උපුටාගැනීම්විදෙස්විශේෂාංග

“ට්‍රම්ප්, මකබෑවියන්…. උඹ අපේ ජනාධිපති නෙවෙයි!“

ඩොනල්ඩ් ජෝන් ට්‍රම්ප් එක්සත් ජනපදයේ ජනාධීපති ධුරයට පත්වීම එරට මෙන්ම ලංකාව ඇතුළු වෙනත් බොහෝ රටවල ජනතාවගේ අවධානයට ලක්ව තිබේ.

ලංකාවේ බලවත්ම පුරවැසියන් ලෙස ජනාධිපති, අගමැති හා හිටපු ජනාධිපති වේලාසනම ට්‍රම්ප්ට සුබපතා තිබෙන බව වාර්තා විය. ලංකාවේ ඇතැම් ධනපති පුවත්පත් සිය මුල් පිටුව පළ කලේ ලංකාවේ ජනාධිපතිකමට ට්‍රම්ප් පත්වූවාක් මෙනි.

ලංකාවේ නිවට නියාලු ධනපති නායකයන් සිය නව හාම්පුතාගේ ආගමනය මෙන් ටුම්ප්ට සුභපැතුම් යවද්දී එක්සත් ජනපදයේ ජනයා ඔහුට ජනාධිපතිකම භාරගන්නටත් පෙර අභියෝග කර ඇත.

‘උඹ අපේ ජනාධිපති නොවේ!‘

ඔවුහු ඩොනල්ඩ් ට්‍රම්ප්ට හිමි දැවැන්ත ව්‍යාපාර සමූහයේ මූලස්ථානය වන ‘ට්‍රම්ප් ටවර්‘ ගොඩනැගිල්ල ඉදිරිපිටට විත් එසේ මුරගා කීහ.

එය එතැනින් අවසන් නැත. අමෙරිකාවේ ප්‍රකට ලේඛකයකු වන ජෝර්ජ් ආර්.ආර්. මාර්ටින් ජනාධිපතිවරණ ප්‍රතිඵල නිකුත් වී අවසන් කළ 9 වැනිදා උදේ බ්ලොග් සටහනකින් ට්‍රම්ප්ගේ පැමිණීම ගැන වික්ෂිප්තභාවය පළ කර ඇත්තේ මෙසේය.

“අද උදේ මට දැනෙන දේ කියන්න වචන නෑ.

අමෙරිකාව කතා කරලා… මම නම් හිතුවෙ අපි මීට වඩා හොද තැනක ඉන්නෙ කියලා…ඒත් දැන් හිතෙනවා එහෙම නෑ කියලා.

ප්‍රධාන පක්ෂයකින් අපේක්ෂකත්වයට නම් කරපු අඩුම සුදුසුකම් තියෙන කෙනා ට්‍රම්ප්. එළඹෙන ජනවාරියෙදි එයා අමෙරිකානු ඉතිහාසයෙ නරකම ජනාධිපති බවට පත් වේවි. ඒ වගේම ලෝකය තුළ වඩාත් අනතුරුදායක අස්ථාවර සෙල්ලමක් කරන්න එයා උත්සාහ කරයි. ව්‍යවස්ථාදායකයෙත් සෙනෙට් සභාවෙත් සුළුතරය බවට පත්වූ ඩිමොක්‍රැට්ලට එයාව නවත්වන්න බලයක් නෑ.

මීළග අවුරුදු හතරෙදි අපේ ප්‍රශ්න තව තවත් උග්‍ර වේවි.

සීත කාලය එනවා… මම වේලාසනම ඒක කිව්වා.“

SAN FRANCISCO, CA - MARCH 20: George R.R. Martin attends the Season 3 Premiere of HBO's "Game Of Thrones" at Palace Of Fine Arts Theater on March 20, 2013 in San Francisco, California. (Photo by Steve Jennings/WireImage)

SAN FRANCISCO, CA – MARCH 20: George R.R. Martin attends the Season 3 Premiere of HBO’s “Game Of Thrones” at Palace Of Fine Arts Theater on March 20, 2013 in San Francisco, California. (Photo by Steve Jennings/WireImage)

‘ගේම් ඔෆ් ත්‍රෝන්‘ කතා මාලාවේ නිර්මාතෘවරයා සාහිත්‍යමය බසින් කියන්නේ අන්ත දක්ෂිණාංහික පාලකයකු යටතේ එක්සත් ජනපදය මුහුණ දීමට නියමිත දුෂ්කර සමය ගැනය.

එහෙත් අප සැම අවධානය යොමු කළ යුත්තේ මිනිස් ශිෂ්ටාචාරය මුහුණ දීමට නියමිත දුෂ්කර කාලය ගැනය. ඇත්ත වශයෙන්ම ලෝකය වසර දසක ගණාවක් තිස්සේ තද ශීතකාලයක් ගෙවා දමමින් සිටින බව අමෙරිකානු ලේඛකයා වටහා ගෙන නැත. දිනපතා 25,000ක් කුසගින්නේ මියැදෙන්නේ ඒ ශීත කාලය හේතුවෙනි. බොහෝ රටවල ජනයා ලක්ෂ ගණනින් මරා දමනු ලබන්නේ ඒ ශීත කුණාටුවට හසු වීමෙනි.

සංඛ්‍යා දත්ත සිය දහස් ගණනකින් ඒ ගැන තේරුම් ගන්නට පුළුවන. ඒත් එත්සත් ජනපද ජනතාවට වැටහී ඇති සරල තැනින්ම පටන් ගත්තොත් ට්‍රම්ප් තිරිසනෙකි. වෙනස් අනන්‍යතා ඇති මිනිසුන්ගේ පැවැත්ම අභියෝගයට ලක්වෙමින් තිබෙන එක්සත් ජනපදයේ නායකත්වයට එම වර්ගවාදී මතය සහිත මිනිසෙක් පත්කරගෙන ඇත. ස්ත්‍රීන් ලිංගික උපකරණ ලෙස කල්පනා කරන සහ ලිංගේන්ද්‍රියෙන් පාලනය කළ හැකි ඔවුන්ට බැල්ලියන් මෙන් සැලකිය යුතුයැයි කියන ජනාධිපතිවරයෙක් ලෝකයේ බලවත්ම රාජ්‍යයේ වැඩිම බලයක් හිමි ස්ථානයට පත්ව ඇත. බරපතල වන්නේ ඔහු පත්කර ගෙන ඇත්තජෙනයාගේ කැමැත්තෙන් වීමය. එක්සත් ජනපද පාර්ලිමේන්තුවේ බහුතර බලය ද සෙනෙට් සභාවේ බහුතර බලයද ට්‍රම්ප් නියෝජනය කරන රිපබ්ලිකන් පක්ෂයට හිමිව ඇත. කෙසේ වෙතත් එක්සත් ජනපද ඉතිහාසයේ මෙතෙක් සිදු නොවූ වෙනසක්ද ට්‍රම්ප් බලයට පත් වීමෙන් සිදුව ඇත.

ජයග්‍රහණයෙන් ප්‍රීතිවන ට්‍රම්ප්ට ‘උඹ අපේ ජනාධිපති නෙවෙයි!‘ යනුවෙන් කෙළින්ම කියන්නට ජනයා වීදි බැස ඇත. එහෙම වුනේ ලංකාවේ හෝ වෙනත් පසුගාමී රටක නම් වටහා ගන්නට පුළුවන. අමෙරිකාවේ එසේ වීම කෙසේවත් විය නොහැකි යයි මෙයින් අදහස් නොවේ. ට්‍රම්ප්ට එසේ කියන්නට තරම් හේතු අමෙරිකානු ස්වදේශිකයන්ට, අප්‍රිකා, ස්පාඤ්ඤ, චීන හා අරාබි සම්භවයක් ඇති ජනයාට ඇත. ට්‍රම්ප් ජනාදිපතිවරයා ලෙස නොව ඔහු සිටින තැනක මොහොතක් ඉන්නට පවා ස්ත්‍රීන්ට හිත හදාගන්නට පුළුවන්දැයි නොදනිමි.

ජනාධිපති ලෙස 2017 ජනවාරි 20 වැනිදා දිවුරුම් දෙන්නට සූදානමින් සිටින ට්‍රම්ප්ට අමෙරිකානු ජනතාවගේ ජනාධිපති ලෙස පෙනී සිටීමට නොහැකිව ඇත්තේ ඇයි? පිළිතුර සරලය. එය ඔහු සිය ජනාධිපතිවරණ ව්‍යාපාරයේදී උපයාගත් අස්වැන්නය. ජනාධිපතිවරනය පුරාම ට්‍රම්ප් ප්‍රචාරය කළේ සුලුතර ජනයාට එරෙහි අදහස්ය. මුස්ලිමුන්ට, අමෙරිකානු මහද්වීපයේ ස්වදේශික සංහතියට අයත් මෙක්සිකෝ ජාතිකයන්ට, අප්‍රිකානු සම්භවයක් ඇති ජනයාට සහ වෙනත් සුදුජාතික නොවන ජනයාට එරෙහිව ඔහු කළ වෛරී ප්‍රකාශ අමෙරිකානු ජනාධිපතිවරණයකදී සිදුවූ ලජ්ජා සහගත තත්වයක් බව පවසන්නේ එරට විචාරකයන්මය.

us_protest_trump2මින් පෙර රිපබ්ලිකන් පක්ෂයේම අපේක්ෂකයකු වූ රොනල්ඩ් රේගන් ජනාධිපතිවරණය ජයගත් 1980 වසරේ අප්‍රිකානු අමෙරිකානු ජනයා තැති ගැනී සිටියහ. රේගන් නිසා කුකු ලුස් ක්ලෑන් වැනි අන්තවාදී කණ්ඩායම් රජකරනු ඇති බවත් නාසි පක්ෂය හිස ඔසවනු ඇති බවත් කියනු ලැබිනි. සිවිල් අයිතිවාසිකම් ක්‍රියාකාරිනියක හා ලේඛිකාවක වූ ‘කොරේටා ස්කොට් කිං‘ රේගන් ජයග්‍රහණය සමරමින් සිටි 1980 නොවැම්බරයේ මේ බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළාය. රේගන් පාලනයේදී මෙන්ම ඉන් පසුවද අමෙරිකානු ලිබරල් ප්‍රජාතන්ත්‍රයේ අවශ්‍යතා පූරණය කරමින් එක්සත් ජනපද සමාජයේ වර්ගවාදී මනෝභාවය නඩත්තු කෙරේ. මාස කිහිපයකට පෙරාතුව ඇරඹි කලුජාතිකයන් මරා දමන භීෂණය ඊට හොදම සාක්ෂියකි. ඒ අප්‍රිකානු අමෙරිකානුවකු ජනාධිපතිව සිටියදී ඇති වූ තත්වයයි. දැන් ඉදිරි වසරට ජනාධිපති ලෙස පැමිණෙන්නේ වර්ගවාදී ප්‍රචාර ගෙන යමින් සුදුජාතිකයන්ගේ ඡන්ද එකතු කරගත් ට්‍රම්ප් කෙනෙකි.

ඔබාමා කෙරෙහි වූ අපේක්ෂා බිදවැටී ගිය පසුව විවිධ අනන්‍යතා සහිත විවිධ සමාජ ආර්ථික පීඩාවන්ට ගොදුරුව සිටින එක්සත් ජනපදය පුරාම වසන ජනයාට කිසිදා නොසිටි ආකාරයේ නරක අනුප්‍රාප්තිකයකු පිළිගන්නට සිදුව ඇත. ඔවුහු එය පිලිගන්නවා නම් ඔවුන් මිනිසුන් ලෙස ජීවත්වන්නට සූදානම් නොවන්නන් වියයුතුය. ඉතිහාසය පුරාම මිනිස් වර්ගයා වඩා යහපත් ජිවිතයක් වෙනුවෙන් ක්‍රියාත්මක වී ඇත. සැම විටම සොබාදහම සමග පොරබදමින් වඩා සුවපහසු ජිවිතයක් වෙනුවෙන් දැවැන්ත මිනිස් ශිෂ්ඨාචාරයක් ගොඩනැගුවේ ඒ මිනිස් සංහතියේ අතීතය පුරා විවිධ දුෂ්කරතා විදි මිනිසුන්ය.

ජීවිත කැප කරමින් සත්‍ය වෙනුවෙන් පෙනී සිටි, සටන් වැදුනු මිනිස්සු වීදි බසිති. “ට්‍රම්ප් උඹ මකබෑවියන්, කොතරම් ජයක් ලැබුවත් තවදුරටත් උඹ අපේ ජනාධිපති නොවේ.“ යයි කියමින් ඔවුහු අභියෝග කරති.

වඩා යහපත් පාලනයක් අපේක්ෂාවෙන් සිටි ජනයාට ලැබී ඇත්තේ වඩා රුදුරු පාලකයෙකි. ‘අපේ එකෙක්‘ යැයි මංමුලා වී ඔබාමාට අවස්ථාවක් දී අපේක්ෂාභංගවූ ඔවුන්ට ක්ලින්ටන් මහත්මිය දැන් කියන්නේ ‘ට්‍රම්ප්ට චාන්ස් එකක් දීලා බලමු!‘ කියාය. පාලකයන්ට ජනයාගේ ජීවිත සමග සෙල්ලම් කරන්නට චානාස් දීම අවසන් වන්නේ කවදාද? තමන් සමාජවාදියෙක් බව කියමින් අමෙරිකානු පීඩිතයන් ආකර්ෂණය කර පසුව හිලරි ක්ලින්ටන්ට ඉඩදීම මිස පීඩිතයන් වෙනුවෙන් තුන්වැනි අපේක්ෂකත්වයක් ලබා නොගත් බර්නි සෑන්ඩර්ස් නොකියා කීවේද චාන්ස් එකක් දීම ගැනය.

එහෙත් පාලකයන්ට ජනතාව සමග සෙල්ලම් කරන්නට පාලනය අත්හදා බලන්නට වරමක් හිමිවන්නේ නැත. එක්සත් ජනපදයේ ජනාධිපතිකම හිමිකරගත් ට්‍රම්ප් විසින් උගෙන ගන්නා පාඩම වනු ඇත්තේ එයයි. එක්සත් ජනපදයට මෙන්ම ලෝකයේ බිලියන හතක් ජනයාට ඉරණම ලියැවී ඇත්තේ තද ශීත හිම කුනාටුවක් සමග පොර බදමින් වඩා යහපත් ජිවිතයක් වෙනුවෙන් වැඩ කරන්නටය. එක් පසෙකින් ලෝකය චීන, යුරෝපා, රුසියානු හා එක්සත් ජනපද බල කේන්ද්‍රයන් විසින් බෙදාගන්නට උගුල් අටවමින් තිබියදී සහ අධිරාජ්‍යවාදයේ බලකනුවක් ලෙස එක්සත් ජනපදයට අන්ත දක්ෂිණාංශික පාලකයෙක් පැමිණ සිටියදී එය පහසු නැත. ධනවාදය සිය බල කේන්ද්‍රයන් සීරුමාරුකරමින් පීඩිත ජනයා මාරුවෙන් මාරුවට ගොදුරු කරමින් සිටියදී පීඩිතයන් වීදි බැස සටන් කළ පමනින් සියල්ල වෙනස් නොවනු ඇත.

එහෙත් ලෝකයේම ජනයා සංවිධානාත්මකව එක් වුවහොත්, සටන් කිරීමට හෝ කේවල් කිරිමට හැකි අයෝමය බලයක් බවට පත් වුවහොත්, එදාට ‘ට්‍රම්ප්‘ පමණක් නොව “ධනවාදය මකබෑවියන්!, තවදුරටත් නුඹට අප යටත් නැත“ යයි කිව හැකිය. එදාට අප මුහුණ දෙමින් සිටින තද ශීත කාලය අවසන් වනු ඇත.

උපුටාගත්තේ  LV

Leave a Reply

Your email address will not be published. Required fields are marked *