වල්පොළ රාහුල ආයතනයේ ආයතන ප්‍රධානී කැළණිය විශ්ව විද්‍යාලයේ ඉතිහාස අංශයේ කථිකාචාර්ය ගල්කන්දේ ධම්මානන්ද හිමියන් සමඟ ලංකා නිව්ස් වෙබ් අඩවිය සිදු කළ කාලීන සාකච්ඡාව පහත පළ වේ.
සිංහල බෞද්ධකම කියන්නෙ බොරු දෙයක් නේද?
බොරු දෙයක් කියලා ගත්තොත් ඇත්තටම ගොඩක් දේවල් බොරු තමයි. මේ අපි සම්මුති දේවල් හැටියට ගොඩ නගා ගත්ත දේවල්නෙ. මිනිස්සු ජීවත් වෙන්නෙ සම්මුති විඳියට හදා ගත්ත දේවල් එක්ක. මං කියන් නෑ ඒකත් බොරු දෙයක් කියලා. ඒකත් සම්මුතියක්. මිනිස්සු හිතනවා නම් අපි සිංහල බෞද්ධ කියලා ඒක සම්මුතියක් හැටියට ඒ ගොල්ල පිළිගත්ත සත්‍යයක්. නමුත් ඒකේ අනිත් පැත්ත ගත්තොත්, ඒ කියන්නෙ බුදු හාමුදුරුවන්ගෙ දහම සිංහල බෞද්ධ ද කියලා ඇහුවොත් මට කියන්න පුළුවන් ඒක එහෙම නෙමෙයි කියලා. ඒ කියන්නෙ සිංහල බෞද්ධ කියලා කිසියම් පිරිසක් තමුන්ව හඳුන්වා ගන්නවා නම්, ඒක සම්මුතියක්. ඒක සම්මුති වශයෙන් ඒ අයට සත්‍යයයි. බුදු හාමුදුරුවන්ගේ ධර්මය සිංහලයාගේ ධර්මයක්, බෞද්ධයා කියන්නෙ සිංහලයා , සිංහලයා කියන්නෙ බෞද්ධයා ඒක එහෙම නෙමෙයි. බුදු හාමුදුරුවන්ගෙ පණිවිඩය මනුෂ්‍යය වර්ගයා සඳහා. ඒක එහෙම ජාති වලට අනන්‍යය කමක් නැහැ.
නමුත් එහෙම සම්මුතිවාදයක් ගොඩ නගා ගනිද්දිම බෞද්ධයාට සැබෑ බුදුන්ව මඟ හැරෙනවා නේද?
ඔව්!. ඒ කියන්නෙ තමන්ගේ අනන්‍යයතාවය ජාතියක් එක්ක සම්බන්ධ කරගෙන ආගම කියන එක ඒකට එකතු කර ගත්තට පස්සෙ. ඒ හා ඒක එක්ක බැඳීමක් ඇතිකරගෙන ඒක රකින්න යනකොට ඇත්තටම මුල් පණිවිඩයෙන් ඈත් වෙනවා. මුල් පණිවිඩයට ළං වෙන්න ඒක ඇත්තටම බාධාවක් වෙනවා. ඒක ඇත්ත.
ඒ කියන්නෙ කිසියම් හෝ බෞද්ධ පිරිසකට තමන්ගේ ජාතිය ගැන කතා කරන්න අයිතියක් නැද්ද?
නෑ!. ජාතිය වෙනුවෙන් පෙනී හිටින්න අයිතියක් හැම මනුස්සයටම තියෙන්න පුළුවන්. නමුත් බුදු දහම කියන්නෙ ජාතියක් එක්ක සම්බන්ධයක් නෙමෙයි. දැන් සිංහල මනුෂ්‍යයාට පුළුවන් සිංහල ජාතිය වෙනුවෙන් පෙනී හිටින්න. දෙමළ කෙනාටත් එහෙම පුළුවන්. ඒවා වෙන වෙනම වැඩවල්. බුදු දහමත් එක්ක ඕවා සම්බන්ධ නෑ. ඒකයි මං කියන්නෙ. දැන් කෙනෙකුට තමන්ගේ ආගමක් තියෙනවා. ඒක එකක්. ජාතිය කියන්නෙ ආගම නෙමෙයිනෙ. ජාතිය කියන්නෙ භාෂාව සංස්කෘතිය ඒවත් එක්ක සම්බන්ධ දෙයක්. ඒකේ අග ආගම තියෙන්න පුළුවන්. නමුත් මං කියන්නෙ බුදු හාමුදුරුවන්ගෙ පණිවිඩය වෙනයි. ඒක ජාතියක් එක්ක සම්බන්ධ නෑ. එතකොට අනන්‍යයතා එක්ක ආගමත් සම්බන්ධ කරගෙන ජාතියත් සම්බන්ධ වුණාට පස්සෙ මුල් පණිඩිඩයෙන් අපේක්ෂා කළ දෙයට ළං වෙන්න අමාරුයි. ඒක බොහොම පැහැදිළිව කියන්න ඕන.
ඒ වුණාට බුදු හාමුදුරුවොත් එක්තරා අවස්ථාවක ශාක්‍ය වංශය වෙනුවෙන් පෙනී ඉඳලා තියෙනවනෙ.?
එතනදී ශාක්‍යයයෝ බේරගන්න නෙමෙයිනෙ යන්නෙ. ඒ කියන්නෙ දැන් ශාක්‍ය කෝලිය ගැටුම විසඳන්න බුදුන් මැදිහත් වෙනවා. විඪූඩභ ශාක්‍යයන්ට එරෙහිව පහර දෙන්න යනකොට ඇත්තටම එතනදි වෛරය පදනම් කරගෙන තමයි විඪූඩභ ශාක්‍ය වංශය විනාශ කරන්න යන්නෙ. ඒ වෙලාවේ බුදු හාමුදුරුවෝ පෙනී හිටිනවා. ඒ යුධ භටයෝ යන මාර්ගය ඉදිරියෙන් ඔවුන්ව හමු වෙනවා. ඇත්තටම විඪූඩභව නවත්වන්න බෑ එයා යන්නෙ වෛරයෙන්. තමන්ට නින්දාවක් කළා කියන අදහසිනුයි එයා යන්නෙ. එතකොට ඔහුට කරුණු පහදලා දීලා යමක් කරන්න බෑ. බුදුහාමුදුරුවෝ එහිදී පාවිච්චි කරන්නෙ එක්තරා විඳියක භාව වේගී හැඟීමක්. ඒ කියන්නෙ ඒ ඥාතීන්ට හානියක් වෙනකොටම මට ඒක දැනෙනවා කියන එක පෙන්වනවා. ඒ විඳියටයි බුදු හාමුදුරුවෝ උත්සාහ කරන්නෙ විඪූඩභව පාලනය කරන්න. නමුත් විඪූඩභව පාලනය කරන්න බැරි වෙනවා. විඪූඩභ ගිහිල්ලා සම්පූර්ණයෙන් ශාක්‍යයන් විනාශ කරනවා.
අද ලෝකය පුරාම තමන්ගෙකම ජාතිවාදය දක්වා ඉස්මතු වෙමින් යනවා. මේ සම්බන්ධයෙන් බුද්ධ දර්ශනයේ කියවීම මොකක්ද?
එකක් තමයි අනිත්‍යයතාව කියන එක. මේ වෙලාවේ කිසියම් ප්‍රවණතාවයක් තියෙනවා කියන එකෙන් අදහස් වෙන් නෑ ඒක සදාකාලිකයි කියලා. මේවා රැළි. ඕක වෙනස් වෙන්න පුළුවන්. අනික තමයි ඔය ජාතිවාදය/ජාතිකවාදය කොයි තරම් දුරට මනුෂ්‍යය වර්ගයාට එකට ඉන්න සහ ප්‍රශ්න විසඳගන්න පුළුවන් වෙනවාද කියන එක උඩ ඕක පවතියි. එහෙම නැතිනම් ඕක වෙනස් වෙයි. ඉතිං ඒක මම හිතන්නෙ නැහැ විශ්වීය කාරණයක් කියලා. ඕක වෙනස් වෙන ධර්මතාවයක්. එතකොට බෞද්ධ තැන ඉඳන් මට කියන්න පුළුවන් දේ තමයි ඕක වෙනස් වෙනවා. ඊළඟට බුදු දහමෙ තියෙන්නෙ අනෙකා වෙනුවෙන් මෛත්‍රිය පදනම් කරගෙන උපත මත මිනිසා වර්ග කරන්නෙ නැතුව යන ගමනක්. එතකොට ඒක ඉතිං මේ තණ්හාව බලය ඉවහල් කරගත්ත මිනිසාගේ අදහසට වෙනස්. දැන් මේ වෙලාවේ විතරක් නෙමෙයි ලෝකයේ හැම වෙලාවෙම මිනිස්සු බලය, තම කණ්ඩායම අතට හැකි තරම් සම්පත් පාලනය කිරීමේ අවස්ථාව.., ආදී දේවල් පදනම් කරගෙනනෙ යන්නෙ. මේ රට ගත්තත් වෙන රටවල් ගත්තත් දේශපාලන තුළ ඔය දේවල් තියෙනවා. එතකොට ඒක බුදු දහමේ පණිඩිය නෙමේ. එතකොට මේකේ ගැටුමක් තියෙනවා. බුදු දහමේ ඵලය බලය අල්ල ගැනීම නෙමෙයි ඇත්තටම මිනිස් ප්‍රජාව කෙරෙහි කරුණාවෙන් බලය අත්හැරීමයි. අත්හැරීම කියන්නෙ සියළු දෙනා වෙනුවෙන් කරුණාවෙන් සියල්ල අත හැරලා වනගත වෙනවා කියන එක නෙමේ. තණ්හාවෙන් ඒ දේවල් අල්ල ගන්නෙ නැතුව මනුෂ්‍යය ප්‍රජාවගේ යහපත සඳහා ඒවා භාවිතා කිරීම. ඉතිං මේ වෙලාවේ යම් වෙනසක් වෙනවා නම් ඒක සදාකාලික දෙයක් නෙමෙයි. දෙක ඕක අළුත් අමුතු දෙයක් නෙමේ. ඕවා නිකම් මාධ්‍යය වලින් හුවා දක්වනවා මෙන්න දැන් ලොකු දෙයක් වෙන්න යන්නෙ කියලා. නමුත් ඒක එක එක රටවල යම් යම් ප්‍රමාණ වලින් ඔය දේ සිදු වෙමින් තිබුණා.
ඔබවහන්සේත් පිං පව් විස්වාස කරනවද?
පිං පව් කියන එකෙන් අදහස් කරන්නෙ අපි යහපත් දෙයක් කළෝතින් ඒකට අනිවාර්ය ඒක හා බැඳුණු ප්‍රතික්‍රියාවක් තියෙනවා කියන එකයි. එතකොට යහපත් දේ කරන කෙනාට අඩු ගානේ මානසික සහනය ක් ලැබෙනවා. මං කියන්නේ සචේතනිකව කරන ක්‍රියාවකට තියෙනවා ඵලයක්. ඒකයි මං පිළිගන්නෙ.
එතකොට බුද්ධ කියලා තියෙන්නෙ කිං සච්ච ගවේෂී කියලද? කිං කුසල ගවේෂී කියලද?
කිං කුෂල ගවේෂී කියලා.
කොතනදිද බුදුන් එහෙම කියන්නෙ?
මජ්ජිම නිකායෙ අරිය පරියේසන සූත්‍රයේ දී.
බුද්ධ නිවන් දකින්න කොයි තරම් පිං ප්‍රමාණයක් රැස් කරගන්න කියලා තියෙනවද?
පිං නෙමේ. ඇත්තටම නිර්වාණාවබෝධය සඳහා වැදගත් වෙන්නෙ ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ සඳහන් වන වැඩපිළිවල. ඒක ඇත්තවශයෙන්ම පුද්ගලයා තමන් හික්මවා ගැනීම හා සම්බන්ධ වෙන දෙයක්. ඒක වචනයෙන් සිතුවිලි වල සහ කරන කියන ක්‍රියා ඉඳලා හිතේ සමාධිය වගේ දේවල් යහපත් කරගැනීම මත තියෙන දෙයක්. ඒක කිසිවිටෙක බැහැර කළ නොහැකි දෙයක්. ඒ වගේම රැස් කිරීම එක්ක සම්බන්ධයක් නෑ. තමන් තුළ ඇති කරගන්න විශාල වෙනස් වීමක් තමයි වැඩපිළිවල.
මලියදේව මහරහතන් වහන්සේගෙන් පස්සෙ රහතන් වහන්සේලා ලංකාවේ බිහි වෙන්නෙ නැත්තෙ ඇයි?
එහෙම ප්‍රකාශයක් කරන්න නම්, මලියදේව රහතන් වහන්සේගෙන් පස්සෙ වෙන කිසිම කෙනෙක් රහත් වුණේ නෑ කියලා අපි පිළිගත්තොත් විතරයි එහෙම දෙයක් ප්‍රකාශයක් කරන්න පුළුවන් . මලියදේව මහරහතන් වහන්සේගෙන් පස්සෙ රහතන් වහන්සේලා බිහි වුණේ නෑ කියලා පොතක පතක සඳහන් වුණාට අපිට කියන්න බැහැනෙ හරියටම එහෙම අය බිහි වුණේ නෑ කියලා. මොකද ඒ අය බෝඩ් ලෑලි එල්ලගෙන තැන තැන යන්නෙ නෑ නෙ මම රහත් වෙලා කියලා. බොහොම නිශ්ෂබ්දව අදටත් ඒ වගේ රහතන්වහන්සේලා ඉන්න පුළුවන්. ඉතිං අපි කොහොමද එහෙම වුණේ නෑ කියලා කියන්නෙ කොහේවත් පොතක තිබ්බ පලියට කියන්නෙ.
කුසලය යි පිනයි කියන්නෙ එකක්මද?
මෙහෙමයි ඒ දෙක එකට සම්බන්ධ වෙනවා. කුසල කියලා කියන්නෙ හැකියාවන්. බුදුන් කුසල මුල් සහ අකුසල මුල් කියලා තුනක් විස්තර කරනවා. කුසල මුල් තුන තමයි ලෝභය නැති කර ගැනීම, ද්වේෂයෙන් මිඳීම, මෝහයෙන් මිඳීම. මේවා කුසලතා හෙවත් හැකියාවන්, ඒ කියන්නෙ වර්ධනය වෙන දෙයක්. පිං කියලා කියන්නෙ කුසලතා නෙමෙයි අපි යහපත් හොඳ දේවල් කිරීම. දැන් මේ දෙකේ සම්බන්ධයක් තියෙනවා. අපි යහපත් හොඳ දෙයක් කළොත් අපි කුසලතා කියලා කියපු යම් හැකියාවක් වර්ධනය වෙන්නතත් පුළුවන්. ඒ කුසලතාවය තමයි මට ඕන වෙලාවක ඕන දෙයක් අත් හරින්න පුළුවන් වීම. එතකොට පින කියලා කියන්නෙ යහපත් දේ. මේ දෙක බොහොම ළඟින් යන අදහස් දෙකක්.
බුදුන් ජාති යන වචනයෙන් අදහස් කළේ කුමක්ද?
මෙහෙමයි, දැන් භාෂාව අවුරුදු දෙදහස් ගණනක් යනකොට අර්ථ වෙනස් වෙනවා නේද?. එතකොට ජාති කියන එක සළකලා තියෙනවා විවිධ සත්ව ජාති ගැන කතාකරනකොට. ඔය ඉන්දියාවේ ඒ කාලයේ අපි ජාති කියන අර්ථයෙන් එදා ජාති කියන වචනය යෙදුනෙ නැහැ. එදා බුද්ධ කාලේ ඉන්දියාවෙ මිනිස්සුන්ව වර්ග කරගත්තෙ වර්ණ කියන වචනයෙන්. එතකොට වර්ණය තමයි මිනිස්සු අතර වෙනස්කම් ඇතිකරන රේඛාව වුණේ. ජාති කියන එක නෙමේ. දැන් වාසෙට්ඪ සූත්‍රයෙදි බුදුන්වහන්සේ කියනවා මිනිසා කියන්නෙ එක ජාතියක් අනෙක්වා සත්ව ජාති කියලා.
සාකච්ඡා කළේ
බාසුරු ජයවර්ධන
උපුටාගැනීම: LNW