උපුටාගැනීම්විශේෂාංග

අපේ ආරක්ෂක අංශ වෙනස් ඇයි!

සපුගස්‌කන්ද ආරක්‌ෂක සේවා අණ, මාණ්‌ඩලික විද්‍යාලයේ පෙරේදා (12 වැනිදා) පැවැති උපාධි ප්‍රදානෝත්සවයේදි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ අදහස් පහත දැක්වේ.

මෛත්‍රිපාල සිරිසේන

අපේ රටේ ජාතික ආරක්‌ෂාව වගේම අන්තර්ජාතික වශයෙන් ආරක්‌ෂක විෂය ක්‌ෂේත්‍රය පිළිබඳව පුළුල් විෂය දැනුමක අවශ්‍යතාවය සහ ඒ සඳහා අවශ්‍ය දැනුම පුහුණුව ලබාදීම හා මඟපෙන්වීම අනුව ආරක්‌ෂක විද්‍යාලයේ දීර්ඝ කාලයක සේවය අපි ඉතාමත් අගය කළයුතු වෙනවා. ඒ වගේම අද අපේ රට වගේම ලෝකය වේගයෙන් වෙනස්‌ වෙනවා. ආරක්‌ෂක විෂය පමණක්‌ නොවේ සියලු විෂය ක්‌ෂේත්‍රයන් වලින් වේගවත් තරගකාරීත්වයක්‌ අද ලෝකයේ තියෙන්නේ. ඒ විශ්වීය දැනුම ලබාගැනීම සඳහා අපි රජයක්‌ විදියට ප්‍රධාන වශයෙන්ම අපේ ආරක්‌ෂක හමුදාව වෙනුවෙන් ඒ කාර්ය කිරීමට මූලික වශයෙන් බැඳී සිටිනවා. එය රජයක ප්‍රතිපත්තිය වියයුතුයි. එය වගකීම මෙන්ම යුතුකම ද වෙනවා.

දීර්ඝ කාලයක ඉතාමත් අසීරු යුද ගැටුමක නිරත වුණ හමුදාවක්‌ අපට සිටින්නේ. අද ලෝකයේ ඉහළ තාක්‌ෂණික දියුණුවක්‌ තිබෙනවා. විශාල වශයෙන් දියුණු වුණ රටවල හමුදාවන්ට අපේ ආරක්‌ෂක හමුදාවන්ට තිබෙන අත්දැකීම් හා දැනුම තිබෙනවා කියලා මා හිතන්නේ නැහැ. ලෝකයේ ඉතාම ප්‍රබල ත්‍රස්‌තවාදී සංවිධානයක්‌ විනාශ කිරීම සඳහා වසර විසිගණනක දීර්ඝ යුද්ධයේ අත්දැකීම තුළින් රටට සාමය ලබාදීම වගේම අපේ ආරක්‌ෂක හමුදාවන්වලට එයින් විශේෂ පුහුණුවක්‌ හා දැනුමක්‌ ලබාගැනීමත් ඒ තුළ යුද ශිල්පීය ඥානය වර්ධනය වීමත් තාක්‌ෂණික දැනුම වර්ධනය වීමත් තුළ අපේ ආරක්‌ෂක හමුදා වල කාර්ය මණ්‌ඩල මෙම ක්‌ෂේත්‍ර වල බහුශ්‍රැතයන් බවට වගේම එම අංශවලින් දැනුම ලබාගත් අය පරිණතයන් බවට පත්වුණා. අපේ ආරක්‌ෂක හමුදා වල දැනුම පිළිබඳව අපි සතුටු විය යුතුයි. යුද්ධය පැවැති කාලයේත් දැනුම වර්ධනය, ශිල්පීය ඥානය වර්ධනය සහජ දක්‌ෂතාවයන්, කුසලතාවයන්, වීරත්වය, සටන්කාමීත්වය ඒ සියල්ල පිළිබඳව තිබූ පරිපූර්ණත්වය නිසායි ලෝකයේ ප්‍රබලතම ත්‍රස්‌තවාදී සංවිධානයක්‌ විනාශ කොට ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබුණේ.

අද දවසට වඩා වේගයෙන් වෙනස්‌ වන ලෝකය හඳුනා ගැනීම අවශ්‍ය වෙනවා. අපේ රටේ ජාතික ආරක්‌ෂාවත් මෙන්ම කලාපීය ආරක්‌ෂාව ජාත්‍යන්තර වශයෙන් ආරක්‌ෂක අංශ පිළිබඳව තිබිය යුතු දැනුම සහ අවබෝධය සමග අපේ දැනුම, ඥානාන්විතභාවය, ප්‍රඥාව, තාක්‌ෂණික අංශ වලින් අපි ලබා ගතයුතු පුහුණුව වර්ධනය කර ගැනීම අවශ්‍ය වෙනවා. රජයේ ප්‍රතිපත්තිය තුළ ආරක්‌ෂක විද්‍යාලයට අවශ්‍ය පහසුකම්, සම්පත් ලබා දීම මෙන්ම අපේ ආරක්‌ෂක හමුදා දැනුමෙන්, බුද්ධියෙන්, අවබෝධයෙන් සහ පරිණතභාවයෙන් සන්නද්ධ කොට පුහුණුවෙන් සහ පර්යේෂණවලින් වඩාත් පරිපූර්ණ කිරීම සඳහා දිය හැකි සියලු සම්පත් උපරිම ලෙස ලබා දීමට කටයුතු කරන බව මෙහිදී සඳහන් කරන්නට ඕන.

අපිට තිබෙන දැනුම සහ සම්පත් අපි වර්ධනය කර ගන්නේ කෙසේද? පුහුණු සහ පර්යේෂණ අංශ ශක්‌තිමත් කරගන්නේ කෙසේද? නව තාක්‌ෂණික දැනුම සහ යුද ශිල්පීය ක්‍රම, විශේෂඥ දැනුම ලෝකයේ අපට වඩා සංවර්ධනය වූ රටවල්වලින් අපි ලබා ගන්නේ කෙසේද? මූලික වශයෙන් අත්‍යවශ්‍ය වන්නේ ජාත්‍යන්තර හොඳ හිත දිනා ගැනීමයි. ගෙවීගිය අවුරුදු දෙකකට ආසන්න කාලසීමාව තුළ, මම ජනාධිපති ධුරයට පත්වූ පසු මගේ ප්‍රමුඛ උත්සාහය වූයේ ජාත්‍යන්තර සුහදතාවය, මිත්‍රශීලීභාවය තුළ අන්තර්ජාතික සහයෝගීතාවය ලබා ගැනීමයි. එයට හේතු වූ කරුණු ගණනාවක්‌ තිබෙනවා.

එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හරහා අපිට මානව හිමිකම් කඩවීම පිළිබඳව එල්ල කරන ලද චෝදනා සහ යෝජනා සම්බන්ධයෙන් අපේ ආරක්‌ෂක හමුදා වල ගෞරවය සහ රජයේත්, ජනතාවගේත් ගෞරවය ආරක්‌ෂා කරගෙන එම අභියෝගය ජයග්‍රහණය කිරීමයි. අනෙක්‌ කාරණය වන්නේ, මා බලයට පත්වන අවස්‌ථාව වන විට ලෝකයේ ඇතැම් රටවල් අපේ ආරක්‌ෂක අංශවලට පුහුණුවීම් ලබා දීම, පර්යේෂණ අංශ සඳහා අවශ්‍ය සහාය ලබා දීම සහ සම්පත් ලබා දීම ප්‍රතික්‌ෂේප කර තිබුණා. ඒ තත්ත්වය නැවත නිවැරදි කරගෙන ලෝකයේ සියලු රටවල් වල සහයෝගය ඒ සඳහා ලබා ගැනීම අවශ්‍ය වුණා. ඒ වගේම ඔබ දන්නවා අන්තර්ජාතික වශයෙන් අවශ්‍ය සහයෝගීතාවය තුළ සතුරන් අඩු කරගැනීම වැදගත් වෙනවා.

ජාතික ආරක්‌ෂාව පිළිබඳ ප්‍රශ්නයේදී මුහුණ දෙන ප්‍රධාන කරුණු අතරේ ජාත්‍යන්තර වශයෙන් රාජ්‍යයන්ගෙන් එල්ල වන ආරක්‌ෂාව පිළිබඳ තර්ජන, ජාත්‍යන්තර සංවිධාන වලින් ඇති වන තර්ජන, රටේ අභ්‍යන්තරයෙන් ඇති වන නොයෙකුත් නොසන්සුන්තාවයන් සහ තර්ජන. මේවා වළක්‌වාගැනීම සඳහා අන්තර්ජාතික සහයෝගීතාවය ඉතා වැදගත් වෙනවා. ඇතැම් වේලාවට ලෝකයේ ප්‍රබල රටවල් හා ඇති කරගත්තා වූ මිත්‍රත්වය, සුහදශීලීතාවය වර්ධනය කර ගැනීමට මා ගත් උත්සාහයේදී ඇතැම් අංශවලට වැරදි අර්ථකථන දුන්නා. වැරදි විග්‍රහයන් දුන්නා. නමුත් මේ රටේ ආරක්‌ෂක ඇමැතිවරයා විදියට මෙන්ම ජනාධිපති විදියට සහ මේ රටේ පුරවැසියෙක්‌ විදියට අපේ රටේ ජාතික ආරක්‌ෂාවත්, මාතෘ භූමියේ ආරක්‌ෂාවත් ඒ සඳහා සියලු ආරක්‌ෂක අංශ ශක්‌තිමත් කරමින් සන්නද්ධ කිරීමත් ඒවා පෝෂණය කිරීම සහ සුරක්‌ෂිත කිරීමත් ඒ සියලු මිත්‍රශීලී ජාත්‍යන්තර සබඳතාවයන් තුළ ප්‍රමුඛත්වය දුන් කාර්යයක්‌ බව මා විශේෂයෙන් සඳහන් කරන්නට ඕන.

අපි ජයගන්නවා යනු, අපේ මාතෘ භූමියේ තිබෙන්නාවූ සියලු අංශ වලින් අපි ජය ගැනීම නොව අපි සියලු අංශ වලින් ජාත්‍යන්තරය ජය ගතයුතු වෙනවා. ජාත්‍යන්තරය ජයගැනීමට නම්, අපේ අන්තර්ජාතික සබඳතා ශක්‌තිමත් විය යුතුයි. අපි සැමවිටම මධ්‍යස්‌ථ විදේශ ප්‍රතිපත්තියක්‌ තුළ කටයුතු කළ යුතුයි. ඔබ වැනි රටට ආදරය කරන යුද ශිල්පීය ඥානය, පුහුණුවීම් සහ පර්යේෂණ පිළිබඳව පරිණතභාවයත් නිපුණතාවයත් ඒ සියලු අංශවලින් වඩාත් පොහොසත් පිරිසක්‌ විදියට ආරක්‌ෂක හමුදාවල ප්‍රධානීන් සහ කාර්යය මණ්‌ඩල මෙන්ම ඒ සඳහා යොමු කරන නව පරපුරේ ආධුනිකයන් නව ප්‍රවේශයකට ඇතුළත්වීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා.

මේ පාඨමාලා හැදෑරීම තුළ දැනුමෙන්, අවබෝධයෙන් සහ අත්දැකීම් තුළින් පරිපූර්ණ වීම සහ ඇති වන බුද්ධි වර්ධනය පිළිබඳව අපට අනාගතය ගැන සතුටු විය හැකියි. අධි තාක්‌ෂණය සමග අනාගතයේදී රටවල් අතර ඇතිවන ගැටුම් සහ ප්‍රශ්න වලදී නව තාක්‌ෂණයයි භාවිතා වෙන්නේ. තව වසර කීපයක්‌ යන විට තුවක්‌කුව, උණ්‌ඩය, පතොරම වෙනුවට පරිගණකය සහ නව තාක්‌ෂණික මෙවලම් සමග යුද්ධ වැදීමට සුදුසු ආකාරයේ පිරිස්‌ සන්නද්ධ කරන පරිසරයක්‌ මුළු ලෝකය පුරා ඇතිවන බව ඔබ දන්නවා.

අපිට තිබෙන්නාවූ අභියෝග ජය ගැනීමට අපි පුහුණුවීම් ලබනවා මෙන්ම ඉදිරි කාලයේදී අපිට සුදුසු මෙවලම් අප විසින් නිර්මාණය කිරීම සඳහා අනාගතයේදී සූදානම්වීම අපේ වගකීමක්‌ ලෙස මම දකිනවා. පසුගිය වසරේ අති උතුම් පාප් වහන්සේ හමුවූ අවස්‌ථාවේදී උන්වහන්සේ සමග කළ සාකච්ඡාවේදී උන්වහන්සේ මගෙන් ප්‍රශ්නයක්‌ ඇහුවා. අද ලෝකය තුළ ඇතිවී තිබෙන යුදමය තත්ත්වයන් පිළිබඳව ඔබ කියන්නේ කුමක්‌ ද කියා මගෙන් ඇහුවා. ඊට දිය යුතු පිළිතුර ඉතා දීර්ඝ පිළිතුරක්‌ නිසා මම සිනාමුසු මුහුණින් පාප් වහන්සේ දෙස බලා සිටියා. උන්වහන්සේ මගෙන් ඇහුවා ඔබ දන්නවාද ලෝකයේ යුද අවි නිෂ්පාදනය කරන්නේ කවුද කියා? මම උන්වහන්සේට කිව්වා ඔව් මම දන්නවා කියා. ලෝකය තුළ ඇති වන ත්‍රස්‌තවාදී ව්‍යාපාර සහ යුද්ධ සමනය කිරීමට, අවසන් කිරීමට කළ යුතු කාර්යය කුමක්‌ ද කියා පාප් වහන්සේ මගෙන් ඇහුවා. එයටත් දිය යුත්තේ දීර්ඝ පිළිතුරක්‌ නිසා මම එයටත් සිනාමුසු මුහුණින් බලා සිටියා. උන්වහන්සේ එවිට මට කිව්වා, මේ ලෝකය පුරා යුද්ධ කරන්නේ ත්‍රස්‌තවාදීන් කියා අපි හැඳින්වුවත් ත්‍රස්‌තවාදීන් පමණක්‌ නොවේ යුද්ධය නිර්මාණ කරන්නේ, යුද අවි නිෂ්පාදකයන් කියා. යුද අවි නිෂ්පාදනය නවත්වනවානම් ත්‍රස්‌තවාදය නැහැ. යුද්ධයත් නැහැ. එයයි විසඳුම කියා උන්වහන්සේ සඳහන් කළා. උන්වහන්සේගේ ප්‍රකාශය මගේ හිත් ගත් ප්‍රකාශයක්‌. අපි රටක්‌ පිළිබඳව වගකීමකින් කටයුතු කරන පිරිසක්‌ විදියට එම ප්‍රකාශයෙන් මනා අවබෝධයක්‌ ලබා ගත හැකි වෙනවා.

මේ සියලු අංශ සම්බන්ධයෙන් කැපවීමකින් සහ අවබෝධයකින් කටයුතු කරමින් අපේ ජාතික වගකීම, යුතුකම මාතෘ භූමිය වෙනුවෙන් අපි සියලු දෙනාම ඉටු කරමු. ඒ සඳහා ඔබ සැමවිටම ඉදිරියෙන් සිටිනවා. ඔබේ පරිත්‍යාගශීලීභාවය, කැපවීම ඒ සියලු දේ තුළින් ඔබ විශිෂ්ට පුරවැසියන් වනවා. යුද, නාවික, ගුවන් ත්‍රිවිධ හමුදා, කාර්යය මණ්‌ඩල පිළිබඳව දැඩි විශ්වාසයක්‌ ගෞරවයක්‌ තබනවා වගේම සතුටු විය හැකියි, ආඩම්බර විය හැකියි ඔබ අපේ රටේ පමණක්‌ නොවේ අන්තර්ජාතික වශයෙනුත් ඔබ විශිෂ්ටයින්.

උපුටාගත්තේ  SLG

Leave a Reply

Your email address will not be published. Required fields are marked *