කිනම් හෝ ජන සමාජයක අද්භූත විශ්වාස ප්‍රවර්ධනය වීම සඳහා තත්කාලීන සමාජ ආර්ථීක දේශපාලනික නොවිධිමත් භාවය ද ඉවහල් වන බව පොදුවේ ලොව පුරා මානව හා සමාජ විද්‍යාඥයන් පිළිගන්නා සත්‍යයකි. එය ප්‍රායෝගික යථාර්ථයක් බවට පත්කරමින් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් වරින්වර වාර්තා වන පුනරුප්පත්ති කතා ජන මාධ්‍යයන් ඔස්සේ මේ දිනවල අප හමුවට පැමිණෙමින් තිබේ. එහෙත්, මීට කලකට පෙර අසන්නට ලැබුණු පුනරුප්පත්ති කතා කිහිපය මෙන් සුවිශේෂී ජනකාන්ත බවක් ඒවාට ලැබී නැත. හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාසමැතිඳුන්ගේ පුනරුප්පත්ති කතාව සහ අක්මීමන ගොනාමුල්ලේ මනුජ නම් සත් හැවිරිදි දරුවාගේ ඉහත ආත්ම විස්තරය මෑත කාලයේ එසේ ජනකාන්ත බවට පත් පුනරුප්පත්ති කතා අතරේ තිබේ. එහෙත් රණසිංහ ප්‍රේමදාස පුනරුප්පත්ති කතාව ‘ගජ බින්නයක්’ බව ඔබ හමුවේ සනාථ කිරීමට ප්‍රවීණ මාධ්‍යවේදී මහින්ද ඉලේපෙරුමට හැකි විය. එමෙන්ම මනුජ දරුවාගේ පුනරුප්පත්ති කතාව ඔහුගේ දෙමාපියන් මාධ්‍යකරුවන් නොමග යැවීමට තනා ගත් ‘රසවත් ප්‍රබන්ධයක්’ බව ‘ලක්බිම’ පාඨකයන් වෙත සනාථ කරවීමට මට හැකි විණි. ඉහත ආත්මයේදී තවත් පිරිසක් සමඟ වෑන් රථයකින් යමින් සිටියදී එහි දොර ගැළවී වැටීමෙන් තමන් ආකාලයේ මිය ගිය බව සඳහන් කරමින් එම දරුවා කළ ප්‍රකාශය උඩුගම ප්‍රදේශයේ ටිපර් රථ අනතුරක් හා ගළපාලීමට ඔහුගේ මාපියන් දැරූ අසාර්ථක උත්සාහය සහේතුකව ගෙනහැර දැක්වීමට මට හැකිවිය.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ හේතුවාදී ලේඛකයකු වන සැම්සන් ගුණතිලකලියූ ‘පුනර්භවයේ මනෝ මායාව’ නම් කෘතිය මගේ අතට පත් වූයේ නූතන පුනරුප්පත්ති කතා අතුරින් ගවේෂණයකට තරම් වන කරුණු සහිත කතා ප්‍රවෘත්තියක් පිළිබඳව ඉව අල්ලමින් සිටින අතරේය. ‘පුනර්භවය පිළිබඳ භෞතිකවාදී විශ්ලේෂණයක්’ යන වදන් පෙළ ගුණතිලකයන්ගේ කෘතියේ ග්‍රන්ථ නාමයටම එක් කොට තිබිණ. එම කෘතියේ 72-73 පිටුවල මෙසේ ද සඳහන්ව තිබිණ.
“පුනරුප්පත්ති කතා සියල්ලේම පොදු සමාන කමක් පවතී. එනම් යම් භාෂාවක් කතා කරන කෙනෙක් මැරී යළි උපදින්නේ එම භාෂාව කතා කරන පවුලකම වීම ය. ප්‍රංශයේ කෙනකු මිය ගිය පසු ලංකාවේ සිංහල පවුලක ඉපිද ඔහුගේ ප්‍රංශ බස පිළිබඳ සංසාරික මතකය අවදි කළ අවස්ථාවක් වාර්තා වී නැත. සිංහල පවුල්වල අය මැරී යළි උපදින්නේම සිංහල කතා කරන පවුලකය. සිංහල ගන්ධබ්බයන්ට පිට රටක ඉපදීම සඳහා මහ සයුර තරණය කිරීමට අපහසු විය හැක. එසේ නම් අඩු ගණනේ ද්‍රවිඩ බස පමණක් කතා කරන ලංකාවේම ප්‍රදේශයක යළි ඉපදීමට ඔවුනට නොහැක්කේ මන්ද? පිළිතුර පැහැදිලිය. ඒ එවැනි කතාවක් රඟදැක්වීමට භාෂාව හරස් වන බැවිනි. කෙනෙකු යළි ඉපදී කලින් ජන්මයේදී භාවිතා කළ වෙනත් භාෂාවක් ජන්ම මතකයෙන් කතා කරන එකම එක සිද්ධියක් හෝ ‘තහවුරු’ කරනු ලැබුවහොත් ලොව කෙබඳු විපර්යාසයක් සිදුවනු ඇත්ද?”
හිටිහැටියේ තමන් නොදන්නා භාෂාවක් කතා කිරීමට පටන් ගත් පුද්ගලයන් පිළිබඳව මාධ්‍ය මගින් ලොව නන් දෙසින් වාර්තා වෙයි. එහෙත් ඒවා ඉහත සඳහන් පුනරුප්පත්ති කතා බඳු හුදෙක් පුවත්පත් වාර්තා මිස හුදු ගවේෂණාත්මක වාර්තා නොවේ. එනිසාම සැම්සන් ගුණතිලක මහතා සේම සෙසු හේතුවාදීන් කියනුයේ ද මෙලොව කිසිවකුටත් එලෙස ‘නොදන්නා බසක්’ කතා කළ නොහැකි බවය. ඒ අනුව භූතාවේෂයෙන් හෝ පුනර්භවයෙන් නොදන්නා බසක් කතා කර පෙන්විය හැක්කකු හට රුපියල් ලක්ෂයක මුදල් ත්‍යාගයක් ලබා දෙන බවට ශ්‍රී ලංකා හේතුවාදී සංගමයේ නිර්මාතෘ සේම ශ්‍රී ලාංකේය හේතුවාදයේ පියා වශයෙන් අවිවාදයෙන් පිළිගැනෙන ආචාර්ය ඒබ්‍රහම් ටී. කොවුර් විවෘත අභියෝගයක් කොට ඇත. ඔහුගේ මරණයෙන් පසු එම අභියෝගය ශ්‍රී ලංකා හේතුවාදී සංගමය වෙනුවෙන් මහාචාර්ය කාලෝ ෆොන්සේකාවිසින් ඉදිරියටත් පවත්වාගෙන යනු ලබයි. එහෙත් එය පිළිගැනීමට කිසිවකුත් මෙතෙක් ඉදිරිපත් වී නැත.
සැම්සන් ගුණතිලක මහතාගේ කෘතිය කියවන අතරේ එක්වරම මගේ මතකයට නැංවුණේ ‘නොදන්නා’ දෙමළ බසින් තම ඉහත ආත්ම විස්තරය හෙළි කළ දරුවකු පිළිබඳ අපූරු කතාවකි. එය මගේ හේතුවාදී ගවේෂණ අතරිනුදු සුවිශේෂ තැනක් ගනී. ඒ කතා ප්‍රවෘත්තිය සැකෙවින් මෙසේය.
2006 වසරේ කටාන විද්‍යාලෝක විද්‍යාලයේ නව වන වසරේ ඉගෙනුම ලබමින් සිටි දහතුන් හැවිරිදි ලක්ෂාන් නම් සිසුවකු හිටිහැටියේ දෙමළ බසින් කතා කරමින් තමන් යාපනයේ පදිංචි ශ්‍රී රාමචන්ද්‍රන් රාජි නම් දැරියක බව ප්‍රකාශ කොට සිටීමේ ප්‍රවෘත්තියක් 2006 සැප්තැම්බර් අවසන් දින කිහිපය තුළ නිකුත් කෙරුණු පුවත්පත් කිහිපයකම පළ විය. එහි වඩාත් අරුමයක් වූයේ තම පුතු තුළ දෙමළ භාෂාව පිළිබඳ කිසිදු දැනීමක් නොමැති බවට ඔහුගේ මව විසින් තරයෙන්ම ප්‍රකාශ කර සිටීමය.
ලක්ෂාන් විසින් හිටිහැටියේ දෙමළ බස කතා කරමින් තමන් යාපනයේ පදිංචි ශ්‍රී රාමචන්ද්‍රන් රාජි නම් දැරියක බව ප්‍රකාශ කරන පුවත ගුරු සිසුන් වෙතින් අසා දැනගත් කටාන විද්‍යාලෝක විද්‍යාලයේ විදුහල්පතිලක්ෂ්මන් විජේරත්න මහතා මහත් කැළඹීමකට පත් විය. ඊට හේතුව ලක්ෂාන් එම පාසලට මාස දෙකකට වඩා පැරණි නොවූ අලුත් සිසුවකු වීමය. ඒ අනුව එල්.ටී.ටී.ඊ.ය විසින් පිරිමි වෙස් ගන්වන ලද කොටි කෙල්ලක ලක්ෂාන් යන නමින් තම විදුහලට භාර දී ඇතැයි ඔහුට සැක සිතිණ. එය අප රටේ උතුරේ පැවැති ත්‍රස්තවාදී ක්‍රියා දකුණට ද පිටාර ගැලූ සමයකි. එබැවින් තවත් නිහඬව සිටිය යුතු නැතැයි විදුහල්පතිවරයාට සිතිණ. පළමුව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාට ද ඒ බව දන්වා ඔහු ඒ සම්බන්ධයෙන් කොච්චිකඩේ පොලීසියට ද දන්වා සිටියේ ඒ අනුවය.
මෙම හෝඩුවාවෙන් වහා ක්‍රියාත්මක වූ කොච්චිකඩේ පොලිස් ස්ථානාධිපතිහරූන් ඩූල් මහතා ප්‍රශ්න කිරීම පිණිස ලක්ෂාන් පොලිස් භාරයට ගත්තේය. ඒ 2006 සැප්තැම්බර් 20 වන දාය. එතෙක් තම මිතුරන් හා දෙමළ බසින් කතා කරමින් තමන් යාපනයේ ශ්‍රී රාජේන්ද්‍රම් රාජි නම් දෙමළ දැරිය බව පමණක් කියමින් සිටි ලක්ෂාන්ගේ හැසිරීම් රටාව පොලීසියේ දී මුළුමනින්ම වෙනස් විය. එහිදී ඔහු කතා බහ, අංගචලන, ඉරියව් ආදියෙන් සහමුලින්ම දැරියක මෙන් විය. ඒ අනුව දරුවාගේ ජාතිය සේම ලිංග භේදය පිළිබඳ ගැටලුවක් ද පැන නැගිණ. පොලිස් ස්ථානාධිපතිවරයා ද දෙමළ භාෂාව මනාව ප්‍රගුණ කළ අයෙකි. ඔහු හමුවේ ලක්ෂාන් කොට ඇති ප්‍රකාශය සම්පූර්ණයෙන් මෙලෙසිනි.
