“ජනකාන්ත (Charismatic) පුද්ගලයෙකු ඉස්මතු නොවීම සම්බන්ධයෙන් ඇමරිකාව ඉතා වාසනාවන්තය. ජනකාන්ත බොහෝ පුද්ගලයින් බොහෝවිට වංචාකාරයෝය, හොරුය. හරියට සෙනෙට් සභික මැකාති, නික්සන් ජනාධිපති හෝ ඉවැන්ජලික දේශකවරු මෙනි. කෙසේ හෝ ජනකාන්ත අවංක අයෙකු පැමිණියහොත් මේ රට මහා අවුලකට පත්වීමට පුළුවන. මහජනතාව අතර පුපුරමින් පවතින අපේක්ෂාභංගත්වය, කළකිරීම, වෛරය, පිළිතුරු දීම මගහැර ඇති ප්‍රශ්ණ වැනි දේවල් ඊට බලපානු ඇත.
කවුරුන් හෝ කෙනෙක් ඇවිත් ‘මට ඔබට කියන්න දෙයක් තියෙනවා… ඔබලා දන්නවද? අපිට මේ ප්‍රශ්ණ එන්නෙ එක්තරා හතුරෙක් නිසා…’
‘එක පැත්තකින් යුදෙව්වෝ, අනිත්පැත්තෙන් විදෙස් සංක්‍රමණිකයෝ සහ කළු ජාතිකයෝ…’
අපිට ඔහු කියනවා… ‘සුදු පිරිමි තමයි වැඩිපුරම හිංසාවට පත්වෙන්නෙ. ඒක නිසා අපි අපිවම වගේම ජාතියත් ආරක්ෂා කරන්න පෙළ ගැහෙන්න ඕන…!’
ඔහු හමුදාව තර කරනු ඇත, මිනිස්සුන්ට හිරිහැර කරනු ඇත. ඔහු පසුපසින් ගොඩනැගෙන පිරිස බලවත් පිරිසක් බවට ඉබේම වාගේ පත්වෙයි. එය ජර්මනියේ සිදුවුණාටත් වඩා ප්‍රබල වේවි…, අනතුරුදායක වේවි…!”
-නොම් චොම්ස්කි (2010 වසරේදී)
මානව ශිෂ්ටත්වයේ අගය කිරීම්, සදාචාර වටිනාකම්, මානව සමාජයේ ඉදිරියට යෑමට සමාන්තරව දියුණුවට පත්වන්නේය. මානව සංහතියේ තීරණාත්මක කාලපරිච්ඡේදය වූ පසුගිය වසර 75ක පමණ කාලය පුරාවට මානව සමාජයේ දිශානතිය තීරණය කළ කේන්ද්‍රීය රාජ්‍ය වූ ඇමරිකා එක්සත් ජනපදය සිය ඉතිහාසය තුළ පැවැත්වූ අශිෂ්ටතම ජනාධිපතිවරණය පවත්වා, අශිෂ්ටතම පුද්ගලයෙකු ජනාධිපති ලෙස පත්කොටගෙන කිසිදා නොමැකෙන කළුපැල්ලමක් එක්කොටගෙන හමාරය. ලෝක පොලිස්කාරයාගේ භූමිකාව රඟදක්වමින් ජාත්‍යන්තරව අපමණ වංචාකාරී, පීඩාකාරී ක්‍රියාවන් සිදුකළ ඇමරිකාව එරට ජනතාව විසින්ම අපකීර්තියට පත්කර තිබීම දෛවෝපගතය. මේ උත්සාහය නව ජනාධිපතිවරයාගේ ආගමනය ගැන කෙටි සටහනක් තැබීමය.
ඇමරිකාව අවිවාදිතවම ලොව දියුණුතම සහ බලවත්ම රාජ්‍යයයි!
මේ වන විට ලෝකයේ සිටින ධනවත්ම පුද්ගලයින් 100 දෙනාගෙන් 43ක්ම ඇමරිකානුවන්ය. ලොව විශාලතම සමාගම් 50න් 20ක්ම ඇමරිකානු සමාගම්ය. වෝල්මාට් සමාගම රටක් ලෙස සැලකුවහොත් එය ආර්ථික ශක්තිය අතින් ලෝකයේ 25 වැනි රට බවට පත්වේ. ඊට අමතරව තවත් ඇමරිකානු සමාගම් 25ක් ලෝකයේ අනෙකුත් රටවල දළ ජාතික නිෂ්පාදනයට වඩා වැඩි ධනයකට හිමිකම් කියයි. ලෝකයේ ආරක්ෂාව වෙනුවෙන් වැඩිම ප්‍රමාණයක විදයම් දරන්නේ ඇමරිකාව විසිනි. එය කොතෙක්ද යත් ඇමරිකාවට පසුව ආරක්ෂක වියදම් දරණ අනෙකුත් රටවල් හතක එකතුවට වඩා වැඩි මුදලක් ඔවුහු ආරක්ෂාවට වැය කරති.එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමස්ත විදයම් වලින් 25%ක පමණ ප්‍රමාණයක් දරන්නේ ඇමරිකාව විසිනි. මේ අනූව ලෝකයේ ප්‍රබලතම රට ලෙස ඇමරිකාවේ භූමිකාව අවබෝධ කොටගැනීම අපහසු නොවේ. කලාව, සාහිත්‍ය, සිනමාව, සංස්කෘතික නිර්මාණ, ක්‍රීඩා අතින් ද ලෝකයේ ප්‍රමුඛතම රට බවට ඇමරිකාව සටහන්වන්නේ එහි කාර්මික දියුණුව නූතන මානව ජීවිතයේ සියළු ඉසව් ආවරණය වන අයුරින් විසිරයාම නිසාවෙනි.
ලෝකයේ බලවත්ම රාජ්‍යය වත්මන් ලෝක සමාජ ක්‍රමයේ හැසිරීම ගැන සැලකිය යුතු වගකීමක් දැරිය යුතුය!
නවතම ඔක්ස්ෆෑම් වාර්තාවට අනුව ලෝකයේ ධනවත්ම පුද්ගලයන් 50 දෙනාගේ වත්කම, ලොව වසන දුප්පත්ම මිනිසුන් බිලින 3.2කගේ (3,200,000,000) වත්කම් වලට වඩා වැඩිය. එම වාර්තාවට අනුව 2010-2015 කාලය තුළ දුප්පත්ම මිනිස්සුන්ගේ වත්කම් 41%කින් පහළ ගොස් ඇති අතර සුපිරි ධනවතුන්ගේ වත්කම් ප්‍රමාණය තුන් ගුණයකටත් වඩා ඉහළ ගොස් ඇත. කුසගින්න, රෝගාබාධ, සනීපාරක්ෂාව, අවම ජීවන පහසුකම් අවසාන වශයෙන් ගුණාත්මක බවින් තොර ජීවිත තව තවත් දුෂ්කරතාවයට පත්ව ඇත.
2008 වසරේ ලොව දියුණුතම රටවල් කේන්ද්‍රකොට ඇතිවූ ආර්ථික අවපාතය, ඒ රටවල සාමාන්‍ය ජනජීවන ස්වභාවයට දැවැන්ත අභියෝගයක් විය. ජනාධිපති බරක් ඔබාමාගේ “Change” (“වෙනසක්”) වෙනුවෙන් වන පාඨය වටා මිනිසුන් රොක්වූයේ සැබෑම වෙනසක් ඔවුනට අත්‍යවශ්‍ය වූ නිසාය. අශිෂ්ඨ පුද්ගලයෙකුගේ ආගමනය ප්‍රධාන හේතුවඩිමොක්‍රටික් පක්ෂයේ බරක් ඔබාමා කෙරේ තැබූ විශ්වාසය ඉටු නොවීමයි. ඔහු ජනප්‍රියවාදී ප්‍රතිපත්ති කිහිපයක් ක්‍රියාත්මක කළ නමුත් ව්‍යූහමය වශයෙන් කිසිදු වෙනසක් කළ නොහැකි විය. නිදහස් ගිනිඅවි භාවිතය ගැන වේදිකාව මත හැඬුවා මිසෙක වෙනසක් ඇතිවූයේ නැත.
මේ ෆයිනෑන්ෂල් පුවත්පතෙන් ඒ පිළිබඳ සටහනකි : “ගෘහස්ත මධ්‍ය ආදායම 5.2කින් ඉහළගොස් ඇත. එහෙත් එය තවමත් ආර්ථික අවපාත සමයට වඩා අඩුය. ඉහළතම ආදායම් ලබන්නන්ගේ වත්කම් 10% සිට 18% දක්වා ඉහළ ගොස් ඇත. ඉහළ කළමණාකාරී රැකියාවල වේතන ඉහළගොස් ඇත. ඉහළ ආදායම් ලබන රටවල් අතර වැඩිම ආදායම් විෂමතාවයක් පවතින්නේ ඇමරිකාව තුළය. රටවල් ද්විත්වයක තත්ත්වය එකිනෙකට වෙනස් වෙනවා යනු මෙකී විෂමතාවය අපේ තෝරාගැනීමක් මිසෙක ආර්ථිකයේ ස්වභාවයක් වරදක් නොවන බව පැහැදිලිය. වයස 25-54 අතර සේවා වියුක්ති ජනතාව 3%සිට 12% දක්වා ඉහළ ගොස්ඇත.”
දිගින් දිගටම පවතින සමාජ ආතතිය ඇමරිකාවට අන්තවාදයක් වෙත මග කීවේය. එක්පසෙකින් Occupy Movement, Black Lives Matters වැනි අයිතීන් වෙනුවෙන් සටන් කරන වාමාංශික කොටස්වල නැගීම මෙන්මනව නාසිවාදී සහ KKK (Ku Klux Klan) වැනි අන්ත දක්ෂිණාංශික සංවිධාන වල නැගීමක් සිදුවිය.
marxist.com වෙබ් අඩවියේ කර්තෘ ඇලන් වුඩ් මෙලෙස අදහස් දක්වයි : “බොහෝ රටවල තියුණු ආකාරයෙන් වාමාංශයට සහ දක්ෂිණාංශය දෝලනය වීමක් දකින්න පුළුවන්. බලන්න ග්‍රීසිය දිහා… සිරිසා නිසා බලාපොරොත්තු කඩවුණු පිරිස දක්ෂිණාංශයට ඇදෙනවා… ප්‍රංශය, ජර්මනිය, බ්‍රිතාන්‍ය, නෙදර්ලන්තය හැමතැනම එහෙමයි. වාමාංශයට බරවෙන හැම අවස්ථාවකදීම එය තියුණු ලෙස දක්ෂිණාංශයට දෝලනය වෙන බවත් බලාපොරොත්තු වෙන්න ඕන. අගයකිරීම්, වටිනාකම් සම්පූර්ණයෙන්ම වෙනස් අන්ත දෙකකට මාරුවෙන මේ තත්ත්වය ගැන අපි තේරුම් ගන්න ඕන කොහොමද?
දෙපැත්තට දෝලනය වන මේ මහජනතාව විසින් බලාපොරොත්තු වෙන්නෙ එකම දෙයයි. ඔවුන්ට අවශ්‍ය මේ අවුලෙන්, මේ පීඩාවෙන් එළියට එන්න මාර්ගයක් හොයාගන්න. ඔබ විසින් ඇමරිකාවේ දකින්නේ සාමාන්‍ය මිනිස්සුන්ගේ අන්තර් ක්‍රියාවක් (Plebian Interaction). මේක ලක්ෂ ගණනක් මිනිස්සුන්ගේ සාමූහික ප්‍රතිචාරයක්. ඔවුන්ට විශාල දුක්ගැනවිලි ප්‍රමාණයක් තියෙනවා කාලයක් තිස්සෙ පවතින…!”
ට්‍රම්ප්ගේ ආගමනය
2015 ජූනි 16 වැනි දින, තමන්ගේ ජනාධිපති අපේක්ෂත්වය පිළිබඳව වන බලාපොරොත්තුව ප්‍රකාශයට පත්කරමින් ට්‍රම්ප් විසින් තමන් සැලකිළිමත්වන කරුණු සමාජය අභිමුව තැබීය. නීති විරෝධී සංක්‍රමණ, ඇමරිකානු සමාගම් විසින් සිය රැකියාවන් විදෙස් රටවලට යොමු කිරීම, ඇමරිකානු රාජ්‍ය ණය සහ ඉස්ලාම් ත්‍රස්තවාදය එහිදී කේන්ද්‍ර කොට ගැණුනු අතර ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයේ තේමාව වූයේ මෙම කරුණුයි.
“ඇමරිකාව නැවතත් ශ්‍රේෂ්ඨත්වයට පත්කරමු!” මේ ඔහුගේ තේමා පාඨයයි.
ඇමරිකාවට ශ්‍රේෂ්ඨත්වය ගෙන ඒම සදහා ට්‍රම්ප්ගේ ගමන්මාර්ගය වෛරය, හිංසාව, වර්ගවාදය වැනි මානව ශිෂ්ටත්වයට එරෙහි වූ අදහස් පෙළක නිමැවුමක් විය. ඇමරිකානු බටහිර ශිෂ්ටත්වය විසින් සෘජුලෙසම ප්‍රතික්ෂේප කළ ෆැසිස්ට්වාදී අදහස් ට්‍රම්ප්වාදීන් එළිපිට සමාජජාලා වෙබ්අඩවි වල පළකරන්නට විය. හිට්ලර්ට සහ ස්ටාලින් සම්බන්ධයෙන් බටහිර පොදු ජනමතයෙන් පැනනගින විරෝධය සංවිධානය වී තිබෙන ෆැසිස්ට්වාදයට නව පිළිගැනීමක් ලැබෙමින් පැවතුනි.
ආරම්භයේ සිටම ට්‍රම්ප් විසින් රිපබ්ලිකන් පක්ෂයේ ප්‍රතිරූපයට දැඩිලෙස හානිකරමින් සිටින බවට වන අදහස ප්‍රචලිතව තිබුණි. සැබැවින්ම ඔහු විසින් දැරූ අන්ත දක්ෂිණාංශික ජනප්‍රියවාදී අදහස් පෙළ මධ්‍යම පාන්තික රිපබ්ලිකන් පාක්ෂිකයින් ඔහු කෙරෙන් ඉවත්කරලීමට හේතුවිය. සදාචාරමය ශිෂ්ටත්ව වටිනාකම් ඔහු කිසිලෙසකින්වත් සැලකුවේ නැත. ප්‍රතිවාදියා කෙරෙහි කොන්දේසි විරහිත හිංසාකාරී බවත්, ඓතිහාසිකව ගොඩනැගී ඇති ඇමරිකානු විනීතබවත් ට්‍රම්ප්ගේ ශබ්දකෝෂයේ තිබුණේ නැත. ඒ වෙනුවට කොන්දේසි විරහිතව ප්‍රතිවාදියා බිමහෙළන WWE මල්ලපොර තරගයක “ලය” (Tempo) ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය පුරාවට තබාගැනීමට ට්‍රම්ප් සමත් විය.
සමලිංගිකයින්, ස්ත්‍රීන් සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආස්ථානයන් ලිබරල් මානව හිමිකම් සුණු විසුණු කොට දැමීය. සමලිංගික විරෝධී සාම්ප්‍රදායික කතෝලික පල්ලියේ ස්ථාවරය ඉසිලූ ඔහුගේ උප ජනාධිපති ලෙස යෝජිත මයික් ෆෙන්ස් විසින් කාලාන්තරයක් තිස්සේ LGBT සමාජ කොටස්වලට එරෙහිව සිය මතය සහ ක්‍රියාවන් ඉදිරිපත්කළ අයෙකි. ට්‍රම්ප් විසින් කාලාන්තරයක් තිස්සේ කාන්තාවන්ට එරෙහිව සිදුකළ අඩන්තේට්ටම් පිළිබදව වන චෝදනා පිළිබදව කූඨාප්‍රාප්තිය ඔහු සහ බිලී බුෂ් අතර සිදුවූ සංවාදපටයක් ප්‍රසිද්ධවීම තුළින් අවසාන විය. එය ඔහුට හිතවත් රිබප්ලිකන්වරු ගණනාවකගෙන් ඔහුට ලැබෙමින් තිබූ සහයෝගය ඉවත්කරලීමට සමත්වූවා මිසෙක ඔහුගේ හැසිරීමට කිසිම බලපෑමක් නොකරන ලදි. මෙක්සිකෝවෙන් සිය රටට අපරාධකරුවන් සංක්‍රමණය කරනවා යැයි චෝදනා කළ ට්‍රම්ප්, මෙක්සිකෝව සහ ඇමරිකානු දේශසීමා විශාල තාප්පයකින් වෙන්කරන බවත්, ඇමරිකාවට පැමිණෙන මුස්ලිම් ජනතාව නතරකරන බවටත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය. මේ හේතුකොට ගෙන ඇමරිකාව පුරා සුළු ජාතිකයින් එරෙහි හිංසාකිරීම් ඉහළ යමින් පවතී.
ට්‍රම්ප් දිනුවේ කෙසේද?
පොදුජනතාවගේ ගැටළු නිරාකරණය කෙසේ වෙතත් මිනිස් සමාජයේ ඇති සාම්ප්‍රදායික වටිනාකම්වත් නොසලකන කෙනෙකු ලොව බලවත්ම රටේ ජනාධිපති වූයේ කෙසේද යන්න තවමත් වටහාගත නොහැකි ගැටළුවකි.
මේ ඇලන් වුඩ්ගේ අදහසේ දිගුවකි : “ටයි දාගත්ත මධ්‍යම පාන්තික වෘත්තීය විචාරකයෝ කියනවා, මිනිස්සු ජාතිවාදීයි වර්ගවාදීයි, ඔවුන් ඇමරිකාවේ වැදගත්කම පාවාදුන්නා කියලා. ඒ අය මේ ඉලක්ක කරන්නෙ වැඩකරන පංතියෙ මිනිස්සුන්ව. මේක සම්පූර්ණ වැරදි විග්‍රහයක්. මේ අය දන්නෙ නැහැ ඇත්තටම මොකද්ද වෙන්නෙ කියලා. යුරෝපා සංගමයේ සාමාජිකත්වයෙන් ඉවත්වෙනකොට බ්‍රිතාන්‍යය ගැනත් මේ තර්කයම ඉදිරිපත්කරා. නයිජල් ෆරාජ්, ට්‍රම්ප් වැනි පුද්ගලයින්ගෙ අදහස් ගත්තම ඒවා වර්ගවාදී තමයි. ඒත් මිලියන ගණන් බ්‍රිතාන්‍ය හෝ ඇමරිකානු මිනිස්සු වර්ගවාදීයි, ජාතිවාදීයි කියලා ලේබල් ගහලා ඉවත්කරන්න බැහැ. ඔවුන්ගෙන් බහුතරයක් සියළු ජනවර්ග සමග සහෝදරත්වයෙන් ජීවත්වුණා, මේ ජයග්‍රහණයෙන් පස්සෙත් වැඩිපිරිසක් එකට ඉඳීවි. අවාසනාව බොහෝ අය අර ජාතීවාදී ප්‍රකාශවලින් ඇවිලීමේ අවදානමයි.
ඇත්තම කතාව තමයි මේ සිද්ධවෙන්නෙ පවතින හෙජමොනික බලයට විරෝධය පළ කිරීමක් කියන එක. ඒක පාර්ලිමේන්තුවේ හෝ කොංග්‍රසයෙ ඉඳන් රට හසුරුවන ටයිදාගත්ත පිරිසට විරුද්ධව කරන දෙයක්. ආණ්ඩුව සහ විපක්ෂය දෙකටම විරුද්ධව. පාලකයින්ට වැඩකරන පන්තිය ගැන කිසිම හැඟීමක් නැහැ. හැමදාම ඔවුන් වැඩකරන පංතිය දෙවැනි පංතියක් විදිහටයි සැලකුවෙ. කිසියම් ආර්ථික වාසියක් එනකොට ඒක තමන් සහ ධනපති පංතිය වෙනුවෙන් අත්පත් කරගන්නවා සහ වැඩකරන පංතියට කටු ටිකක් ලබාදෙනවා, හැබැයි කිසියම් දුෂ්කරතාවයක් ආවගමන් වැඩකරන පංතියට සියළු වගකිම් පවරනවා…!”
වුඩ් විසින් ට්‍රම්ප්ට ඡන්දය දුන් පිරිසේ මනෝභාවය තේරම්ගැනීම සදහා ට්‍රම්ප්ගේ වර්ජිනියා ප්‍රාන්ත ක්‍රියාකාරික ජොන් ෆෙඩ්රික් නම් පුද්ගලයෙකුගේ අදහසක් ගෙනහැර දක්වයි : “මේක වැඩකරන පන්තියේ විප්ලවයක්. කවුරුවත් දැක්කෙ නැහැ ඒක සිද්ධවෙන හැටි. ප්‍රභූ පන්තියේ මාධ්‍ය චීස් කමින්, ෂැම්පේන් බොමින් කිසි විටෙකවත් සැබෑ ඡන්දදායකයො ගැන කතාකරේ නැහැ. පාලක පංතිය, වොල්ස්ට්‍රීට් වහල්හිමි පංතිය විසින් වැඩකරන පංතියේ මිනිස්සුන්ව රැවැට්ටුවා.”
ට්‍රම්ප්ට ඡන්දය ප්‍රකාශ කළ ඉන්දියානු සංක්‍රමණික ජෙස් සිංග් : “ට්‍රම්ප් දිනුවේ ඔහු දේශපාලකයෙක් නොවන නිසා. ඔහු ගැන මං කැමති, ඔහු කතාබහ කරන්නෙ සාමාන්‍ය මිනිහෙක් වගේ. ඔහු ශක්තිමත් නායකයෙක්.”
ඒ අනූව සමාජවාදය දෙස එල්ල නොවුණත් ට්‍රම්ප්ගේ ජයග්‍රහණයට වැඩකරන පංතියේ මිනිසුන්ගේ දැවැන්ත දායකත්වයක් ලැබී ඇත. ඔවුන්ගේ විරෝධය එල්ල කිරීම සදහා වෙනත් විකල්පයක් ද තිබුණේ නැත.
බර්නි සැන්ඩර්ස්
ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂකත්වය වෙනුවෙන් පැවති ඡන්ද විමසීම් සමයේ සිටම අන්ත දක්ෂිණාංශික ට්‍රම්ප්ට වැඩිම තරඟයක් දියහැකි පුද්ගලයා ලෙස හැදින්වූයේ සමාජවාදී බර්නි සැන්ඩර්ස්ය. විකීලීක්ස් හෙළිදරව්වට අනූව ඩිමොක්‍රටික් පක්ෂ ජාතික කමිටුව සහ හිලරි ක්ලින්ටන් අතර බර්නි සැන්ඩර්ස්ට එරෙහි එකඟතාවයක් තිබී ඇත. පවතින බලව්‍යූහය වෙනස් කරමින් වඩා ශිෂ්ඨත්වයෙන් යුතු සමාජයක් වෙනුවෙන් පෙනී සිටි සැන්ඩර්ස්ට අනපේක්ෂිත ලෙස ලැබුණු ජනප්‍රියත්වය කෙසේ හෝ පරාජය කිරීමට හිලරි ක්ලින්ටන් සමත්විය.
නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සැබැවින්ම කුමක් කරාවිද යන්න උපකල්පනය කිරීමට තවමත් කල්වැඩිය. තමන් විසින් මුහුණදෙන පීඩනය සංක්‍රමණිකයින් වෙත සහ අනෙකුත් පහසුවෙන් වෛරයට හසුවන සුළු පාර්ශ්ව වෙත එල්ලවීමක් පමණක් ඉදිරියේදී බලාපොරොත්තුවිය හැකිය. නවීන ලෝකයට මග කියූ රටකට අශිෂ්ඨ නායකයෙකුගේ ආගමනය ගැන නැවත නැවතත් සිදුකරන අධ්‍යයනයන් විසින් ලෝකය පත්ව ඇති අර්බුදය පිළිබඳ වැටහීම ඇතිකරයි යන අදහස පමණක් අවසාන වශයෙන් සඳහන් කළ හැක.