උපුටාගැනීම්විශේෂාංග

2021 අයිති ජනතාවටය

ශ්‍රී ලංකාව අනුගමනයකරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය ය. එනම් ජනතාව විසින් සිය බහුතරයේ කැමැත්ත පරිදි සිය පාලකයන් තෝරා ගැනීමය.

ජනතාවගේ පරමාධිපත්‍යයික බලය සිය නියෝජිතයන් මාර්ගයෙන් මෙහෙයවා රටේ පාලනය ගෙන යාමේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය වඩා යහපත් දේශපාලන මූලධර්මයක් ලෙස මෙරට ජනතාව පිළිගනී. ඊට අභියෝග විටින් විට ඉදිරිපත් වූ අවස්ථා මෑත ඉතිහාසය තුළ තිබුණ ද ඒ සියල්ල ජනතාව විසින් පරාජයට පත්කර තිබේ. ආයුධ බලයෙන් කුමන්ත්‍රණ මඟින් රාජ්‍ය පාලන බලය අල්ලා ගැනීමට ගත් උත්සාහයන් අසාර්ථක වූ ඉතිහාසයක් මෙරටට ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවා වෙනස් කර තෙවන වරටත් විධායක ජනාධිපති ධුරය සිය සන්තකයේ තබා ගැනීමට ගන්නා ලද උත්සාහය ද අවසානයේ ජනතාව විසින් පරාජය කරනු ලැබීය. එම ජනාධිපතිවරණ ප්‍රතිඵලය ප්‍රජාතන්ත්‍රවාදය කෙරේ ජනතාවගේ තිබෙන කැමැත්ත ප්‍රබලාකාරයෙන් මතු වුණ අවස්ථාවකි. මෙහි දී විශේෂයෙන්ම අවධාරණය කළ යුතු දේ නම් එහි දී විධායක ජනාධිපති ධුරය නම් ඒකාධිපති තානාන්තරය අහෝසි කළ යුතු බවට ජනතා වරමක් ලැබීමය. එම ජනාධිපතිවරණය එක් ආකාරයකින් පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් ඒ අනුව වන විධායක ජනාධිපති ධුරයත් අහෝසි කිරීම සඳහා වන ජනමත විමසුමක් ලෙස ද සැලකිය හැකිය.

විධායකයේ ඇරඹුම

1977 දී එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකත්වයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වී 1978 නව ව්‍යවස්ථාවක් හඳුන්වා දී විධායක ජනාධිපති ධුරය නිර්මාණය කළ ජේ.ආර්. ජයවර්ධන මේ රටේ ප්‍රථම විධායක ජනාධිපතිවරයා ලෙස පත් වන්නේ ඒ අනුව වන ජනාධිපතිවරණයක් මඟින් ජනතා කැමැත්ත විමසීමෙන් නොවේ. එහෙත් මහජන නියෝජිතයන් ලෙස පාර්ලිමේන්තුවට පත් කර එවනු ලැබූ එජාප මන්ත්‍රී කණ්ඩායම හයෙන් පහක බලයක් හිමිකර ගෙන තිබිය දී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පැනවීම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා මාර්ගයක් ලෙස සැලකිය නොහැක. අනෙක් කාරණය එම මහ මැතිවරණය තුළ දී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන බව එජාපය ප්‍රකාශයට පත් කොට තිබිණි. එමෙන්ම එජාපය බලයට පැමිණියහොත් විධායක ජනාධිපති ධුරය නම් බලගතු තනතුර නිර්මාණය කරන බවත් ඒ පරාජය කළ යුතු බවත් විපක්ෂ කොටස් වෙතින් ඊට දැඩි විරෝධය එල්ලව තිබිණි. කෙසේ නමුත් මෙම විධායක ජනාධිපති ධුරය සම්බන්ධයෙන් විරෝධය ඒ පිහිටුවීමටත් පෙර සිටම පැවැතියකි. විශේෂයෙන්ම එවකට ලංකා සම සමාජ පක්ෂයේ නායකයාව සිටි ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මෙම විධායක ධුරයට එරෙහිව දැඩිව මත පළ කළ එම විරෝධයේ පුරෝගාමියෙකි.  කෙතරම් විරෝධයන් තිබුණත්  ජේ.ආර්. ජයවර්ධන මෙම තනතුරට කළ නොහැක්කේ ගැහැනියක් මිනිහෙක් කිරීමටත් මිනිහෙක් ගැහැනියක් කිරීමත් හැර වෙන ඕනෑම දෙයක් කළ හැකි බවත් අවධාරණය කරමින් පාලනය මෙහෙයවූ අතර එජාප පාලනය අවසන් වූයේ 1994 දීය. එහෙත් මේ දක්වා එම විධායක ජනාධිපති ධුරය පවතී. එය අහෝසි කිරීමට දුන් පොරොන්දු පුස්සක් වූවා මෙන්ම ඒ සඳහා වූ උද්ඝෝෂණ ද ඵල රහිත විය.

බලතල අත්හැරීමේ ප්‍රෝඩාව

එම ධුරය අහෝසි කරන බවට පොරොන්දු ලබා දෙමින් බලයට පැමිණි මහින්ද රාජපක්ෂ විසින් 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන එමින් එම බලතල තවදුරටත් වැඩි කර ගත්තේය. එමෙන්ම එම සංශෝධනය මඟින් 17 සංශෝධනයෙන් ගෙන ආ වඩා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණයක් වූ ස්වාධීන කොමිෂන් සභා ද බල රහිත කරන ලදී. එම තත්ත්වයන් හමුවේ ඒ ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනය අවසන් කරමින් 2015 බලයට පත් වූ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 19 වන සංශෝධනය ගෙන එමින් අහිමි කරන ලද ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණයන් වැඩි දියුණු කර ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීමත් ජනමත විමසුමකට තුඩු නොදෙන කරුණු කාරණා පදනම් කර ගනිමින් විධායක ජනාධිපති ධුරයේ සීමා සහිත බලතල ප්‍රමාණයක් ඉවත් කළේය. ඒ දින සියයේ පාලනය වෙනුවෙන් වූ කඩිනම් ක්‍රියාමාර්ගයක් වශයෙනි.

එහෙත් ඔහු විසින් සහ ඔහුව බලයට පත් කිරීම වෙනුවෙන් වෙහෙසුණ ජනතා බලවේගවල බහුතරය අපේක්ෂා කළේ මෙම ධුරය මුළුමනින්ම අහෝසි කර එම විධායක බලය ව්‍යවස්ථාදායකය හරහා ක්‍රියාත්මක වන වඩා පුළුල් ප්‍රජාන්ත්‍රවාදී ආණ්ඩුකරණයක් වෙත යාමය. ඒ වෙනුවෙන් වන මූලික ක්‍රියාමාර්ග මේ වන විට දියත් වෙමින් ද තිබේ. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මඟින් විය යුත්තේ කුමක්ද යන්න ගැන මේ වන විට සමාජ සංවාදයක් ද ඇතිව තිබෙන අතර යෝජනා ගණනාවක් ද ඉදිරිපත්ව තිබේ. ඒ නුදුරේම පනත් කෙටුම් පතක්ව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ සූදානම ගැන ද අසන්නට තිබේ. එහෙත් ඊට එරෙහි මතවාදයන් ද දැන් කරළියට එමින් පවතී. සාම්ප්‍රදායික ලෙස හා රටේ අභාග්‍යයකට මෙන් ජාතිවාදී හා ආගම්වාදී කොටස් මෙන්ම  විධායක බලය තමන් සතු කර ගැනීමේ ආසාවෙන් පෙළෙන බලලෝභී දේශපාලන ව්‍යාපෘතිවල සිටින ඇතැම් දේශපාලකයන් වෙතින් ද මෙම විරෝධය වඩා වැඩියෙන් දකින්නට තිබේ.

රටදපක්ෂයද?

ඒ ඒ තරම් වැදගත් යැයි නොතකා නොසලකා හැරිය හැකි වූව ද එජාපය සමඟ සම්මුතියකට එළඹෙමින් හවුලේ ආණ්ඩුකරණයට එකඟ වූ ශ්‍රීලනිප මැති ඇමැතිවරුන්ගේ  විරෝධය ද එකිනෙකා කෙරෙන් මතු වෙමින් පවතී.  ඒ අතරෙ දි විවිධ මාධ්‍යවලට ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් දී තිබෙන ප්‍රකාශ අනුව පසුගිය දාශ්‍රීලනිපයේ මධ්‍යම කාරක සභාව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන නොයා යුතු බවත් විධායක ජනාධිපති ධුරය පැවැතිය යුතු බවටත් ප්‍රකාශ නිකුත් කර තිබේ. තවත් ඇතැමෙක් ඊටත් වඩා ඉදිරියට ගොස් මෛත්‍රීපාල සිරිසේන තවදුරටත් විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස මෙම ජනාධිපතිවරණය ජය ගත් බව ප්‍රතික්ෂේප කරමින් ඔහු ශ්‍රීලනිපයේ නායකයා වන බැවින් ශ්‍රීලනිපයේ තීන්දුව අනුව  එළඹෙන ජනාධිපතිවරණ අපේක්ෂකයා වන්නේ මෛත්‍රීපාල සිරිසේන බව කීම අතිශය ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය කරමින් තිබේ. කවර පක්ෂයකින් බලයට පැමිණියත් රටේ පාලකයා සමස්ත රට වැසියාගේම පාක්ෂිකයා විය යුතු නමුත් ඒ ඒ පක්ෂ විසින් තම තමන්ගේ පක්ෂ ව්‍යවස්ථාවල තම අපේක්ෂකයා ජය ගත් විට ඔහු ඉබේම තම පක්ෂ නායකයා වන බවට වගන්ති ඇතුළත් කර තිබේ. එමඟින් පක්ෂය ශක්තිමත් කර ගැනීමේ සටකපට උත්සාහය මෙම විධායක ජනාධිපති ධුරය ක්‍රියාත්මක වූ පසුගිය වසර 38 තුළම දකින්නට ලැබුණකි. මෛත්‍රීපාලට ශ්‍රීලනිපයේ නායකත්වය දීමට ශ්‍රීලනිපයට සිදු වූයේ ශ්‍රීලනිපය කැඩී සුනු විසුනු වී යෑම වළක්වා ගැනීම වෙනුවෙනි. ඒ ශ්‍රීලනිපයට අවශ්‍ය වූයේ දින සියයෙන් පසුව එන මහ මැතිවරණයේ දී පක්ෂය අන්ත පරාජයෙන් බේරා ගැනීමේ වුවමනාව මිස වෙනෙකක් නොවේ. එමෙන්ම ඒ මතුවටත් අවශ්‍ය වනුයේ පක්ෂය බේරා ගැනීමේ වුවමනාව මත පමණකි.

පසුගිය දශක තුනේ විධායකය අවශ්‍ය බවට වන මන්තරය ජප කරන ලද්දේ යුද්ධය දිනීමට ඒ බලගතු තනතුර අවශ්‍ය බව කියමිනි.  එසේ පැවසූවන්ගේ මන දොල සපුරාලමින් ඔවුන්ගේ අර්ථයෙන් යුද්ධය දිනා දැන් වසර අටකුත් ඉක්මවා තිබේ. දැන් අවශ්‍ය වන්නේ යළි යුද්ධයක් ඇති වීම වැළැක්වීම වෙනුවෙන් සාමය හා සංහිඳියාව පෙරටු කර ගත් දේශපාලන වැඩපිළිවෙළකි. යුද්ධය ඇරඹීමට ආසන්න තත්ත්වයන් ඇති කරනු ලැබුවේ ද විධායක ජනාධිපති ධුරය පිහිටුවීමෙන් පසුව දෙමළ ජනතාව කෙරෙහි දක්වනු ලැබූ නරක ආකල්පය නිසා බව ද අවධාරණයට ගත යුතුය. ඒ අනුව දැන් අවශ්‍ය වනුයේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රතිසංස්කරණයකි. මෙරට ප්‍රජාතන්ත්‍රවාදය කෙලෙසීම වෙනුවෙන් වැඩිම දායකත්වයක් සපයනු ලැබුවේ විධායක ජනාධිපති ධුරය වටා ඒකරාශී කළ බලගතු බලය ය. එමඟින් එම ධුරය හොබවනු ලැබූ පාර්ශ්වය විසින් එම බලය තම පටු දේශපාලන අවශ්‍යතා වෙනුවෙන්, අනෙකා මර්දනය කිරීම වෙනුවෙන්, වංචා දූෂණ අපරාධ වෙනුවෙන් කිසිදු හිරිකිතයකින් තොරව පාවිච්චි කරනු ලැබීය. ජනතාවගේ පරමාධිපත්‍යයික බලය විධායකය ව්‍යවස්ථාදායකය හා අධිකරණය යන ඉසව් ත්‍රිත්වය කෙරේ තුලනාත්මකව පැවැතිය යුතු වූව ද විධායකයට සියල්ල යටපත් කළේය. ධුරයට පත් වෙන පුද්ගලයා අනුව ධුරයේ හොඳ නරක තීරණය වීම යහපත් රාජ්‍යයක තිබිය යුතු ලක්ෂණයක් නොවේ. ජනාධිපතිවරයා හෝ සෙසු මහජන නියෝජිතයන් කටයුතු කළ යුත්තේ තම තමන්ගේ පෞද්ගලික සිතැඟියාවන්ට අනුව නොව යහපාලන මූලධර්මය අනුවය. ඒ වෙනුවෙන් රට පිළිගත් නීති රීති පද්ධතියක් ප්‍රතිපත්ති වැඩපිළිවෙළවල් සහිත ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තිබිය යුතුය. අද අවශ්‍ය වන්නේ ඒ රාමුව ශක්තිමත්ව ගොඩනඟමින් ඒ අරමුණු ජය ගැනීමය. නියම දේශප්‍රේමී හෝ ජනතාවාදී දේශපාලනයක නිරත වෙනවා යනු එය ය.

2021 කාගෙද?

තමන්ගේ දේශපාලන පැවැත්ම දේශපාලකයකුට වැදගත් නමුදු දේශපාලනයේ අරමුණ ජනතා සේවය නම් ඒ වෙනුවෙන් වන කැපකිරීම අවංක නිර්ලෝභී දේශපාලකයකුට සිදු කළ හැකිය. ජනවාරි අට විප්ලවය යනු ඒ අපේක්ෂාවන් වෙනුවෙන් කෙරුණු අරගලයක ප්‍රතිඵලය ය. ඒ වෙනුවෙන් කැප වූ අවංක බලවේග  දැන් බලා සිටින්නේ ඒ ඉටු වන තුරුය. එහෙත් වත්මන් යහපාලනය තුළට රිංගා සිටින වංක ලෙස බලය අත්පත් කර ගත් දෙපිටකාට්ටු බලවේගවල වුවමනාව වී ඇත්තේ තමන්ගේ පෞද්ගලික පැවැත්ම සහතික කර ගැනීමය. තමන්ගේ පක්ෂයට බලය රඳවා ගැනීමය. දෙදහස් විස්සේ ජනාධිපතිවරණ අපේක්ෂකයා මෛත්‍රීපාල සිරිසේන බවට ප්‍රකාශ නිකුත් කෙරෙන්නේ ඒ අනුවය. මුහුද හත් ගව්වක් තිබිය දී අමුඩ ගසන්නාක් මෙන් දෙදහස් විස්ස ජනාධිපතිවරණ අපේක්ෂකයා ගැන කතා කිරීම මේ මොහොතේ රටට ඵල රහිත දෙයක් වූවත් මෙහි ඇති විකාරසහගත තත්වය වන්නේ ජනවාරි අට ජනවරම අනුව ඉටු කළ යුතු පොරොන්දු පත්‍රය  ඉටු නොවීම ගැන මේ පාර්ශ්වයන්ට අමතක වීමය. ශ්‍රීලනිපයත් එජාපයත් මේ මොහොතේ කටයුතු කළ යුත්තේ එම පොරොන්දු ඉටු කිරීම කඩිනම් කිරීමය. ඒ සිදු නොකර 2021 අයිතිකර ගන්න මේ කිසිවකුට නොහැකිය. 2021 යනු පොදු ජනතාවගේ පාලනයක් සනිටුහන් වන යුගය විය යුතුය. පොරොන්දු පරිදි ඒ සඳහා වන දියුණු ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රතිසංස්කරණයක් ක්‍රියාවට නැඟී තිබිය යුතුය. ඒ අනුව 2021 අයිති විය යුත්තේ ජනතාවටය.

– සුජය

උපුටාගත්තේ සත්හඬෙන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *