උපුටාගැනීම්විශේෂාංග

ලෝකය ආපස්සට ජනපති අනතුරක…

පසුගිය සතියේ වඩාත්ම ආන්දෝලනාත්මක සිදුවීම වූයේ අමෙරිකානු ජනාධිපතිවරණය යි.

අමෙරිකානු ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය බොහෝ දෙනකු අපේක්ෂා කළ එකක් වූයේ නැත. එහෙත් අවසානයේ එය ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයක් ලෙස පිළිගැනීමට සිදුව ඇත. එමෙන්ම කවුරු අකැමැති වුවත් ලෝකය ගමන් ගන්නා දිසාව සම්බන්ධයෙන් එය පැහැදිලි සලකුණක් පෙන්වා තිබේ. එය එසේ වන්නේ බි්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන් වීමට ගන්නා තීරණය මීට මාස කිහිපයකට පෙර ප්‍රකාශයට පත්ව තිබිය දීය. ට්‍රම්ප්ගේ ජයග්‍රහණයේ සේයාවන් පෙන්නුම් කරනු ලැබුවේ එදා ය. මේ අනුව ජාතිවාදය, ආගම්වාදය,ප්‍රජාතන්ත්‍රවාදය, සම අයිතිය, පමණක් නොව මනුස්සකම යනු කුමක්ද යන්න පවා නුදුරේම නව කතිකාවත් ගොඩනඟනු ඇත. මේ නව පන්නයේ අමෙරිකාවක් ගොඩනැඟීම හෝ අමෙරිකාවේ අවසානය ද විය හැකිය. නමුත් එය පරිවාරයේ රාජ්‍යයන් කෙරෙහි වන බලපෑම ද සුළුපටු නොවනු ඇත. ශ්‍රී ලංකාව වැනි රාජ්‍යයන් කෙරෙහි වූව ද ඒ මැදිහත් වීම කවරාකාර ගනු ඇත්දැයි දැන්ම අනාවැකි කිව නොහැකිය. මන්ද ට්‍රම්ප් යනු වෙනස් කෙනෙකි. ඔහු මෙතෙක් පැමිණි ගමන් මඟ විවාදාපන්නය. හේ සුදු චරිතයක් ලෙස අපගේ කෝවට දමා මැන ගැනීම අපහසු වූවත් අතිදක්ෂයෙකි. ඔහු බිලියනපතියකු වූයේ ව්‍යාපාර සඳහා මහා ආයෝජන සිදු කර නොවේ. ඔහු බිලියන ගණනින් ආදායම් ඉපැයූවේ ඔහුගේ මුදල් වියදම් කර නොවේ. අනුන්ගේ මුදල් එහාට මෙහාට කරමිනි. කොටින්ම ඔහු කට්ට කෛරාටික තැරැව්කරුවෙකි. එස්කිමෝවරුන්ට ශීතකරණ විකිණිය හැකි දක්ෂතාවක් ඇති අලෙවිකරුවෙකි. ඔහුගේ ජනාධිපති භූමිකාව ද ඒ හා සමපාත වනු ඇතැයි කල්පනා කරනු හැකිය.

මේ අනුව ශ්‍රී ලංකාව වැනි රාජ්‍යයක් මින් මතුවට අමෙරිකාව හා ගනුදෙනුවේ දී වඩා පරිස්සම්කාරී විය යුතු වීම ගැන විවාදයක් නැත. අමෙරිකානු ප්‍රතිපත්ති, කවුරු ජනාධිපති වූවත් වෙනස් නොවනු ඇති බවට කියවුණත් අමෙරිකානු උවමනාවට වඩාත්ම ගැළපෙන ජනාධිපතිවරයකු ලැබුණු පසුව එම ප්‍රතිපත්ති අමෙරිකාවට අවැසි ලෙස සැකසීම සිදු වනු ඇත. මෑත කාලීනව සිටි ජනාධිපතිවරුන් කිහිප දෙනකුම අමෙරිකානු දේශපාලනයේ සහජාස නරුමකම පාලනය කර ගැනීමට සමත් වූව ද ට්‍රම්ප් අමෙරිකානු උවමනාව අනුව නරුමකමට ඉඩ දෙනු ඇත. ඒ අනුව අමෙරිකාව යනු කවර පන්නයේ රාජ්‍යයක්ද වන වග, නව ලොවට කියා දෙනු ඇත.

