දවසක උඹලා මොනරතම් ඉහළට ගියත් ගම අමතක කරන්න එපා..! මේ කතාව තාත්තා ළමයි දහ දෙනාටම කාවද්දලා තිබුණෙ. හැම ළමයම තමන්ගෙ අධ්‍යාපනය පටන් ගන්න ඕනෙ ගමේ ඉස්කෝලෙන්… එහෙම හිතපු තාත්තා ඒ න්‍යාය ඒ විදියට ම ක්‍රියාත්මක කළා. අදටත් අපිට මොන දේ ලැබුණටත් වඩා සතුටක් උපදින්නෙ ගමට යනකොට.
ඕනෑ ම වරැද්දකදි අනුන්ට ඇඟිල්ල දික් කරන්න එපා. මම මේ බිස්නස් එකේ නායකයා නම් අයිතිකරු නම් වරදක් සිදුවුණොත් එහි වගකීමෙන් වැඩි කොටස දරන්න ඕනේ මම.
අදටත් ගමේ නම ලියැවුණු නාමපුවරුවක් හෝ නැති දකුණු පළාතේ ඈත පිටිසර වරල්ල නම් ගමේ ඔහු උපත ලැබීය. තාත්තාගේ වුවමනාවට ඉංග්‍රිසි පාසලකට ගිය ද ඉංගිරිසිය බැරිකම නිසා ඔහු පන්තියෙන් ප්‍රතික්ෂේප විය. එතැන් පටන්, ජීවිතයට අභියෝග කළ කවර අත්දැකීමකට වුවද ඔහුත් අභියෝග කළේය.
අවසානයේ ඔහු ජාත්‍යන්තරයට ගිය, ඉංග්‍රිසි මාධ්‍යවේදියකු විය. කතුවරයකු විය. ඉංග්‍රිසි පත පොතට ම ඈඳුණු නමක් ඇති ව්‍යාපාරයක හිමිකරුවා ද විය. මේ ඔහු ගේ කතාවයි.
විජිත යාපා… කියන්නෙ ඉංග්‍රිසි පත පොතට ම මුල් තැන දෙන ව්‍යාපාරයක් ද…
සියයට අසූපහක් ඉංග්‍රීසි පොත්. සිංහල පොත් සියයට දහයයි. ඉතිරි සියයට පහ දෙමළ පොත්. කොහොමටත් අපි මුල්තැන දෙන්නෙ ජාත්‍යන්තර පොත්වලට. ලෝකෙ තියෙන හොයාගන්න අමාරු ඕනෑ ම පොතක් අපි කොහොමහරි හොයලා ගෙනැත් දෙනවා. එහෙම විරල පොත් හොයන එකත් මේ ව්‍යාපාරයේ කොටසක්. අපි මෙහෙම කරන්නෙ ලංකාවේ පොත් ව්‍යාපාරයේ හඳුනාගත් එක් හිඩැසක් නිසා.
මොකක්ද ඒ හිඩැස…
හුඟක් ප්‍රකාශකයො හිතුවෙ සිංහල පොත් ප්‍රකාශ කරන්න විතරයි. ඒකට පමණට වඩා පිරිසක් හිටියා. ඒ වෙලාවෙ සාමාන්‍ය පාඨකයාට අවශ්‍ය හැම භාෂාවක ම පොත් අපි අලෙවි කළා. විශේෂයෙන් ඉංග්‍රීසි පොත් ප්‍රකාශයට පත් කළා. ඒකෙන් අපි පොත් ව්‍යාපාරය තුළ විශාල පිළිගැනීමක් හදාගත්තා. ජාත්‍යන්තර පොත් වෙළෙඳාම පිළිබඳ විශාල සබඳතාවක් ඇති බවට මතයක් තහවුරු කළා. අපිට තරගයක් නැති ව්‍යාපාරයක් හැදුණෙ එහෙමයි.
එහෙම කිව්වට, ඉංග්‍රිසි පතපොත හා බැඳුණු මේ රටේ පැරැණි පොත් සාප්පුත් නොතිබුණා නෙවෙයිනේ…
ඔව්. ඉස්සර මිනිස්සු පොත් සාප්පුවකට ගියාමයි දැනගන්නෙ අහවල් පොත ඇවිත් කියලා. අපි ඒ ක්‍රමයෙන් මිදුණා. හැම විශාල වට්ටම් සහිතව පොත් මිලදී ගැනීමට හැකි බව දන්වලා අපි වෙළෙඳ දැන්වීම් පළ කළා. පාඨකයා අපි ළඟට එනකල් හිටියෙ නැහැ. අපි ඔවුන්ට ආරංචිය දුන්නා. ඒකෙන් නොහිතපු පාඨක ජාලයක් අපිට ඇති වුණා.
මොනවද ඔබට තිබෙන අනෙක් ව්‍යාපාර…
VYA ප්‍රචාරණ ආයතනය. ඒකෙන් කෙරෙන්නෙ මහජන සම්බන්ධතා සහ ප්‍රචාරණ කටයුතු. ඊළඟට පිටරට සඟරා ගෙන්වා බෙදාහරින ව්‍යාපාරය. ප්‍රධානම දේ තමයි, අපේ පොත් බෙදා හැරෙන ලංකාවේ විවිධ පළාත්වල විහිදුණු පොත් සාප්පු අට.
වැඩිම පොත් සඟරා ගෙන්වන්නේ කොහෙන්ද…
එංගලන්තයෙන් සහ අැෙමරිකාවෙන්. ඒවා කොලිටියෙන් ඉහළයි. ඒ වගේ ම හුඟාක් පොත් ඉන්දියාවෙනුත් ගෙන්වනවා. ගෙන්වන පොත්, පුවත්පත් සහ සඟරාවල ප්‍රමිතියක් තිබෙනවා. මේවා කියවන මිනිස්සුන්ට දැනුම සහ ඥානය ලැබෙන්න ඕනේ. පොතකින් හම්බ කරනවා වගේ ම, හිතේ සතුට උපදින්නෙ එතකොට.
ඔබ ළඟ තිබෙන වැඩිම වටිනාකම තිබෙන පොතේ මිල කීයද…
වෙළුම් හැටියට එන විශ්වකෝෂ. පොත් පෙළක් ලක්ෂ දෙකේ තුනේ ඉඳලා හතර පහ දක්වා මිල වෙනවා. විශ්වවිද්‍යාල මට්ටමේ වෙළුම් රුපියල් ලක්ෂ දහය දක්වා විහිදෙනවා.
පොත් කියන්නෙ හොඳට හම්බ කරන්න පුළුවන් ව්‍යාපාරයක් නේද…
ඔව්. පොත්වලින් හොඳට හම්බකරන්න පුළුවන්. ඒ වගේ ම පාඨකයාට, හිතනවට වඩා හොඳ වට්ටම් දෙන්නත් පුළුවන්. මුදල් හම්බ කරන්න ඕනේ. හැබැයි ගසා කන්න හොඳ නැහැ. එතැනයි මම ඉන්නෙ. සමහර පොත් වටිනාකම වැඩිවෙන්නෙ පරණ වෙන තරමට. නමුත් අලුත් මුද්‍රණ එනකොට, තියෙන පොත් විකිණෙන්නේ නැතිකොට, කවරෙ වෙනස් කරලා එකම පොත එනකොට, අපි පාඩු ලබනවා.
විජිත යාපා අරඹන්න කොයිතරම් ප්‍රාග්ධනයක් යට කළා ද…
කලාවැව කරපු ධාතුසේන රජ්ජුරුවො වගේ උපයපු හැම දේම යට කළේ මේකට. පිටරට වැඩකරලා හරි හම්බ කරපු හැම දේම වගේ.
මේ ව්‍යාපාරයේ පහු කළ දුෂ්කර ම කාලය මතකද…
මං කොළඹ පර්චස් එකසිය විස්සක ඉඩමක් විකිණුවා. පොත් නිසා ම ලොකු ස්ටොක් එකක් ඉතිරිවෙලා. ඒ වුණාට මං පිටරටට සල්ලි ගෙවන්න ඕනේ. මං හරි සන්තෝසෙන් හිටියා ආණ්ඩුව wi – fi දීලා ‘e – books’ සංකල්පය ඇවිත් පොත් Download කිරීම යහමින් සිද්ධවෙයි කියලා. නමුත් එහෙම පොත් Download කරන්න විශාල ගාස්තුවක් යනවා. දැන් ඉන්ටනෙට් ගාස්තු වැඩියි. ඒ නිසා බලාපොරොත්තු වෙච්චි දේ වුණේ නැහැ.
ඔබ, විජය ප්‍රකාශන අරඹපු Sunday Times පත්තරෙත් ආරම්භක කතුවරයා…
මම අයිලන්ඩ් පත්තරෙන් අයින් වෙලා හිටපු කාලෙමයි රංජිත් විජේවර්ධන මහත්මයා Sunday Times පටන් ගත්තේ. මටත් ආරාධනා කළා. මං අමරිකාවෙදි පත්තර කලාව පිළිබඳ උගත් බොහෝ දේ මේ පත්තරේදි මං භාවිත කළා.
මොනවද ඒ…
කිසිම ලිපියක ඉතිරියක් වෙනත් පිටුවකට ගෙන යන තරමට දිගු විය යුතු නැහැ. ඒ ලිපිය ඒ පිටුවෙන් ම ඉවර කළ යුතුයි. අනෙක එසේ නොකර ම බැරි වුණොත් ‘Continue On page…’ කියලා නෙවෙයි, ‘please trun to page…’ කියන වදනයි යෙදුවේ. මේ පත්තරේ පුරාම ඒ කාලෙ තිබුණෙ අමරිකාවේ US Today Style එක. ඒ ආභාෂය මං ලැබුවේ US Today වැඩ කිරීමෙන්. ‘please turn…’ කියන වදන තුළ පාඨකයා සමඟ නොකැඩෙන සම්බන්ධතාවක් පවතිනවා.
එහෙම හදපු ටයිම්ස් පත්තරෙන් ඔබ ඉවත් වුණේ ඇයි…
ලසන්ත වික්‍රමතුංග ලියපු දේශපාලන කොලමට ඒ කාලෙ මං හොඳ ඉඩක් දුන්නා. ඒ කොලමේ ලියපු එක ලිපියක් නිසා ප්‍රේමදාස මහත්මයා, කොලම නවත්වන්න කියලා බලපෑම් කළා, ආයතනයත් මගෙන් ඒ ඉල්ලීම ම කළා. කර්තෘවරයෙක් විදියට මගේ අණ කඩ වන තැනෙක තවත් සිටිය යුතු නැහැ. කර්තෘවරයකුට තමන්ගෙ පුවත්පතේ පළ කළ යුතු දේ පිළිබඳ අයිතියක් සහ නිදහසක් තිබිය යුතුයි. ඒ කාරණා කඩවුණා. මං එතැනින් ඉවත් වුණා.
මාධ්‍යවේදියකු, වෙච්චි ඔබ අතින් ‘විජිත යාපා පොත් සාප්පු’ බිහිවෙන්නෙ කොහොමද…
මට අැෙමරිකානු රජයෙන් ආරාධනාවක් ලැබුණා. අමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට. ආපහු ඇවිත් මං හිටපු අයිලන්ඩ් පත්තරේට ගියේ නැහැ. ඊළඟට සන්ඩේ ටයිම්ස් වැඩ කළා. එතැනිනුත් අයින් වුණා. නමුත් ඒ වෙනකොට මට BBC සම්බන්ධතා තිබුණා. ලන්ඩන් ටයිම්ස් පත්තරේ ශ්‍රී ලංකා වාර්තාකරු විදියටත් වැඩ කළා. පිටරට ජනප්‍රිය සඟරා රැසක් මං ගෙන්වලා බෙදා හරිමින් හිටියේ. අවසානයේ මගේ බිරිය යෝජනාවක් ගෙනාවා. ‘දැන් ඉතින් අපි අපේ ම දෙයක් කරමු… අපි මේ සඟරා විකුණන්නත් එක්ක ම පොත් සාප්පුවක් අරිමු…”’ කියලා. 1991 අගෝස්තු මාසෙ බම්බලපිටියේ වජිරපාරේ පොඩි තැනෙකින් අපි පටන් ගත්තා.
ජීවිතයේ ප්‍රශ්න මඟ හරින එකද හොඳ… ඒවට මුහුණ දීලා හැපිලා ජයගන්න එකද…
ඒවට මුහුණ දෙන එක. මං කාටවත් කියලා නැති දෙයක් කියන්නම්. මං ඉංග්‍රීසි ඉගෙන ගත්තෙ පන්තියේ යාළුවන්ගෙන්. මට ඕනෙ කළේ කතා කරන්න. ඒ කතා කිරීම තුළ මං බොහෝ බාධක ජයගත්තා. හැබැයි මං අදටත් ඉංග්‍රිසි ව්‍යාකරණ දන්නෙ නැහැ. ඕනෑම වදනක් වාක්‍යයක් දුටු මතින් එතැන වරදක් ඇත්නම් ඒක මට පේනවා. නමුත් ව්‍යාකරණානුකූලව විස්තර කරන්න කිව්වොත් ඒක මං දන්නෙ නැහැ.
ඒ කියන්නෙ, ව්‍යාකරණ දැනගෙන ම ඉංග්‍රීසි කතා කරන්න හිතා ඉන්න අයට පණිවුඩයක්…
ඔව්. ඉංග්‍රීසි කතා කරන්න කරන්න කට හුරු වෙනවා. ඔබට එය අතැඹුලක් වෙනවා. විභාග සමත් කරන්නට මිස, කතා කරන්න මට නම් ගැඹුරු ව්‍යාකරණ නොදැනගත්තාට කමක් නැහැ. මං මේ කියන්නෙ අත්දැකීමෙන්.
කොහේද ඔබ ඉගෙන ගත්තෙ…
මුලින් ම වරල්ලෙ ඉස්කෝලෙ. ඊළඟට බණ්ඩාරවෙල ශාන්ත තෝමස් ප්‍රෙප් විදුහලේ. අන්තිමට ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලේ.
වරල්ල කියන්නෙ බොහොම ඈත ගමක් නේද…
ඔව්. අදටත් නාම පුවරුවක්වත් නැති ගමක්. ඒ තරම් ම පිටිසරයි. ගම වටවෙලා තිබුණෙ කඳු වළල්ලකින්. අපේ පවුලෙ ළමයි දහ දෙනෙක්. මම අටවැනියා. අපේ තාත්තට වතුපිටි තිබුණා. අම්මා අපි දහ දෙනාව ආදරෙන් බලා කියා ගත්තා. සරල ජීවිතයක් ගෙවපු සන්තෝසෙන් හිටපු පවුලක් අපි.
ළමයෙක් හැටියට ඔබට තිබුණු හීන සහ අරමුණු මොනවද…
මං ආසා කළේ ලියන්න. නොතේරෙන පුංචි කාලෙත් මං, මට වැටෙහන තරමට කවි ලියුවා. ඒ වුණාට තාත්තට ඕනෙ වුණේ මාව ඩොක්ට කෙනෙක් කරන්න. හැබැයි උසස් පෙළට එද්දි තාත්තත් වටහා ගෙන තිබුණා මගේ ඉදිරි ගමනෙ තිබෙන්නෙ ලියන කියන දේට අදාළ රස්සාවක් මිස වෛද්‍ය වෘත්තිය නොවන වග.
අම්මා තාත්තගෙන් ජීවිතයට ලැබුණු දේ මොනවද…
දවසක උඹලා මොනරතම් ඉහළට ගියත් ගම අමතක කරන්න එපා..! මේ කතාව තාත්තා ළමයි දහ දෙනාටම කාවද්දලා තිබුණෙ. හැම ළමයම තමන්ගෙ අධ්‍යාපනය පටන් ගන්න ඕනෙ ගමේ ඉස්කෝලෙන්… එහෙම හිතපු තාත්තා ඒ න්‍යාය ඒ විදියට ම ක්‍රියාත්මක කළා. අදටත් අපිට මොන දේ ලැබුණටත් වඩා සතුටක් උපදින්නෙ ගමට යනකොට. මොකද ගං ගොඩේ දුව පැනලා ඇළේ දොළේ පීනලා කැලේ රිංගලා මා දං හිඹුටු කාලා, කොලු නඩේ එක්ක කරපු කියපු දේවල් අදත් මතක් කරලා සතුටු වෙන්නෙ, අම්මා තාත්තා ඒ දේවල් විඳින්න ඉඩ ඇරිය නිසා. ඒකට මිලක් නැහැ.
ඕනම සාර්ථක පුද්ගලයෙක් ජීවිතයේ කොහේ හරි තැනෙක එක් දිනක් හෝ ප්‍රතික්ෂේප වී තිබෙනවා. ඔබත් එහෙම ද…
වරල්ල ඉස්කෝලෙන් බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විදුහලට ගියා ම, මාව පන්තියෙන් එළියට දාපු වාර අනන්තයි. මට කිව්වෙ ‘ගොඩයා’ කියලා. හේතුව මට ඉංග්‍රීසි කතා කරන්න බැරිකම. ඉස්කෝලෙ බෝඩිමේ නැවතිලා ඉගෙන ගන්න අවුරුදු අටක පුංචි දරුවෙක්. එහෙම ප්‍රතික්ෂේප වෙද්දි හිතක උපදින ලැජ්ජාව හිතා ගන්න පුළුවන්ද… හැබැයි මං, අධිෂ්ඨානයක් ඇති කරගන්නවා. කොහොම හරි මේ භාෂාව ඉගෙන ගන්නවාමයි කියලා.
ඉතින්, ඔබ එහෙම කළා ද…
රෑට බෝඩිමේ ලයිට් නිවන්න ඕනේ. මට හොඳ යාළුවො ටිකක් හිටියා. අපි ටොයිලට් එකේ ලයිට් එක දානවා. ඒ ආලෝකය තියෙන තැනට යාළුවො ටික එකතු වෙනවා. ඒ අය මට ඉංග්‍රීසි කියා දෙනවා. මං බැරි බැරියෙ ඔවුන් එක්ක කතා කරනවා. අවුරුදු තුනක් අවසානයේ මං තමයි පන්තියේ ඉංග්‍රිසිවලට වැඩි ම ලකුණු ගන්න ළමයා බවට පත්වෙන්නේ.
ජීවිතේය හරි වෙලාවට මුණගැසෙන හරි ම පුද්ගලයන් නිසා ව්‍යාපාර විතරක් නෙවෙයි අපේ ජීවිතත් වෙනස් වෙනවා… මේ කතාව ඔබටත් අදාළ ද…
ඔව්. මහත්මාගාන්ධි තුමාගේ මුනුපුරා වන රාජ් මෝහන් ගාන්ධි මට මුණගැහෙන්නේ මං උසස් පෙළ ඉවර වෙනවාත් එක්කයි. ඒ, MRI නම් සංවිධානයෙන් අපේ පාසලේ චිත්‍රපටියක් පෙන්වපු වෙලාවේ. මම අපේ පාසලේ සිනමා සංගමයේ සභාපති. ඒ නිසා නිතර චිත්‍රපටි පෙන්වන්න, සිනමාකරුවන් මුණගැහෙන්න අවස්ථාව ලැබුණා. රාජ් මෝහන් ගාන්ධි ඒ වෙලාවෙ වැඩ කළේ ‘හිමත්’ ඉංග්‍රීසි සඟරාවේ. ඔහු මගේ විස්තර ඇහුවා. මගේ උනන්දුව ඔහුට දැනෙන්න ඇති. ඔහු මට කිව්වා ‘ඔයා එන්න අපේ පත්තරේ වැඩ කරන්න…’ කියලා. අවුරුදු 19දි මං බොම්බායට ගියේ ඒ විදියට.
එතකොට ඔබේ පළමු රස්සාව ඉන්දියාවේ…
ඔව්. රාජ් මෝහන් ගාන්ධිගේ පත්තරේ වැඩවලට. අමතරව ඔහු සාමාජිකත්වය දැරූ MRI ප්‍රාසාංගික සංවිධානයට මාත් බැඳුණා. ඔවුන් නාට්‍ය, සංගීත ප්‍රසංග පවත්වමින් ලෝකෙ වටේ ගියා. ඒ රටවලදි මං වාර්තා කිරීම්වල යෙදුණා. අවුරුද්දක් විතර ගෙවිලා ගියේ ඔය අත්දැකීම් එක්ක. හැබැයි මගේ පළමු රස්සාව වුණාට ඒක පුහුණුවීම් කාලයක්. කෑම් බීම් ඉඳුම් හිටුම් ලැබුණා. නමුත් ස්ථිර වැටුපක් නැහැ. ‘පොකට් මනි’ විතරයි. නමුත් සල්ලිගෙවලා විශ්වවිද්‍යාලෙකට බැඳිලා ලබා ගන්න බැරි තරමේ අත්දැකීම් මං ලැබුවේ රාජ් මෝහන් ගාන්ධි එක්ක වැඩ කිරීමෙන්.
ඔබට ආවේණික හොඳ ගුණයක් කියන්න…
ඕනෑ ම වරැද්දකදි අනුන්ට ඇඟිල්ල දික් කරන්න එපා. මම මේ බිස්නස් එකේ නායකයා නම් අයිතිකරු නම් වරදක් සිදුවුණොත් එහි වගකීමෙන් වැඩි කොටස දරන්න ඕනේ මම. ඒක මම ඉගෙන ගත්තෙ ඉන්දියාවේ MRI සංවිධානයෙ වැඩ කරපු අත්දැකීම්වලින්.
විජිත යාපා තාත්තගෙන් පුතාට යන ව්‍යාපාරයක් වෙයිද…
මගේ ලොකු පුතා දමින්ද, ඔමාන් රටේ ගෘහනිර්මාණ ශිල්පියෙක්. එයාට පොත් ව්‍යාපාරය ගැන කිසිම උනන්දුවක් නැහැ. පොඩි පුතා පෙශාන් නම් ව්‍යාපාරයේ ඉන්නවා. මේ ව්‍යාපාරයේ ආරම්භයේ පටන් ම මා එක්ක ඉන්න හවුල්කාරයා මගේ බිරිය. ඇය තවත් මේ ව්‍යාපාරයේ තව ම වැඩ. මම කැමැති මේ බිස්නස් එක පවුලේ ව්‍යාපාරයක් විදියට ඉදිරියට යනවා නම්, මට දැන් වයස 72ක්. තවම අපි වෙහෙසෙන්නේ ඒ නිසා.
ඔබේ ජීවිතයෙන් කෙනකුට ගන්න පුළුවන් හොඳ ම ආදර්ශය කුමක් ද…
අත්නොහරින ගතිය. මං ඒක පටන් ගත්තෙ ඉංග්‍රීසි බැහැයි කියලා අවුරුදු අටේදි, පන්තියෙන් මාව එළියට දාපු දවසෙ. ඒ වගේ ගමක ඉපදිලා. උත්සාහයෙන් උනන්දුවෙන් සියල්ල දිනාගත්තු මං දිහා බලලා කෙනකුට ඉගෙන ගන්න තිබෙන හොඳ ම ජීවිත පාඩම යමක් සාර්ථක වන තුරු අත්නොහරින ගුණයයි. කෙනකුට ජීවිතය හරි ව්‍යාපාරය හරි සාර්ථක කරගන්න වෙන කිසි ම ක්‍රමයක් නැහැ. ඇත්තේ එකම දෙයයි. ඒ තමයි, ධෛර්යය සහ කැපවීම.
- ඉනෝකා පෙරේරා බණ්ඩාර (සිළුමිණ)
- උපුටාගැනීම: SLG