උපුටාගැනීම්විශේෂාංග

ශ්‍රී ලංකාව ගැන ලියු සී.අයි.ඒ. පත්‍රිකා!

මෙම ලේඛණ වල ඇති මූලික වැදගත්කම කුමක්ද? ඒවායෙන් අපට ඉගෙන ගැනීමට ඇති පාඩම කුමක්ද? එය රටේ වර්තමානය මෙන්ම අනාගතය වෙනුවෙන් භාවිතා කිරීමට හැක්කේ කෙසේද? ආදී කාරණා බොහෝමයක් මෙම ලේඛණවලට අදාළව පැහැදිලි කරගත හැකි වේ. එනයින් බලන කළ ප්‍රමාද වී හෝ හිටපු ජනාධිපති ක්ලින්ටන්ගේ විධායක ආඥාවට අදාළ කටයුතු කිරීම මඟින් සී. අයි. ඒ. සංවිධානය මහජනතාවට ඉතා විශාල අවකාශයක් විවර කරදී තිබේ.

නිලන්ත ඉලංගමුව

ඇමෙරිකා එක්සත් ජනපදයේ විදෙස් ඔත්තු සේවය වන මධ්‍යම බුද්ධි ආයතනය ( සී. අයි. ඒ.) හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් විසින් නිකුත් කරනු ලැබූ විධායක ආඥාව වසර විස්සකට අධික කාලයක් ගත කිරීමෙන් පසු ක්‍රියාත්මක කිරීමට තීන්දු කිරීම යහපත් කාරණයකි. අදාළ විධායක ආඥාවට අනුව යමින් වසර විස්සකට වඩා පැරණි ඔත්තු සේවා කටයුතු වලට අදාළ රහස් ලේඛණ මහජනතාවගේ පරිශීලනය සඳහා මුදා හැර ඇත. මිලියනයකට ආසන්න එනම් නව ලක්ෂ තිස්දහසක් පමණ වන රහස් ලේඛණ සංඛ්‍යාවක් මෙසේ මුදා හැරීම ආරම්භ කරනු ලැබුවේ පසුගිය නොවැම්බර් මාසයේ අග භාගයේ සිටය. එම ලේඛණ අතර සී. අයි. ඒ. සංවිධානය විසින් ශ්‍රී ලංකාවේ සිදු කරනු ලැබූ මූලික දේශපාලන කටයුතු වලට අදාළ ලේඛණද ඇතුළත් වේ. විශේෂයෙන් ලෝකයේ දේශපාලන සහ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් සී.අයි.ඒ. සිදුකොට ඇති මැදිහත්වීම් විශාල ප්‍රමාණයක සැබෑ තොරතුරු සහ එම මැදිහත්වීම් තුළ සිටි මූලික මෙහෙවන්නන් සම්බන්ධයෙන් විශාල අනාවරණයක් මෙම ලේඛණ ඔස්සේ සිදුකොට ඇත.

මෙම ලේඛණ වල ඇති මූලික වැදගත්කම කුමක්ද? ඒවායෙන් අපට ඉගෙන ගැනීමට ඇති පාඩම කුමක්ද? එය රටේ වර්තමානය මෙන්ම අනාගතය වෙනුවෙන් භාවිතා කිරීමට හැක්කේ කෙසේද? ආදී කාරණා බොහෝමයක් මෙම ලේඛණවලට අදාළව පැහැදිලි කරගත හැකි වේ. එනයින් බලන කළ ප්‍රමාද වී හෝ හිටපු ජනාධිපති ක්ලින්ටන්ගේ විධායක ආඥාවට අදාළ කටයුතු කිරීම මඟින් සී. අයි. ඒ. සංවිධානය මහජනතාවට ඉතා විශාල අවකාශයක් විවර කරදී තිබේ.