“මම ඉගෙන ගත්තේ යාපනයේ භද්‍රකාලී අම්මාන් කෝවිල අසල තිබෙන තිරුප්පුලි විදුහලේ. ඉගෙන ගත්තේ තුන්වෙනි පන්තිය දක්වා පමණයි. මගේ නම ශ්‍රී රාමචන්ද්‍රන් රාජි. මගේ තාත්තගේ නම ශ්‍රී රාමචන්ද්‍රන් රමේෂ් කුමාර්. අම්මගේ නම ශ්‍රී රාමචන්ද්‍රන් රාශම්. අපේ ගේ ලොකුයි. අම්මගේ ෆොටෝ එක එල්ලා තිබූ තැන පිටුපස බිත්තියේ රහස් සේප්පුවක් තිබුණා. අපිව රෑට එළියට දාලා තාත්තා කට්ටියත් එක්ක ඇවිත් සේප්පුවේ රත්තරන් බඩු හා සල්ලි තබනවා. මමයි අයියයි හොරෙන් බලා ඉන්නවා. අපේ තාත්තාට කවුරුත් හරි බයයි. අපට නිතරම වෙඩි හඬ ඇහෙනවා. අපේ ගෙදරට බෝම්බයක් වැටිලා තාත්තාවයි අයියාවයි මැරුණා. මාව යාපනයේ සින්දු රාජශේකරන් හා සින්දු ජා නමැති අංකල්ට හා ඇන්ටිට දීලා අම්මා පිටරට ගියා. මම හැදුණේ ඔවුන් ළඟයි. අවුරුදු දොළහකට ඉස්සර මම ද බෝම්බයක් වැදී මියගියා.”
ඒ අනුව ලක්ෂාන්ගේ මව හේමා ද වහා පොලීසිය වෙත කැඳවිණ. ඒ වන විට ඇය කොච්චිකඩේ නගරයේ ලොතරැයි ඒජන්සියේ සේවය කරමින් සිටියාය. මෙම දරුවා තම වැඩිමල් පුතු වන ලක්ෂාන් බව පොලීසියේ දී පිළිගත් හේමා කියා සිටියේ තම පුතු දෙමළ මළ පොතේ අකුරක්වත් ලියන්නට හෝ කතා කරන්නට නොදන්නා බවකි.
අවට සිටි කාගේත් දෙනෙත් එකවරම ඉහළ නැංවෙන ලද්දේ ඒ සමඟිනි. ඉන් අනතුරුව පළමුව දරුවාගේ ලිංග භේදය පරීක්ෂා කරනු පිණිස ලක්ෂාන් මීගමුව මූලික රෝහල වෙත යැවුණි. එහි දී අනාවරණය වූයේ ඔහු පිරිමි දරුවකු බවය.
ඒ අනුව මෙම දරුවා තුළ කිසියම් මානසික විපර්යාසයක් ඇති බවට වාර්තා කළ මීගමුව රෝහලේ වෛද්‍යවරු ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කිරීම පිණිස ලක්ෂාන් උතුරු කොළඹ (රාගම) ශික්ෂණ රෝහලේ මනෝ වෛද්‍ය ඒකකය වෙත මාරු කොට යැවූහ. ඒ 2006 සැප්තැම්බර් 29 දාය.
රාගම මහ රෝහලේදී ලක්ෂාන්ගේ භාරකාරත්වය පවරන ලද්දේ කැළණිය විශ්ව විද්‍යාලයීය, වෛද්‍ය පීඨයේ (රාගම) මනෝ වෛද්‍ය විද්‍යා අංශාධිපති මහාචාර්ය කේ.ඒ.එල්.ඒ. කුරුප්පුආරච්චි වෙතය. දැනට අප රටේ සිටින ජාත්‍යන්තර වශයෙන් කීර්තියට පත් මනෝ වෛද්‍ය විශේෂඥයන් අතලොස්ස අතුරින් ඔහු ද එක් අයෙකි. ලක්ෂාන්ගේ ලිංග භේදය පිළිබඳ ගැටලුවක් නැතත් ඔහු නොදන්නා බසක් කතා කිරීම කෙසේවත් සිදුවිය නොහැක්කක් බව මහාචාර්ය කුරුප්පුආරච්චිට රහසක් නොවිණි. එබැවින්, ලක්ෂාන් කතා කරනුයේ සැබෑම දෙමළ බස ද යන්න සැක හැර දැන ගැනීම මහාචාර්යවරයාගේ පළමු අභිලාෂය විය.
ඒ අනුව ඔහු ඒ සඳහා යම් උපක්‍රමයක් යෙදීය. එනම් වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබන දෙමළ සිසුන් ලවා ලක්ෂාන් ගේ දෙමළ භාෂා දැනුම පරීක්ෂා කරවීමය. ඒ අනුව ලක්ෂාන් සමඟ දෙමළ බසින් කතා බස් කළ දෙමළ වෛද්‍ය සිසුවෝ ඒ සම්බන්ධ තම නිගමනය මහාචාර්යවරයා වෙත දැක්වූහ.
“මෙයා කතා කරන්නේ දෙමළ නම් තමයි සර්: ඒත් සමහර වචන තියනවා. අපට නොතේරෙන, ඒවා ශාස්ත්‍රීය දෙමළ (Classical Tamil) කියලයි අපට හිතෙන්නේ.”
දෙමළ මළ පොතේ අකුරක්වත් නොදන්නා දරුවකු හිටිහැටියේ ව්‍යවහාරික දෙමළ ද නොවන ශාස්ත්‍රීය දෙමළ ද යොදමින් කතා කරන්නට පටන් ගැනීම තමන්ට කෙසේවත් ගැලපිය නොහැකි හරස් පද ප්‍රහේළිකාවක් යැයි මහාචාර්ය කුරුප්පු ආරච්චිට සිතෙන්නට ඇත. එහෙත් ඒ වන විට එල්.ටී.ටී.ඊ. ළමා සොල්දාදුවකු රාගම රෝහලට ඇතුල් කරන ලදැයි යන ආරංචිය තටුසලා දසත පියඹා යමින් තිබිණ. ඒ අනුව සිදුවිය හැකි කුමක් හෝ අනපේක්ෂිත අකරතැබ්බයක් පිටුදැකීම පිණිස ලක්ෂාන් අංගොඩ මානසික රෝහල වෙත මාරු කර යැවීමට රෝහල් අධ්‍යක්ෂවරයා ඒ වන විට තීරණය කොට තිබිණ.
ඒ අනුව 2006 සැප්තැම්බර් 30 දාම ලක්ෂාන් අංගොඩට මාරු කරන ලදී.
ඒ සමඟම මගේ සිතට පිවිසියේ භූතාවේශයෙන් හෝ පුනර්භවයෙන් නොදන්නා බසක් කතා කර පෙන්විය හැක්කකුට රුපියල් ලක්ෂයක මුදල් පරිත්‍යාගයක් කරන බවට ආචාර්ය ඒබ්‍රහම් ටී. කොවුර් කළ විවෘත අභියෝගයයි. එසේම එය කෙසේවත් සිදු කළ නොහැක්කැයි මගේ සිත තරයේම කියන්නට විය.
ඒ අනුව ඒ සම්බන්ධ ගවේෂණයේ මුල්ම පියවර වශයෙන් කොච්චිකඩේ නගරයට ගිය මම එහි ලොතරැයි කුටියක ලොතරැයි අලෙවියේ යෙදෙමින් සිටි ලක්ෂාන්ගේ මව වන හේමා හමුවීමි. එහි දී ද ඇය කියා සිටියේ තම පුතු දෙමළ මළ පොතේ අකුරක්වත් නොදන්නා බවය. එහෙත් ඇගේ එම ප්‍රකාශයෙන් සෑහීමකට පත් නොවූ මම ඒ මොහොතේම ලක්ෂාන් බාලවියේදී ජීවත් වූ වයික්කාලේ තඹරවිල ප්‍රදේශය වෙත ගියෙමි. එහි දී මා හට ඔහුගේ ළමා වියේ මිතුරන්, ඒ මිතුරන්ගේ මාපියන් ආදී විවිධ පිරිස් හමුවිය.
ලක්ෂාන්ගේ බාල කාලය ගෙවී ඇත්තේ වයික්කාලේ තඹරවිලය. ශ්‍රී ලංකාවේ හොඳම උළු නිෂ්පාදනය කෙරෙන ප්‍රදේශයක් වශයෙන් වයික්කාල ප්‍රසිද්ධය. එම උළු කම්හල්වල සේවය කරන කම්කරුවන් වැඩි දෙනෙක් මන්නාරම, වව්නියාව ආදී ප්‍රදේශවල සිට පවුල් පිටින් පැමිණ යාපනයේ ඌරුවට දෙමළ කතා කරන දෙමළ ජාතිකයෝ වෙති. එම පවුල්වල දරුවෝ එම ප්‍රදේශයේ පාසල්වලට ඇතුළු වී සිංහල මාධ්‍යයෙන් ඉගෙන ගනිති. එහෙත්, එම දරුවන් තම දෙමළ මිතුරන් සමග පාසලේදීත් අදහස් හුවමාරු කරගනුයේ තම ගෙදර දොඩන භාෂාව වන දෙමළ බසිනි. ලක්ෂාන් මූලික අධ්‍යාපනය ලබා ඇත්තේ මෙබඳු පසුබිමක් යටතේය. එනිසා ඔහුගේ දෙමළ භාෂා දැනුම ඉතා ස්වභාවික ලෙසින්ම ඔහු වෙත හිමි වූවකි. එහෙත් තඹරවිල පාසලේ සිංහල මාධ්‍යයෙන් ඉගෙනුම ලැබූ තම පුතු පාසලේදී දෙමළ මිතුරන් ඇසුරු කරන බවක් හෝ ඔවුන් වෙතින් නොවිධිමත් දෙමළ අධ්‍යාපනයක් ලබන බවක් හෝ ලක්ෂාන්ගේ මව කෙසේවත් නොසිතන්නට ඇත. ඒ කෙසේ හෝ දරුවන් සිය මවට භාර දී ඔවුන්ගේ ජීවිකාව සරි කරනු පිණිස මහත් දුක් ගැහැට විඳීමට සිදුවීම මත පිය සෙනෙහස අහිමි ලක්ෂාන් ඇතුළු දරු තිදෙනා ඇගේ අවධානයෙන් ගිලිහීම ද එතරම් අරුමයක් නොවේ. ලක්ෂාන්ගේ ළමා කාලය අනේක විධ දුක් ගැහැට සහ මානසික අර්බුදවලින් පිරී ගත් එකක් වී ඇත්තේ එබැවිනි. සැබැවින්ම ලක්ෂාන් පළ කළ ලිංග මාරුව සහ ඉහත ආත්මයේ කතාව ඔහු තුළ පැවැති මානසික අර්බුදයක් මුල්කොට පැන නැඟුණකි. පවත්නා ජීවිතයේ දී මුහුණ දීමට සිදුවන ගැටලු අර්බුද හමුවේ ඒවායින් අත්මිදීම පිණිස තම පෞරුෂයෙන් පලා යාම පිළිබඳ රෝග තත්ත්වයක් ද තිබේ. එය හැඳින්වනුයේ ‘විඝටන අනන්‍යතා ආබාධය’ [Dissociative identity disorder (DID)] යනුවෙනි. මෙම පලායාම සිතා මතා හෝ සැලසුම් සහගතව සිදුවන්නක් නොවේ. එය තමන් ද නොදැනුවත්වම ඉස්මතු වන රෝගී තත්ත්වයකි. ඒ අනුව මෙම විමර්ශනයේදී මට විසඳීමට තිබූ අවසන් ගැටලුව වූයේ ලක්ෂාන් තම පාසල් මිතුරන් වෙතින් ‘ශාස්ත්‍රීය දෙමළ’ වචන ඉගෙන ගන්නේ කෙසේද යන්න ය.
සිංහල භාෂාවට සාපේක්ෂව දෙමළ බස විවිධාංගීකරණයට ලක්වූවකි. නිදසුනක් ගත හොත් උතුරේ භාවිත වන දෙමළ භාෂාවේ භාවිතා වන ඇතැම් වදන් ලංකාවේ වතුකරයේ භාවිතා වන දෙමළ භාෂාවේ නැත. ඒ වෙනුවට ඔවුන් යොදනුයේ වෙනත්ම වචන ය. එසේම ශ්‍රී ලාංකීය මුස්ලිමුන් භාවිතා කරන දෙමළ භාෂාවේ ඔවුන්ටම ආවේණික වදන් තිබේ. ඒවා අතර ද ප්‍රාදේශීය වෙනස්කම් පවතී. ඒ අනුව ලක්ෂාන් කතා කළ දෙමළ භාෂාවේ ඇතැම් වදන්වලට ‘ශාස්ත්‍රීය’ යන අර්ථකථනය දීමට රාගම වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලැබූ දෙමළ සිසු සිසුවියන් නොපසුබට වී ඇත්තේ තම දැනුම් පාරාසය මුල්කරගෙන බව පෙනේ. ශ්‍රී ලාංකීය දෙමළ ප්‍රජාව අතුරින් තම දරුවන්ට වෛද්‍ය විද්‍යාලයීය සුදුසුකම් ලබා දිය හැක්කේ මැද පන්තියේ සමාජමය තත්ත්වයක් සහිත දෙමළ ජාතිකයන්ට පමණි. ඇතැම් විට ඔවුන්ගේ ගෙදර දොර භාෂාව ඉංග්‍රීසි වීමට ද පුළුවන. ඒ අනුව ලක්ෂාන්ගේ මුවින් පිට වූ තමන් නොදන්නා අමුතු වදන් ‘ශාස්ත්‍රීය දෙමළ’සේ එම වෛද්‍ය සිසුන් සිතන්නට ඇත.
ඉහත සඳහන් සාමාන්‍ය කරුණු හැරුණු කොට මේ සඳහා මුල්වන මනෝ විද්‍යාත්මක සාධකයක් ද තිබේ. එනම් පොලීසියේ දී එක්වරම තම ප්‍රකෘතියෙන් බැහැරව දෙමළ දැරියකගේ වෙස් ගත් ලක්ෂාන් එහිදී හට ගත් මානසික උත්තේජනය හමුවේ තම සීමිත දෙමළ දැනුම වසා ගැනීම පිණිස අචේතනිකව ව්‍යාජ සක්ක පද යොදන්නට ඇති ඉඩකඩය. එහෙත් එවැන්නක් පිළිබඳව නොදැන සිට දෙමළ වෛද්‍ය සිසුන් ඒ ව්‍යාජ සක්කපද ‘ශාස්ත්‍රීය දෙමළ’ වචන ලෙස වරදවා අරුත් ගැන්වීමේ අරුමයක් ද නැත.
ඒ කෙසේ හෝ අප රටේ නන්දෙසින් ඇසෙන පුනරුත්පත්ති කතා සම්බන්ධ මෙබඳු ගවේෂණ සිදුකරන සෑම විටකම තහවුරු වනුයේ ඒවා අලයක් තබා මුලක්වත් නොමැති බාහිර ලෝකයාට පෙනෙන සේ සිටවූ ව්‍යාජ තුරුවැල් හා සමාන බවය.
තිලක් සේනාසිංහ
උපුටාගැනීම: බූන්දියෙන්