මාස දොළහ පුරාවට මේ මහ පොළව කොච්චරනම් කඳුළු බර ඔසවාගෙන හිනාවෙන්නට උත්සහ කරනවා ඇත්ද. කතාවක් අහලා තිබුණා මීට ටික කාලෙකට කලින්, ඇත්තටම ඒක කතාවක් කිව්වට පුංචි පද පේලි කිහිපයක්.
මහ කඳුළු වැල් ගලන
අනේ මේ දෙරණ මත
කෙසේ ඉවසනු ඇත්ද
බර වැඩි කඳුළු
බොහෝ බර උසුලන
මේ මහ පොළව
මේ නොවැම්බර් මාසේ කියන්නේ ලෝකේ පුදුම දේවල් සිද්ධ වුණ මාසයක්. සීතලට සැරසුණාට ලෝකේ බිලියන ගණනක් මිනිසුන්ගේ ලේ රත්කරපු මාසයක්, ලංකාව පැත්තෙන් බැලූවත් බොහොමයක් කඳුළු කතන්දර වලට පාදක වුණ නොවැම්බරයන් ගණනාවක් අපි පසුකලා. ඒ නොවැම්බරයක් අපේ මතකය ඇතුලේ කළු – සුදු මතක රඳවලා තියෙන්නේ අපිටවත් ගලවලා ඉවත් කරන්න බැරිතරමටම තදින්.
1762 බල්ගේරියාවේ ජාතික පුනරුදය ආරම්භ වෙන්නේ හරියටම මේ සීතල පටන්ගන්න නොවැම්බර් මාසේමයි. ලූබෙන් කරවෙලෝ, වාසෙල් ලෙවෙස්කි, හිස්ටෝ බොටෙව් වගේ දාර්ශනිකයින්, සාහිත්‍යධරයන්, ජනමාධ්‍යවේදීන් තමන්ගේ ඔලූව, පෑන දිගු කරමින් බල්ගේරියානු ජාතික පුනරුදයට කැපවෙනවා. සමාජවාදී පරිසයක දළුලා වැඩෙන ජාතික පුනරුදය දිහා බලාගෙන බොහොම සැනසිලිසහගත සිතින් වගේම ආවේගශීලී, විප්ලවීය හදගැස්මෙන් මේ බල්ගේරියානු ජනවීරයන් එක පෙළට සිටගන්නවා තමන්ගේ ඒකායන අරමුණ වෙනුවෙන්. අදටත් බල්ගේරියාව නොවැම්බර් පළමුවෙනිදා මේ වීරයන්ට හිස නමන්නේ ඔවුන් එදා කැපකල බොහෝ දේවල්වල ප‍්‍රතිඵලයක් නිසා අද බල්ගේරියානුවන්ට බල්ේගරියාවක් ඉතිරිවෙලා තියන නිසයි. එදා බල්ගේරියානු ජාතික පුනරුදය ඇතුලේ සමාජ, ආර්ථික සහ සංස්කෘතික සංවර්ධනයට ඒ විප්ලවය දායක වුනත් ලෝකේ හැම විප්ලවයක්ම එහෙම වුණේ නෑ. මොකද හැම විප්ලවයකම අරමුණ එකම වගේ වුණේ නැති නිසා.
ඒ වගේම 1963 නොවැම්බර් කියන්නේ ලෝකයේ ධනවාදය වෙනුවෙන් කැපවුණ, ධනවාදය පෝෂණය කල එහෙත් ලෝක සාමයට කැපවුණ ඇතැම් අයගේ වෛරයටත්, ඇතැම් අයගේ ආදරයටත් පාත‍්‍රවුණ ජෝන් එෆ්.කෙනඩි හෙවත් ඇමරිකා එක්සත් ජනපදයේ 35 වැනි ජනාධිපතිවරයා මරාදැමූ මාසයයි. කෙනඩි කියන්නෙ බොහොම සීතල තීරණ වලින් තියුණු ප‍්‍රතිඵල අත්විඳපු නායකයෙක්. කෙනඩි ගත්ත බොහොමයක් තීරණ අද ලංකාවේ ඉන්න රාජ්‍ය නායකයන්ට බොහොම වැදගත්. කෙනඩි හොඳින් දැනසිටි කාරණයක් තමයි යුද්ධයක් අවුලවන තරම් ඉක්මණට එය නිවන්න බෑ කියලා. අද අපි අත්විඳින බොහොමයක් කටුක සිදුවීම්වලටත් පදනමක් වෙන්නේ අන්න ඒ සංසිද්ධිය එක්කයි. යුද්ධයක් ඇවිලෙන එක වලක්වන්න තමන්ගේ ප‍්‍රසිද්ධ හතුරා වශයෙන් සිටි සෝවියට් දේශයට එරෙහිව ගත්ත බොහොම තීරණ පණ මදි කියලා ඇමරිකාවේ ජනතාවම කෙනඩිට දැඩි චෝදනා එල්ල කලා. ඒත් පස්සේ කාලේ බොහොම නිවිසැනසිල්ලේ කල්පනා කලාම තේරුම් ගන්න පුළුවන් දේ තමයි එහෙව් තීරණ නිසා මොනතරම් යුද්ධ, කෝලාහල සහ සමූහ විනාශයන් වැලකුණාද කියලා. එදා කෙනඩිට අවි අමෝරපු අයට නොදැනුණ දේ වර්තමානයට දැනෙනවා. මේ නොවැම්බර කෙනඩිව මරලා දන්න හවුල් වුණාට අදටත් මේ නොවැම්බරය විඳවනවා ඇති ඇවිලෙන ගින්නට පිදුරු සම්පාදනය නොකරපු කෙනඩිලා වගේ නායකයෝ මරලා දැම්මට.
නොවැම්බර් මාසසේ තමයි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා වගේම වේළුපිල්ලේ පිරභාහරන් ඉපදෙන්නේ. 2009 යුද්ධය ඉවරවුණා කියලා සුසුම් හෙළුවට යුද්ධයේ ප‍්‍රතිවිපාක විඳින රටක් විදියට අපි අදටත් නොවැම්බරය ඇතුලේ යුද්ධයෙන් අහිමිවුණ ජීවිතවල, දේපලවල වන්දිය ගෙවනවා. වරක් එක ඉන්දියානු ස`ගරාවක් කියලා තිබුණා ලංකාවේ භූමීය ඇතුලේ ලොකු ශාපයක් තිබෙනවා කියලා. ඔවුන් මතුකලේ හේතුවාදයට ප‍්‍රතිවිරුද්ධ එහෙත් කර්මයට සහ භූත විද්‍යාවට ඥාතිකම් කියන තර්කයක්.
ඒ සඟරාව කියපු විදිහට ලංකාව ඇතුලේ තිස් අවුරුද්දක යුද්ධය, තරුණ කැරළි, දේශපාලනික සහ පුද්ගලික කෝන්තර මත නැතිවෙන ජීවිත ගණන බොහොම වැඩියි. මේ මියයන බොහොමයක් පුද්ගලයන් මිය යන්නේ අධික වේදනාවක් විඳලා, සමහර විට ඔවුන්ගේ අන්තිම හුස්මත් එක්ක මතුවෙන සිතිවිල්ල වෙනවා ඇත්තේ ආයෙත් මේ දුක් විඳින්නනම් මේ රටේ නොඉපදේවා කියලා වෙන්න පුළුවන්. එහෙම නරක සිතිවිල්ලෙන් මැරෙන මිනිස්සු වළදාන්නේ ලංකාවේ පොළව ඇතුලේ. එතකොට ඒ මැරුණ මිනිස්සුන්ගේ නරක සිතුවිලි ශාපයක් විදිහට මේ රටට වින කරනවා, ඒක නිසා කවදා මොනවා කරත් ලංකාව ඔය කියන පාරාදීසයක් කරන්න ලැබෙන්නේ නෑ කියලා.
එක පැත්තකින් මේ කතාවෙ සත්‍යයක් තිබෙන්න පුළුවන්. මේ තවත් මේ රටට හලන්න කඳුළු නෑ කියලා අපි හැමෝම දන්නවා. මේ රටට ශාපයක් වෙන්නේ මැරුණ මිනිස්සුන්ගේ සිතිවිලිවලට වඩා ජීවත්වෙලා ඉන්න අ¥රදර්ශී නායකයන්ගේ වගේම ඔවුන්ගේ පස්සේ දුවන අඥාන මිනිස්සුන්ගේ මතවාදවල කියලයි පුද්ගලික අදහසනම්. මැරුණු මිනිස්සුන්ගේ සාප පස්සේ දුවනවට වඩා ජීවත්වෙලා ඉන්න මිහිපිට සාපවලින් මේ රට ගලවගන්න ඕන කියලා අඩුම ගානේ ඡුන්දයක් කාලෙටවත් අපේ රටේ අති බහුතරයක් මිනිස්සුන්ට මතක් වෙන්නේ නෑ. අන්න ඒ නිසයි කියන්නේ මිහිපිට සාප මේ රටට සාපයක් වෙද්දි බොරුවට මැරුණු මිනිස්සුන්ගේ ආත්ම වලට ගරහලා වැඩක් නෑ කියලා. ඒත් ඒක අපේ පුරුද්ද.
මේ ඉල් මාසේ සමහර සංවිධාන වීරයෝ සමරාවි. වීරයෝ කියලා නම් කරපු ස්මාරක වලට බොහොම වටිනා මල්කළඹ තියලා, විනාඩි කීපයක් නිශ්ශබ්දව ඉඳලා යකඩ කටවල් කුඩුවෙන්න අනුස්මරණ කතා පවත්වාවි. හැබැයි මේ නොවැම්බරයේ උත්තරීතර අරමුණු වෙනුවෙන් පස්කඳු වලට යටවුණු, උණ්ඩ වලට බිලිවෙලා අළුවෙලා ගියපු, පණ පිටින් මහ මුහුදට, ඇළ දොළ වලට දාලා මරපු සැබෑ වීරයෝ ඉන්න තැනක ඉඳන් විස්සෝප වේවි තමන්ව විකුණගෙන කන විදිහ දැකලා.
නොදන්නා එවුන් වෙනුවෙන්
ජීවිතේ කැපකල උන්
අද පස්කඳු යට
අපි උන්ගේ වළවල් උඩ
ඇවිදිමින් හොයනවා
බඩ වියත.
ඇත්තම කතාව මේකයි. නොවැම්බර් ගණනාවක් අපි පහු කලත් මේ කතාව අපිට හැමදාටම මතක තියාගන්න ඕන යමක් ඉතිරි කරාවි.
උපුටාගත්තේ පසුගිය වසරේ නොවැම්බරයේ ඉරුදින – ජනයාගේ කොලම