යුද්ධයේ දී උඩින් වන මෝටාරයක් දෙස බලන්නාක් මෙන් පතිරණ බලා සිටියේය. ක්ෂණිකව නවැත පියවි තත්ත්වයට ආ හෙතෙම ෂටරය පහත් කළේය.
”එහාට වෙනවා වාහනවලට යන්න දෙනවා. එහාට වෙනවා. කෝ මේකෙ ඩ‍්‍රයිවර්, හමුදාවේ ලොකු මහත්තයත් ඉන්නවද? කෝ ඩ‍්‍රයිවර්. කෝ අනෙක් ඩ‍්‍රයිවර් නිල් කාර් එකේ?” තොර තෝංචියක් නැතිව පොලිස් නිලධාරියා කෑ ගසයි.
”එහාට වෙනවා. මට රාජකාරිය කරගන්න දෙනවා කෝ ඩ‍්‍රයිවර්…
රසික ඉදිරියෙන් වූ ෂෝටීස් කියා ගැසූ නාම පුවරුවක් අසල වූ පදික වේදිකාවට නැංගේය. සාරිය ඇඳගත් කාන්තාවද ඊටම ගොඩ විය.
”ආ.. අධ්‍යාපන මැඩම්, මැඩම් නේද හැප්පුණේ?…” පොලිස් කට හඬ නැවත ඇසෙන්නට විය.
”හිමාල් මොකද්ද බං වෙන්නෙ..?”
”සර් අර ඉන්නෙ බලංගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ, එයාගේ පර්මිට් කාර් එක, මාර වැඬේ එයාගේ පුතා පාසිං අවුට් එකේ ඉන්නවලූ…”
”මොනව අපේ ඔෆිසර් කැඩෙට් බැච් එකේ..?”
”ඔව්.. සර් මිනිහ අද පාසිං අවුට් වෙනවා…. මැඩම් ඒකට යන්න ඩ‍්‍රයිව් කරන් ඇවිත් තියෙන්නෙ…”
”ඇයි බං ඒ ගෑනිගෙ මිනිහ නැද්ද?”
”නෑ සර් එයාමයි ඩ‍්‍රයිව් කරන්නෙ…”
”වට් ආ… කෝ දැන් බලපං කමාන්ඩර් මඟ එනවා ඇති. කෝ ජීප් එක…?”
”සර් ටිකක් ඉන්න මං එතෙන්ට ගිහින් රසිකට සපෝට් කරල එන්නං…”
”කමාන්ඩර් මඟ එනව ඇති බං…”
ක‍්‍රමයෙන් සෙනඟ වැඩිවෙමින් තෙරපෙමින් අනතුර බලයි. කොහේදෝ සිට ටීෂර්ටයකින් හා යුනිෆෝම් කලිසමකින් සැරසුණු පොලිස් නිලධාරියකු පැමිණ සෙනඟ හසුරවන්නට උත්සාහ දරයි. ඔහුගේ සහයට එන්නේ කැබ් රථයකින් බැසගත් මැදිවියේ අයෙකි.
”එහාට වෙන්න.. එහාට වෙනවා.. මෙතන වැඩක් නෑ ඇක්සිඩන්ට් එකක්, තමුන්ල ආපු වැඩවලට යනවා…” ඒ අතර පරණ ටොයෝටා කොළපාට ජීප් රථයක් එතැන නැවතේ. එය රත්නපුර දෙසින් පැමිණියා විය යුතුය. පතිරණට මඳ අස්වැසිල්ලක් වූයේ එම ජීප් රථයෙන් බැසගත් අයි.පී. ෂෙල්ටන් වතුකාරගේ දුටු බැවිනි. එවකට විශේෂ කාර්ය බළකායේ උප පොලිස් පරීක්ෂකයකු වූ ෂෙල්ටන්, යකාවැව එස්ටීඑෆ් කඳවුරේ ද, වව්නියාවේ ද රාජකාරී කළේය. තම හිත මිතුරකු වූ දේශපි‍්‍රයගේ හොඳම ගෝලයකු වූ ෂෙල්ටන් පසුව සාමාන්‍ය පොලිස් සේවයට එක් වී තිබුණි. ෂෙල්ටන් දුටු පතිරණ රථයෙන් බැස්සේ නිරායාසයෙනි.
බි‍්‍රගේඩියර් වරයකුගේ නිල ඇඳුමින් සැරසුණු පතිරණ දුටු ෂෙල්ටන් ”හලෝ සර්…” යැයි කියමින් තම අත දික්කරමින්ම ඔහු වෙතට සමීප විය. මිනිසුන් එකා දෙන්නා ඉවත් වෙමින් සිටී. තිදෙනෙක් හෝ සිව් දෙනෙක් විවිධ කෝණවල සිටිමින් අලූතින් එන අයටත්, එතැන සිටි අයටත් ඇසෙන සේ සිද්ධිය කියයි.
”අපේ අධ්‍යාපන අධ්‍යක්ෂතුමිය… අර පැත්තෙන් ආවා.. ආමි ලොකු මහත්තයාගේ කාරය මේ පැත්තෙන් ආවා… ඩෝං ගාලා…”
ෂෙල්ටන්ගේ අත අල්ලාගත් පතිරණ මදකට එහාට විය.
”මේ සර්ගෙ වාහනයද..?”
”ඔව් ෂෙල්ටා… මම දන්නෑ උඹ බලංගොඩ කියලා..”
”ඔව් සර් මේක මගෙ ගම..”
”ආ නියමයි නෙ මචං… ෂෙල්ටා මම එන ගමන් උඹ හමුවෙන්නම්… මම දවස් ටිකක් මෙහෙ ඉන්නවා… උඹ හම්බවුණ එක හොඳයි…”
” ඕ.කේ. සර් එන්න.. මෙහෙ ඉතින් මට කොන්ට්‍රෝල් .. සර්ට එන්න විතරයි තියෙන්නෙ.”
”ෂෙල්ටන් මචං මම යන්නෙ පාසිං අවුට් එකකට.. අපේ කමාන්ඩර් මඟ එනවා මචං. මේක මොකක් හරි ෂෙටල් කරන්න පුළුවන්ද? මම දියතලා ගිහින් ඕන්නං ඩ‍්‍රයිවර් එවන්නං..”
”හරි සර් මම ක‍්‍රයිම් ඕ.අයි.සී. මම ට‍්‍රැෆික් ඕ.අයි.සී. සිල්වට කියන්නං. සර් අර ඉන්නෙ මෙහෙ කලාප අධ්‍යපන මැඩම් සර් එයත් එක් කතා කරනවද?” සෙනඟ අස්සෙන් වරින් වර මැවෙන ස්ත‍්‍රී රූපය පෙන්නා ෂෙල්ටන් අසයි.
”මචං මම කතා කරන්න ඕන්නෑ මගෙ මේජර් ඉන්නවා හිමාල්… මම එයාට කියන්නං. මේජර් නානායක්කාර.” එවිටම තම ප‍්‍රධානියා රථයෙන් බැස සිටිනු දැක හිමාල් විගසින්ම එතැනට සමීප විය.
”හිමාල් මේ ඉන්නෙ අයි.පී. ෂෙල්ටන්. මගේ පරණ යාළුවෙක්. දේශප‍්‍රිය එක්ක එකට එෆ්.ටී.එෆ්. හිටියේ. ඔයා පොඞ්ඩක් ගිහිල්ල ඒ ලේඩිට කතා කරල බලන්න අපිට ඉක්මනට යන්න. ජීප් එක චෙක් කරන්න. මෙතැන බයිෆාස් කරල යයි.”
”නෑ සර් තව මිනිත්තු දෙකෙන් ජීප් එක මෙතන.”
” ඕකේ හිමාල් බලන්න මොකක් හරි කරන්න.. කමාන්ඩර් ළඟම එනවා ඇති.. හරි අප්…”
”හරි සර්..”
ෂෙල්ටන් සහ හිමාල් කතා කරමින් නික්ම යයි.
”එහාට වෙන්න ඔතනින් කට්ටිය අයින් වෙන්න.” ෂෙල්ටන් ගුගුරයි.
”මැඩම් ටිකක් මෙහෙට එන්නකො.”
එවිටම රක්ෂණ පරීක්ෂකවරයෙක් යැයි සිතිය හැකි අයෙක් යතුරු පැදියෙන් පැමිණේ. තම ජීප් රථයෙන් එහි පැමිණ සිටි බඩියා සහ කෝප‍්‍රල් ජයරත්න ද අනතුර වූ ස්ථානය දෙසට විගසින් පිය නගයි. රක්ෂණකරු තම රියේ ද අනෙක් කාර් රථයේ ඡායාරූප ගනී. ඒ අතර ෂෙල්ටන් රිය පැද වූ කාන්තාව සමඟ කතා කරනු පෙනේ. ක‍්‍රමයෙන් නිහඬ වෙති. රක්ෂණකරු පිරිසට මොනවදෝ පවසමින් තම යතුරුපැදියෙන් ඉගිලූණි.
”පිස්සු හැදෙන සඳ සදේ කොහෙද ලප..”
බීගත් ද්‍රවිඩ ජාතිකයා කැඩිච්ච සිංහලෙන් කියමින් කාර් රථය අසලින් ගමන් කරයි. ඔහුගේ ආත්මීය සුවඳ මුව දෙපසින්ම වහනය වේ.
හිමාල් ද ෂෙල්ටන් ද පතිරණ කරා පැමිණෙයි.
”සර්… මේක සර්ගෙ පුද්ගලික වාහනය. ආමි එකට රෙන්ට් කරල හින්ද ඉන්ෂුවරන්ස් තියෙනව නේද?”
”ඔව් ෂෙල්ටන් මට වැඩි ඩැමේජ් එකක් නෑ.. මම, රසික.. අපේ කොල්ල එවන්නන්… ඌට කම්ප්ලේන් එකක් දාන්න කියලා මගෙ ඉන්ෂුවරන්ස් එක ගන්නම්… මට යන්න ඕනා… නැත්නම් මම ජීප් එකේ යන්නං…”
”නෑ… නෑ.. සර් කාරෙකේ යන්න… මට රසිකව එවන්න. සර් මේ මගේ නම්බර් එක, මම මේජර් හිමාල්ටත් දුන්නා…”
”සර්…”
”ඔව් ෂෙල්ටා..”
”පොඩි දෙයක් තියෙනවා.. අර කාරෙක යන්න බෑ බෆර් එක එල්ලෙනවා.. ලයිට් කැඩිලා…”
”හරි බං මං මොනව කරන්න ද? ඒ ගෑනිමනේ හැප්පුවේ…”
”හරි සර්.. අපේ කලාප මැඩම් යන්නෙත් පාසිං අවුට් එකට. සර් එයාට ලිෆ්ට් එකක් දෙන්න බැරිද කියල අහනවා.”
”මොකක්ද හිමාල්…?”
”සර් අපේ ඉන්ටෙක් එකේ කොල්ලෙකුගේ අම්මනෙ..
ඒ කොල්ලට තාත්තා නැහැලූ.. ඉතින් සර් මොකද කරන්නෙ…?”
”ජීප් එකේ එන්න කියපං.. කොල්ලො දෙන්න එක්ක තනිවම යවන්නෙ නැතිව උඹ පලයං ජීප් එකට. ජයරත්නට මේකට එන්න කියපං…”
”හරි සර්…”
”එහෙනං ෂෙල්ට ඕ.කේ. තෑන්ක්ස්.. මම හෙට මේ පැත්තෙ එනවා..”
”හරි සර් පරිස්සමින්.”
”ඕකේ ෂෙල්ට…”
වෙනසක්වී ඇත. තමා සමඟ සෙවණැල්ල මෙන් සිටින හිමාල් ජීප් රථයේ ගමන් කරයි. පතිරණට මහත් පාළුවක් දැනෙන්නට විය. තනිකඩ ජීවිතය එපා වන්නේ මේ වගේ පාළුවක් හිතට ආ විටයි. කාර් රථය වංගුවෙන් වංගුව ගනී. බෙලිහුල්ඔය, පඹහින්න පසුකර ක‍්‍රමයෙන් බෙරගල දෙසට ඇදේ. වංගු නිසා නින්ද යන්නේ නැහැ. හාල්අටුතැන්න පසුවේ. තම දකුණු පස මනස්කාන්ත දර්ශනයකි. ඈතින් පෙනෙන උඩවලවේ ජලාශය පතිරණ හඳුනයි. ඊට මෙහා උඩවලව උයනය. දියවින්න තියෙන්නෙ ගොඩක් මෙහා. පතිරණ කල්පනාවේය. තමා හයේ පන්තියේ දී උගත් මොනැයිරොක් හෙවත් ශේෂ කඳු පන්තිය මතකයට එයි…
අර තියෙන්නෙ අනිවාර්යයෙන්ම කූරගල කන්ද විය යුතුය. ඊට මෙහා හෝර්ටන්තැන්න. මං හිතන්නෙ කල්තොටයි බෙලි ඔයයි මෙහා හරියෙ ලොකු කන්ද ඉලූක් පැලැස්ස. ඕක උඩ ගමක් තියෙනවා දූවිලි ඇල්ලෙන් මෙහා. ගමේ නම මතක නැහැ. ඒ කාලේ ගංජා වැවූ හා ජේවීපී කළ හැමදෙනාම හිටියේ ඔය ගමේ. ගමට ළඟා වීම පහසු නැත. වැව් විමානයකි. හොර මැණික් පතල් කපන්නන්ගේ රජදහනකි. කචල් කාලේ නිධානය පෑදුණ කන්ද පතිරණට හඳුනාගත හැකිය. ඒ හාල්අටුතැන්න සිට පතහා දෙසට ගොස් වමට හැරී හාමුදුරුවන්ගේ ගෙදර පසු කර වේලිඔය පැන යා යුතු තැනකි. හාමුදුරුවෝ ගුරුවරයෙකි. ඉන්නේ තම මව සමඟ තමා විසින් හදා ගත් නිවසකය. ඒ ගැන කටකතා බොහොමයකි. කෙසේ වුවද ඒ ගෙදර වැඩිපුරම ගැවසෙන්නේ ස්ත‍්‍රී වර්ගයාය.
පතිරණට චිත‍්‍රපටයක් බලනවා මෙන් එක එක සිද්ධි සිහියට එයි. මීට අවුරුදු විස්සකට පෙර මාර ගහ යට තිබූ තේ කඩය දැන් විශාල හෝටලයකි. එහි සිටි වයෝවෘද්ධ අම්මාගෙන් තමා කෙතරම් හිඟා කන්න ඇද්ද, අනේ ළමයෝ කාපං කියල දෙන පරණ බනිස් ගෙඩිත් පතිරණට මතකය. තමා එවකට හිඟන්නෙකි.
පතිරණට තේ කෝප්පයක් බීමේ දැඩි අවශ්‍යතාවක් දැනුණි. ”රසික කා එක රිවස් කරනව අර මාර ගහයට කඬේට…”
”හරි සර්.”
තිරිංග තද වෙයි. පළල් පාරේ රවුමක් ගසා කාරය ආපසු හරවා එන විට ජීප් රථය මුහුණට මුණ ගැසේ. පතිරණ අතින් සන් කර හිමාල්ට ද හරවන්න යැයි කියයි. කාරය මාර ගස යට හෝටලයේ නවතී.. පසුපස ජීප් රථයෙන් හිමාල් බැස එයි.. සැලියූට් කරයි.
”හිමාල් ඔය හෝටලේ හොඳ පොල් රොටී තියෙනවා. මට පොල් රොටී දෙකයි බෙලිමල් හරි නැත්නම් කහට හරි ගේන්න. කොල්ලන්ට තේ අරන් දෙන්න. බිල ගේන්න.”
”සර් අර ලේඩි…”
”යකෝ ඒ ගෑනිටත් අරන් දීපං. කමාන්ඩර්… එනව ඇති. ෂික් මේ ඇක්සිඩන්ට් එක නිසා… හිමාල් මචං ඉක්මන් කරපං..”
තමාට වඩා පහළ නිලධාරීන්ට ද මචං කියා ඇමතීම හමුදාවේ සාමාන්‍ය සිරිතකි. ඔවුන් උසස් නිලධාරියාට සර් කියා අමතයි. සෙසු නිලයන් එක්කෝ ළමයි නැත්නම් කොල්ලන් වෙයි. හැබැයි සියලූම සාජන් මේජර්වරුන්ට මිස්ට යැයි කියා ඇමැතීම සුද්දගෙ කාලයේ සිට අද දක්වා ද කෙරෙයි. ඒ අනුව පතිරණ හිමාල්ට මචං කීමද හිමාල් සර් කීමද චාරිත‍්‍රයකි. නමුත් බි‍්‍රගේඩියර්වරුන්ගෙන් එහා ජ්‍යේෂ්ඨ නිලධාරීන් කර්නල්වරුන්ගෙන් පහළට මචං කියන්නේ නැත. නමුත් පතිරණ අලූත් බි‍්‍රගේඩියර්ය. කෙසේ වුවත් තම ප‍්‍රාණසම නිලධාරීන්ට මචං කීම ඔහු හමුදාපති වුණත් අතහරින්නේ නම් නැතිය.
– මතු සම්බන්ධයි
– කාශ්‍යප වීරක්කොඩි
උපුටාගත්තේ සත්හඬෙන්
One thought on “හමුදාවේ ලොකු මහත්තයත් ඉන්නවද? (සංහාරයකුගේ පාපොච්චාරණය -3)”