උපුටාගැනීම්විශේෂාංග

දඩ ගැහුවම අවිචාරේ- මල් පිපෙයිද මහ පාරේ?

එකම නාට්‍යයක් දිගින් දිගටම රඟදක්වන විට කතාවේ රසය අඩුවේ, නීරස වේ. එවිට ඇති එකම බලාපොරොත්තුව මෙවර තිරපිටපත අවසානයේ කිසියම් හෝ වෙනසක් කරඇත්ද යන කුතුහලයයි. එහෙත් කිසිම නිර්මාණාත්මක බවක් නැති රනිල් වික්‍රමසිංහ මෙවරත් ඒ තිරපිටපතම ඒ ආකාරයෙන්ම රඟදැක්වූයේය. සාමාන්‍ය ජනසමාජයේ දේශපාලන සාක්ෂරතාවය අල්ප නිසා ඔහුට නැවත නැවත එකම පිටපත රඟදැක්වීමේ ඉඩකඩ විවරව ඇත. කෙසේ නමුත් වාහන සදහා අයකරන දඩය අසාමාන්‍ය ලෙස ඉහළ නැංවීම තුළ යම් සිවිල් කතිකාවක් ගොඩනැගුණේය. වාහන දඩය වඩාත්ම බලපෑවේ පුද්ගලික බස්රථ, ත්‍රීවීල්සහ මොටර්බයිසිකල් වෙනුවෙනි. කතිකාව ගොඩනැගීම සදහා ප්‍රධාන දායකත්වයක් සැපයූවේ තමන්ටම වාහනයක් හිමි, එය පාරේ පැදයන විට හිංසාවට පත්වන පුද්ගලයින්ය. මේ සිද්ධිය දේශපාලනිකව එතරම් වැදගත් නොවූවත් මේ ගොඩනැගුණු කතිකාව ඊට වඩා වැදගත්ය.

සැබැවින්ම ලංකාවේ අන් ක්ෂේත්‍ර තුළ මෙන්ම මහපාරේ ද ‘බලපුළුවන්කාර පොරවල්’ සිටිති. (ඔව්! ෆේස්බුක් එකේ ද එහෙමය!) පාරේ රඟන ප්‍රධානම ‘චණ්ඩීන්’ නම් බස්රථ, ත්‍රීරෝද රථ, සහ මෝටර්බයිසිකල්ය. ඊට අමතරව පස් ලොරි ද කන්ටේනර් රථ ද අනෙකුත් ලොරි ද ශක්තිවන්තයෝය. වඩාත් පීඩාවට පත්වන පීඩිතයෝ නම් කාර් රථය. මිල අධිකම වාහන පංතිය වුවත් මහපාරේ නීතිය අනූව ඔවුන් පීඩිතයෝ බවට පත්ව ඇත. රු. 25,000.00ක් දක්වා දඩය වැඩිකළ බව ප්‍රකාශ වූවාත් සමගම ඒ වෙනුවෙන් සෘජුව පෙනී සිටියේ මේ පිරිසය. සැබැවින්ම අනෙක් පිරිසට ඒ වෙනුවෙන් කිසිලෙසකින්වත් පෙනී සිටි නොහැකි අතර තවත් පිරිසකට එය අදාළ ද නැත. විශේෂයෙන්ම තවමත් ලංකාවේ ජනතාවගෙන් 90%ක් පමණ පිරිසක් සිය ප්‍රවාහන අවශ්‍යතාවය සපුරාගන්නේ පොදුප්‍රවාහන සේවය තුළින්ය.

එහෙත් ඒ අයගේ ගමන සෘජුලෙස පහසු කරවන කිසිදු අවශ්‍යතාවයක් එකී දඩගැසීමේ වරදවල් තුළින් ආමන්ත්‍රණය කොට තිබුනේ නැත. බස්රථ, ත්‍රී රෝද රථ මගින් මගමගදී අන් පිරිස් අපහසුතාවයට පත්කරවන විනය විරෝධී රියපැදවීම් සෘජුලෙස වැළැක්වීමට මෙකී දඩමුදල් වැඩිකිරීම මොනම අයුරකින් හෝ දායකවීමක් වන්නේ නැත. එහෙත් බස්රථ සහ ත්‍රීරෝද රථ වෙනුවෙන් ඇති තරහව පිටකරගැනීමට දියහැකි දඬුවමක් ලෙස පමණක් මෙකී දඩ නියම කිරීම් වලට පක්ෂව සහයෝගය ලැබුණේය. උදාහරණයක් ලෙස රක්ෂණ සහතිකය කල් ඉකුත්වීම හෝ අධික වේගයෙන් ගමන් කිරීමට දඩ ගැසීම වාහන තදබදයට පිළියමක් වන්නේ නැත. විනය විරෝධී වාහන පැදවීම වැළැක්වීම දඩමගින් සිදුකළ නොහැක්කක් බව පැහැදිලිය.

බස්රථ නොමැති කොළඹ පාරවල්වල නිස්කලංක බව මම ද එදා අත්දුටුවෙමි. එහෙත් පොදු බස්රථ ප්‍රවාහනය නොමැතිව අපහසුතාවයට පත්වූ බහුතරයක් ජනතාව කිසිලෙසකින්වත් අමතක කළ නොහැක. කාර් රථයකින් යෑම හුදු ප්‍රවාහන අවශ්‍යතාව පමණක් නොව සමාජ තත්ත්වය පිළිබඳ අදාළ කාරණයක් නිසා එදා දිනයේදී අමුත්තන් රැගෙන පැමිණි කාර් රථ හිමියන් එය දිගින් දිගටම කරයි යන්න බලාපොරොත්තු විය නොහැක. නගර කේන්ද්‍ර කොට ඇති රථවාහන තදබදයට ප්‍රධානතම හේතුව අන්කවරටත් වඩා ප්‍රමාණවත් මාර්ග පද්ධතියක් නොමැති කම බව ද සඳහන් කළ යුතුය. සැලසුමක් නැති මාර්ග පද්ධතිය වෙනුවෙන් වගකිව යුත්තේ රජය මිසෙක වෙන කවුරුත් නොවන බව ‘මිස්ටර් ක්ලීන්’ව විහිළුවක් බවට පත්කරගැනීමට පෙර තේරුම් කර දියයුතුය.

රියැදුරු සහ කොන්දොස්තර යනු වෘත්තීන්ය. ඒවා කිසියම් පෙර පුහුණුවකින්, ආයතනගතව ගොඩනැංවීමකින් පසු ලබාදිය යුතු රැකියාය. පොදු ප්‍රවාහනයේ යෙදෙන ත්‍රීරෝද රථ ද එවැනිය. අමන ලෙසින් විවෘත ආර්ථික සංකල්පය පමණක් ගෙඩිපිටින් රැගෙන විත් ලංකාව විකාරයක් කළ ‘ජයවර්ධන මාමා’ මේ ප්‍රවාහන අර්බුදයේ අවජාතක පියා බවට බෑණාට පෙන්වා දිය යුතුය. එහි අවසන් ඵලය වී ඇත්තේ ඩ්‍රයිවරයා සහ කොන්දා නම් කිසිදු පරිචයක් නැති, පුද්ගලික ජීවිතයක් නැති, මත්පැනට වහල් වූ පිරිසක් බිහිකිරීමත් ඔවුන්හට ලංකාවේ ආර්ථිකයේ කොඳුනාරටිය වන ශ්‍රමබලකායේ ජීවිත බාරදීමත්ය. මන්ත්‍රීලාට අල්ලස් දීම සඳහා කෝටි ප්‍රකොටි ගණන් වියදම් කරන මුදල් වලින් කොටසකින් පමණක් වැයකිරීමෙන් දිගුකාලීන වෙනසක් කළ හැකිබව රූකඩ නැට්ටුවෙකුගේ භූමිකාව රඟදක්වන ලොක්කාට කෙසේ වෙතත් රූකඩය නටවන්නාටවත් නොතේරීම අවාසනාවකි.

මේවා තේරෙන්නේ නැති දේශපාලන න්‍යායකින් විග්‍රහකරනවාට වඩා සරල දැනුමකින් විග්‍රහ කරගැනීම අප කාටත් හොඳය. එසේ වුවත් පුද්ගලික අයිතියෙන් යුතු ප්‍රවාහන සේවාවක් විධිමත් ආයතන පද්ධතියකින් තොරව පවත්වාගෙන යාම අසාර්ථකය. රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කරන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන මේ කොන්සර්වේටිව් ආණ්ඩුවට ප්‍රවාහනය රාජ්‍යය අතට ගන්නට යැයි ඉල්ලා සිටීමම හිස් වැඩකි. එහෙත් සිවිල් පුරවැසියන් ලෙස ආයතන පද්ධතියක් ගොඩනැගීම වෙනුවෙන් හඬක් නැගිය හැකිය. එසේ නොමැතිව ව්‍යූහාත්මක ගැටලුවකින් බිහිවන අවර ඵලයක් වෙතට වෛරය එල්ලකිරීම මගින් කිසිදු අයුරකින් ගැටළුවට පිළියමක් සැපයෙන්නේ නැත.

අවසාන වශයෙන් මෙය සටහන් කළ යුතුය. ඉතාලියේ නුදුරු මැතිවරණයකදී බලය ලබාගැනීමේ වැඩි හැකියාවක් ඇතැයි කියවෙන“තරු පහේ ව්‍යාපාරයේ” (Five Star Movement) ප්‍රධාන සටන් පාඨයක් නම් “තිරසාර ප්‍රවාහනය” යි. එය මිනිසාගේ පහසුව, කාලවේලාව, පීඩනය වැනි කාරණා පමණක් නොව පරිසරයට එල්ලවන බලපෑම, බලශක්ති වැයවීමේ ප්‍රමාණය වැනි විසල් පරාසයක විහිදුණ මාතෘකාවකි. ‘ප්‍රවාහනය’ යනු එතරම් පළල් කතිකාවක් වන විට අපගේ රජයයන් විසින් එය බළල් අතක් බවට පත්කර ගැනීමට දරණ වෑයම ශෝචනීයය.

සංඛ කිරිඳිවැල

සේයාරූ- ෂෙහාන් ගුණසේකර

උපුටාගැනීම : බූන්දියෙන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *