. මම හැදී වැඩුනේ මේවා සමඟ. මං විතරක් නෙමෙයි, දහස් ගණන් ඉන්දියානුවන්…!”

තමන් විසින්ම තනු නිර්මාණය කොට ඔහු විසින් නිපදවන ගීත ඔහු හඳුන්වන්නේ “ජීවත්වීම සදහා කරන එදිනෙදා අරගල” යනුවෙන්.“ඉන්දියාව දැන් දියුණුවේගන යනවා. දුප්පතුන් තව තවත් දුප්පත් වෙනවා. උන් සහ පෝසතුන් අතර පරතරය තව තවත් වැඩිවෙනවා. මගේ පංතියේ මිනිස්සුන්ට මේ සමාජයේ තියෙන අවස්ථා වේගයෙන් ඇහිරෙමින් යනවා.”

ඉන්දියාවේ පාට පාට බොලිවුඩ් හීන ලෝකයට කදිමට ගැලපෙන සංගීතය හඳුන්වන්නේ “ඩේසි රැප්” යනුවෙන්. ඩොලර් ට්‍රිලියන ගණනක් වැයකොට නිපදවන ඩේසි රැප් සිහින ලෝකයට මහපොළවෙන් ලැබෙන උත්තරය තමයි ගලි රැප්. හනා පීටර්සන් සඳහන් කරන ආකාරයට ගලි රැප් වලට තියෙන්නේ මුදල් වටිනාකමක් නොව සමාජ වටිනාකමක්. ඒවා හදන්නේ සරල ආකාරයෙන්. බොහෝවිට ජංගම දුරකථන වල කැමරා උපයෝගී කරගෙන. ප්‍රචාරය කරන්නේ කට වචනයෙන්. එහෙමත් නැත්නම් YouTube මාර්ගයෙන්. වැඩේ කොයිතරම් සරල උනත් ඒ ගීතවලට බොලිවුඩ් හීන ලෝකය කොනිත්තාගෙන මහපාරේ මිනිස්සුන්ව තිගස්සවන්න පුළුවන් වෙලා තියනවා.

විසිපස් හැවිරිදි විවියන් ෆර්ඩිනන්ඩස් (Vivian Fernandez) කියන්නේ බොලිවුඩ් හීනය කොනිත්තපු තවත් තරුණයෙක්. ඔහු ජිවත් වුණේ මුම්බායි ගුවන්තොටුපොළ අසල පැල්පත් වල. ඔහුට අනුව මිනිහෙකුට ජීවත් වන්නට සිදු වන ලෝකයේ භයානකම ස්ථානය එතන. කුඩා කාලයේම ඔහුගේ මව මැද පෙරදිග රැකියාවකට යනවා. පියා ඔහුව අතහැර ගොස් තැන තැන බේබදු ජීවිතයක් ගත කරනවා. මෙවන් පරිසරයක හැදෙන වැඩෙන තරුණයෙක් අනිවාර්යයෙන්ම තෝරාගන්නේ පාතාල ලෝකය.


Yeh Mera Bombay- Divine (Hindi Rap) Official Music video [@ YoutTube]

ඒත් ෆර්ඩිනන්ඩස් වෙන විදිහකට හිතනවා. මිතුරෙක් සමග එකතුවෙලා ඔහු සිංදු කිහිපයක් පටිගත කරලා තමන් ජීවත්වෙන වීදියේ මිනිස්සුන්ට බෙදා හරිනවා. පසුව තවත් මිතුරන් කිහිප දෙනෙක් එකතු වෙලා YouTube එකට දානවා. මේ සිංදු වෛරසයක් වගේ මුම්බායි නගරයේ පැතිරෙනවා. ඊට පසු ඔහු ජංගම දුරකථන කිහිපයක් උපයෝගී කරගෙන තම ප්‍රථම මියුසික් වීඩියෝ එක කරනවා.

“මට කියන්න ඕනි මුම්බායිවල වීදි වල සැරිසරන මිනිස්සුන්ගේ ඇත්ත ජීවිත ගැන. මට පෙන්නන්න ඕනි මීඩියා වලින් පෙන්නන ලෝකයට වඩා අපි කොච්චර වෙනස්ද කියල. මං වගේ මිනිස්සුන් ළග අවි ආයුධ නෑ, සල්ලි නෑ. අපි හොඳට ඉගෙන ගෙන නෑ. අපි පුංචි කාලේ ඉඳලම ජිවත් වීමට අරගල කරනවා. මට ඕනි වුණේ ඒ අරගලය සංගීතය තුළින් පෙන්නන්න. දැන් මගේ වීදියේ බාබර් සාප්පු වලට ගියාම, පුංචි තේ කඩ වලට ගියාම මගේ සිංදු මිනිස්සු අහනවා මං දකිනවා. මං යමක් කරලා තියනවා කියල හැඟීමක් මට දැනෙනවා.”

රටේ ළමුන්ට සහ කාන්තාවන්ට සිදු වන අසාධාරණකම්, විශේෂයෙන් මුම්බායි නගරයේ සමුහ ස්ත්‍රී දුෂණ වලට එරෙහිව ඔහු ඉතා සරල, මිනිසුන්ට තේරෙන භාෂාවෙන් නිර්මාණය කරන ලද ගීත ජනප්‍රිය වෙමින් පවතිනවා. මේ ජනප්‍රියත්වය පිටුපස සැඟවී තිබෙන්නේ රටේ ප්‍රධාන ආර්ථික ක්‍රියාවලියෙන් ගිලිහෙන මිනිසුන්ගේ පීඩනය බවයි ගාර්ඩියන් පුවත්පතේ හනා පීටර්සන් පවසන්නේ.

BBC මාධ්‍ය ජාලය විසින් සංවිධානය කරන ලද 2016 වසරේ මහත් අවධානයට ලක්වුණු සංගීත කරුවන් අතරට විවියන් ෆර්ඩිනන්ඩස්ගේ නමත් තෝරාගන්නවා. මේ තෝරාගැනීමත් සමගම ඔහු ලෝක අවධානයට පත්වෙනවා. මේ සමඟම ඔහු ඉන්දියාවේ සංගීත තරුවක් බවට පත්වෙනවා.

නමුත් ෆර්ඩිනන්ඩස් කියන්නේ ඔහු තරුවක් නොවන බවයි. තමන්ගේ සංගීත ක්‍රියාවලියේ අරමුණ මුම්බායි නගරයේ වීදි වල සැරිසරන මිනිසුන් සිහිනයක අතරමං කරන බොලිවුඩ් සිහින මාලිගාවට වෙඩි තැබීම බවයි.

සරද සමරසිංහ

උපුටාගැනීම: බූන්දියෙන්

ඇසුර- The Guardian

Leave a Reply

Your email address will not be published. Required fields are marked *