පසුගිය දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මුණ ගැසීම සඳහා එක්සත් ජාතික පක්ෂයෙ පසුපෙළ මන්ත්‍රීවරු පිරිසක් ගොස් තිබිණි. ජනාධිපතිවරයා එම කණ්ඩායම උණුසුම් අන්දමින්පිළිගැනීමට ලක් කර තිබිණි.
පවතින සම්මුතික ආණ්ඩුව බිඳවට්ටවා ශ්‍රීලනිප ආණ්ඩුවක් ගොඩනඟන බවට ශ්‍රීලනිපයේ මෛත්‍රී පාර්ශ්වයේ යැයි පෙනී සිටින ඇතැම් මන්ත්‍රීවරු පවා පසුගිය කාලයේ ගෙන ගිය මතවාදී ව්‍යාපාරයේ ඇත්ත නැත්ත විමසීම සඳහා මෙම එජාප මන්ත්‍රීවරු පිරිස ජනාධිපතිවරයා හමුවීමට ප්‍රධාන හේතුව වී තිබිණි. එහෙත් ජනාධිපතිවරයා එජාප මන්ත්‍රීවරු සමඟ පැවසූ කරුණු කාරණා හා කිසිසේත්ම වත්මන් ආණ්ඩුව බිඳදැමීම සඳහා තමන්ගේ කිසිදු අදහසක් නොමැති බවට දුන් සහතිකය අනුව සම්මුතික ආණ්ඩුව බිඳවැට්ටවීම සඳහා ගෙන යන ව්‍යාපාරයට ආයුෂ නොමැති බව පැහැදිලිය. යම් ලෙසකින් ශ්රීලනිපය ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට නම් තමන් විසින් ජීවිතය පරදුවට තබා කළ නිර්භීත සටනෙන් පසුව බලයෙන් පහකරන ලද මහින්ද රාජපක්ෂ, ඔහුගේ පවුල, හෙංචයියන් සමඟ එක්වීම අනිවාර්ය කාරණයක් බව ජනාධිපතිවරයා නොදන්නවා නොවේ. එමෙන්ම ඒ වෙනුවෙන් එජාපයෙන් කොටසක් කඩා ගැනීමට සිදු වීමත් විය යුතුව තිබේ. කෙසේ නමුත් කවර මිලක් හෝ ගෙවා මන්ත්‍රීවරු මිලදී ගනිමින් එවැනි ආණ්ඩුවක් පිහිටුවා ගැනීමේ නොහැකියාවක් ජනාධිපතිවරයාට නොමැත. එය සිදු කළ හැකිය. පාර්ලිමේන්තුවේ ඔළු ගෙඩි එහාට මෙහාට කරමින් ආණ්ඩු වෙනස් කළ කැත ඉතිහාසයක් මෙරටට තිබේ. ඒ නිසා මේ අමුතු කාරණාවක් ද නොවේ.
දේශපාලක හේවායෝ
එහෙත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට විළි ලැජ්ජාවක් නොමැතිව එවැනි මජර කටයුත්තක් කිරීමේ හැකියාවක් කිසිසේත්ම නැත. මෛත්‍රීපාල සිරිසේන විපක්ෂයේ පොදු අපේක්ෂකයා වෙමින් ශ්‍රීලනිපයෙන් සහ පැවැති එජනිස ආණ්ඩුවෙන් එළියට ආවේ යළි රාජපක්ෂවරු සමඟ සමාදාන වීමට නොවේ. රාජපක්ෂලා විසින් මේ රටට සිදු කරමින් තිබූ බිහිසුණු විනාශය වැළැක් වීම වෙනුවෙනි. එමෙන්ම රාජපක්ෂවරුන්ගේ දේශපාලන විනාශය ප්‍රාර්ථනා කළ බහුතර ශ්‍රීලනිප නායකයන් සියලු දෙනාම තවමත් සිටින්නේ මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වය පිළිගනිමිනි. අද ඒකාබද්ධ විපක්ෂය ලෙස මහින්දවාදී පිරුවටය ඔතාගෙන සිටින බහුතරය වුව යළි කිසිදු රාජපක්ෂවරයකුගේ නායකත්වය පිළිගන්නෙ නැති බවට කැට තැබිය හැකිය. රාජපක්ෂ ආණ්ඩුව පැවැති සමයෙහි තමන් රාජපක්ෂලාගෙන් බැට කෑ බව එම මන්ත්‍රීවරුන්ට අමතකව නැත. යම් තීරණාත්මක මොහොතක දී තමන්ගේ ඇත්ත අභිප්‍රාය මේ මන්ත්‍රීවරුන් විසින් පෙන්වනු ලබනු ද ඇත. නමුත් මෙම මන්ත්‍රීවරුන්ට තවමත් රාජපක්ෂ පිලෙහි හේවායන් ලෙස පෙනී සිටීමට බල කළ හේතු තිබේ. එජාපය සමඟ වන සාම්ප්‍රදායික තේරුමක් නොමැති දේශපාලන වෛරය තමන්ගේ ඡන්ද පදනම කෙරෙහි බලපවත්වනු ඇති බව මෙම පිරිසේ ඇතැමෙක් කල්පනා කරයි. නමුත් බහුතරය කල්පනා කරන්නේ තමන්ට එරෙහිව ඇති දූෂණ, වංචා චෝදනා ආදියෙන් ගැලවීම සඳහා ද ජනාධිපතිවරයාට අභියෝග කරමින් ශ්‍රිලනිපය දෙකඩ කිරීමේ ව්‍යාපෘතිය තුළ සිටීම මඟින් ආණ්ඩුව මෙහෙයවන එජාපයේ මිත්‍රත්වය අපේක්ෂාවෙනි. එමඟින් තමන්ට එරෙහිව තිබෙන චෝදනාවලින් ගැල වී සිටීමට පොටක් පාදා ගැනීම මෙම පිරිසේ අභිප්‍රාය වෙයි. බැසිල් රාජපක්ෂගේ නව දේශපාලන ආගමනය විසින් පවසනු ලබන සත්‍යය ද එය යි. එජාපය ද සාම්ප්‍රදායික ලෙස කල්පනා කරන්නේ තමන්ගේ බලය රඳවා ගැනීම කෙරෙහිය. එහි දී ශ්රීලනිපය දෙකඩ වන්නේ නම් එකෙනෙහිම තමන්ට වන බරපතළ දේශපාලන වාසිය බාර නොගෙන සිටීමට එජාපය කල්පනා කරන්නේ ද නැත.
2020 කඩඉම් වසර
ඒ අතර වාරයේ දී තවත් ඇතැමෙක් ජනාධිපතිවරයාට කෙමෙන් කෙමෙන් කිට්ටු වී බලන්නේ ද එජාපය ශක්තිමත් නොකර තමන්ගේ පැවැත්ම සහතික කර ගැනීමට හැකිද යන්න ගැනය. ශ්‍රීලනිප ආණ්ඩුවක් පිහිටුවීම සඳහා තමන්ගේ ඇති කැමැත්ත ප්‍රකාශයට පත් කරන්නේ ද ජනාධිපතිවරයාගේ අනුකම්පාව සහ අපරාධ සහායක මිත්‍රයකුගේ උදව් උපකාර ප්‍රාර්ථනා කරන පරිද්දෙනි.
කෙසේ නමුත් වත්මන් සම්මුතික ආණ්ඩුව කඩා බිඳදමා තනිවම ශ්‍රීලනිප ආණ්ඩුවක් පිහිටුවා ගැනීම 2020 පසු වන තුරු අවස්ථාවක් නොලැබෙන බව ද මොවුන් නොදන්නවා නොවේ. ඒ බව මහින්ද රාජපක්ෂ ද වඩාත් හොඳින් දන්නා ඇත්තකි. ඔහුට යළි ආණ්ඩුවක් පිහිටුවා ගැනීමේ අවස්ථාවක් යළි හිමිවනු ඇතැයි දේශපාලන සිහිබුද්ධිය ඇති කිසිවකුත් කල්පනා කරන්නේ නැත. එමෙන්ම ජනාධිපතිවරයා තම ප්‍රතිපත්ති කෙරෙහි දැඩිව බැඳී කටයුතු කරමින් තිබෙන තත්ත්වයක් තුළ ශ්‍රීලනිපයට ආණ්ඩුවක් පිහිටුවීම මේ පාර්ලිමේන්තු කාලය තුළ දී සිදුවිය හැකි නොවේ. මෙරට ඡන්දදායක මහජනයා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධුරයට ඔසවා තැබුවේ යළි රාජපක්ෂවරු සමඟ ගනුදෙනු කිරීමට නොවේ. රාජපක්ෂලා පමණක් නොව රාජපක්ෂලාගේ පටු චින්තනයද පරාජය කරනු පිණිසය. ජනවාරි අට ඒකරාශී වූ බලවේග කිසිසේත්ම රාජපක්ෂලා සමඟ ගනුදෙනු කිරීම අනුමත කරන්නේ නැත.
භෞතිකව පමණක් නොව මතවාදී වශයෙන් ද පරාජය කරනු ලැබිය යුතු මජර යුගයක් මේ ඡන්දදායකයා යළි බලාපොරොත්තු නොවේ. ජනවාරි 08 වන දා ජනවරම කුමක්ද යන්න ගැන වැටහීමක් තිබෙන දේශපාලන විරුද්ධවාදියා වුව ප්‍රජාතන්ත්‍රවාදියකු නම් ඒ ජනවරමට එපිටින් ගොස් ජනාධිපතිවරයාට කටයුතු කළ හැකි යැයි විශ්වාස කරන්නෙ නැත.
තනි මිනිසාගේ ජවය
එදා උතුරේ ජනතාව රාජපක්ෂ පාලනය පරාජය කළේ බියෙන් තොරව නිදහසේ ජීවත් වීම වෙනුවෙනි. බියෙන් අත්මිදීම ඔවුන්ගේ ප්රමුඛ කාරණාව විය. දකුණේ ජනතාවට අවශ්‍ය වූයේ දූෂණය වංචාව නාස්තිය ඉහවහා ගිය පාදඩ පාලනයකින් නිදහස් වීමේ වුවමනා ය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ජයග්‍රහණය කළේ මේ උවමනාවය. එහි දී මෛත්‍රීපාල සිරිසේන යනු මේ සටනේ නායකත්ව සලකුණය. එහෙත් ඒ තනි මිනිසාගේ ජවය වූයේ රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් වූ එක්සත් ජාතික පක්ෂයයි. එජාප නායකයා ඊට පෙර පැවැති ජනාධිපතිවරණයේ දී එහි අපේක්ෂකත්වය සරත් ෆොන්සේකාට ලබා දීම මෙන්ම මෙවර ඒ මෛත්‍රීපාල සිරිසේනට ලබා දීම සැලකිය හැක්කේ දියුණු දේශපාලන භාවිතයක් ලෙසය. රනිල් වික්‍රමසිංහට අවශ්‍ය නම් මෙරට දැවැන්තම දේශපාලන පක්ෂයක නයකයා ලෙස එම ජනාධිපතිවරණ දෙකෙහිම අපේක්ෂකයා වීමේ හැකියාව තිබිණි. ජයග්‍රහණය හෝ පරාජය සම්බන්ධයෙන් ගණන් හැදීම කවරක්ව තිබුණ ද ඔහු එහි දී සිදු කළ පරිත්‍යාගය, ජීවිතය පරදුවට තබා රාජපක්ෂවරුන්ට එරෙහි සටනේ නායකත්වය ගත් මෛත්‍රීපාල සිරිසේනගේ ඉදිරිපත් වීමට දෙවැනි වන්නේ නැත. මෙම සුසංයෝගය නොපවතින්නට එම සටන ජය ගැනීම සිදු කළ හැකි වන්නේ නැත. එදා ශ්‍රීලනිපයේ සිට මෛත්‍රීපාල සිරිසේනගේ සහායට ආවේ දුමින්ද දිසානායක, රාජිත සේනාරත්න, අර්ජුන රණතුංග, එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු කිහිප දෙනෙකි. චම්පික රණවක, අතුරලියේ රතන හිමි, දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් අනියමින් සහාය වූ ජනතා විමුක්ති පෙරමුණ, මාදුළුවාවේ සෝභිත හිමි ප්රමුඛ සිවිල් සමාජ ව්‍යාපාර සහ විකල්ප මාධ්‍යකරුවන් විසින් ලබා දුන් ධෛර්යය යි, රාජපක්ෂ පාලනය පෙරළා දැමීම සඳහා බලපැවැත් විය. එහෙත් මේ සියලු දෙනා මැදිහත් වී අත්පත් කර ගත් ජයග්‍රහණය යනු යළි රාජපක්ෂවරුන්ගේ වරදට සමාව දී සමඟි සමාදානයට එළඹීම සඳහා දුන් ජනවරමක් නොවේ. භෞතික ශරීරවලින් පමණක් නොව රාජපක්ෂවරුන්ගේ පටු ගෝත්රවාදී චින්තනය මත පදනම් වූ මතවාද පරාජයට පත් කිරීම ද මෙම සටනේ මුඛ්‍ය අරමුණ විය.
හුදෙකලා කළේ කිම ඔහු
ඒ කෙසේ නමුත් මෙම තීරුවෙහි මීට පෙර ද අවධාරණය කළ පරිදි මෙම ජයග්රහණයෙන් පසුව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තනතුරට පත් කර ඔහුව හුදෙකලා කිරීම මෙම බලවේග විසින් සිදු කළ බරපතළම වරද විය. මේ හේතුව නිසාම ඔහුට තමන්ගේ පැවැත්ම වෙනුවෙන් ශ්රීලනිපය වැලඳ ගැනීමත් ඒ වෙනුවෙන් රාජපක්ෂවරු හා සමඟි සන්ධානයකට එළඹෙන්නට බල කර තිබිණි. පසුගිය දෙවසර තුළ දී උගුරට හොරා බෙහෙත් කන්නා සේ ජනාධිපතිවරයාට මේ ගනුදෙනුව නඩත්තු කිරීමට සිදුව තිබිණි.
එහෙත් දැන් කාලය විසින් ඇතැම් ගැටලු විසඳමින් තිබෙන අතර රාජපක්ෂවරුන්ගෙන් තොර ශ්රීලනිපයක් නිර්මාණය වීමේ වුවමනාව සියලු පාර්ශ්ව වෙතින් ප්‍රකට කෙරෙමින් පවතී. එහෙත් ඊට එරෙහිව යමින් රාජපක්ෂවරුන්ගේ හැකියාව සහ වුවමනාව නමැති අලි වල්ගයේ එල්ලී සිටින කිහිප දෙනකු වත්මන් සම්මුතික ආණ්ඩුව පෙරළ දැමීම සඳහා කරමින් තිබෙන සැලසුම්සහගත ව්‍යාපාරය අඩපණ කිරීමට ජනාධිපතිවරයා ගන්නා උත්සාහය සාර්ථක කර ගැනීමට ශ්‍රීලනිපයේ සෙසු ජ්‍යේෂ්ඨ නායකයන්ගේ සහාය ජනාධිපතිවරයාට අවශ්‍ය වනු ඇත. එසේ නොවුණහොත් එජාපය කෙරෙහි අවුළුවනු ලබන අවස්ථානෝචිත නොවන විරෝධය අවසානයේ ජනතාවගේ සිතුම් පැතුම් විනාශ කරමින් සම්මුතික ආණ්ඩුව කඩාකප්පල් කර යළි රට අරාජක වීම කෙරෙහි වන සම්භාවිතාව වැඩි වනු ඇත. එම තත්ත්වය දුෂ්ට බලලෝභී දේශපාලකයන්ට මිස වෙනත් කිසිවකුට ප්‍රයෝජනයක් නොවනු ඇත.
හැකි නම් පෙරළන්න
කෙසේ නමුත් පසුගිය දා අගමැති රනිල් වික්‍රමසිංහ පවසා සිටියේ ශ්‍රීලනිප මැති ඇමැතිවරුන් සමඟ තමන්ට කටයුතු කළ හැකි නම් කැබිනට් මණ්ඩලයේ එක්ව කටයුතු කිරීමට හැකිනම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ ඡන්දය ලැබෙන්නේ නම් වත්මන් ආණ්ඩුව හෙලවිය නොහැකි බවය. එමෙන්ම හැකිනම් ආණ්ඩුව පෙරළන ලෙස ඔහු මහින්ද රාජපක්ෂට අභියෝගයක්
ද සිදු කරනු ලැබීය. කෙසේ නමුත් 2017 වසරේ දී තමන් විසින් ආණ්ඩුව පෙරළාදමන බවට මහින්ද රාජපක්ෂ විසින් සිදු කරනු ලැබූ ප්‍රකාශය යථාර්ථයක් වීම ඔහු විශ්වාස කරන ගුප්ත බලවේගයක් අනුව මිස දේශපාලනිකව සිදු විය හැකි නොවේ. මේ මොහොතේ ආණ්ඩුව පෙරළාදැමීමේ තීරණයක් ගැනීමට තරම් පිස්සන් රැළක්ම ශ්රීලනිපය තුළ සිටිය හැකි බව විශ්වාස කළ හැක්කේ දේශපාලන අඳබාලයන්ටම පමණි.
එජාපය දැන් හරි වෙනස්
ඉහත කී, ජනාධිපතිවරයා සහ එජාප පසුපෙළ මන්ත්‍රීවරු අතර හමුවේ දී ජනාධිපතිවරයා එජාප මන්ත්‍රීවරු සහ තවත් දෙයක් අවධාරණය කර තිබිණි. ඒ එජාපයේ අලුත් වෙනස ගැනය. ඔහු කීවේ දැන් එජාපය හරි වෙනස් බවය.
“ඉස්සර මැතිවරණයක් ජය ගත්තාම එජාපය විරුද්ධවාදීන්ට පහර දෙනවා, කොඩියක්වත් ඉතුරු කරන් නෑ. මට මතකයි ඒ කාලේ පොළොන්නරුවෙ වෙච්ච දේවල්. ඒත් දැන් හරි වෙනස්. තාම අර රාජපක්ෂලාගේ කටවුට් පින්තූර එහෙම හොඳට තියෙනවා. ඒවට කිසි හානියක් වෙලා නෑ නේ…” ජනාධිපතිවරයා මේ පැවැසූවේ වෙන කිසිවක් නොව රාජපක්ෂලා කෙරෙහි වන දූෂණ, වංචා, අපරාධ චෝදනා සම්බන්ධයෙන් ආණ්ඩුව අනුගමනයකරන සුහද ප්‍රතිපත්තිය ගැන සිය විරෝධය යි.
ජනාධිපතිවරයාගේ දේශපාලන වුවමනාව කුමක්ද යන්න මේ මොහොතේ තේරුම් ගැනීමට හැකියාවක් නොමැත්තන්ට මේ ආණ්ඩුව අද වැටෙනවා හෙට වැටෙනවා රාජපක්ෂලා බලයට එනවා යැයි සිතමින් හීන ලෝකවල ජීවත් විය හැකිය. ජනාධිපතිවරයා කෙරෙහි ලබා දුන් ජනවරම කුමක්ද යන්න තේරුම් බේරුම් කරගෙන පරිස්සමෙන් මේ ගමන යනවා මිස එජාපයට හෝ ශ්‍රීලනිපයට කට්ටි පනිමින් යා හැකි දුර බොහෝ අඩුය. මන්ද, මේ පැමිණි මාර්ගයම මිස අලුත් ඉසව්වක් හමුවීමට කිසිදු ඉඩ කඩක් මේ දුර්ගමාර්ගයේනොමැති බැවිනි. මේ දුර්ගය තරණය කිරීම නියතයකි. ආපසු හැරීමක් හෝ විය නොහැකිය.
– සුජය
උපුටාගත්තේ සත්හඬෙන්