මෙරටේ ආණ්ඩුවක් ක්‍රියාත්මකවතිබෙනවාද යන්න ගැන විමසීමක් කළහොත් ඊට ‘ඔව්’ යැයි පිළිතුරක් දිය හැක්කේ කීයෙන් කී දෙනාටද යන්න ගැන සාධාරණ සැකයක් යම් කිසිවකුට ඇති විය හැකිය. මන්ද,ඒ තරමටම ආණ්ඩුවක් තිබෙනවාද නැද්ද යන්න ගැන රටේ බහුතරයකට හැලහොල්මනක් නැත.
ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය පිළිගන්නා රටක දේශපාලන බලය හැසිරවීමේ දී ජනතාවගේ පරමාධිපත්‍යය මෙහෙයවීමේ බලය හිමි වන පාර්ශ්වය ඊට වඩාත් වගකීම්සහගත ලෙස මැදිහත් නොවීම සිදු වන්නේ නම් රට අරාජික වීම සිදු විය හැකිය. එසේත් නැත්නම් පිටස්තර බලවේගයක් රටේ දේශපාලනය හසුරුවන්නට සමත් වීමත් රට අරාජික වීම කෙරෙහි බලපායි. මේ රට අරාජික වූ කාලවකවානු ඉතිහාසයේ කොතෙකුත් තිබිණි. ආණ්ඩුවකට තමන්ගේ න්‍යාය පත්‍රය අනුව රටේ ආර්ථිකය ප්‍රමුඛව අනෙකුත් ක්ෂේත්‍ර සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමට නොහැකි වූ කාලවකවානු විසින් ඊට උදාහරණ සපයනු ලබයි.
පීඩනය ලිප් බොක්කට
උතුරේ දෙමළ ජනතා අරගලය විසින් දශක කිහිපයක්ම මෙරට ආර්ථිකය හා දේශපාලනය කෙරෙහි එල්ල කරනු ලැබූ බලපෑම රට අරාජික කිරීමට සමත්ව තිබිණි. එදා දේශපාලනය කළේ වේළුපිල්ලේ ප්‍රභාකරන් පමණි. ඔහු ගන්නා තීන්දු තීරණ අනුව ආණ්ඩුවට හැසිරෙන්නට බල කර තිබිණි. රටේ සමස්ත වැසියන්ට එසේ තීන්දු තීරණ ගැනීමට සිදුව තිබිණි. නමුත් එම අරගලය ඊට වඩා බලවත් ශක්තියක් යොදවා පරාජය කිරීම හේතුවෙන් මහින්ද රාජපක්ෂ රටේ දේශපාලනය තමන් අතට ගත් අතර ජනතාවගේ පරමාධිපත්‍යයික බලය දැරීමේ වගකීම්සහගත තත්ත්වය නොසලකා හරිමින් ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රියාවලියට නොගැළපෙන ලෙස එය ඉක්මවා යමින් ඒකාධිපති ස්වරූපය දක්වා ගෙනයාමට ඔහු කටයුතු කළේය. ගෙදර ලිප් බොක්කටම දැනුණ පීඩාකාරී පාලනයක් ඉවසීමේ සීමාවට පුරවැසියා පැමිණ තිබූ අතර රාජපක්ෂලාගේ පරාජයට හේතු වූයේ ද ඒ වගකීම්සහගතභාවයෙන් තොරව කටයුතු කිරීමය.
දූෂණ, වංචා අපරාධ චෝදනා, නීතියේ ආධිපත්‍යය කෙලසීම, පුරවැසියන්ට හිමි මූලික අයිතිවාසිකම් නොසලකා හැරීම, ජනතා ධනය නාස්ති කිරීම, දැරිය නොහැකි ජීවන වියදම, ජන කොටස් අතර වෛරය පැතිරවීම, යළි සිවිල් කලකෝලහලවලට පහසුකම් සැලසීම, පුරවැසියා කෙරෙහි මිලිටරිමය ආධිපත්‍යයක් ක්‍රියාත්මක කර බලහත්කාරී ලෙස සමාජය හැසිරවීම, විධායකය ව්‍යවස්ථාධායකය හා අධිකරණය ලෙසින් ක්‍රියාත්මක වන ජනතාවගේ පරමාධිපත්‍යයික බලය තමන්ගේ හිතුමනාපයට පෞද්ගලික උවමනා එපාකම් අනුව පාවිච්චි කිරීම,සටකපට ලෙස පාලන කාලය දිගුකර ගැනීමට උත්සාහ කිරීම ආදී හේතු රැසක් පාදක කරගනිමින් රාජපක්ෂ පවුල් පාලනය විසින්ම රට නැවත අරාජිකත්වය කරා ඇදගෙන යනු ලැබීය. යළි ප්‍රජාතන්ත්‍රවාදය පිහිටුවීම උදෙසා විදේශ රාජ්‍යවල සහ විවිධ සංවිධානවල බලපෑම, මෙරට විපක්ෂ දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සමාජ ව්‍යාපාරවල බලපෑම් එල්ල විය. ඒ හේතුවෙන් තවදුරටත් රට අරාජික වීම වළක්වාලනු පිණිස පුරවැසියා යම් එකඟතාවලට නොපිවිසෙන්නට රට අද බරපතළ අර්බුදයකට මුහුණ දීමට නියමිතව තිබූ බව කිසිදු දෙගිඩියාවකින් තොරව පැහැදිලිව පැවසිය හැකිය.
රාජපක්ෂ පවුල් පාලනය අවසන් කර යහපාලනය මූර්තිමත් වන නව පාලන තන්ත්‍රයක් බිහි වීම මෙරට මෑත දේශපාලනයේ සුවිශේෂී කඩඉමක් වන්නේ එසේ නොවන්නට මේ රට මුහුණ දීමට නියමිතව තිබූ ඛේදනීය ඉරණමෙන් ගලවා ගැනීමට එය සමත් වීම හේතුවෙනි. එහෙත් මේ සමත්භාවය වඩාත් ප්‍රතිඵලදායක කිරීම සම්බන්ධයෙන් ඉතිහාසය දිය යුතු සාධාරණ අවස්ථාව වත්මන් පාලකයන් වෙත තවමත් ලැබී නැත. එසේම ඔවුන් එය ලබා ගන්නවාද නැද්ද යන්න ගැන ද සාධාරණ කුකුසක් පවතී. මන්ද, යහපාලනයෙන් බලාපොරොත්තු වූ කඩිනම් ප්‍රතිසංස්කරණ තවදුරටත් පමා වෙමින් තිබීමය. ජරාජීර්ණ වූ සමාජ, ආර්ථික,දේශපාලන සහ සංස්කෘතික ගොහොරුව යළි පිරිසිදු ජල තටාකයක් කිරීමට අවශ්‍ය කාලය තව දුරටත් මෙරට පුරවැසියා විසින් දී තිබුණ ද පමා වීම හෝ අසමත්භාවය සම්බන්ධයෙන් පාලකයන්ට විරුද්ධ පක්ෂ කොටස් වෙතින් කෙරෙන බරපතළ විවේචනරැසකට මුහුණ දීමට සිදුව තිබේ. එම විවේචන සහ පුරවැසියා බලාපොරොත්තු වන තමන්ට තදින් දැනෙන ජීවන තත්ත්ව වර්ධනය නොවන පාලනයක් සිදු නොවීම යන විශේෂ කරුණ මත වත්මන් යහපාලනය කෙරෙහි යම් කලකිරීමක් පුරවැසියා වෙතින් ද පළ වෙමින් තිබේ.
පීඩකයාට ඇති කැමැත්ත
මෙරට පුරවැසියා ඓතිහාසිකවම හුරු වී සිටියේ බලවත් නායකයකු යටතේ පාලනය වීමටය, නියෝග අනුව කටයුතු කිරීමටය. තමන්ගේ නිදහස පාලකයා විසින් දෙනු ලබන සීමාවල භුක්ති විඳීමට පුරවැසියා හුරුව සිටියේ ය. ඊට එරෙහිව ආ සියලු බාධා එවක පාලකයා විසින් නින්දිත ලෙස මර්දනය කරනු ලැබුවේ ඒ සෙල්ලම්වලට ඉඩ දිය නොහැකි බවට නැවත නැවත පුරවැසියාව භීතියට ත්‍රාසයට පත් කරවමිනි. ඒ වෙනුවෙන් විපක්ෂ දේශපාලකයන්, මාධ්‍යවේදීන්, සමාජ ක්‍රියාකාරිකයන් රැසක් බිලි ගන්නා ලදී. විශේෂයෙන්ම මෑත ඉතිහාසය තුළ උතුරේ දෙමළ ජනතාව යුද්ධයෙන් පසුවත් ඍජුවම තුවක්කු කටේ බලයට යටත් කරනු ලැබිණි. නමුත් දකුණ ඉන් නිදහස් වූයේ ද නැත. බෝම්බ බිය තුරන් වූව ද තමන් ඉලක්ක කර තුවක්කුවක් එල්ල වී තිබෙන බව නොදැන සිටියෝ එකල සිටියා නම් ඒ සිහිකල්පනාවෙන් තොර වූවන් පමණක් විය හැකිය. රට නිදහස් බව කියන්නට සිදු කළේ කොළඹ තිබූ තාප්ප සහ වැටවල් කඩා නිදහස් අවකාශ බිහි කිරීමය. පාර දෙපස මල් වවා ජොගිං පාත් සකස් කිරීමය. අවට සිසාරා අලංකාර දර්ශන මැවූව ද මේ මල් පඳුරක් ගාණේ ඔත්තු සේවා නිලධාරීන් සිටි බව රහසක් නොවේ. ඒ හිස් අවකාශ තුළ දේශපාලන කතා ඉබේම තහනම් විය. ඒ තබා ආදරය කිරීමත් තහනම් විය.
මේ පැවැති කාලකණ්ණි ස්වභාවයෙන් රට මුදාලීම සඳහා ජනවාරි 08 පෙරළිය විසින් මූලික පියවර ගත් බව කිසිවකුටවත් ප්‍රතික්ෂේප කළ නොහැකිය. එම මූලික පියවරවලින් ඔබ්බට ගමන් කරනවා වෙනුවට මඟ නතර වී සිටීම වත්මන් පාලනය බිහි කර ගැනීම වෙනුවෙන් වෙහෙස වූවන් වත්මන් ආණ්ඩුවට එරෙහිව නඟන ප්‍රධාන චෝදනාවය. එම චෝදනාව වඩාත් තිීව්‍රව ඇත්තේ ආණ්ඩුවේ තුළ පාර්ශ්වවල ඇන කොටා ගැනීම්ය. ඒවා තමන්ගේ කොටස බේරා ගැනීම වෙනුවෙන් වන දේශපාලන සටකපටකම් ලෙස මතු වීමය.
කෙසේ නමුත් වත්මන් පාලනයේ ස්වභාවය විසින් මෙම ගැටුම්කාරීත්වයට ද ඉඩ සැලසීම විය යුතුව තිබේ. මන්ද,වර්තමාන ශ්‍රී ලංකාවේ ජනතා පරමාධිපත්‍යය මෙහෙයවීමේ දේශපාලන බලය පවතින්නේ එක පාර්ශ්වයක් මත නොවීම ය.
පරස්පර දේශපාලන අදහස් දරන කණ්ඩායම් දෙකක් විසින් ඒ පරමාධිපත්‍යයික බලය ක්‍රියාවේ යෙදවීම සමතුලනය විය හැක්කේ අසීරු අවස්ථා ගණනාවකට පසුව සහ වැරැදීම් ගණනාවකට පසුව විය හැකිය.
විවේචනය නිවැරැදිභාවය
අගමැති රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් එක්සත් ජාතික පක්ෂයත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාර්ශ්වය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ශ්වයත් ප්‍රමුඛව පවත්වා ගෙන යන වත්මන් සම්මුතික ආණ්ඩුව වසර දෙකකට ආසන්න කාලයක් මේ ගැටුම්කාරීත්වය තිබියදීත් පවත්වාගෙන යාම අභියෝගාත්මක බව නොසලකා වත්මන් ශ්‍රී ලංකාවේ දේශපාලන වාතාවරණය ගැන කතා කිරීම කළ නොහැකිය.
“රට අරාජිකයි, කිසි දෙයක් වෙන්නෙ නෑ, ඇතුළෙ කචල්, දෙගොල්ල මරා ගන්නවා, රාජපක්ෂලාගේ කාලෙ මෙහෙම වුණේ නෑ, ආණ්ඩුව ඉවරයි, තව මාස කිහිපයයි, මෙහෙම යන්න බෑ, ඊළඟ ඡන්දයෙන් ගෙදර” යනාදී වශයෙන් විවේචන ඉදිරිපත් වෙමින් පැවැතීම සාධාරණ විය හැක්කේ ගෙවුණ වසර දෙකක කාලය තුළ සමාජ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් සාධනීය යමක් සිදු නොවී පැවැතියේ නම් ය. එහෙත් ඒ පරිවර්තනය පුරවැසියාට සාධනීය දෙයක් ලෙස නොදැනෙන්නේ ඉහත කී ලෙස තමන්ට පීඩාකාරී ලෙස දැනෙන පාලකයකු පාලන තන්ත්‍රයක් සමඟ සිටීමේ පැරණි පුරුද්ද නිසාය යැයි කීමෙහි වරදක් නැත. නිදහස තවම සමාජයට හුරු නැත්තා සේය.
අද නිදහස් අදහස් පළ කිරීමට ඇති නිදහස ඉතිහාසයේ කෙදිනකවත් අත්දුටු තත්ත්වයක් නොවේ. සාපේක්ෂ වශයෙන් වඩා දියුණු සමාජ ක්‍රමයක දී අත්දැකිය හැකි නිදහස් අදහස් පළ කිරීමේ හැකියාව ශ්‍රී ලාංකේය පුරවැසියාට දැන් ලැබී තිබේ. අද අධිපති මාධ්‍ය, සමාජ මාධ්‍ය කෙරෙහි බලපවත්නා නිදහස ඊට සාක්ෂියකි. රාජ්‍ය මාධ්‍ය තුළ පවා රාජ්‍ය නායකයා විවේචනය කෙරෙන පුවත් පළ වෙමින් තිබේ. එසේම අද ජනාධිපතිවරයාව පවා විවේචනය කිරීම ඔහු නියෝජනය කරන ශ්‍රීලනිපයට හෝ බාධාවක් නොවේ. අමාත්‍යාංශ ලේකම්වරුන්ට එම ඇමැතිවරයා ගන්නා වැරැදි තීන්දු තීරණවලට ඍජුවම එරෙහි වීමේ හැකියාව ද ලැබී තිබේ. අද රජයට එරෙහි වන්නේ කවුදැයි සොයා ඔත්තුකරුවන් කිසිවකු පසුපස පන්නන්නේ නැත. සුදු වෑන් එන්නේ නැත. දේශපාලනපළිගැනීම් වන්නේ නැත. රට පිළිගෙන තිබෙන නීතියේ ආධිපත්‍යයට යටත්ව සියල්ල සිදු වීමට ඉඩ සලසා ඇත.
2020 අඳුරු වේද?
ඇතැම් පාර්ශ්වවලට මේ තත්ත්වය දරා ගැනීමට නොහැකිව තිබෙන බව ද පෙනී යයි. ඒ ජාතිවාදී, ආගම්වාදී සහ පටු දේශපාලන සහ පෞද්ගලික උවමනාවන් සාක්ෂාත් කර ගැනීමට කැසකවන තක්කඩි දේශපාලකයන් හා එවැනි ව්‍යාපාරවලටය. මඩ ගොහොරුවල යළි පොහොට්ටු පිපෙන්නේ ඒ අනුවය. 2020 දී රාජපක්ෂව යළි බලයට ගේන්න දඟලන්නේ ඒ අනුවය. ප්‍රජාතන්ත්‍රවාදය සාක්ෂාත් කෙරෙන, මිනිස් නිදහස වඩාත් උස් කෙරෙන නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට ගන්නා උත්සාහය වළක්වන්නට කැත වැඩ කෙරෙන්නේ ඒ අනුවය.
මෙහි දී වත්මන් පාලනය වෙතින් සියල්ල ඉතා හොඳින් සිදු කෙරෙන බවට සහතිකයක් දිය නොහැකි නමුත් ඒ සඳහා යම් උත්සාහයක් ගනිමින් තිබෙන බව පැහැදිලිය. ආණ්ඩුවට එරෙහිව විවේචනය ඉදිරිපත් විය යුත්තේ එම උත්සාහය සාර්ථක කර ගැනීම වෙනුවෙන් විනා එය කඩාකප්පල් කිරීමේ චේතනාවෙන් නොවිය යුතුය. පාර්ශ්ව කිහිපයක් විසින් ආණ්ඩුව පවත්වා ගෙන යාමට ගන්නා උත්සාහය තුළ වාද විවාද ඇති වීම වැළැක්විය නොහැකිය. එසේම එසේ වීම තුළම ගැටුම මඟින් වඩා නිවැරැදි මාර්ගය තෝරා ගැනීමේ හැකියාවට වැඩි ඉඩකඩක් ද ලැබේ.
පුරවැසියාට තමන්ගේමවූ ආණ්ඩුවක් පවතින බව දැනිය හැක්කේ මේ විවාදයට පුරවැසියා ද සහභාගී වන තරමටය, ආණ්ඩුකරණයටපුරවැසියා ද සම්බන්ධ වන තරමටය, පටු දේශපාලන උවමනාවන්ට තවදුරටත් ඉඩ නොදී පුරවැසියා තමන්ගේ වූ උවමනාවන් වෙනුවෙන්, තම අසල් වැසියාගේ උවමනාවන් වෙනුවෙන් අරගල කළ යුතුය. වත්මන් සම්මුතික ආණ්ඩුව තවදුරටත් පවත්වාගෙන යාමේ වැදගත්කම ඇත්තේ එතැනය. මන්ද, ඒ ඉඩකඩ විවර කර දීම සිදු කර ඇති බැවිනි.
– සුජය
උපුටාගත්තේ සත්හඬෙන්