හම්බන්තොට වරාය චීන සමාගමකට පැවරීමත් එහි සේවකයන්ගේ රැකියා සුරක්ෂිතතාවය අවදානමට ලක්වීමත් හේතුවෙන් සේවකයන් වැඩ වර්ජනයක් ආරම්භ කළේ දෙසැම්බර් 7වැනිදාය. දින ගණනාවක් සේවක අරගලය ඉදිරියට ඇදුනේ බලධාරින්ගෙන් කිසිදු වගකිවයුතු පිළිතුරක් නොමැතිවය.
කෙසේවෙතත් ඊයේ දහවල් නාවික හමුදාවේ විශාල පිරිසක් වරායට කඩා වැදුනේ සංග්‍රාමයක ස්වරූපයෙනි. ඩෝරා යාත්‍රා දෙකක් හා දිගුදුර විහිදුම් යාත්‍රා දෙකකින් වරාය තුළට කඩාවැදුණු නාවික හමුදාවට නායකත්වය දුන්නේ කොට කලිසමකින් සැරසුනු නාවික හමුදාපති විසිනි. වෙඩි හඩ හා පහරදීමේ ස්වරූපයක් ඇති නිසා එම ප්‍රචණ්ඩ කඩාවැදීමත් සමගම ජැටියේ සිටි සේවකයන් ආරක්ෂාව පතා එතැනින් මෑත් වුවද සමහරුන්ට කරකියාගත නොහැකිව ජලයට පැනීමට සිදු විය. ජැටියේ සිටිවුන්ට මෙන්ම ජලයේ සිටිවුන් ඇද පහරදීමක් සිදු විය.
වරායේ සේවකයන් නැවත ඒකරාශි වෙමින් නාවික හමුදා ආක්‍රමණයට විරෝධය පළ කළද වරාය ජැටියෙන් ඉවත්වන තුරු ඔවුනට බිමදමාගෙන පහරදීම හා පයින් පෑගීම සිදු විය. මේ ආකාරයෙන් සේවකයන් ජැටිය ආසන්නයෙන් පිටත ප්‍රදේශය දක්වා පන්නා දැමුනේ නාවික හමුදා ප්‍රහාරයක් ඔස්සේ බව පිලිගන්නට සිදුවේ. මේ තත්වය තුළ සේවකයන්ට දක්නට ලැබුණේ නාවික භටයන් හා සිවිල් ඇදුමින් සිටිවුන් යාත්‍රාවලට ගොඩ වී ඒවායේ එන්ජින් කාමරවලට කඩා වැදී යාන්ත්‍රික කොටස් සක්‍රිය කරන්නට දරන උත්සාහයයි. ඒ දොරටු විවර කෙරුනේ කුලුගෙඩි පහර දී අගුලු කඩා බිද දමා ගෙනය.
සේවකයන් ඒ මොහොතේ කෑ ගසා කිව්වේ බලධාරින් විසින් තම ඉල්ලීම් ඉටු කළහොත් හැකි ඉක්මනින් වැඩ ආරම්භ කළ හැකි නිසා බලහත්කාරීව කඩා වැදී යාන්ත්‍රික උපකරණවලට හෝ එහි ඉදිරි කටයුතුවලට හානි නොකරන ලෙසය. එහෙත් නාවික හමුදාවේ මෙහෙයුමේ ඉලක්කයම වූයේ වරාය ජැටිය අත්පත් කරගැනීමය. ඒ නිසා ජැටියෙන් ඉවත් වූ පසුව සේකයන් එම යාන්ත්‍රික කොටස්වලට හානිකර ඇතැයි අවලාද නගනු ඇසේ. ඇත්ත වශයෙන්ම හානි සිදු කළේ නාවික භටයන් හා සිවිල් ඇදුමින් සිටි පිරිසකි. සේවකයන් වර්ජනයේදී රැදී සිටි ජැටිය මෙන්ම යාන්ත්‍රික උපකරන සහිත දොඹකර නඩත්තු අංශය, විදුලි වැඩහල් භූමිය, යාන්ත්‍රික වැඩහල් භූමිය අත්පත් කරගැනීමෙන් නාවික හමුදාව ජයගත්තද සේවකයන්ගේ ඉල්ලීම ඉටුවන සේයාවක් වත් නැත. දැවැන්ත දොඹකර දෙක සහ කුඩා දොඹකරය, ටග් යාත්‍රා දෙකක් හා නියමු යාත්‍රා දෙකක් එසේ සේවකයන්ගේ වගකීමෙන් තොරව නාවික භටයන් විසින් සිය භාරයට ගෙන ඇත. ඊයේ රාත්‍රි විදුලි සැපයුම විසන්ධි කරමින් සේවකයන් වරාය පරිශ්‍රෙයන් පිටමං කිරීමේ ප්‍රයත්නයක් දරන ලදී. එහෙත් සේවකයන් සටන නැවැත්වීමේ අදහසක නැත.
වැඩ වර්ජනය හේතුවෙන් චීනයට හා ජපානයට අයත් නැව් දෙකක් වරායෙන් පිටතට ගෙනයාමට නොහැකිව සිර විය. නැව් ගැටගසන ලද කඹ මුදාගැනීමට නොහැකිවන ලෙස ඔවුන් විසින් අවහිර කර තිබුණේ සටනේ අවශ්‍යතා නිසාය. එපමණක් නොව, වරායෙන් පිටතට නැව් ගෙන යන්නට අවශ්‍ය ටග් යාත්‍රා දෙකක් සහ නියමු යාත්‍රාව අගුලු දමා නවතා දැමුනේ සේවකයන් ගෙන යන වැඩ වර්ජනයට එය අවශ්‍ය කොන්දේසියක් වූ නිසාය. ඔවුන් විසින් එම යාත්‍රාවල ‘මාස්ටර් රූම්‘ හා ‘එන්ජින් රූම්‘ අගුලු දැම්වේද වැඩ නැවැත්වීමේදී ඒවා ආරක්ෂා කළ යුතු නිසාය.
වැඩ වර්ජනයකදී එම සේවකයන් ගෙන ගිය පෙර සූදානම් කිරීම් වෙනත් ඕනෑම වර්ජනයකදී අනුගමනය කරන පියවරවලට වෙනසක් නැත. නමුත් ආණ්ඩුව මෙම සියල්ල හදුන්වා දෙන්නේ නැව් අත්අඩංගුවේ තබාගැනීමක් ලෙසය.
ජැටිය පරිශ්‍රය සේවකයන්ගේ වැඩ බිමය. වැඩ වර්ජනයේ යෙදෙන සේවකයන් එය කළ යුත්තේ ගෙදරදී නොව, තමන්ගේ වැඩ බිම තුළය. එහි කඩාවැදුණු නාවික භටයන් අවියෙන් පහරදී බූට් සපත්තුවෙන් පාගාගෙන සිටියේ පස්වසරක් තිස්සේ වරාය මෙහෙයුම් වෙනුවෙන් දිවා රෑ වෙහෙස වූ පිරිසකගේ අභිමානයයි.
මෙහිදී අමතක කළ නොහැකි කරුණක් වන්නේ මෙම සේවකයන් අනියම් පදනමින් බදවාගෙන ඇත්තේ මහින්ද රාජපක්ෂ පාලනය යටතේය. මේ සේවකයන් අතුරින් බොහෝ දෙනකු මහින්ද රාජපක්ෂට හිතවතුන් විය හැකිය. වැඩවර්ජනය මෙහෙයවන්නේද රාජපක්ෂ හිතවාදින් වියහැකිය. කෙසේවෙතත් එයට පිලිතුරු දියයුත්තේ රාජපක්ෂ පන්යේ මර්දනයක් මුදාහරිමින් නොවේ. එසේ සේවක ඉල්ලීම් පිලිබද රාජපක්ෂ තියරිය අනුගමනය කරනවා නම් පාලනය මාරු කළෙ කුමකටද යන්න ජනතාව තීරණය කළ යුතුව ඇත. දැන් ඇත්තේ සේවක ජීවිත පිළිබද දැවෙන ප්‍රශ්නයකි. මේ ප්‍රශ්න ආරම්භ කළේ රාජපක්ෂ පාලනයද නැද්ද යන්න ගැන විවාද තිබිය හැකිය. එහෙත් ප්‍රශ්නය ඇත්තේ ඔවුන් සේවකයන් ලෙස රැවටිල්ලට හා සූරාකෑමට ලක්වීමය. පසුගිය මහින්ද රාජපක්ෂ පාලනයෙන් රැකියා දෙන පදනම මත මෙසේ අස්ථිර සේවකයන් බවට පත් වූ ඔවුන් පස්වසරක් තිස්සේ සේවා ස්ථිරභාවයට පත් නොවී අයිතිවාසිකම් අහිමි කිරීමට ලක් වූහ. දැන් වරාය චීන සමාගමකට පැවරීමෙන් ඔවුන්ට අත්වන්නේ මෑන් පවර් සමාගමක සේවකයන් බවට පත් වීමටය. මේ වැඩ වර්ජනයෙන් ඔවුන් විරෝධය පෑවේ ඒ ඇත්ත රැකියා අවදානම තමන් කරා කඩාවැදීමට එරෙහිවය.
එහෙත් ආණ්ඩුව නාවික හමුදා ප්‍රහාරයකින් සේවකයන්ට ප්‍රතිචාර දක්වා ඇත.
උපුටාගත්තේ LV