උපුටාගැනීම්විශේෂාංග

අමරදේව මාස්ටර්, අපිනං ගොඩ…!

අමරදේව මාස්ටර් ගැන මේ දවස්වල හැමෝම ලියනවා කියනවා. මුහුණු පොත ඇරියොත් අමරදේව මහත්තයා ගැන අටුවා ටීකා ටිප්පනි හෝල් සේල් එකේ ලාබෙට අහුලගන්ඩ පුළුවන්. මාස්ටර් ගැන වචන දෙකක් හරි ලියල කොහේ හරි ඇලෙවුවේ නැතිනම් නිකං අහෝසි වෙනවා වගේ බයක් දැනෙනවා. නිකං පරණයි වගේ…! මොඩ් නෑ වගේ, එහෙමත් නැතිනම් සම්භාව්‍යකමක් නෑ වගේ…! ඉස්සරනම් දන්න කියන කලාකාරයෙක් මැරුනොත් හදවත පුම්බගෙන, එයා ගැන ලියවුණු ලිපියක් දෙකක් කියවනවා. එහෙමත් නැතිනම් සෙට්වෙලා පොඩි කථා පාරක් දානවා. සංවේගය පුද්ගලිකවම විදිනවා. ඒත් දැන් ඩිජිටල් සන්නිවේදන යුගයේ එහෙම බෑ. අපි අයිති අපිට විතරක් නෙමෙයිනේ. ඉතිං මාත් මගේ ලියන මේසයේ වාඩි උනේ අමරදේව ගැන යමක් නොලියා මිසක් නැගිටින්නේ නෑ කියන දැඩි අදහසකින්!

මේ දවස්වල ජීවත්වෙන වාසනාවන්තම මිනිස්සු තමයි අමරදේව මාස්ටර් එක්ක එකට ඉන්න ෆොටෝ එකක් දෙකක්, වීඩියෝ කෑල්ලක් එහෙම සුරැකිව අරන් තියාගත්තු උදවිය. අනුන් ගත්ත ෆොටෝ එකක අයිනක එල්ලිලා හිටියත් කමක් නෑ. දැන් ඒවා වලින් වැඩ ගන්න පුළුවන්. ඒවා දැන් එහෙ මෙහෙ වීසි කරලා හරිම ලාබෙට ‘කාරුණික හෝ සම්භාව්‍ය මිනිසෙක්’ වෙන්ඩ පුළුවන්. මාත් මගේ ෆොටෝ එකතුව පීරලා බැලුවා එහෙම වාසනාවක්වත් තියේවිද කියල. මොන!

මුහුණු පොතේ මාස්ටර් ගැන ලියන අය යුගයේ මිනිසා, සංගීත ලෝකයේ මහා ප්‍රාඥයා ආදී වශයෙන් ලියමින් ඔහුව උඩ දාද්දි අමරදේව වෙනුවෙන් වෙහෙසෙන මිනිසුන් ආදරණීය සහ සම්භාව්‍ය හමුදාවක් බව ඔවුන් එකිනෙකාට නොකියා කියාගන්නවා. ඒත් මේ ආකාරයේ සමාජ මහන්සිවීම් ‘සමාජ සල්ලි’ ඉපයීමේ කුරිරු මහන්සිවීම් බව ප්‍රංශ ජාතික සමාජ විද්‍යාඥයෙකු වන පියරේ බෝදියු (Pierre Bourdieu) කියනවා. ඔහු විසින් හඳුන්වාදී ඇති සමාජ ප්‍රාග්ධන න්‍යාය, ඉතා සරල ලෙස පැවසුවහොත් මුහුණු පොත ආදී සමාජ ජාලාවල සබඳතා ගොඩනැංවීම සහ අනෙකාගේ ප්‍රතිරුපය ‘පාවිච්චි’ කිරීම සමාජ මුදල් (Social Currency) ඉපයීමේ ක්‍රියාවලියක්.

අමරදේව සාධකයට සමාජ ජාලා වෙලඳපොළේ සමාජ මුල්‍ය වටිනාකම ඉතා වැඩයි. අමරදේවගේ ගීතයක් පුද්ගලිකව රසවිඳීමෙන් හෝ අමරදේව නම් වූ මිනිසාව පුද්ගලිකව මෙනෙහි කිරීමෙන් මේ සමාජ මුදල් වටනාකම් අත්පත් කරගන්ඩ බෑ. ඒ සදහා යුහුසුලුව ක්‍රියා කල යුතු වෙනවා.

මෙසේ යුහුසුලුව ක්‍රියා කරන ආකාරය අපේ සිරිසේන ජනාධිපතිවරයාගෙන් ඉගෙන ගන්ඩ පුළුවන්. සාමාන්‍ය පංතියේ අමරදේව ලෝලියෙකු වන ඔහු සමාජ මුදල් ඌණතාවයෙන් පෙළෙන්නෙක්. ඒ නිසා ඔහු අමරදේව සමග වේදිකාවේ අමාරුවෙන් සිංදු කියනවා. ඉන් නොනැවතී අමරදේව මාස්ටර්ගේ මිනී පෙට්ටියටත් කර ගහනවා. ඉතා ‘බිසී’ දින චර්යාවක් ඇතැයි සිතිය හැකි ජනාධිපතිවරයා තමාගේ දවසේ වැඩසටහන් ගොනුවෙන් ඔහුත් නොදැනීම වාගේ අමරදෙවගේ මිනියට කරගහන වැඩේ තෝරාගන්නේ ඔහුගේ තිබෙන මානව හිතවාදී අහිංසක උසස් කලා රසිකත්වය නිසා බවක් අපට හිතෙනවා. ඒත් මේ සම්බන්ධතා ඒ තරම් අහිංසක නොවන සමාජ මුදල් ඉපයීමේ සම්බන්ධතායැයි පියරේ බෝදියුකියනවිට අපේ රන් දේවාල බිමට සමතලා වෙනවා.

මේ කාලයේ ලංකාවේ කලාකරුවෙකුට මිය නොගොස් වයසට යනතුරු ජීවත් වන්නට සිදු වීම ඉතා අවාසනාවන්ත අත්දැකීමක්. මොකද කලාකරුවාගේ යාළුවෝ, රසිකයෝ සහ සමාජ මුදල් ඌණතාවයෙන් පෙලෙන අය එකතුවෙලා ඔහු හෝ ඇය වෙනුවෙන් උපහාර උත්සව පවත්වනවා. මෙවැනි උපහාර වැඩවලදී බොහෝවිට කලාකරුවාට පිත්තල වලින් නිමකළ රත්තරං පිගානක් කෝප්පයක් හම්බවෙනවා! ඒ හිලව්වට කලාකරුවාට තමා වටා ගොඩනැගී ඇති සමාජ මුදල් මේ උත්සව සඳහා මහන්සි වෙන අයට ලෝබ නැතුව බෙදීමට සිදුවෙනවා. උත්සවයේදී කථා පවත්වන, කලාකරුවාව ඉඹගන්නා අයට තොග වශයෙන් සමාජ මුදල් ලැබෙන අතර මෙම උත්සව මුහුණු පොත්වල අලවා හෝ අයිනෙනේ වැඩේට බහින හෝ ෆුට්බෝඩ් ඒකෙ යන අයට සිල්ලර විදිහට සමාජ මුදල් ලැබෙනවා.

පණ්ඩිත් අමරදේව යනු මෙසේ උපහාර අකරතැබ්බ වලට මදි නොකියන්න මුහුණ දුන් අයෙක්. ඔහුගේ ජිවිත කාලයේ චන්ද්‍රිකා ගෙන් පටන්ගෙනසිරිසේන දක්වා හැමෝම මාස්ටර් වෙනුවෙන් දමා ගසන ලද එකම තාලයේ උපහාර උත්සව වලට මුහුණ දීමට ඔහුට සිදුවුනා. මරාවේදිකාවට විත් මාස්ටර්ව බදාගන්නාවිට සිරිසේන ඇවිත් අමරදේව සමග යුග ගී ගැයුවා. කාටහරි අවශ්‍ය නම් ලංකාවේ දේශපාලන බල කඳවුරු අතර සමගි සන්ධානයක් ගොඩනගන්න එයට සුදුසුම කෙනා මාස්ටර් අමරදේවයි!

අමරදේව සිංදු කියපු වේදිකාවෙන් එළියේ සිටි හොරු, තක්කඩි මෙන්ම වර්ගවාදීන් සහ බෙදුම්වාදීන් තීරණාත්මක යුධ ප්‍රකාශ කරමින් දිනපතා සටන්කරමින් ඉන්නවා. ඊළඟ නිමේෂයේදී ඔවුන් මාස්ටර්ගෙ වේදිකාවේ එකත්පසෙක හිටගෙන ‘ඉපිද මැරේ යළි ඉපිදේ නොතිර සසර සාගරේ’ගීතයට අත්පුඩි ගහනවා. ඒ තමයි අමරදේව. ඔහු සංවේදියි. ඒ සංවේදීකම ඔහුගේ ගීත තුලින් උත්කර්ෂයට නැගෙනවා. ඒත් අවාසනාවකට වගේ පාළොස්වක සඳේ ලලාසාව දකින ඔහුට තල් රුප්පාවෙන් හමන මළ මිනී වල සුවඳ දැනුනේ නෑ.

ඔහු තම ජිවිත කාලය පුරාවටම සුභාවිත ගීතය උත්කර්ෂයට නැගුවා. අපේ සමාජය සාමය ගැන කතා කරනවිට සාම ගීත ගැයීමටත්, යුධ කාලයට රණ ගී සහ විප්ලව කාලෙට විප්ලව ගී ගයමින් හැමදාම වීරයෙක් වී සිටීමට තරම් ඔහු ‘ස්මාර්ට්’ කලාකාරයෙක් වුනේ නෑ. ඒ වෙනුවට ඔහු බය නැතුව ජීවිතය වින්දා. අමරදේවව පරික්ෂා කෙරෙන ලිට්මස් පරික්ෂාව ඇත්තේ මෙතනද?

අමරදේව මාස්ටර් ගැන කථාකරන, ලියන විට බර බර වචන පාවිච්චි කිරීම අනිවාර්යයයි. ‘හෙළ සංගීතයේ සුභාවිත ලකුණ’ වගේ වචන ටිකක් ගලපගන්න පුළුවන් වුනොත් සමාජ වෙළෙඳපොළේ හොඳ ආයෝජනයක්. අමරදේව ගැන වෙළෙඳපොළේ බිස්නස් කරන අය අවසානයේ නොකියා කියන දේ නම් “අමරදේව මාස්ටර්…. ඔබ මැරුණා, ඔබේ මරණයත් උස්සන් අපි ගොඩ ගියා!” යන්නයි.

සරද සමරසිංහ

උපුටාගැනීම: බූන්දියෙන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *