උපුටාගැනීම්විශේෂාංග

සයිටම් හිඟන්නාගේ ලෙඩේ

ලෙඩාටත් ලෙඩේටත් වෙදකම් කරන ක්‍රම කිහිපයක් තිබේ. ඒ ඒ වෛද්‍ය ක්‍රම අනුගමනය කරන ක්‍රමවේද ඒ ඒ විදියයි. බොහෝ විට පෙරදිග වෛද්‍ය ක්‍රමවල දී ලෙඩේට නොව ලෙඩාට වෙදකම් කරයි. ලෙඩේ සුව වීමට දීර්ඝ කාලයක් ගන්නා අතර අතුරු ආබාධ අවමය. ඒ නිසාම සුවපත් දිවියක් සහතික කළ හැකිය. අපරදිග හි දී ලෙඩාට නොව ලෙඩේට වෙදකම් කරයි. එහි අතුරු ආබාධ වැඩිය. නමුත් ලෙඩේ ඉක්මනින් සුවපත් වේ. අතුරු ආබාධවලට වෙනම විසඳුම් දිය යුතු වේ. එහි කෙළවරක් ද නැති විය හැකිය.

ආණ්ඩුවක් ප්‍රශ්න විසඳීමේ දී අනුගමනය කරන පිළිවෙත් ද එලෙසම විවිධාකාරය. එහෙත් දුර දිග සිතා අනාගතය ගැන කල්පනා කර ගන්නා විසඳුම්වලට ආණ්ඩුවක් කැමැති වන්නේ ඒ ආණ්ඩුව ජනතාවගේ ආණ්ඩුවක් වේ නම් පමණි. ජනතාව සම්බන්ධ වන ආණ්ඩුකරණයක් ක්‍රියාත්මක වේ නම් ඒ තීන්දු තීරණ අනාගත දරු පරම්පරාවේ අභිවෘද්ධිය පිණිසම ගන්නා තීන්දු වේ. එහෙත් ජනතාවගෙන් දුරස් වූ කල ආණ්ඩු ප්‍රධානීන් කල්පනා කරන්නේ තමන්ගේ දරු පවුලේ අභිවෘද්ධියම වේ. කෙටිකාලීනව තමන්ට වාසි වන තීන්දු තීරණ නිසා ඒ රටේ අභිවෘද්ධියට හේතු නොවේ. රටත් ජනතාවත් හැමදාම ලෙඩින්ය.නිසි කල නොකළ වෙදකම

දැන් මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය නැත්නම් දකුණු ආසියා තාක්ෂණික සහ වෛද්‍ය අධ්‍යාපන ආයතනය (සයිටම්) SAITM ගැන ප්‍රශ්නය දරුණුවට මතුව තිබේ. 2011 පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින් පිළිගත් විශ්වවිද්‍යාලයක් බවට නීත්‍යනුකූලව මෙම ආයතනය පිළිගැනීම සිදු කර තිබිණි. එවකට රජය ඒ වෙනුවෙන් ණය ආධාර ලබා දීම පවා සිදු කර තිබිණි. එහෙත් මෙය මෙරට නිදහස් අධ්‍යාපනය කෙරෙහි, වෛද්‍ය වෘත්තිය කෙරෙහි තදින් බලපානු ලබන රෝග මූලයක් බව දැනෙන්නට අරගත්තේ ඊට බොහෝ කලකට පසුය. දැන් තුවාලය ඔඩුදුවා ඇත. ඒ අවශ්‍ය වෙලාවේ අවශ්‍ය ප්‍රතිකාරය නොලැබුණු බැවිනි.

නිදහස් අධ්‍යාපනය හැරෙන දිසාව

කොහොම නමුත් සයිටම් විරෝධය එදා මේ තරමින් ගොඩනොනැඟුණ ද මේ ගැටලුව විසඳීම මේ රටේ නිදහස් අධ්‍යාපනයට වින කරන එකම ගැටලුව විසඳා ගත්තා සේ හැඟීමක් මේ සම්බන්ධයෙන් ඇතැම් දේශපාලන කණ්ඩායම් අද දක්වන උනන්දුව මත පෙනෙන්නට ද තිබේ. ඒ තමන්ගේ ඡන්ද කෝටාව ලොකු කර ගැනීමේ සටකපට උවමනාව ද විය හැකිය. විවෘතව කල්පනා කර බලන විට මෙතැන ඇත්තේ සයිටම්  පිළිබඳ ප්‍රශ්නයක් නොවේ. ඊට එහා ගිය ගැටලුවකි. එනම් එක අතකින් රටේ අධ්‍යාපනය පිළිබඳ ජාතික ගැටලුවකි. තවත් අතකින් ආකල්ප පිළිබඳ ගැටලුවකි. පටු දේශපාලන වුවමනා සම්බන්ධ ගැටලුවක් ද මේ තුළ වේ. පවත්නා ආර්ථික ක්‍රමය සම්බන්ධයෙන් වන තවත් ගැටලුවක් ද මේ ප්‍රශ්නය හරහා මතුව තිබේ. සයිටම් ප්‍රශ්නයට ලඝු නොකළ යුතු මේ රටේ අධ්‍යාපනය පිළිබඳ ප්‍රශ්නය මේ වන විට වහා විසඳා ගැනීම දැන් රට ඉදිරියෙහි තිබෙන  බරපතළ දේශපාලන ගැටලුවක් ව පැනනැඟී ඇත. එය රටේ අනාගතය තීරණය කරන්නක් බවට ද පත් විය හැකිය. එය ගමන් කරනුයේ කවර දිශාවකට දැයි පසුගිය සතියේ දී පෙන්නුම් කර තිබේ.

තරුණ නැගිටීම් ගණනාවකින් පසුව රටට ඉගෙන ගන්නට පාඩම් රැසක් තිබිණි. නමුත් එයින් අදහස් කෙරෙන්නේ ඒ ඉතිහාසය අනුවම පියවර ගත යුතු බව නොව, ඒ අත්දැකීම් නොසලකා හැර තීන්දු ගත හැකි නොවන බවය. ඇතැම් විටෙක මෙම සයිටම් ප්‍රශ්නය අනෙක් දේශපාලන කණ්ඩායමක කූඨ උවමනා සන්තර්පණය කරන ව්‍යාපෘතියක් බවට පෙරළා ගැනීමේ ඉඩ කඩ ද ඉතා බරපතළව පවතින බැවින් ඒ පටු දේශපාලන උවමනාවන්ට ඉඩ නොදෙන ලෙස වත්මන් සම්මුතික ආණ්ඩුව මේ ගැටලුවෙන් නිදහස් විය යුතුය. නමුත් දැන් තත්ත්වය අවුල්සහගතව තිබේ.

ගැටලුවේ විවිධත්වය

සයිටම් සම්බන්ධයෙන් වන විරෝධතාවල ඒකමතියක් නැත. සමහරුන්ට මේ නිදහස් අධ්‍යාපනයේ මළගමය. තවත් සමහරුන්ට ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්නයකි. ඒ අයට ප්‍රමිතිය හරිනම් ගැටලුවක් නැත. තවත් පිරිසකට පන්ති පරතරය තීව්‍ර කරන්නකි. සල්ලි තියෙන අයටම මීට පස්සෙ හොඳ වෛද්‍ය උපාධියක් ලැබීමට හැකිවීමත් ඔවුන්ට සමාජයේ වැඩි අවස්ථා විවර වීමත් රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් බාල වර්ගයේ නිෂ්පාදන බිහි වීමත් ඔවුන් කොන්වීමත් නිසා පන්ති පරතරය වැඩි වීමත් සිදු විය හැකි බවට ඇතැමුන් තර්ක කරයි. තවත් විටෙක රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ වෛද්‍ය උපාධිය සඳහා තිබෙන ඉඩ ප්‍රස්තා ද අනාගතයේ දී ඇහිරී ගොස් ඒ වරප්‍රසාදලත් පන්තියට පමණක් හිමිවනු ඇති බවත් කියවෙති. වෛද්‍ය සභාවේ පරීක්ෂණයට මුහුණ දී එය සමත් වේ නම් කිසිම ගැටලුවක් නැති බවත් තව පිරිසක් කියති. සයිටම් තිබුණාට කමක් නෑ, රජයේ ඒවායේ ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීමත් විය යුතු යැයි කියන පිරිසක් ද වෙති. එසේම සයිටම් ප්‍රශ්නය නිසා රජයට එරෙහිව ග්‍රාම්‍ය තරුණ කැරැලිකාරිත්වයක් මතු වීමට ඉඩ ඇති නිසා සයිටම් තහනම් කළ යුතුය කියන දේශපාලන නායකයෝ ද වෙති. තවත් අයට අනුව මේ ඉරිසියාව පදනම් කර ගත් විරෝධයකි. නිදහස් අධ්‍යාපනයේ නාමයෙන් වසර ගණනාවක් අතිශය දුෂ්කරතා මධ්‍යයේ වෛද්‍ය උපාධිය ලබා වෛද්‍යවරයකු වීම සමාජය හමුවේ ‘වැඩක්’ වීම මත සහ එයින් ගොඩනැඟෙන සිවිල් බලය සල්ලිකාර පුත්‍රයන් විසින් කඩා බිඳ දැමීම ඉවසා ගැනීමට නොහැකි වීම මත මතු වන වෘත්තීය කුහකකම ද මෙම සයිටම් විරෝධයට බලපා ඇති බවත් පෙනෙන්නට තිබේ. මේ ආදී වශයෙන් විවිධාකර හේතු මත සයිටම් විරෝධය මතුව ඇති අතර ඒ විසඳීමට යෝජනා කරන දේවල් ද ඒ අනුවම එකිනෙකට පරස්පරය.

සයිටම් ඉවත් කළ යුතුද?

එදා රාගම වෛද්‍ය විද්‍යාලය රජයට පවරා ගන්න හෝ අහෝසි කරන්න යැයි පවසමින් සිසුන් කිහිප දෙනෙක් ආරම්භ කළ විරෝධතාවට ඉතා කෙටි කාලයක දී ලක්ෂ ගණනක සිසු සිසුවියන් එක් වූ අතර ඒ අවසන් වූයේ ජීවිත ගණනාවක් බිලි ගැනීමෙන් අනතුරුවය. බලගතු ආණ්ඩුවක් පැවැතිය ද ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාට එම විරෝධය ඉදිරිපිට දණ ගහන්න සිදු විය. ඒ මීට අවුරුදු 30කට පෙර සමාජය පැවැති තත්ත්වයට අනුකූලව ගත් ක්‍රියාමාර්ගය. ආර්ථිකය ලෝකයට විවෘත වීමට පටන් ගත් සමය ය. ඒ දරා ගැනීමට සමාජයට බලවත් අසීරුතාවක්ව පැවති යුගයකි. එහෙත් අද තත්ත්වයන් ඊට වඩා වෙනස්ය. අද පෞද්ගලික අධ්‍යාපනය යන්න සාමාන්‍ය තත්ත්වයකි. අද උපාධි ප්‍රදානය කරන පෞද්ගලික ආයතනරැසක් මෙරට තිබේ. එමෙන්ම සමාජය එවැනි ආයතනවල අවශ්‍යතාව දැඩිව ඉල්ලා සිටින බවක් ද පෙනෙන්නට තිබේ.

මේ තත්ත්වයන් නිසා සයිටම් අහෝසි කිරීමට අදාළව කිසිදු බරපතළ තර්කයක් ද මෙතෙක් ගොඩනැඟී ද නැත. තාක්ෂණික ගැටලු ප්‍රමිතිය පිළිබඳ ගැටලු ඒ සයිටම් බලධාරීත්වයට අවශ්‍ය නම් රජයේ සහයෝගයෙන්ම විසඳාගත හැකිය. ආණ්ඩුව ඊට කැමැත්ත සහ පහසුකම් සලසන්නේ නම් එය තවදුරටත් ගැටලුවක් නොවේ. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ඒ සම්බන්ධයෙන් ගැටලු ඇත්නම් එය විසින් නිර්දේශ කරනු ලබන දෑ සයිටම් ආයතනය පිළිපැදීමට එකඟ නම් එහි අර්බුදයක් හටනොගනුඇත. උසස් අධ්‍යාපනය මෙන්ම වෛද්‍ය වෘත්තියෙහි ප්‍රමිතිය සම්බන්ධයෙන් යම් නිර්ණායක රටකට තිබිය යුතුය. නියාමන තිබිය යුතුය. ඒ අනුව සයිටම් වෛද්‍ය උපාධිය,වෛද්‍ය සභාව පිළිගත යුතු යැයි අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුවට අභියෝග කරන්නේ උපාධියේ ප්‍රමිතිය සම්බන්ධයෙන් වන ගැටලුවක් නිසා පමණක් නම් මෙය විසඳා ගැනීම දෙපාර්ශ්වයට වඩාත් පහසුය.

අන් ලෙසකින් මෙරට පෞද්ගලික විශ්වවිද්‍යාලයක් මඟින් තම තමන්ගේ මුදල් වැය කර වෛද්‍ය උපාධියක් ලබා ගැනීමට හැකියාවක් තිබීම රජයේ වෛද්‍ය විද්‍යාල උපාධිය ලබා ගන්නා සිසුන්ට කරන අසාධාරණයක් වන්නේ කෙසේදැයි පැහැදිලි නැත. නිදහස් අධ්‍යාපනය යනු මුදල් දී ඉගෙන ගැනීමට ඇති හැකියාවට ඉඩ ඇහිරීම නොවේ. නිදහස් අධ්‍යාපනය යනුවෙන් හඳුන්වන්නේ දරුවකුට කිසිදු මුදලක්නොගෙවා ඉගෙන ගැනීමට ඇති හැකියාව හෝ අයිතිය පමණක් නොවේ. මුදල් ගෙවා හෝ ඉගෙන ගැනීමට ඇති අයිතිය ද තහවුරු කිරීමකි.

ලිහාගත යුතු පැටලිල්ල

ඇතැමුන් තර්ක කරන්නේ උසස් පෙළ ඉහළ ලකුණු ලබා ගන්නා සිසුන්ටත් රජයේ සීමා නිසා විශ්වවිද්‍යාල ඉඩ ඇහිරී ඇති තතු යටතේ පෞද්ගලික විශ්වවිද්‍යාල සඳහා අඩු සාමාර්ථ ලබන අයට ද ඇතුළු වීමේ හැකියාවක් ඇති බවය. උසස් පෙළ විභාගය යනු කුමක්ද යන්න නොදන්නා අයට මෙය ද ලොකු තර්කයකි. උසස් පෙළ යනුවෙන් හඳුන්වන්නේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් පරීක්ෂා කිරීමේ විභාගය යි. මෙම විභාගය අනුව එක් විෂයකට ලකුණු 35ක් ලබා ගැනීමත් විශ්වවිද්‍යාල වරම් හිමි කර ගැනීමේ සුදුසුකමකි. ඒ සුදුසුකම සයිටම් සඳහා සුදුසුකමක් නොවෙන්නේ කෙසේද යන්න මේ සයිටම් විරෝධීන් පෙන්වා දෙන්නේ නැත. ප්‍රශ්නය තිබෙන්නේ ලකුණු 35 සීමාව ජය ගන්නා සියලු සිසුන්ට විශ්වවිද්‍යාල වරම් හිමි කර නොදීමට රජය පනවන සීමාවන්ට විසඳුමක් නොවීමය. දිස්ත්‍රික් කෝටා ක්‍රමය ආදිය නිසා ඉහළ ලකුණු ලබා ගන්නා සිසු සිසුවියන්ටවිශ්වවිද්‍යාල වරම් අහිමි වීමේ අසාධාරණයක් තිබුණ ද ඒ සඳහා කිසිදු විසඳුමක් නැත. ඒ වෙනුවෙන් කිසිවකුත් මෙබඳු මාරාන්තික සටන් කරන්නේ නැත. කොහොම නමුත් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීම සඳහා උසස් පෙළ ඉහළින්ම සමත් වීම යනු විකාර අදහසකි. උසස් පෙළ බරපතළ කඩඉමක් ලෙස සැලකෙන්නේ මෙරට විශ්වවිද්‍යාල වපසරියෙහි  පවතින සීමාසහිත බව සමඟය. ඒ ගැටලුව වෙනම විසඳාගත යුත්තකි. ඊට සයිටම් පටලවාගත යුතු නැත.

උපාධිය යනු…?

මේ අනුව මෙරට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව යනු එක්තරා ආකාරයක වරප්‍රසාදයකි. එහි ලබා ගන්නා උපාධිය ද ඊට එහා ගිය වරමකි. සියලු උපාධිධාරීන් එම උපාධිය රජය මඟින්රැකියාවක් අනිවාර්යෙන්ම ලබා දිය යුතු බවට අවුරුදු ගණනින් දිග ඇදෙන උද්ඝෝෂණ උපවාස ආදියට යන්නේ මේ නිසාය. වෛද්‍ය හෝ ඉංජිනේරු  උපාධියකට වෛද්‍ය සභාව, ඉංජිනේරු ආයතනය යනාදී ආයතන හරහා හෝ රැකියාවේ සුරක්ෂිතභාවය හිමිව තිබුණ ද අනෙක් උපාධියකට එය හෝ හිමි නොවීම ගැන ද ගැටලු තිබේ. උපාධිය යනු රැකියාවක් කිරීම සඳහා සුදුසුකමක් ලෙස සැලකිය නොහැක. වෛද්‍ය උපාධිධරයාට වෛද්‍ය සභාව ඉල්ලා සිටින හැකියා තහවුරු කර ලියාපදිංචිය ඇතිව මිස එම විෂයේරැකියාවක් කිරීම කළ නොහැකිය. වෛද්‍යවරයා මිනිස් ජීවිතය සම්බන්ධයෙන් වැඩි වගකීමක් දරන බැවින් එහි වෘත්තීයභාවය සම්බන්ධයෙන් ප්‍රමිතිය ඉතා වැදගත්ය. ඒ අවස්ථාව සයිටම් උපාධිධරයන්ටත් හිමි විය යුතුය. එමෙන්ම එය සයිටම් උපාධිධරයාට ප්‍රතික්ෂේප කළ නොහැකිය.

රෝගියා පාරිභෝගිකයෙක්ද?

රාජ්‍ය අධ්‍යාපනය යනු මහජනතාවගෙන් උපයා ගන්නා බදු මුදලෙන් නැවත මහජනතාවටම කෙරෙන සේවාවකි. එමෙන්ම රජය කරනු ලබන ආයෝජනයකි. ඒ වෙනුවෙන් විශාල පිරිවැයක් දරන අතර ඒ තව දුරටත් වැඩි කරන ලෙස ද මේ නිදහස් අධ්‍යාපන සටන්කාමීන් දැඩිව ඉල්ලමින් සිටියි. පෞද්ගලික අධ්‍යාපනය තුළින් වන්නේ එම බදු ගෙවන ජනතාවම තමන්ගේ දූ පුතුන් වෙනුවෙන් තමන්ගේ ධනයෙන් විශාල පිරිවැයක් දැරීමය. එය ද අවසානයේ රටට කරන ආයෝජනයකි. රාජ්‍ය විශ්වවිද්‍යාල හෝ වේවා පෞද්ගලික විශ්වවිද්‍යාල මඟින් හෝ වේවා බිහි වන උපාධිධරයා තමන්ගේ පෞද්ගලික උවමනා සපුරා ගැනීමේ දී මේ කිසිදු නිර්ණායකයකට අනුව වෙනස් නොවේ. දෙපිරිසම සමානය. ලෙඩා, පාරිභෝගිකයකු බවට පත්කර නොගන්නේ ඉතා අතළොස්සක් වන වෛද්‍යවරුය.

කෙසේ නමුත් මුදල් ගෙවා හෝ නොගෙවා සැමට අධ්‍යාපනයේ අයිතිය තිබිය යුතුයි. ඒ සාක්ෂාත් වන ලෙස රටේ අධ්‍යාපනය සම්බන්ධයෙන් ප්‍රතිපත්තිය සැකසිය යුතුය. එය ආයතනයෙන් ආයතනයට වෙනස් විය නොහැකිය. ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස් විය නොහැකිය. මේ ගැටලුව හිඟන්නාගේ තුවාලය මෙන් වවාගෙන කෑම නොකළ යුතුය. වත්මන් සම්මුතික ආණ්ඩුව හමුවේ ඇති වගකීම එය ය.

– සුජය

උපුටාගත්තේ සත්හඬෙන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *