යුගයක් අවසන් වී ඇත. යුග පෙරලියක් කළ පෙරලිකරුවන් නික්ම ගොස් ඇත. වෙනත් මාදිලියක යුගයක එම යුගය සමඟ පොර බැඳීමට දඟලන තරගකරුවන් විශාල පිරිසක් බෝ වී ඇත. අනාගතය තීරණය වන්නේ ඔවුහු මතය.
නිලන්ත ඉලංගමුව
සෑම අයෙකුටම ඊටම ආවේණික වූ ඇතුළුවීමක් සහ පිටවීමක් තිබේ. එය චක්‍රයක් ලෙස මෙන්ම ඍජු මාවතක් ලෙස දකින ආගමානුකූල දැකීම් පැත්තකින් තබා මෙහි ඇති ප්‍රායෝගික අවබෝධය වන්නේ, යම් අයෙකු ඉපදුනු විට එය ඉපදීමකි. මැරුණු විට මරණයකි. මෙය නම්, ජීවී අජීවී සෑම දෙයකටම සහ අයෙකුටම මුහුණදීමට සිදුවන යථාවකි.
ජෙයරාම් ජයලලිතා හෙවත් තමිල් නාඩුවේ අම්මා සති කිහිපයක රෝගාතුර තත්වයකින් පසු ඊයේ මධ්‍යම රාත්‍රියට සුළු වෙලාවක් තිබියදී අභාවප්‍රාප්ත වූවාය. දේශපාලනික වශයෙන් ඉතාම බලගතු චරිතයක් වූ ඇය දකුණු ඉන්දියාවේ මෙන්ම සමස්ථ ඉන්දියාව පුරා කළ බලපෑම ඉතාම විශාල බව විවාදයක් නැත.
ද්‍රවිඩ දේශපාලනය සංඛේතාත්මකව වෙනස් කිරීමට සමත් වූ ඇය තමන්ගේ ස්ව උත්සාහයෙන් පැමිණි ගමන් මඟ සම්බන්ධයෙන් බොහෝ අවස්ථාවලදී කතා බහ කළාය. එසේම රංගන ශිල්පිනියක් ලෙස කලා කේෂ්ත්‍රය තුළදී මෙන්ම දේශපාලනඥයෙකු ලෙස දේශපාලනයේදී ඇය මුහුණ දුන් මිහිරි මෙන්ම අමිහිරි සිදුවීම් රාශියක් තිබූ බව ඇය හෙළි කිරීමට අමතක නොකළාය.
නින්දාව කලා ජීවිතයේදී මෙන්ම දේශපාලන ජිවීතයේදීද පොදු දෙයක් ලෙස දුටු ඇය, කලා ජීවිතයේදී කාන්තාව අත්‍යවශ්‍යය අයෙකු වුවද දේශපාලනයේදී කාන්තාව විෂයයක් පමණක් බව වරක් සඳහන් කළාය. එනම් කලා කෘතියක කාන්තාව අමතක කොට නිර්මාණයක් කිරීමට නොහැකි නමුත් දේශපාලනයේදී කාන්තාව බලය ලබා ගැනීමට හෝ බලයේ සිටීම සඳහා ප්‍රදර්ශන භාණ්ඩයක් ලෙස පමණක් භාවිතා කළ හැකි බව ඇය පැහැදිළි කළාය. මෙය සැබවින්ම තම ජීවිතය පුරා ඇය ලැබූ අත්දැකීම සාරාංශගත කිරීමකි.
දේශපාලනයේදී නායකත්වයට පැමිණි ආසියාවේ අනෙකුත් කාන්තාවන් සමඟ සංසන්දනය කරන විට තමන් ස්ව උත්සහයෙන් පැමිණි බවත් හුදු පවුල් පසුබිම හේතුවෙන් දේශපාලනයට තල්ලු වී , එය ප්‍රයෝජනයට ගනිමින් ඉහළට යෑමට වඩා නින්දා අපහාස විඳගෙන තම දේශපාලන ගමන යෑමට සිදු වූ බවත් ඇය අවධාරණය කළාය. එහිදී ඇය සිරිමා බණ්ඩාරනායක, කාලිය ඩාෂියා, ශික් හසීනා මෙන්ම බෙනාසීර් භූතෝ සහ ඉන්දිරා ගාන්ධි ආදී නායිකාවන් උපුටා දක්වනු ලැබුවාය. ඔවුහු සියල්ලටම දේශපාලනික වශයෙන් වඩාත් හිතකර පරිසරයක් දේශපාලනයට පැමිණීමට පෙරම තම පවුල තුළම නිර්මාණය වී තිබූ බව ඇයගේ මතය වේ.
ඇය විවේචන වලට ඉතාම පරෙස්සමින් මුහුණ දුන් චරිතයක් ලෙස හැඳින්වීමේ වරදක් නැත. බොහෝමයක් අභියෝගාත්මක කරුණු සහ සිදුවීම් හමුවේ ඉතාම ප්‍රවේශමෙන් කටයුතු කිරීමට ප්‍රවේශම් වූ බව නීරීක්ෂණය කළ හැකිය. ඇය හඳුන්වන පරිදි, ඇයගේ දේශපාලන ගුරුවරයා, දාර්ශනිකයා මෙන්ම නොනිල ප්‍රේමවන්තයා ලෙස හැඳින්වූ එම්. ජී. ආර්. ගේ අවමංගල්‍ය දිනයේදී ඔහුගේ බෑණා විසින් ජයලලිතාගේ නළල ප්‍රදේශයට පරහ දී එම්.ජී. ආර්. ගේ පවුල මෙන්ම ඔහුගේ දේශපාලනය විනාශ කළ බවට චෝදනා කරමින් ඇයට බැන වැදුණු බව සඳහන් වේ.
දේශපාලනයට පැමිණීමට පෙර කලා කාරණියක ලෙස දෙමළ සිනමාව තමන්ගේ ග්‍රහණයට ගැනීමට ඇය ඉතාම කෙටි කාලයකදී සමත් වූවාය. සැබවින්ම එය සහජ හැකියාවකි. තමන්ට වයස අවුරුදු දෙකේදී පියා මිය යාමෙන් පසු හැදී වැඩුණු පරිසරය තුළ මෙන්ම පාසල් කාලයේදී පවා ඇයට මුහුණ දීමට සිදු වූ විවිධ හිංසාකාරී සිදුවීම් සියල්ලම එකිනෙක පිළිවෙලට මතකයේ තබා ගැනීමට පමණක් නොව එම සිදුවීම් වලින් මනාව ඉගෙන ගැනීමට ඇය සමත් වූ ආකාරය දක්නට ලැබේ. ඒ සියල්ලගේම පන්නරයෙන් සම්ප්‍රදායික දෙමළ චිත්‍රපට කලාව මෙන්ම දේශපාලනයද වෙනස් කිරීමට ඇය සමත් වූවාය.
නීතිය ඉගෙන ගැනීම සඳහා කැමැත්ත තිබුණද කලා ශිල්පිනියක් වූ තම අම්මාගේ ඉල්ලීම නිසා රංගන ජීවිතයට පිවිසීමට ඇයට සිදු වූයේ තම පවුල මුහුණ දෙමින් සිටි ආර්ථික අහේනියෙන් ගොඩ ඒම සඳහා යැයි කියනු ලැබේ. වෙනිරා අදායි නමැති චිත්‍රපටය ඇගේ පළමු ප්‍රධාන චිත්‍රපටය වූ අතර 1965 එය මහජන ප්‍රදර්ශනය සඳහා මුදා හැරීමට පෙර වැඩිහිටියන්ට පමණක් වූ වර්ගීකරණයට යටත් කරනු ලැබීය. සැබවින්ම එසේ වර්ගීකරණය කිරීමට හේතුව වූයේ ඇය එහි එක්තරා සිංදුවකට නාන කාමරයේදී සාරියක් සමඟ අත් නැති හැට්ටයක් පැළඳගෙන නැටීම නිසා යැයි සඳහන් වේ. එකල පැවති ද්‍රවිඩ සිනමාව එතරම් සීමාකාරී එකක් විය. අදාළ චිත්‍රපටය “ඒ” කාණ්ඩය යටතේ වර්ගීකරණය කර තිබූ හෙයින් එවකට වයස අවුරු 17 ක් වූ ඇයටද එය නැරඹීමට අවසර නොලැබුණි. නමුත් චිත්‍රපටය ඉතාම කෙටි කාලයක් තුළ සියලුම වාර්තා බිඳ හෙලමින් ජයලලිතා තාරකාවක් බවට පත් කළේය. ඉන්දියානු සිනමාවේ 1940 – 1980 කාලය තුළ වැඩිම මුදලකට අළෙවි වූ නිළිය වූයේ ජයලලිතාය.
තම කලා ජීවිතය තුළ චිත්‍රපට 125 කට පමණ රංගනයෙන් දායක වූ ඇය සමඟ රඟපෑ ප්‍රධාන චරිතය වූයේ එම්. ජී. ආර්. ය. මොවුන් දෙදෙනාගේ සිනමා අන්දරය ආරම්භවන විට ජයලලිතාට වයස 17ක් වූ අතර එම්.ජී.ආර්. ගේ වයස අවුරුදු 48 කි. නමුත් දෙමළ සහ දකුණු ඉන්දියානු සිනමාවේ වැඩිම අවධානයක් දිනාගත් රංගන යුගල වූයේ ඔවුහුය. මෙහිදී බොහෝ දෙනෙකු නොදන්නා කාරණය වන්නේ ජයලලිතාට රඟපෑම සඳහා එම්. ජී. ආර්. අනුමැතිය ලබා දෙන්නේ ඔහුගේ බිරිඳ වූ ජන්කිගේ බලවත් ඉල්ලීම හේතුවෙනි.
ඉන් පසු දේශපාලනයේදී ඇය ඉතාම කෙටි කාලයක් තුළ ජනප්‍රිය වීමට පමණක් නොව තම පක්ෂයේ ඉහලට ඒමට සමත් වූවාය. වරක් ඩි.එම්. කේ. නායක කරුණානිධි ප්‍රාන්ත අයවැය යෝජනා ඉදිරිපත් කරන අවස්ථාවේ ඇය එක්තරා කාරණයක් සම්බන්ධයෙන් තම මතය ඉදිරිපත් කිරීමට යෑමේදී පහර කෑමට ලක් වූ බව වාර්තා වේ. ඒ 1989 දීය. එහිදී ඇය කියා ඇත්තේ තමන් ඉතා ඉකමනින් මෙම සභාවට මහ ඇමතිනි ලෙස පැමිණෙන බවය. ඉන් වසර දෙකකට පසු එනම් 1991 දී ඇය තමිල් නාඩුවේ මහා ඇමතිවරිය වශයෙන් පත් වූවාය.
අගමැති රජිව් ගාන්ධි එල්.ටී. ටී. ඊ. මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් තමිල් නාඩුවෙදී මරා දමන්නේ මෙම කාලයේදීය. එම සිදුවීම, තමන්ට එල්.ටී.ටී.ඊ. සංවිධානය සම්බන්ධයෙන් තිබූ අදහස වෙනස් කළ බව ඇය වරක් සඳහන් කළාය. ඉන් අපසු 2009 දී එල්.ටී. ටී. ඊ සංවිධානය මුළුමනින්ම පරාජය වනතෙක් ඇය එල්.ටී. ටී. ඊ විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය් කළාය. වරකදී ඇය, එල්.ටී. ටී. ඊ සංවිධානයේ නායක ප්‍රභාකරන්, තමිල් නාඩුවට රැගෙනවිත් නඩු අසා දැඩි ලෙස දඩුවම් කළ යුතු බව සඳහන් කළාය. ඊට අදාළ යෝජනාවක්ද සම්මත කරගත් අතර එහිදී විපක්ෂය වූ ඩි. එම්. කේ. පක්ෂය යෝජනාවට පක්ෂව හෝ විපක්ෂව ඡන්දය දීමෙන් වැළකී සිටියේය.
මෙහිදී කැපී පෙනෙන කාරණය වූයේ ශ්‍රී ලංකාවේ දේශපාලන නායකයින් අවස්ථා කිහිපයකදී ඇය හමුවීමට අවස්ථාවක් ඉල්ලා සිටියද ඇය ඒවා ප්‍රතික්ෂේප කිරීමය. එසේම, ඉන්දීය සහ ශ්‍රී ලංකා ධීවර ගැටලුව මෙන්ම කච්චතිව් දූපතේ අයිතිය සම්බන්ධයෙන් ඇයට තිබූ මතය ඉන්දීය බහුතර ජනතාවගේ කැමත්ත ලබා ගැනීම මූලික කරගනිමින් සකස් කරගත් එකක් විය. ඒ නිසාම එවැනි කාරණා හමුවේ ශ්‍රී ලංකා ආණ්ඩුව මෙන්ම ඉන්දීය මධ්‍යම ආණ්ඩුව දැඩි ලෙස විවේචනය කිරීමට ඇය කටයුතු කළාය.
2009 න් පසු එල්.ටී. ටී. ඊ සංවිධානයට බැන වැදීම වෙනුවට දෙමළජනතාව සම්බන්ධයෙන් සහ යුද්ධයේ අවසන් කාලය තුළ සිදු වූ ඝාතන සම්බන්ධයෙන් දකුණු ඉන්දියාවේ පොදු දේශපාලන මතය සකස් වී තිබූ ආකාරය හමුවේ එහි කොටස් කාරියක වූයේ මැතිවරණ ඉලක්ක කර ගෙනය. එහි ප්‍රතිඵලය ලෙස ඇය යළිත් මැතිවරණයෙන් ජය ලබා මහඇමති ධූරයට පත් වූවාය. නමුත් ඉතාම කෙටි කාලයකින් තමන් අතින් සිදු වූ බවට චෝදනා වූ වංචා සහ දූෂණ වලට වැරදි කාරිය වූ ඇය 2014 සැප්තැම්බර් මාසයේ සිර ගත කරනු ලැබීය. ඉන්දීය ඉතිහාසයේ ධූරයේ සිටිමින් සිරගත කරනු ලැබූ එකම මහඇමති ඇය වූවාය. නමුත් ඉතාම කෙටි කාලයකින් කර්ණාටක මහා අධිකරණය විසින් ඇය නිදොස් කොට නිදහස් කරනු ලැබූ අතර යළිත් තම ධූරයේ කටයුතු කරනු ලැබුවාය.
පසුගිය සැප්තැම්බර මාසයේ හදිසි රෝගී තත්වයක් හේතුවන් රෝහල් ගත වන ඇය මිය යන තුරු රෝහලේ රැඳී සිටියාය.
ජයලලිතාගේ වියෝව නිසා දේශපාලනික වශයෙන් හටගෙන ඇති රික්තය සරල කාරණයක් නොවේ. විශේෂයෙන්ම ඇය නියෝජනය කළ ඕල් ඉන්ඩියා අන්න ද්‍රවිඩ මුන්නේත්‍ර කසගම් පක්ෂය තුළම දැඩි අභ්‍යන්තර දෙදරා යෑමක් සිදුවීමට ඉඩ තිබේ. ඕනෑම දේශපාලන පක්ෂයක පැහැදිලි දෙවන පෙළ නායකත්වයක් නැති වූ විට මුහුණ දීමට සිදුවන මූලික කාරණයය එයයි.
කෙසේ වෙතත්, දකුණු ඉන්දීය දේශපාලනය සැලකීමේදී ඇය විසින් සම්ප්‍රදායික දේශපාලන රාමුව කඩා බිඳ දැමීමට සමත් වූවා පමණක් නොව පුරුෂාධිපත්‍යය බරපතළ ලෙස පැළ පදියම් වූ සමාජයක තම බලය තහවුරු කර ගැනීමට සමත් වීම සැබවින්ම ආකර්ශනීය වේ. එසේම දකුණු ඉන්දීය දේශපාලනය තුළ සිදුවන වෙනස් කම් ශ්‍රී ලංකාව කෙරෙහිද බලපාන බව සියල්ලෝම දන්නා සරල කාරණයකි.
යුගයක් අවසන් වී ඇත. යුග පෙරලියක් කළ පෙරලිකරුවන් නික්ම ගොස් ඇත. වෙනත් මාදිලියක යුගයක එම යුගය සමඟ පොර බැඳීමට දඟලන තරගකරුවන් විශාල පිරිසක් බෝ වී ඇත. අනාගතය තීරණය වන්නේ ඔවුහු මතය.
උපුටාගත්තේ SLG