ඒ කෙසේ වූවත් අමෙරිකානු දේශපාලනය මෙරට කෙරෙහි දී ද දැඩිව බලපානු ඇත. ජනාධිපතිවරයා,අගමැතිවරයා පමණක් නොව හිටපු ජනාධිපතිවරයා ද ට්‍රම්ප්ගේ පත්වීමට සුබපතා තිබිණි. එම සුබපැතීම්හී යටි පෙළහි අවිනිශ්චිතතාව ගැබ්ව ඇති බවට සැකයක් නැත. මෙම සැක මුසු භාවය වඩා තීව්‍ර කරනුයේ මෙරට දේශපාලනයේ මේ වන විට පවතින අවිනිශ්චිතතාව මතය. රට අරාජික නොවුණත් ජනාධිපතිවරණයෙන් පසුව දෙවන වසර සම්පූර්ණ වීමට ආසන්නව තිබියදීත් රටට අරමුණක්, ඉලක්කයක්, වැඩපිළිවෙළක් හෝ වගකිවයුතු නායකත්වයක් ඇති බවක් පෙන්වා නැත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දෙදහස් පහළොවේ  ජනවාරි අට වන දින මෙරට විධායක බලය අත්පත් කර ගැනීම දැවැන්ත දේශපාලන ප්‍රතිසංස්කරණයක උවමනාව ජයග්‍රහණය කිරීමක් ලෙස අර්ථකථන සැපයූවා සේම එම වසරේ අගෝස්තු 17වන දින එජාපය බහුතර ආසන සංඛ්‍යාවක් සමඟ මහ මැතිවරණය ජය ගෙන රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයට පත් වීම තවත් දැවැන්ත ආර්ථිකමය ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක මූලාරම්භය සනිටුහන් කරනු ඇති බව පක්ෂ විපක්ෂ සියල්ලෝම බලාපොරොත්තු වූහ. නමුත් මේ කිසිවක් අසලට පැමිණීමට කිසිවකුත් සමත්කම් පෙන්වා නැත. තවමත් මේ සියලු පාර්ශ්ව විසින් ගත කරමින් සිටින්නේ තම තමන්ගේ පාර්ශ්වයන් හී බලය ස්ථාපිත කර ගැනීමේ පටු දේශපාලනික උවමනාවන් සන්තර්පණය කර ගැනීම කෙරෙහිය. මෙවර අයවැය විසින් ද සනාථ කර ඇත්තේ මේ තත්ත්වයම බව බැලූ බැල්මටම පෙනේ.

මීට සති දෙකකට පෙර මෙම තීරුවේ වැඩි අවධානයක් යොමු කරනු ලැබුවේ මෙරට සංවර්ධන ක්‍රියාවලිය සම්බන්ධයෙනි. ඊට සම්මුතික ආණ්ඩුව තවමත් අසමත් වී ඇති බවත් එය තවදුරටත් එලෙසම පවතී නම් සම්මුතික ආණ්ඩුවට සිදු වන්නේ මර්දනය දියත් කිරීමට පමණක් බවත් සඳහන් කළෙමු. එසේ ලියා දින කිහිපයක් ගෙවෙන්නට මත්තෙන් ලැබුණු අත්දැකීම වූයේ ආබාධිත සෙබළුන්ගේ විරෝධතාව ජනාධිපති ලේකම් කාර්යාලය වෙතටම පැමිණීමත් එය තිරශ්චීන ලෙස මර්දනය කිරීමත්ය. ජනාධිපති ලේකම් කාර්යාලය වටලන තැන දක්වා මෙම උද්ඝෝෂකයන්  පැමිණීම අතිශය ගැටලුසහගත ක්‍රියාවලියකි. එය සුළු කොට තැකිය හැකි නොවේ.

මේ නුදුරේ විය හැකි කැරලිකාරිත්වයකට පෙරහුරුවක් විය හැකිය. ඒ කෙසේ වූවත් මෙහි ඇති අනතුරුදායක බව ආණ්ඩුව තේරුම් ගෙන තිබෙනවාද යන්න ගැන ඇත්තේ ද සැකයකි. මන්ද, මෙවැනි සිදුවීමක් වන බවට කල්තියා අදාළ අංශ වෙතින් ආණ්ඩුවේ ප්‍රධානීන් දැනුවත් කර තිබෙන බවට තොරතුරු වාර්තා වීමය. ඒ අනුව මෙම සිදුවීම කල්තියා වැළැක්වීමේ හැකියාවක් තිබිණි. ඉන් අදහස් කරන්නේ මේ විරෝධතාව ජනාධිපති ලේකම් කාර්යාලය අසලට පැමිණීමට පෙර මර්දනය කිරීම නොවේ. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට මැදිහත් වීමය. මෙම සිදුවීමට පෙර දින කිහිපයක් මුළුල්ලේ මෙම ආබාධිත සෙබළුන් ඔවුන්ගේ විරෝධය සාමකාමීව පළ කරමින් සිටිය දී ආණ්ඩුව ඒ නොසලකා හැරියේ ය. ඒ තබා ඒ වන විටත් ආබාධිත සෙබළුන් වෙනුවෙන් ලබා දී තිබෙන වැටුප්, දීමනා හා වෙනත් පහසුකම් හා ලබා දීමට යෝජිතව තිබෙන දෑ සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් නොකළේය. අඩු තරමින් මාධ්‍ය ඔස්සේ හෝ එය සම්බන්ධයෙන් පැහැදිලිව අනාවරණය කළ හැකිව තිබිණි. එහෙත් එම ප්‍රායෝගික අසමත්කම මෙරට දේශපාලනයේ ජාතිවාදී දේශපාලන පිළිල පෝෂණය කරන්නට සමත්ව තිබේ.

මෙම සිදුවීම නිසා වඩාත් අසරණ භාවයට පත් වන්නේ ජනාධිපතිවරයාය. මෙම ආබාධිත සෙබළු සම්බන්ධයෙන් වගකිවයුතු වන්නේ සේනාධිනායක ජනාධිපතිවරයා ය. ඉහත කී ලෙස මෙම සිදුවීම අරබයා ගොඩනැගෙන අනාගත අනතුර නිකම්ම ජනාධිපති කර්යාලය වැටලීමකින් කෙළවර වන්නේ නැත. ඒ ජනාධිපතිවරයාගේ ජීවිතයට වුව හානිදායක වීමේ අනතුරු හැඟවීමක් ලෙස බාර ගන්නේ නම් එය ඔහුට, ඔහුගේ පවුලේ අයට පමණක් නොව රටේ ඉදිරි අනාගතය සම්බන්ධයෙනුත් අතිශය වැදගත් ය.

මන්ද ඔහු ජනාධිපතිවරණය හමුවේ රට වෙත තැබූ පොරොන්දු පත්‍රය තවමත් එලෙසම පවතින නිසා ය. එවා ඉටු නොකර යම් ලෙසකින් රටට විනයක්ව පැවැති දුෂ්ට බලවේගවලට යළි රට අත්පත් කර ගැනීමට අවශ්‍ය මෙවලම් සපයන තත්ත්වයට ජනාධිපතිවරයාගේ පාලනය දුර්වල වුවහොත් 2020 යනු රට ආපස්සට ගමන් කරන වසරක් වීම වැළැක්විය නොහැකි වනු ඇත. එමෙන්ම මේ සොල්දාදුවන් මෙහෙයවීම පිටුපස සිටින දුෂ්ට බලවේගය, ‘මරලා වුණත් බලය ලබා ගැනීමේ’ වුවමනාව සහිතව සිටිනවුන් බව පැහැදිලි බැවින් මේ සම්බන්ධයෙන් ආණ්ඩුව වඩා සැලකිලිමත් විය යුතුව තිබේ.

ගතයුතු තීරණය ගතයුතු මොහොතේ නිසි ලෙස නොගැනීමේ ඛේදවාචක අපේ රටේ ඉතිහාසයේ ඕනෑතරමට ඇත. වත්මන් ආණ්ඩුවේ පවතින ප්‍රධාන දුර්වලතාව ලෙස ද මෙය හඳුනාගත හැකිය. කාලයට ඉඩ දී ප්‍රශ්න විසඳීම දේශපාලනයට ගැළපෙන්නක් නොවේ. කාලයට ඉදිරියෙන් වැඩ කිරීමේ හැකියාව දක්ෂ නායකයකුට තිබිය යුතුය. ජනාධිපතිවරයාගේ පත්වීමත් සමඟ අවශ්‍යයෙන්ම සිදු විය යුතුව තිබුණේ පැවැති ආණ්ඩුවේ දේශපාලන උවමනාවන් වෙනුවෙන් ක්‍රියාත්මක වූ රාජ්‍ය බුද්ධි අංශ හා හමුදා බුද්ධි අංශවල හිටපු ප්‍රධානීන් ඉවත් කර තමන්ට විශ්වාසදායක නිලධාරීන් පත් කර ගැනීමය. නමුත් ඒ බොහෝ කල් ප්‍රමාද විය. අවශේෂ වෙනස්කම්වලට වඩා මෙම බුද්ධි අංශ ප්‍රධානීන් මාරු කිරීම වැදගත් වන්නේ රාජ්‍ය නායකයකුට රටේ පාලන මෙහෙයවීමේ දී අතිශය තීරණාත්මක කාර්යභාරයක් ඔවුන් විසින් සිදු කරනු ලබන බැවිනි. අද මෙරට බුද්ධි අංශ සාමාජිකයන් හත්දහසක් පමණ ක්‍රියාකාරීව සිටිති. ඔවුන්ට කළ හැකි දේ සුළුපටු නොවේ. එමෙන්ම ආණ්ඩුවේ ඇතැම් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඉහළ හමුදා නිලධාරීන් හා ඉහළ පොලිස් නිලධාරීන් දැන් සිටින්නේ කලකිරීමකය. මෙම පිරිස් බහුතරය පසුගිය කාලයේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යටතේ ක්‍රියාත්මක වූවන්ය. ඔවුහු තවත් ගෝඨාභය කෙනකු ප්‍රාර්ථනා කරමින් සිටිති. ඒ තත්ත්වය ජනාධිපතිවරයා වටහාගත යුතුය. එසේම දේශපාලන ක්ෂේත්‍රයේ ද මේ වන විට ගොඩනැගෙමින් පවතින  කතිකාව තුළ 2020 ගෝඨාභයගේ සම්ප්‍රාප්තිය ගැන කියවෙයි. විශේෂයෙන්ම 2020 ශ්‍රීලනිප ජනාධිපතිවරණ අපේක්ෂකයා ගෝඨාභය විය යුතු බවට මතය මේ වන විට ශ්‍රීලනිපයේ අභ්‍යන්තරයේ මතය වන බවට සැක නැත. අද මෛත්‍රීපාල සිරිසේන වටා ගොනු වෙමින් සිටින ශ්‍රීලනිප ප්‍රධානීන් වැඩි දෙනකු ද එය බලාපොරොත්තු වනවාට සැක නැත.

ජනාධිපතිවරයා වශයෙන් රට වෙනුවෙන් කළ යුතු කාර්යභාරයේ දී ඔහු කෙතරම් ඊට අවංක වූවත් ඒ වෙනුවෙන් වෙහෙසුණත්  ශ්‍රීලනිපය නියෝජනය කරන ආණ්ඩුවේ ඇමැතිවරුන් ඉතා සුළු පිරිසක් හැර සෙසු අය ජනාධිපතිවරයාගේ උවමනාව මුදුන්පත් කර ඔහුව ශක්තිමත් කිරීමට අවංකව පෙනී සිටින්නේ නැති බවත් පැහැදිලිය. 2020 වන විට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ දේශපාලන නායකත්වය පක්ෂයට රටට අවශ්‍යද නැද්ද යන්න තීරණය වනුයේ අද ඔහු කරන කියන දෙයිනි. 2020 දී ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නැති බවට ඔහු රටටත් ලෝකයාටත් දී තිබෙන පොරොන්දුව කවරක් වූවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දේශපාලන නායකත්වය ලබා දීම මෙන්ම රට නැවත කාලකණ්ණි යුගයකට යෑම වළක්වා ගැනීම වෙනුවෙන් ඔහුට දැවැන්ත වගකීමක් තිබෙන බව, මේ වන විට දුෂ්ඨ බලවේග යළි ඒකරාශී වෙමින් කුමන්ත්‍රණකාරී දේශපාලන සැලසුම්වලට අර අඳිමින් සිටීම තුළ තව දුරටත් පසක් වෙමින් තිබේ.

මේ ගෙවෙමින් පවතින්නේ ජනාධිපතිවරයා දේශපාලනිකව වඩා ශක්තිමත් වියයුතු කාලයකි. එමෙන්ම 2020 දී ඔහුට අභියෝගයක් විය යුත්තේ රනිල් වික්‍රමසිංහ මිසක රාජපක්ෂවරයකු හෝ අනෙකකු නොවේ. නමුත් මෙයින් අදහස් කරන්නේ වත්මන් සම්මුතික ආණ්ඩුව බිඳ වට්ටවා ශ්‍රීලනිප ආණ්ඩුවක් පිහිටුවාගත යුතුය කියන ගෝත්‍රික මතය අනුව නොවේ. සම්මුතික ආණ්ඩුව යනු මෙරට දේශපාලනයේ දියුණුතම  අවස්ථාවකි. ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් තමන් පොරොන්දු වූ පරිදි රට ගොඩනැගීම මේ ඉදිරි වසර කිහිපය තුළ සිදු කළ යුතුව ඇත. එය අනිවාර්ය ය. එසේ නොවුණහොත් 2020 යළි ගෝත්‍රික යුගයකට පාර කැපීම වන බවට විවාදයක් නැත.

අමෙරිකානු ජනාධිපතිවරණයේ ට්‍රම්ප් ජයග්‍රහණය කරන්නේ අමෙරිකාව නම් ලෝකාධිපතිවරයාගේ භූමිකාවට පණ දිය හැකි පාදඩ නායකත්වයක් මෑත වසර කිහිපයේ දී අමෙරිකානුවන්ට නොලැබීම හේතුවෙනි. බිල් ක්ලින්ටන් හෝ ඔබාමා පාලනයෙන් අමෙරිකානුවා හෙම්බත්ව සිටියේ ය. 2020 වන විට මෙරට ජනතාවට හෙම්බත් වීමට ඉඩ දෙනවාද නැද්ද යන්න වත්මන් පාලකයන්ගේ උවමනාව හැකියාව අනුව තීරණය වනු ඇත. ඒ අනුව ජනතාව ද තමන්ට අවශ්‍ය තීරණය ගනු ඇත. ශ්‍රී ලංකාව වැනි රාජ්‍යයන්හි බහුතර ජනතාවක් කැමැති තමන්ව පාලනය කරන පාලකයකුටය. අභිමානවත් පාලකයකුටය.

– සුජය

උපුටාගත්තේ සත්හඬෙන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *