පැවැති ආකාරයේ යමපාලනයක් නැත්නම් ඒකාධිපති පාලන තන්ත්‍රයත් අවශ්‍යතාව සමාජයකට දැනෙමින් තිබෙන බව යහපාලනයේ වසර දෙකක ඇවෑමෙන් සිදු වෙමින් පවතින බවට ඇතැමෙක් කරන විග්‍රහයට හේතුඵල නොමැත්තේ නැත.
එය එසේ වූව ද ඊට වෙනස්ව ඒකාධිපති පාලන තන්ත්‍රයක අනේක විධ පීඩාවලට ලක් වෙමින් තිබිය දී වඩා ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් සමාජයක් රටවැසියා අපේක්ෂා කිරීම ද සාමාන්‍ය තත්ත්වයකි. එහෙත් ඒ සාමාන්‍ය තත්ත්වය පවත්වාගෙන යාමට රටවැසියාගේ සහයෝගය පාලකයා හට නොමැති නම් එය කළ හැකි නොවේ. මන්ද, යහපාලනය යන්න අර්ථවත් වනුයේ රටවැසියාගේ සහභාගීත්වය අනුව මිස රාජ්‍ය පාලකයාගේ නියෝග අනුව නොවේ. අද මේ රටේ පවතින සම්මුතික ආණ්ඩුව යනු යමපාලනයක් පෙරළා දමා බිහි කරගත් වඩා ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍රයකි. වත්මන් පාලක තන්ත්‍රය යනු ප්‍රජාතන්ත්‍රවාදය නීතියේ ආධිපත්‍යය, මානව නිදහස සමානාත්මතාව යනාදී වශයෙන් උස් බලාපොරොත්තු රැසක් යථාර්ථයක් කර ගැනුමේ අරමුණු ඇතිව රටේ බහුතරය විසින් තෝරාගනු ලැබූවකි. එම පාලනයට ලබන සතිය වන විට වසර දෙක පූර්ණ වේ. මේ වසර දෙක තුළ මේ රටවැසියා අපේක්ෂා කළ අරමුණු කරා යහපාලකයන් ළඟා වී තිබේද යන්න ගැන විවිධාකාර අදහස් උදහස් ද සමාජගත වී තිබේ. මේ තත්ත්ව විමසා බැලීමේ දී යහපාලනයේ අසරණකම වඩාත් පැහැදිලිව පෙන්නුම් කරමින්ද තිබේ. පොරොන්දු වූ ඒ යහපාලනය යථාර්ථයක් කර ගැනීමේ නොහැකියාවෙන් පාලකයන් පීඩා විඳින බව බැලූ බැල්මටම දක්නට තිබේ. මේවැරැද්ද කෙරෙහි මුළුමනින්ම වගකිවයුතු වන්නේ පාලකයන් පමණක් නොවේ. රටවැසියා ද ඒ හා සමානව ඒ වැරැද්දේ වගකීම බාරගත යුතුය. මන්ද, ඔවුන් විසින් බිහි කර ගනු ලැබූ අපේක්ෂාසහගත අනාගතයක් වෙනුවෙන් වූ පාලන තන්ත්‍රයට ඒ ඒ පාලකයන්ට ඕනෑ ඕනෑ ලෙස මෙහෙයවීමට ඉඩ හසර ලබා දීමේ වැරැද්ද ඔවුන් විසින් සිදු කරමින් තිබීම මෙයට හේතුවය. තමන්ගේ සහභාගිත්වයෙන් යුතු පාලන තන්ත්‍රයක් පිළිබඳ අත්දැකීම් හෝ ඒ සම්බන්ධයෙන් වන දැනුවත්භාවයෙන් තොර වීම මත තමන්ව ද පාලනය කළ හැකි පාලකයකු හෝ පාලන තන්ත්‍රයකින් මිස තමන්ගේ විමුක්තිය උදා නොවනු ඇතැයි කල්පනා කිරීම රට වැසියා කෙරෙන් වීම අහඹුවක් නොවේ. මන්ද, ඒ තරමටම මේ දූපත්වාසී මානවයා අසරණය; දුප්පත්ය; නොදැනුවත්ය. යහපාලන පාලකයෝ ද තමන්ගේ ප්‍රශ්න විසඳීමට අසමත් බව කල්පනා කරන්නේ ඒ අනුවය.
වත්මන් යහපාලන සම්මුතික ආණ්ඩුව බිහි කර ගැනීම වෙනුවෙන් ජනතාවගේ දේශපාලනික නොවන නියෝජිතයන් ලෙස මහමෙරක් කටයුතු සිදු කළ සිවිල් සමාජ ව්‍යාපාර ද මේ වැරැද්ද ඉවසා වදාරාගෙන සිටීම යහපාලන පාලන තන්ත්‍රය යථාර්ථයක් කර ගැනීම කෙරෙහි ඍජුවම බලපානු ලබන්නකි. එහෙත් ඒ වරදවා වටහාගෙන ආණ්ඩු කෙරුවාව නම් දේශපාලන කාරණාව තමන් වෙත පවරාගෙන කටයුතු කරන්නට ගිය මෙරට බොහෝ සිවිල් සමාජ ව්‍යාපාර අද පත්ව ඇත්තේ කූඤ්ඤය ගැලවීමට ගොස් මොකක්ද එක තළා ගත් වඳුරාගේ තත්ත්වයටය. තමන්ට හිමි කාර්යය කුමක්ද යන්න නොදන්නා සිවිල් සමාජ ව්‍යාපාර වත්මන් පාලන තන්ත්‍රය බිහිකර ගැනීමෙහිලා වැඩි දායකත්වයක් දැක්වීම දඩමීමා කරගෙන දේශපාලනය කරන්නට යාම හෝ දේශපාලන බලවේග විසින් ගොදුරක් ගැනීමෙහි ආදීනව අද අප ඇස් පනා පිටම දකින්නට ලැබේ. තමන්ගේ කාර්යය, ජනතාව සමඟ ජනතාව වෙනුවෙන් ආණ්ඩුකරණයට ජනතා සහභාගීත්වය සඳහා වන තෙරපුම සිදු කරනවාට වඩා ජනතාව සමඟ කිසිදු බැඳියාවක් නොමැතිව දේශපාලනය කිරීමට යෑමේ සහ රජයේ පරිපාලන වැඩ කිරීමට යෑමේ ඵල විපාක අප පසුගිය කාලයේ අත් දැක්කෙමු. සිවිල් සමාජ ව්‍යාපාර යනු විහිළුකාරී කරදරකාරී හෝ බඩ වඩා ගැනීමේ ව්‍යාපාර ලෙස ජන සමාජය තුළ අර්ථ ගැන්වීමට ලක් වූයේ මේ නිසාය.
කොටින්ම සිවිල් සමාජ ව්‍යාපාරය මැදිහත් වී ජන ආකල්ප හැඩ ගස්වා ජයග්‍රහණය කරවූ සම්මුතික ආණ්ඩුව මේ වන විට පවතින්නේ අද කැඩෙයි හෙට කැඩෙයි යන අවදානම්සහගත තත්ත්වය හමුවේ වුව ද මෙම සිවිල් සමාජ ව්‍යාපාර ගල් බිල්ලන් ලෙස හැසිරීම සිදුව ඇත්තේ ද ඒ නිසාය.
ඕනෑම ආණ්ඩුවක් තුළ වංචා දූෂණ අපරාධ අකටයුතුකම් සිදු විය හැකිය යන්න අපගේ උපකල්පනය වූවත් ආණ්ඩුවම යනු වංචාව දූෂණය අපරාධ ආදී අකටයුතුකම් වෙනුවෙන්ම බිහි වූ ආයතනයක් ලෙස හැඳින්විය හැකි තරමටම ඒ අකටයුතුකම් මේ තුළ සිදු වීමට ඉඩ විවර කර තිබෙන බව පිළිගත හැකි ඇත්තකි. වත්මන් යහපාලන ආණ්ඩුවේ මැති ඇමැතිවරු ගණනාවකට බරපතළ වංචා දූෂණ චෝදනා එල්ල වී තිබීම සම්මුතික ආණ්ඩුව බිඳ වැට්ටවීම අරමුණු කරගොඩනැඟෙමින් පවතින දේශපාලන ප්‍රහාරවලට ද ශක්තිමත් පදනමක් සපයයි.
මල් වෙඩි නොවූ පුස් වෙඩි
එනමුත් ඇතැම් විට ආණ්ඩුවට එරෙහිව එල්ල වන විවේචනවල ප්‍රමාණය සහ ස්වභාවය රටේ ප්‍රජතන්ත්‍රවාදය තහවුරු වී ඇති බවට ආණ්ඩුව කෙරෙන් වන ප්‍රතිචාරය සුබවාදී අපේක්ෂා දල්වන්නාක් ලෙස සැලකුව හැකි අතර ආණ්ඩුවට ද එය සතුටෙන් සැමරිය හැකිය. නමුත් අර්බුදයේ කරවටක් ගිලී සිටින බව ආණ්ඩුව නොදන්නවා නොවේ. එසේම වර්තමානයේ යහපාලන ආණ්ඩුව මුහුණ පා සිටින අර්බුදය මල් වෙඩි සංදර්ශනවලින් සමනය කර ගැනීමට හැකි තත්ත්ව දැන් අවසන් වෙමින් පවතින බව නොතකා හැරිය නොහැකිය. පසුගිය දෙවසර තුළ මල් වෙඩි සංදර්ශන පැවැත්විය යුතු කාලයේ ඒ නොතකා හැරීමට වඩා අනාගතයේ දී ගිනි පුපුරු විසි විය හැකි කරුණු කාරණාවලින් පරිස්සම් වීම වත්මන් ආණ්ඩුව වැදගත් ලෙස නොසැලකීම අර්බුදයක් කරා ආණ්ඩුව තල්ලු කිරීමට අද හේතු වී ඇත. දැන් මල් වෙඩි සංදර්ශන පුස් වෙඩි බවට පත් වෙමින් තිබේ. එහෙත් ගිනි පුපුරු විසි වෙමින් පවතී.
දුම් රොටු සමඟ විසි වන ගිනි පුපුරු මල් වෙඩි සංදර්ශන ලෙස ආණ්ඩුව බාර ගන්නේ නම් මේ 2017 වසර යනු ආණ්ඩුව දවා හළු විය හැකි වසර විය හැකිය. විපක්ෂයෙන් එල්ල වන දේශපාලන ප්‍රහාරවලට ඉඩ දීම ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණයක් වුව ඒ වළක්වා ගැනීම හා ඊට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමෙහි දක්වන අසමත්භාවය ඊට පාර කපමින් තිබේ.
රාජපක්ෂ රෙජීමය සමයේ දී මහ ණය උගුලක සිර කර මහා පටලැවිල්ලක් බවට පත් කර තිබූ රටේ ආර්ථිකයනිවැරැදිභාවය කෙසේ වෙතත් පැහැදිලි මාවතකට ඇද දැමීමට වත්මන් ආණ්ඩුව සමර්ථ වූව එහි ප්‍රතිලාභය කිසිවකුත් නොදනී. දේශපාලන ස්ථාවරත්වය වෙනුවෙන් ගත් ක්‍රියාමාර්ග හා ඒ වායේ ප්‍රතිඵලය ගැන කිසිවකුට නිනව්වක් නැත. නව වසරේ අපේක්ෂා කරන සංවර්ධනයේ ශීඝ්‍ර ගමනාන්තය ගැන කිසිවකුට නිශ්චිත අදහසක් නැත. මෙහි දී කිසිවකුත් යනුවෙන් හැඳින්වූයේ සාමාන්‍ය ජනතාව පමණක් නොවේ. ඇතැම් ඇමැතිවරුන් ද ඊට අයත්ය. ආණ්ඩුව තමන් විසින් මේ රට අභිවෘද්ධිය වෙනුවෙන් ගත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් රටවැසියා දැනුවත් කිරීමට අපොහොසත්ව සිටී. ආණ්ඩුවට එරෙහිව වන විවේචනවලට පිළිතුරු දීමට තරම්වත් උනන්දුවක් හෝ ඒ සඳහා වන දක්ෂතාව පෙන්වීමට සමත්ව නැත. තමන් ලත් ජයග්‍රහණ ජනතාව සමඟ බෙදා හදාගෙන භුක්ති විඳීමේ දේශපාලන සම්‍යක් ප්‍රයෝග වත්මන් පාලකයන් දන්නේ නැත.
පෞද්ගලික ව්‍යාපාරික සමාගමක් පාලනය කිරීම හෝ සන්නද්ධ හමුදාවකට අණ දෙන්නාක් මෙන් ආණ්ඩුවක් කිරීමට නොහැකිය. රටවැසියා යනු ආණ්ඩුව හා හිතන පතන ඊට සමගාමීව කටයුතු කරන එහි නියෝග පිළිපැදීමට සූදානමින් සිටින පිරිසක් නොවේ. ඒ අපේක්ෂා දසලක්ෂ ගණනකින් වන පුද්ගලයන්ගෙන්සැදුණු සමාජයකි. ඒ තුළ විවිධ වෙස් ගත් දේශපාලන බල කණ්ඩායම්වලට ඕනෑම රිලා නැටුමක් නැටීමේ ඉඩ කඩ අවශ්‍ය තරමට පවතී. ඉන් විනෝද වන පිරිස් ද ඕනෑ තරමින් සිටිය හැකිය. ආණ්ඩුව රාජ්‍ය පාලනය පවත්වා ගෙන යායුත්තේ මේ තත්ත්වය ගැන දැනුවත්වය. එය කළමනාකරණය කරමින්ය. එහෙත් ඒ ආණ්ඩු බලය ලැබුණු විට තමන්ට මිලිටරිමය ශක්තිය එනම් තුවක්කු කට ජනතාව කෙරෙහි තම දේශපාලන සතුරා කෙරෙහි යොමු කරගෙන මේ පාලනය මෙහෙයවිය හැකි යැයි සිතන පතන අඥානයෝ පාලන තන්ත්‍රය අරක් ගත් විට තමන්ගේ පැවැත්මට කිසිදු හානියක් නොවන්නේය යනුවෙන් කල්පනා කරන පාලකයන්ට ඇත්තේ කෙටිකාලීන පැවැත්මක් බව ද ආණ්ඩුව වටහාගත යුතුය. රටට අවශ්‍ය වන්නේ ජනතා සහභාගීත්වයෙන් යුතු ආණ්ඩුවකි. ජනතාව ඒ සඳහා සහභාගි කර ගන්න ක්‍රමවේදයක් ඉඩ කඩක් සකසා දීම ආණ්ඩුවේ වගකීමකි. යහපාලනය යන්න අර්ථවත් වන්නේ ඒ අනුවය. වංචාව, දූෂණය අපරාධ ආදී අකටයුතුකම් වළක්වා ගැනීම ද සිදු විය හැක්කේ ඒ අනුවය. ගිනි පුපුරු නිවා දැමීම එය ජනතාව විසින්ම සිදු කරනු ලබන්නේ නම් ඒ යහපාලනයේ ජයග්‍රහණයකි.2017 වසර තුළ සිදු විය යුත්තේ එයය.
– සුජය
උපුටාගත්තේ සත්හඬෙන්