ශ්‍රී ලංකාවේ මැතිවරණ ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වී තිබෙන පක්ෂ ප්‍රමාණය හැට ගණනකි. දේශපාලන පක්ෂයක් නිර්මාණය වීම යනු වෙනස් ප්‍රතිපත්ති වෙනස් වැඩපිළිවෙළවල් සහිත කණ්ඩායමක එකතුවකි.
දැන් මේ රටේ අභිවෘද්ධිය වෙනුවෙන් එකිනෙකට වෙනස් ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙළවල් හැට ගණනක් ඉදිරිපත්ව තිබේ. මේ කුඩා රටේ අභිවෘද්ධිය වෙනුවෙන් එලෙස වෙනස් මාර්ග හැට ගණනක් තිබිය හැකිද? එකම කාරණයක් සම්බන්ධයෙන් වෙනස් මතවාද හැට ගණනක් තිබිය හැකිද? රට ඒකීය විය යුතුද? නැත්නම් එක්සත් විය යුතුද යන කාරණය සම්බන්ධයෙන් මතවාද හැට ගණනක් තිබිය හැකිද? රට සිංහල පමණද, බහු වාර්ගිකද,යන්න ගැන උත්තර හැට ගණනක් තිබිය හැකිද, පාර්ලිමේන්තු ක්‍රමය පිළිගන්නවාද, නැද්ද, යන්න ගැන මතවාද හැට ගණනක් තිබිය හැකිද? අධිකරණයේ ස්වාධීනත්වය හෝ නීතියේ ආධිපත්‍ය පිළිගන්නවාද නැද්ද යන්න ගැන මතවාද හැට ගණනක් තිබිය හැකිද? විවෘත ආර්ථිකය පිළිගන්නවාද නැද්ද යන්න ගැන උත්තර හැට ගණනක් තිබිය හැකිද? මේ ආකාරයෙන් තවත් ප්‍රශ්න ගණනාවක් ඉදිරිපත් කළ හැකි නමුත් පිළිතුර විය හැක්කේ ‘නැත’යන්නය. මේ එක කාරණයක් සම්බන්ධයෙන් උත්තර දෙකකට වඩා තිබීමේ අවස්ථාව ඉතා අඩුය.
පක්ෂ බෙදී වෙන් වීම
මෙරට දේශපාලන පක්ෂ ඉතිහාසය ගත් විට මේ වන විට පැවැත්ම අහෝසි වූ සහ බෙදී වෙන් වූ දේශපාලන පක්ෂ ගණනාවක් තිබේ. මැතිවරණ ලේකම් කාර්යාලයේ ලියාපදිංචි පක්ෂවලින් බහුතරය එම ඉරණමට ගොදුරුව තිබෙන බව පැහැදිලිය.
1935 දී බිහි වූ ශ්‍රී ලංකාවේ පැරණිතම දේශපාලන පක්ෂය ලෙස සැලකිය හැකි ලංකා සමසමාජ පක්ෂය තවමත් පැවැතිය ද එය පැවැත්ම අහෝසි කර ගනිමින් තිබෙන පක්ෂයක් ලෙස හැඳින්විය හැකිය. එමෙන්ම එම පක්ෂයෙන්ම මතවාදීමය කාරණා හෝ ඒ ඒ නායකයන්ගේ පෞද්ගලික ගැටුම් නිසා හෝ කැඩී වෙන් වී නැවත පක්ෂ ගණනාවක් බිහි වූ අතර එම පක්ෂවලින් තවත් පක්ෂ බිහි වීම ද සිදු විය. නමුත් එම පක්ෂ ද තම මවු පක්ෂය මුහුණ දුන් අභියෝගවලට මුහුණ දුන් අතර ඇතැම් පක්ෂ මුළුමනින්ම අහෝසි වී ගොස් ඇති අතර කිහිපයක් සක්‍රියව පවතී. එමෙන්ම නැවත නැවත කැඩී වෙන් වීම ද සිදු වෙමින් පවතී. බොහෝ විටම මාක්ස්වාදය පදනම් කොට ගත් වාමාංශික දේශපාලන පක්ෂ කැඩී වෙන්වී කෙරෙහි එම මතවාදී ගැටුම් තීරණාත්මක ලෙස පෙන්නුම් කළ ද මේ සියලු කොටස් අවසානයේ දී
“සකල දේශවාසී නිර්ධනයනි එක්වව්” යන සටන් පාඨය හමුවේ එකඟය. රාජ්‍ය බලය සම්බන්ධයෙන් මේ සියලු දෙනා “සමාජවාදීන්ය”. මෙම මත ගැටුම්වල මූලයන් සොයා ගෙන ගිය විට ඇත්තේ “වාදය” පිළිබඳ ප්‍රශ්නය නොව පෞද්ගලික ප්‍රශ්නය. මාක්ස්වාදයෙන් බිහි වූ අනෙක් ප්‍රධානතම “වාද” වන ලෙනින්වාදය, ස්ටැලින්වාදය,ට්‍රොට්ස්කිවාදය ආදිය ගැන සැලකුව හොත් එහි ආරම්භය ඒ ඒ නායකයන්ගේ පෞද්ගලික බල අරගලය බව පැහැදිලිය. සමසමාජ ඉතිහාසයේ ද ඇත්තේ එම බල අරගලයේ සහ මෙරට නායකයන්ගේ බල අරගලයේ ගැටුමය. ඒවා මතවාදී අරගල බවට පරිවර්තනය කර ගන්නේ ඉන් පසුවය. මෑත උදාහරණයක් ලෙස ගතහොත් ජනතා විමුක්ති පෙරමුණෙන් වෙන් වූ කොටසක් පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලෙස වෙනම දේශපාලන මතවාදයක් වෙනුවෙන් තියුණු බෙදීමක් අනුව පෙනී සිටින බව පෙනුණ ද මෙහි ද මූලික හේතුව වූයේ පක්ෂ නායකයන්ගේ පෞද්ගලික බල අරගලය යි.
වෙන් වීමේ බරපතළ අවධිය
කෙසේ නමුත් පක්ෂ දෙකඩ වීම සම්බන්ධයෙන් අද බරපතළ අනතුරකට මුහුණ දී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යි. 1952 දී ශ්‍රීලනිපය බිහි වීම ද එක්සත් ජාතික පක්ෂයේ දෙකඩ වීමක් ලෙස හඳුනාගනු ලබයි. එය එසේ නොවන බවට ද තර්කයක් පවතී. එක්සත් ජාතික පක්ෂය යනු එවකට පැවැති දේශපාලන ව්‍යාපාර කිහිපයක එකතුවක් බවත් එහි දී ඩී.එස්. සේනානායක නායකත්වය දුන් ලංකා ජාතික සංගමය සහ බණ්ඩාරනායක නායකත්වය දුන් සිංහල මහ සභාව මූලික වූ බවත් 1952 දී සිදු වූයේ මෙම සිංහල මහ සභාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බවට නම වෙනස් කරගෙන වෙනම දේශපාලන ගමනක් යෑම බවත්ය. නමුත් ඇත්ත හේතුව ඩී.එස්. ගෙන් පසුව එජාපයේ නායකත්වයත් රටේ අගමැති ධුරය බණ්ඩාරනායකට ලැබීමට තිබූ ඉඩ කඩ එජාපය තුළ ඇහිරී යාමය. තමන් විසින් ඉදිරිපත් කරනු ලැබූ ප්‍රතිපත්ති එජාපය පිළි නොගැනීම මත මෙලෙස වෙන් වූ බව බණ්ඩාරනායක පුන පුනා කීව ද බණ්ඩාරනායකගේ ප්‍රතිපත්ති කියා පැහැදිලි දේශපාලන ප්‍රතිපත්තියක් ඇත්තේ නැත. මුලින්ම ෆෙඩරල් යෝජනාව ඉදිරිපත් කරමින් බලය බෙදා හැරීම වෙනුවෙන් පෙනී සිටීයේ බණ්ඩාරනායකය. එමෙන්ම සිංහල පමණයි යෝජනාව ගෙන එමින් මේ රට ජාතිවාදයේ ගින්නට හසු කළේ ද ඔහුමය. නැවත චෙල්වනායගම් සමඟ ගිවිසුම් ගහන්න ගියේ ද ඔහුමය.
ඒ කෙසේ නමුත් ශ්‍රීලනිපය ද සිය ඉතිහාසය පුරා දෙදරීම් ගණනාවකට ලක් විය. එම පක්ෂයේ නායකයන් ගණනාවක් පක්ෂය කඩාගෙන ගොස් වෙනම පක්ෂ පිහිටුවා ගත් අවස්ථා ගණනාවකි. විශේෂයෙන්ම ශ්‍රීලනිපය බණ්ඩාරනායකවරුන්ගේ උරුමයක් බවට පත්ව තිබූ අතර එම පවුලේ සාමාජිකයන් ම පක්ෂයෙන් කොටස් කඩාගෙන ගොස් වෙනම පක්ෂ බිහි කර ගත්තේය. ඒ අතර චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ විජය කුමාරණතුංග බිහි කළ ශ්‍රී ලංකා මහජන පක්ෂය විශේෂය. අනුර බණ්ඩාරනායක එජාපයට ගොස් දේශපාලනය කළේය. අද ශ්‍රීලනිපය දෙකඩ කර වෙනම පක්ෂයක් බිහි කරලීමේ උත්සාහයේ නියැළී සිටින බැසිල් රාජපක්ෂ ද කලකට පෙර ශ්‍රීලනිපයට එරෙහිව එජාපයට සහාය දක්වූවෙකි. මංගල සමරවීර ද ශ්‍රීලනිපයෙන් වෙන් වී වෙනම දේශපාලන කණ්ඩායමක් නිර්මාණය කර පසුව එජාපයට එක් විය. එස්.බී. දිසානායක ද කණ්ඩායමක් සමඟ එජාපයට ගොස් යළි ශ්‍රීලනිපයට පැමිණියෙකි. මෙලෙස ශ්‍රීලනිපය කැඩීමේ අවස්ථා සහ පුද්ගලයන් සම්බන්ධයෙන් තවත් උදාහරණ රැසක් පෙන්වා දිය හැකි නමුත් මේ සියල්ලම පෞද්ගලික කෝන්තර මත පදනම් වූ ඒවා මිස දේශපාලන ප්‍රතිපත්ති ගැටුම් නොවේ. එම නිසාම ශ්‍රීලනිපයට කිසිදු හානියක් වූයේ ද නැත.
එජාපයේ බෙදීම්
එජාපය සම්බන්ධයෙන් ද ඇත්තේ මෙවැනිම ඉතිහාසයකි. එජායෙන් ඉදිරිපත් වී ජනාධිපති ධුරයට පත් වූ ආර්. ප්‍රේමදාස වරක් එජාපයෙන් වෙන් වී පුරවැසි පෙරමුණ ලෙස වෙනම පක්ෂයක් ගොඩනගාගෙන කටයුතු කළේය. ඒ පෞද්ගලික කෝන්තරය සමථයකට පත් වූ විට නැවත එජාපයට එක් විය. එජාපයේ වූ දරුණුම දෙදරුම ප්‍රේමදාසට එරෙහිව ලලිත් ගාමිණී ඇතුළු කණ්ඩායමේ වෙන් වීමය. පුද්ගල ඝාතන සමඟ ගැටුමට හේතු වූ පෞද්ගලික කාරණා අහෝසි විය. පසුව ගාමිණී දිසානායක එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ද විය. රාජපක්ෂ සමයේ දී කරූ ජයසූරිය තවත් මන්ත්‍රීවරු 17 දෙනෙක් සමඟ එජාපය කඩා ගෙන ගිය ද ඔහු යළි එජාපයට එක් විය.
එජාපය සහ ශ්‍රීලනිපය සම්බන්ධයෙන් සලකා බැලීමේ දී මෙම පක්ෂ දෙකෙන් කෙතරම් පිරිසක් කැඩී වෙන් වූව ද එම පක්ෂ දෙකෙහි පැවැත්මට හානියක් සිදුව නොමැත. එම පක්ෂ දෙක කඩාගෙන ගොස් සාර්ථක වූ වෙනත් අලුත් පක්ෂ ඇත්තේ ද නැත. එපමණක් නොවේ එලෙස එළියට යන පිරිසට පැවැත්මක් ද නැති බව ඉතිහාසය ඔප්පු කර ඇත. එම කණ්ඩායම් නැවත ප්‍රධාන පක්ෂය වෙත එක් වීම ද සිදුව ඇත.
නායකත්ව ආකර්ෂණය
පක්ෂවල ආකර්ෂණීය නායකයන් සිටිය හැකිය. නමුත් ඒ ආකර්ෂණීයත්වය පක්ෂ දේශපාලනය සමඟ බරපතළ ලෙස බැඳී පවතින්නකි. මහින්ද රාජපක්ෂට ද එය එලෙසම අදාළය. නමුත් ලංකාවේ දේශපාලන පක්ෂ ඉතිහාසය තුළ තමන් කටයුතු කළ පක්ෂයෙන් ඉවත්ව වෙනම දේශපාලන ජයග්‍රහණ අත්පත් කර ගත් ප්‍රමුඛතමයන් දෙදෙනෙක් සිටිති.
ඒ බණ්ඩාරනායක හා මෛත්‍රීපාල සිරිසේනය. මෙහි දී මෛත්‍රීපාල සිරිසේන වෙන්වන්නේ පුද්ගල සාධකය මත පදනම් වූ කරුණු කාරණා නිසා නොවේ. ඒ ඓතිහාසික පෙරළියකි. එබඳු අවස්ථා හැමදාම එන්නේ නැත. ඊට අවශ්‍ය දේශපාලන පසුබිම සකස් විය යුතුය. පුරවැසියාගේ ඉල්ලීමක් තිබිය යුතුය.
දැන් ඔබට බෑ
ශ්‍රීලනිපයෙන් වෙන් වී වෙනම දේශපාලන පක්ෂයකින් පැමිණ යළි ආණ්ඩු බලය අත්පත් කර ගන්නා ලෙස මහින්ද රාජපක්ෂට පුරවැසියාගේ ඉල්ලීමක් නැත. ඊට අවශ්‍ය දේශපාලන පසුබිමක් ද නැත. එමෙන්ම එවැනි පෙරළියකට අවශ්‍ය ඓතිහාසික කොන්දේසි ද සපුරා නැත. ශ්‍රීලනිපය තුළ සිටින මහින්ද රාජපක්ෂ හරියට දැන් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය වැනි යැයි එස්.බී. දිසානායක මහින්ද රාජපක්ෂ හමුවේ පවසා තිබිණි. ඒ එස්.බී. ගේ පියාගේ අවමංගල්‍ය උත්සවයට මහින්ද පැමිණ සිටි අවස්ථාවේදීය. සිරිමාවෝ කියන්නේ ශ්‍රීලනිපයේ සිටි ආකර්ෂණීයම නායකත්වය ය. පාක්ෂිකයෝ ඇයට ඉතා ආදරය කළහ. නමුත් ඒ පක්ෂයට බලය නොතිබෙන කාලයේ දී ය. ඒ නිසා ඇයට ආණ්ඩු පෙරළිය හැකිය. නමුත් පක්ෂයට බලය ලැබුණු විට එම ආකර්ෂණය කෙටි කලකින් පහව යයි. බලය පවත්වා ගෙන යාමට නොහැකි වෙයි. දැන් මහින්ද ගත කරමින් සිටින්නේ ද එවැනි කාලයකි. ආකර්ෂණීය බව හැබෑය. එහෙත් දැන් ආණ්ඩු කළ හැකි කාලයක් නොවේ. “දැන් ඔබට බෑ… ඒ නිසා ගෞරවණීය ලෙස විශ්‍රාම ගන්න.” යැයි එස්.බී. මහින්දගෙන් ඉල්ලා තිබිණි.
ප්‍රතිපත්තියක් නැත
මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ කණ්ඩායම අද ශ්‍රීලනිපය දෙකඩ කර නව පක්ෂයක් ගොඩනගා ගැනීමෙහි නිරතව සිටිය ද ඒ දේශපාලන ජයග්‍රහණයක් දක්වා පෝෂණය කිරීමේ හැකියාවක් ඇතැයි කල්පනා කළ නොහැකිය. ප්‍රථමයෙන්ම ශ්‍රීලනිපයෙන් වෙනස්ව වෙනම ප්‍රතිපත්තියක් අනන්‍යතාවක් නිර්මාණය කිරීමේ හැකියාවක් ඔවුන් සතුව තිබිය යුතුය. ශ්‍රීලනිප පාක්ෂිකයා දිනා ගැනීමට හැකි නවමු වැඩපිළිවෙළක් තිබිය යුතුය. එහෙත් නව පක්ෂයේ සභාපති ජී.ඇල්. පීරිස් මාධ්‍යට පවසා තිබුණේ තමන් බණ්ඩාරනායක ප්‍රතිපත්ති පිළිගන්නා බවත් ඒ අනුව කටයුතු කරන බවත්ය. එම පක්ෂයේ ඇති ප්‍රතිපත්තිමය බංකොලොත්භාවය එතැනින්ම පිළිබිඹු වේ.
මේ අනුව ශ්‍රීලනිපය ද එජාපය ද වෙන වෙනම තරග වදින මැතිවරණයක දී රාජපක්ෂට හුදු එජාප විරෝධය,ශ්‍රීලනිපය අබිබවා ජයග්‍රහණයක් ලබා ගැනීමට ප්‍රමාණවත් වන්නේ නැත.
මහින්දගේ හොර ගල්
එය කවර ලෙසකින් හෝ විසඳා ගැනීමට නව පක්ෂය සමත් වේද නැද්ද යන්න ඉදිරි වසර කිහිපයේ දී අනිවාර්යෙන්ම පෙන්නුම් කරනු ඇත. ඒ කෙසේ නමුත් ශ්‍රීලනිපයෙන් වෙන් වී නව පක්ෂයක් ගොඩනැගීම සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිපත්තිමය ගැටුමක් ඇත්තේ නැති බව පැහැදිලිය. මේ මෛත්‍රීපාල සිරිසේන සමඟ වන පෞද්ගලික වෛරයක් පිරිමහ ගැනීම බව දේශපාලනය ගැන උනන්දුවෙන් පසුවන ඕනෑම අයකුට වටහාගත හැකි සත්‍යයකි. කෙසේ නමුත් ශ්‍රීලනිපයෙන් වෙන් වී වෙනමම පක්ෂයක් ගොඩනඟා ශ්‍රීලනිපය පැරදවිය හැකි යැයි මේ මොහොතේ මහින්ද රාජපක්ෂ කල්පනා කරන්නේ නම් ඒ ඔහුගේ දේශපාලන ඔළමොට්ටළකමකි. තවදුරටත් ශ්‍රීලනිපය තුළ රැඳෙමින් එහි බලය අත්පත් කර ගැනීම හොඳම ක්‍රියාමාර්ගය බව ඔහු නොදන්නවා විය නොහැකිය. පක්ෂයෙන් වෙන් වී සිය සොහොයුරන් සමඟ කටයුතු කිරීම සම්බන්ධයෙන් තවමත් හොර ගල් අහුලමින් සිටින්නේ ඒ නිසා විය යුතුය.
එජාපය සිය ඉතිහාසයේ තියුණුම කැඩී වෙන් වීමට ලක් වූයේ ලලිත් ගාමිණීි ගෙන ගිය ව්‍යාපාරය හේතුවෙනි. එජාපය ඉවරටම ඉවරයි කියා බොහෝ අය කල්පනා කළ ද ඔවුන්ව එජාප පාක්ෂිකයා පිළිගත්තේ නැත. පාක්ෂිකයාට වැදගත් වන්නේ පක්ෂය යි. පක්ෂය ශක්තිමත් කරන පාක්ෂිකයා ව බලාගන්න නායකත්වය මිස පක්ෂය දුර්වල කර එය කඩා ඉහිර වන්නා පාක්ෂිකයාගේ වෛරයට පාත්‍ර වනවා හැර ඊට ආකර්ෂණය වන්නේ නැත. ප්‍රබල ප්‍රතිපත්තිමය කාරණා හෝ ඍජුව තමන් වෙත බලපාන කරුණු හමුවේ හැර පක්ෂිකයාට වෙනස් විය නොහැකිය. මහින්ද රාජපක්ෂ සිය දශක හතරකට වැඩි දේශපාලන අත්දැකීම අනුව ඒ නොදන්නවා විය නොහැකිය.
– සුජය
උපුටාගත්තේ සත්හඬෙන්