උපුටාගැනීම්විශේෂාංග

තැල්ල බඳින්න බෙල්ල තිබිය යුතුයි

දේශපාලනයේ දී එකිනෙකා කෙටවීම තවත් පාර්ශ්වයකගේ ජයග්‍රහණයට හේතුවෙයි. නමුත් එය වෙනම දේශපාලන කලාවකි. එහි පරතෙරට පත්වීම පහසුවෙන් අත්පත් කර ගත හැකි නොවේ. මන්ද ඊට අවශ්‍ය වෙලාව කලාව නොදැන ඒ සෙල්ලම කරන්න යෑම බරපතළ විනාශයකින් කෙළවර විය හැකි බැවිනි. එකිනෙකා කෙටවීම සම්බන්ධයෙන් මාධ්‍ය ලෝකයේ ප්‍රමුඛතම චරිතය පුලිට්සර්ය.

ජෝසප් පුලිට්සර් 1847 හන්ගේරියාවේ උපන් යුදෙව්වෙකි.  මාධ්‍ය ඉතිහාසයේ විශිෂ්ටතම ජනමාධ්‍යවේදියකු ලෙස ඔහුව හැඳින්වෙයි. ඔහුගේ නමින්ම වන පුලිට්සර් සම්මානය දිනා ගැනීම ලෝකයේ ඕනෑම ජනමාධ්‍යවේදියකුගේ සිහිනය යි. ලෝකයේ මුල් වරට ජනමාධ්‍ය සම්බන්ධයෙන් පාඨමාලවක් ආරම්භ කරනු ලැබුවේ ද ඔහු විසිනි. ඒ කෙසේ නමුත් ඔහුගේ පුවත්පත් කලාව විවාදාත්මකය. එකල්හී එය හැඳින්වූයේ යෙලෝ ජර්නලිසම් යනුවෙනි, කහපාට කඩදාසි පත්‍ර මත කෙරුණු ඔහුගේ පුවත්පත් කලාව තුළ සිදු වූයේ එකිනෙකා කොටවන, කුලප්පු කරවන ආන්දෝලනාත්මක පුවත් සහ ලිපි පළ කිරීමය. තොරතුරුවල නිර්වද්‍යතාවට වඩා ඔහු අවධානය යොමු කළේ පාඨකයාගේ වින්දනය කෙරෙහිය; පුවත්පත් ජනප්‍රිය කර ගැනීම කෙරෙහිය. ඒ කවර නමුත් එකල්හි වඩාත්ම ජනප්‍රිය පුවත්පත් කලා භාවිතය යෙලෝ ජර්නලිසම් විය. යුරෝපයේ එය අනුකරණය කළ අය ද  විශාල වශයෙන් බිහි වූහ. පසුව පළමු ලෝක යුද්ධයට ද හේතු වූයේ මේ යෙලෝ ජර්නලිසම් ක්‍රියකාරීත්වය බව ද පැවසේ. යුද්ධයෙන් පසුව ඒ යෙලෝ ජර්නලිසම් ද යටපත් විය. ඒ කුමක් නමුත් මේ ගැන සඳහන් කළේ වර්තමානයේ මෙරට මාධ්‍ය භාවිතය ගැන කතා කරන්නටය.පුලිට්සර්ගේ යෙලෝ ජර්නලිසම් වර්තමානයේ ජනමාධ්‍ය මූලධර්ම තුළ පැත්තකට දමා තිබුණ ද අද මේ රටේ ජනමාධ්‍ය භාවිතය තුළ තිබෙන්නේ දැන හෝ නොදැන කෙරෙන යෙලෝ ජනර්නලිසම් ය. අද මේ රටේ පැහැදිලිවම කිසිදු ජනමාධ්‍ය ආයතනයක් සාධාරණව අපක්ෂපාතීව පුවත් පළ කරන්නෙ නැත. තම තමන් දරන මතවාද ආකල්ප හෝ පක්ෂග්‍රාහීත්වය මත මෙන්ම මාධ්‍යයේ ප්‍රාග්ධන හිමිකරුවාගේ උවමනාව වෙනුවෙන් ඕනෑම සිදු වීමක අරුත වෙනස් කරවනු ලබයි. එමෙන්ම දේශපාලන හෝ ව්‍යාපාරික උවමනා අනුව එකිනෙකා කුපිත කරවන, කොටවන ලෙස පුවත් පළ කරයි. විශේෂයෙන්ම පසුගිය දශක කිහිපය පුරා මේ රටේ එම තත්ත්වය වර්ධනය වෙමින් පවතී. මේ වන විට එහි උපරිමය දකින්නට ලැබේ. පුලිට්සර්ලා කළේ නිර්මාණාත්මක දෙයකි. එහෙත් දැන් කරන්නෙ අමු අමුවේ බොරු ප්‍රචාරය කරමින් හා විකෘති කරනු ලබන අදහස් ප්‍රචාරය කිරීමය. තවත් පාර්ශ්වයක් මුළුමනින්ම විනාශ කරලීමකි. මේ ගෙවෙන්නෙ මෙරට ජනමාධ්‍යයේ ම්ලේච්ඡම යුගය යැයි කීවාට වරදක් නැත. එහෙත් අද විය යුතුව තිබෙන්නේ ඉතා වගකීම් සහගතව මාධ්‍යය හැසිරවීමය. විශේෂයෙන්ම තිස් අවුරුද්දකට වැඩි කාලකණ්ණි සිවිල් කැරලි කෝලහල සහිත කාලයක් ගෙවා නිම කිරීමෙන් පසුව යළි එවැනි තත්ත්වයක් ඇති වීම වළක්වා ගැනීම වෙනුවෙන් මාධ්‍ය භාවිතය වැදගත්ය. මාධ්‍යය අද වැඩි වශයෙන් භාවිතා වන්නේ පටු මුග්ධ අදහස් ප්‍රචාරයටය. වර්තමාන දේශපාලන ගැටුම් රැසකට අනියමින් හේතු වී ඇත්තේ මේ මාධ්‍ය භාවිතාව බව පිළිගැනීමට සිදුව ඇත. මේ වන විට එකිනෙකා කෙටවීම, කුලප්පු කිරීම මාධ්‍යයෙන් ඔබ්බට ගොස් සිවිල් සංවිධාන වෙත ද යාම දක්වා ඉතිහාසයේ කවර කලෙකවත් නොතිබුණු ලෙස ජරාජීර්ණ තත්ත්වයකට පත්ව තිබීම බරපතළ ගැටලුවකි.වර්තමාන ජනාධිපතිවරයා බලයට පත් කරවීම සහ වර්තමාන ආණ්ඩුව බලයට පත් කරවීමෙහිලා සිවිල් සංවිධාන විසින් ඉටු කරනු ලැබූ කාර්යභාරයට ඉතිහාසයේ යම් වටිනාකමක් ලැබීම විය යුතුම කරුණකි. එහෙත් අද සිවිල් සංවිධාන දේශපාලන කාරණා සම්බන්ධයෙන් වන මැදිහත් වීම බරපතළ අවුල් සහගත භාවයක් ඇති කර තිබෙන බව පෙනී ගොස් තිබේ. පසුගිය මැතිවරණ සමයේ දී වත්මන් පාලනය බිහි කරලීම වෙනුවෙන් කැපවුණ ඔවුන් අද කටයුතු කරමින් සිටින අයුරු ප්‍රශ්න කාරීය.මෛත්‍රීපාල සිරිසේන මහතා යනු එජාපය සමඟ ඩීල් දාපු ඉතිහාසයක් ඇත්තකු නොවේ. ජනධිපතිවරණයේ දී විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ප්‍රථම මාධ්‍ය හමුව පවත්වන තෙක් ඔහු එජාපයේ රනිල් වික්‍රමසිංහ සමඟ සම්බන්ධතා පැවැත්වූවකු නොවේ. ඔවුනොවුන් මුල්වරට සමීපව කතා බහ කළේ ද එම දිනයේ දී බව ද පැවසේ.

මෛත්‍රීපාල සිරිසේන මහතා විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන විට ඊට බල කළ සමාජ වටපිටාවක් නිර්මාණය කිරීමෙහිලා විශාලම දායකත්වයක් දරූ සිවිල් සංවිධානවලට ඔහුව ආරක්ෂාකර ගැනීමේ වගකීම ද නිතැතින්ම පැවැරී තිබිණි. එහෙත් ජනාධිපතිවරණයෙන් පසුව මෛත්‍රීපාල සිරිසේන වටා එවැනි ආරක්ෂකයන් සිටියේ නැත. සිවිල් සංවිධාන රංචු ගැසුණේ අන් තැනකය.  පසුගිය මාස 20ක කාලය තුළ ජනාධිපතිවරයා මුහුණ දුන් අභියෝග හමුවේ මෙම සිවිල් සංවිධාන ද ජනාධිපතිවරයාට අභියෝග ඉදිරිපත් කළා විනා ඔහු කෙන්ද්‍රකරගෙන එම විධායක බලයේ මහිමයෙන් ගොඩනගා ගත් සම්මුතික ආණ්ඩුව රැක ගැනීම පළමු තැනෙහි ලා කටයුතු කිරීම පවා ඉවතලමින් කටයුතු කරන බවක් පෙනෙන්නට තිබිණි. මෙය ඉතා හොඳින්ම දක්නට ලැබුණේ  හිටපු ආරක්ෂක ලේකම් සහ නාවික හමුදාපතිවරුන් තිදෙනා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පළ කළ ප්‍රකාශයෙන් අනතුරුවය. ජනාධිපතිවරයා පළ කළ අදහස නියම අවබෝධයෙන් තොරව සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයන් මාධ්‍ය හමුවේ විවිධ අර්ථකථන දෙමින් ජනාධිපතිවරයාව විවේචනයට ලක් කරමින් තිබිය දී එක් ප්‍රකට ක්‍රියාකාරිකයන් දෙදෙනෙකු සමඟ දුරකථනයෙන් සම්බන්ධ වී තමන් සිදු කළ ප්‍රකාශය කුමක් ද යන්න ගැන පැහැදිලි කළ ද ඔවුන් දෙදෙනා ඊට පසු දා මාධ්‍ය හමුවක දී පවසා සිටියේ ඊට පරස්පර දේය. එය වඩා කිට්ටු වූයේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර විරසකය දැඩි කිරීම කෙරෙහිය. එජාපය සහ ශ්‍රීලනිපය අතර වෙනස්කම් මෙන්ම වෙන වෙනම දේශපාලන අපේක්ෂා තිබිය හැකිය. එහෙත් වත්මන් සම්මුතික ආණ්ඩුව බිහි කරනු ලැබුවේ එය තාවකාලිකව අතහැර රට මුහුණ දී තිබෙන බරපතළ අර්බුදකාරිත්වයන්ගෙන් මුදවා වඩා යහපත් මාර්ගයට ගැනීමේ උවමනාවෙනි. එහි දී එකිනෙකා කෙරේ සැකය වඩවන ලෙස, කුපිත කරවන ලෙස, කොටවන ලෙස කටයුතු සිදු වන්නේ එය නම් ජනවාරි 08 වන දා ජනවරම මඟින් ලබා දුන් අපේක්ෂා බිඳ වැටීමේ පළමු පැයේදීම සිදු වන ඛේදවාචකයය. මේ තේරුම් නොගෙන සිවිල් සංවිධානත්, ජනමාධ්‍යයත්, සමාජ මාධ්‍ය ජාල ක්‍රියාකාරිකයනුත් කටයුතු  කරමින් සිටී.

ජනවාරි 08 පෙරළියට දායක වූ බලවේග එම එක් පාර්ශ්වයක් වෙනුවට අනෙක් පාර්ශ්වය තෝරා ගැනීම මේ මොහොතේ නොවිය යුත්තකි. මන්ද මේ පෙරළිය යනු රාජපක්ෂවරු පරාජය කිරීමකට වඩා සමාජ ආර්ථික සහ දේශපාලනික ප්‍රතිසංස්කරණයක් වෙනුවෙන් කළ මහඟු කැපකිරීමක ජයග්‍රහණයක් වීමය. ඒ අපේක්ෂාවන් යථාර්ථයක් කර ගැනීමට මේ ලැබී තිබෙන වටිනා අවස්ථාව නිකරුනේ එකි නෙකාගේ පටු දේශපාලන න්‍යායපත්‍රවලට අනුව විනාශ කරළීමට ඉඩ දිය යුතු නැත.

මෙහි දී අගමැති රනිල් වික්‍රමසිංහ වෙත පැවැරී ඇති වගකීම සුළුපටු නොවේ. විශේෂයෙන්ම ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක සමයේ දී ඔහු ආණ්ඩු බලය ලබා අගමැතිකම දරූ සුළු කාලය තුළ ලත් අත්දැකීම අමතක කර දමා මෙම සම්මුතික ආණ්ඩුව තුළ ගැටුම් ඇති වන ලෙස කටයුතු කරමින් තිබෙන බව ඔහුගේ ක්‍රියාකාරිත්වය විසින් පෙන්වා දෙනු ලබයි.

තමතමන්ගේ වූ න්‍යාය පත්‍ර මත මේ ආණ්ඩුව පවත්වා ගෙන යාම කළ නොහැකිය ය. එදා සිදු වූයේ ද එයමය. එදා චන්ද්‍රිකා බණ්ඩාරනායක එජාපයට අවශ්‍ය පරිදි ආණ්ඩුව කරගෙන යාමට පැහැදිලිවම ඉඩ දී තිබිණි. නමුත් එජාපය විධායකය නොතකා හැරීය. ඒ අතරේ දී ශ්‍රීලනිපයේ සිටි කණ්ඩායමක් විසින් යළි ආණ්ඩු බලය ලබා ගැනීම සඳහා කළ කුමන්ත්‍රණකාරී ක්‍රියාවලියට එජාපාය ද හසු වුණු අතර ඒ අනුව එජාපය, විධායකය කුපිත කරවන ආකාරයෙන් කටයුතු කරනු ලැබීය. අවසානයේ දී ආණ්ඩුවේ ඇමැතිකම් තුනක් පවරාගැනීමට ජනාධිපතිනිය කටයුතු කළ අතර එය එජාප ආණ්ඩුවේ අවසානයට ද හේතු විය.

වර්තමානයේ දී ද එජාපය විධායකය කුපිත වන ආකාරයෙන් කටයුතු කිරීමේ ප්‍රතිඵලය ඒ විය හැකිය. මෛත්‍රීපාල සිරිසේන නිර්පාක්ෂිකයකු ලෙස කටයුතු කිරීම සඳහා ගන්නා දැවැන්ත උත්සාහයට අකුල් හෙළීමේ කටයුත්ත එජාප පාර්ශ්වයෙන් සහ එය සමඟ බැඳී සිටින සිවිල් සමාජ ක්‍රියකාරිකයන් වෙතින් සිදු වෙමින් තිබේ. මේ අනුව ජනාධිපතිවරයාව බිත්තියට හේත්තු වීම සිදුවුවහොත් ඔහුට සිදු වන්නේ පරාජය කළ රාජපක්ෂ මතවාදය සහ එම පුද්ගලයන් සමඟ එක්වීමටය. මේ වන විටත් එම ලකුණු පෙනෙන්නට ද තිබේ. ලියුම් කියුම් ද හුවමාරු වෙමින් පවතී.

හිටපු ජනාධිපතිවරයා බලය අත්හැරියේ කැමැත්තකින් නොවේ. තමන්ට තවත් අවුරුදු දෙකක් සඳහා ජනවරමක් තිබෙන බව කියමින් රැඳී සිටීමට ගත් උත්සාහය ජාත්‍යන්තරයෙන් එල්ල වූ පීඩනය හමුවේ අකුලා ගත්තා මිස ඔහු ස්වකැමැත්තෙන් එය අත් හැරියේ නැති බව අන්කිසිවකුටත් වඩා රනිල් වික්‍රමසිංහ දනී. බලය රාජපක්ෂවරුන්ට කෙතරම් වැදගත් ද යන්න එම පරාජයෙන් පසුව අද දක්වාම පසක් කරමින් සිටී. ජනාධිපතිවරයාගේ ආශිර්වාදය හිමි වන පළමු පැයේදීම ඔවුන් ආණ්ඩු බලය අත්පත් කර ගැනීම සිදු විය හැකිය. එහි දී ජනාධිපතිවරයාගේ අපේක්ෂා කුමක් වුවත් පාර්ලිමේන්තුවේ ඔළු ගෙඩි වෙනස් කර රාජපක්ෂවරු සමඟ යළි ආණ්ඩුවක් පිහිටු වීම ජනවාරි 08 වන දින පෙරළියට දායක වූ කිසිවකුගේ අපේක්ෂාව නොවන බව අමුතුවෙන් කිව යුතු නොවේ.

මේ තත්ත්වය අනුව වඩාත් පරෙස්සම් සහගතව දේශපාලනය කළ යුතුව තිබෙන්නේ රනිල් වික්‍රමසිංහය. රනිල් එජාප නායකයා වුව ඔහුට එම පක්ෂය තුළ තවමත් ඔහුගේ පැවැත්ම ශක්තිමත් නොමැති බව පැහැදිලිය. පක්ෂය තුළ ද එකිනෙකා කෙටවීමේ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මකව තිබෙන බව ද පෙනෙන්නට තිබේ. මේ අනුව සම්මුතික ආණ්ඩුවේ පැවැත්ම අර්බුදයකට යෑම තුළ එජාපයේ දෙකඩ වීම ද සිදු නොවනු ඇතැයි කිව නොහැකිය.

එසේම ජනාධිපතිවරයා හා අගමැතිවරයා, ජනවාරි 08 වන දින ලබා ගත් ජයග්‍රහණයෙන් පසුව ජනතාව හමුවේ ලබා දුන් ප්‍රධාන ප්‍රතිඥාවන් තුන වන පසුගිය පාලන සමයේ දී සිදු වූ වංචා දූෂණ ගැන කඩිනමින් පරීක්ෂණ පැවැත්වීම, වත්මන් ආණ්ඩුව තුළ සිදු වන වංචා දූෂණ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත් වීම හා තවදුරටත් එලෙස වංචා දූෂණ අදිය සිදු නොවීමට වගබලා ගැනීම යන කරුණු තුන සපුරා ලීමට සමත්ව නොමැත. ඒ වෙනුවෙන් අවංක මැදිහත් වීමක් සිදු කර නොමැත. එම අවංකභාවය නොමැති තත්ත්වය තුළ සිවිල් සංවිධානවලට ජනමාධ්‍ය හා සමාජ ජලාවන්හී එකිනෙකා කොටවන පාර්ශ්වික ප්‍රකාශයන්ට ඉහළ ඉඩක් ද වෙන් වී පවතී. එම තත්ත්වය ජනවාරි 08 වෙනසට දායක වූ ජන කොටස සිය දේශපාලන බැඳියාවන්ගෙන් ඈත් කිරීමට ද හේතුවක් වනු ඇත. ජන බලය අහිමිව කවර ආණ්ඩුවකටවත් සිය පැවැත්ම ගැන තහවුරුවක් දිය හැක්කේ ද නැත.

–    – සුජය

උපුටාගත්තේ සත්හඬෙන්

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *