එක්දාස් නමසිය හැට හත වසරේදී බොලිවියාවේදී ඝාතනය කරන ලදචේ, දෙදහස් දහසය වසරේ ශ්‍රී ලංකාව බලා පියාසර කරන ගුවන් යානයක අසුන්ගෙන සිටිනවා. ඊළඟ මොහොතේ ඔහු ගිනි කාෂ්ටක අවුවේ පිටකොටුවේ වීදි දිගේ ඇවිදගෙන යනවා. කොණ්ඩේ වවාගත්තු ටීෂර්ට් ඇඳගත්තු ‘ලෝකල් චේ’ලා අපේ චේගේ ඇඟේ හැප්පීගෙන, ගෑවී නොගෑවී යනවා. කියුබාවේ, බොලිවියාවේ, ආජන්ටිනාවේ පවා අහන්නට, දකින්නට නොලැබුණු තරමේ චේ සැමරුම් සන්නිපාතයෙන් ඔලුව ඔද්දල් වෙන චේ, තාප්පයක අලවා තිබුන චේ පෝස්ටරයකට පිට දී ඩිංගක් ඇල වෙනවා.
චේගේ දැහැන බිඳෙන්නේ මෝටර් සයිකල් වල බර බර සද්දෙන්. කොල්ලෝ කෙල්ලෝ ටික කඩිමුඩියේ සැමරුම් සවාරියක් යන්න සෙට් වෙනවා. ලාදුරු රෝගීන් සම්බන්ධයෙන් ඇති සමාජ ආකල්ප වෙනස් කරන්න චේ මෝටර් සයිකල් ගමනක් ගියාට මෙහෙ පුලුවන්ද ඔය ‘කරදර වැඩ’ කරන්න? ටීෂර්ට් ඇඳගෙන පපුව පුප්පගෙන, සද්දේ ඇතිව මෝටර් සයිකල් රවුමක් ගියානම් සැමරුම ගොඩ. මාධ්‍ය කට්ටිය වඳුරෝ වගේ වටේ එල්ලීගෙන ෆොටෝ ගහල පහුවදා පත්තරේ දායි. ඔය මදෑ.
ඔය අස්සේ ‘චේගෙ භාවිතාව’ වගේ වචනත් ඇහෙනව. හවානා සුරුට්ටුව වෙනුවට දල්වගත්ත ගෝල්ඩ්ලීෆ් එකක් සැරේට උරන ගමන් සැමරුම් වැඩේට සෙට් වෙලා ඉන්න අයගේ ඔලු ඇතුලට කිමිදෙන්න චේට පුළුවන් වෙනවා. ලීසිං කරලා ගත්ත මෝටර් සයිකලේ වාරිකය ගෙවන්න පස්ස පැත්ත ගෙවෙනකම් හැමදාම වැඩ කරන්න වෙන එක ඇත්ත. ඒ වගේද මේ වගේ වැඩකට සෙට් උනාම රතුපාට අයිඩෙන්ටියත් ආරක්ෂා කරගෙන හීනියට ෆන් එකක් ගන්න්ඩත් පුළුවන්. ‘දැනුවත් කරන්න’, ‘භාවිතය’, ‘හදාරන්න’ වගේ බර බර වචන ලොකු අයියල බලා ගනියි. පොඩ්ඩෝ තමාටම මුමුණ ගනිමින් සයිකල් ආම්බාම් කරනවා.
මූණට ඉර කාස්ටකේ නොවැටෙන්න තොප්පිය හරි බැරි ගහල හදාගත්ත චේ මෝටර්සයිකල් රොත්ත දිහාට තවත් බැල්මක් දානවා. ගියපාර මොටර් බයිසිකල් සවාරියට ආරම්භක සංඥාව දෙන්න ආපු කෙට්ටු කොට කෙනා මැරිල ජාතික කොඩියකින් වහල භූමදාන කළා කියල ආරංචි උනාට පස්සේ මෙදා පාර ඇවිල්ල ඉන්නේ වෙන කෙනෙක්. මහත, කොට… රැවුල්කාර හරිම හැන්ඩි තරුණයෙක්. හැමෝම ඉන්නේ හරිම සන්තෝසයෙන්. හරියට විනෝද ගමනක් යන්න සුදානම් වෙනවා වගේ. හිටිගන්මන් මේ සංවිධායක සහෝදරයින්ගේ හා චේගේ ඇස් එකට ගැටෙනවා. නායකයින් බිම බලාගන්නවා. ඒත් වැඩේ ලෙහෙසියෙන් අතහරින්නට අකමැති උප තත්වයේ සිටින සහෝදර නායකයෙක් ෆයිල් එකකුත් අරගෙන චේ ළගට කිට්ටු කරනවා.
“සහෝදරයා ආවට බොහොම ස්තුතියි. ඒත් ඔයාට මෙහෙ කරන්න රෝල් එකක් තියනවද දන්නේ නෑ. අපි හරියට ඔයා ගැන කථා කරනවා. ඔයා මොන මඟුලකට බොලිවියාවට ගියාද කියලත් හිතෙනවා. අනික ඇමතිකමකුත් දාල. ඔච්චර ලොකු ඉමේජ් එකකුත් තියාගෙන? පුදුමයි. අපි තවමත් ඔය ඉමේජ් එකෙන් වැඩ ගන්නවා. වසර 2020 වෙනකම් ‘චේ සැමරුම’ පේටන්ට් එක පවා අපි අරගෙන ඉන්නේ. අපි වැඩේ දෙනවා තිතට. දැක්කනේ මොටර්බයිසිකල් සෙට් එක.”
පුංචි සහෝදර පැටියාට හිනාවකින් දමා ගහපු චේ පිටකොටුවේ මැනිං මර්කට්ටුව පැත්තේ ‘වැඩකරන ජනතාව’ ඉන්න පැත්තට යනවා.
“ලොක්කා පැකේජ් එක දාහයි. ගන්නවද? එක එක ගන්නවට වැඩිය අම්බානක ලාබයි. සෙට් දෙකක් ගන්නවානම් තවත් අඩු කරලා දෙන්නං”
වැඩකරන ජනතාවගෙන් කෙනෙක් චේ මුහුණ ගහපු ටී ෂර්ට්, තොප්පි, මාල එල්ලගෙන චේ ඉස්සරහ ඉන්නවා.
“සහෝදරයා කොහොමද?”
“වරදක් නෑ ලොක්ක. මේ මුණ ගහපු කුණු තක්කාලි ගෙඩි වලට උනත් මේ දවස්වල පට්ට ඉල්ලුමක් තියෙන්නේ. මං පොඩි පැකේජ් එකක් හදල තියනවා. ටී ෂර්ට් එකයි, මාලෙයි, තොප්පියයි රුපියල් දාහයි. නැගල යනවා. පොඩි කාලයයි මේ ඉල්ලුම තියෙන්නේ. ලබන මාසේ ඉදල නත්තල් ගස් විකුනනවා. මේ ලොක්ක පොඩි කාරණයක් අහන්නද?”
“මොකක්ද ?”
“මේ ටීෂර්ට් එකේ ඉන්නේ කවුද බොස්? හැම අවුරුද්දෙම මේ කාලෙට මිනිහ ගැන බරසාරෙට කථාබස් රැල්ලක් යනව. ටීවී එකෙත් ලොකු කොකු මිනිස්සු ඇවිල්ල මිනිහ ගැන බරසාරෙට කතාව.”
“ඔයාගෙන් ඔය ටීෂර්ට් ගන්න කට්ටියගෙන් ඇහුවේ නැද්ද ඒ කවුද කියල”
“ඇහුව දොරේ. උන් දෙන්නේ කරකැවිල යන උත්තරනේ. දැන් ටිකකට ඉස්සෙල්ල කොල්ලෝ දෙන්නෙක් ඇවිල්ල දාහේ පටියක් දීල සෙට් දෙකක්ම ගත්ත. උන් කිවේ මෙයා සිරාම පොරක් කියල. එංගලන්තේ පවා කොල්ලෝ සෙට් මේකලු දැන් අදින්නේ. ගර්ල් ෆ්‍රෙන්ඩ්ට තෑගි දෙන්න කියල තොප්පිත් ගත්ත.”
“ඔයා කොහොමද දන්නේ මේවා මේ කාලෙට මාර්කට් වෙනව කියලා?”
“මෙහෙමයි බොස්. අපේ වැයික්කියේ මල්ලියෙක් තමයි හෝඩුවාව දුන්නේ. ඌ හවසට ගැන්සියට බහින කොට මෙයාගේ ටීෂර්ට් එක ගහගෙන බහිනවා. මිනිහට හොඳ සරුවට කථා කරන්න පුළුවන්. මිනිහගේ තෙල් ටෝක්ස් හරියට මේ දවස්වල් ටීවී එකට පාත්වෙලා අර කට්ටිය දාන ටෝක්ස් වගේමයි. යුක්තිය, සාධාරණේ දෝරේ යනවා දොරේ. ගැන්සියම කොර! මිනිහ තමයි කීවේ මේ දවස්වල මේ බිස්නස් එකට බැහැපන් කියල. ඌට හවසට බාගයක් වත් අරන් දෙන්න වෙනවා.”
වෙළඳ සහෝට සමු දීල අඩියක් දෙකක්වත් යන්න උනේ නෑ හෙණ ගෙඩියක් පාත්වෙනවා වගේ මාධ්‍ය කොලුවා දෙන්නෙක් කඩා පාත් වෙනවා. එකෙක් කැමරාවකුත් උළුක් කරගෙන.
“හ හ හා… පුදුමයි! අදහගන්නත් බෑ. සහෝදරයා අපිට වොයිස් කට්ටෙකක් දෙනවද. අපි අහවල් චැනල් එකෙන්. හැමෝම ඇවිල්ල වැඩේ වාත වෙන්ඩ ඉස්සෙල්ල වැඩේ කරමු කැරකිලා යන්න” කැමරා කොලුවා ලොකු බලාපොරොත්තුවකින් කෑ ගහනවා. මේ අල්ලපනල්ලේ අනෙක් මාධ්‍ය සගයා චේගෙ අතින් අල්ලාගෙන… චේ මාධ්‍ය සගයාගේ කාරුණික අත්අඩංගුවක..!
“සහෝදරය ලංකාව ගැන මොකද කියන්නේ. අපිට හොද වොයිස් කට්ටෙකක් ඕනි බොස්. හරිම සාමකාමී ජාතියක්. හරි සතුටින් ඉන්න මිනිස්සු ටිකක්. ඕව තමයි පිටරටවලින් ආපු අය කියන්නේ. මේ… යහපාලනය ගැන මොකද හිතෙන්නේ? අත් දෙක එහෙම පොඩ්ඩක් එහෙට මෙහෙට වීසි කරලා පොඩ්ඩක් බරට කට් එකක් ඕනි සර්….”
මේ අතර මාධ්‍ය සගයාගේ අත චේගේ ග්‍රහණයෙන් පොඩ්ඩක් බුරුල් වෙනවා. ඇසිල්ලකින් චේ ක්‍රියාත්මක වෙනවා. කකුල් දෙකට පණ අරගෙන දුවන්ඩ පටන්ගන්නවා. මැනිං මාර්කට්ටුවේ ‘වැඩ කරන ජනතාව’ වගේ වගක් නැතුව වැඩ…! චේ දුවනවා. මාධ්‍ය සගයොත් අරින්නේ නෑ…. කැමරා උළුක් කරගෙන පස්සෙන් හැල්මේ දුවගෙන එනවා.
“බොස් බොස් මේ කොහෙද දුවන්නේ? අන්න පත්තර කාරයොත් පස්සෙන් එනවා..” ටී ෂර්ට් විකුණන වෙළඳ සහෝදරයා කොහේදෝ ඉඳල ආයෙත් සෙට් වෙලා චේ එක්කම දුවන ගමන් අහනවා.
“මට මුහුද තියන පැත්ත පොඩ්ඩක් කියනවද යාළුවේ. පනින්ඩ හිතෙනවා හලෝ මුහුදට..!”
“වැඩක් නෑ සර්. මැරුණත් ගැලවෙන්ඩ හම්බ වෙන්නේ නෑ. ලබන සැරෙත් මේගොල්ලන්ට ඕනි උනාම සර්ව පණගහල ගන්නවා…!”
සරද සමරසිංහ
උපුටාගැනීම: බූන්දියෙන්