මෙම ලේඛණවල ඇති මූලික වැදගත්කම වන්නේ, මේ දක්වා ඉතාම සුළු පිරිසකට පමණක් සීමා වී තිබූ මෙම අතිශය සංවේදී ජනක මැදිහත් වීම් වලට අදාළ ලේඛණ පරිශීලිනය කිරීම මෙන්ම ඒවා තම දැනුම වර්ධනය කර ගැනීම සඳහා භාවිතා කිරීමට හැකි වීමයි. දෙවැන්න, එක්සත් ජනපදයේ විදේශ ප්‍රතිපත්තිය සහ ඔවුහු එහිදී සිදුකොට ඇති ඉතාම භාරාදූර කටයුතු සම්බන්ධයෙන් අවබෝධකර ගැනීමට හැකිවීමයි. තෙවැන්න, රටක ඔත්තු සේවයක පැවතිය යුතු මූලික ප්‍රතිපත්තිමය කාරණා සම්බන්ධයෙන් මූලික අවබෝධයක් ලබා ගැනීමට හැකිවීමයි. එය ශ්‍රී ලංකාව වැනි රටකට ඉතාම වැදගත් වන්නේ, රටේ බුද්ධි අංශ වල සේවය කරන බොහෝ දෙනෙකු  හුදු දේශපාලාන ඕපාදූප වලට පමණක් සීමා වීම හේතුවෙනි. සිව්වැන්න, රටක විදෙස් ප්‍රතිපත්තිය සකස් කිරීමේදී එම රාජ්‍යයේ ජනතාවගේ බදු මුදලින් නඩත්තු වන විදෙස් රටවල පිහිටා ඇති ධූත සේවා වලට කිරීමට ඇති මූලික වගකීම් සමුදාය සම්බන්ධයෙන් මූලික හැදෑරීමක් මේ ඔස්සේ ලබා ගත හැකිය. පස්වැන්න, රටේ ජනතාවගේ බදු මුදලින් නඩත්තු වන රාජ්‍යය නිළධාරීන් රටේ ජනතාව හමුවේ වගකීමට සහ වගවීමට බැඳී සිටින ආකාරය තේරුම් ගැනීම සඳහා මෙම ලේඛණ මූලික පදනමක් ලබා දෙනු ලබයි.

රටක නායකත්වය කෙතරම් උත්සහ කළද, එම රටේ විදේශ ධූත සේවා ජාත්‍යන්තර දේශපාලනය සහ රටේ සැබෑ වුවමණාවක් ගැන කිසිවක් නොදන්නා හෝ ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා කිසිඳු උනන්දුවක් නොමැති පිරිස් විසින් පාලනය වන්නේ නම්, එමඟින් රටට යහපත් දෙයක් සිදු වේ යැයි අපේක්ෂා කළ නොහැකිය. එසේම, මෙරට ජනතාවගේ බදු මුදලින් නඩත්තු වන බොහෝ තානාපති කාර්යාල වල සිදුවන්නේ එකිනෙකාට එරෙහිව අවළාද සහ කේලාම් ගෙතීමය. ඒ  හැර රටට වැදගත්වන යමක් සිදුවන්නේ නම් එය ඉතාම කාලාතුරකින් සිදුවන්නකි. පසුගිය ආණ්ඩුව හෝ වේවා වත්මන් ආණ්ඩුව හෝ වේවා, රට නියෝජනය කිරීමට පත්කරනු ලැබූ තානාපති හෝ මහකොමසාරිස් කාර්යාල වලට පත් කරනු ලැබූ අයවලුන් සහ එම නියෝජිතයින්ට අදාලව පත්කරනු ලැබූ අනෙකුත් සේවකයින්ගේ දැනුම සහ ජාත්‍යන්තර දේශපාලනය සම්බන්ධයෙන් ඇති දැනුම සම්බන්ධයෙන් පැහැදිළි තකසේරුවක් රටේ නායකත්වයට තිබේද?

සී.අයි.ඒ. ලේඛණ වලින් හෙළිදරව් කරනු ලබන මූලික කාරණය වන්නේ එම නියෝජිතයින් සියල්ලටම පාහේ පැවරී ඇති මූලික වගකීම් සමුදාය සහ එය නිවැරදිව ඉටු කිරීමයි. තමන් නියෝජනය කරන රට ගැන හැදෑරීම, එම රටේ සිදුවන මූලික දේශපාලන පරිවර්තනයන් ගැන විශ්ලේෂණය කිරීම, එම විශ්ලේෂණය කරනු ලැබූ මූලික කාරණා වලින් තම මව් රාජ්‍යය දැනුවත් කිරීම, එම දැනුවත් කිරීම පුළුල් සංවාදයක් ඔස්සේ රාජ්‍ය ප්‍රතිපත්ති සඳහා යොදා ගැනීම ආදිය මේ ඔස්සේ මනාව නිරීක්ෂණය කළ හැකිවේ. මෙම මූලික කාරණය ඇමෙරිකානු ව්‍යාප්තවාදය මෙන්ම එහි සාර්ථකත්වයට මූලික පදනම සකස් කරනු ලැබූ කාරණය වේ. මෙහිදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කරනු ලැබූ සී. අයි. ඒ. ලේඛණ කිහිපයක් පමණක් හෝ විමසා බැලීම ඉතාම වැදගත් යැයි සිතේ. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මේ දක්වා සියයකට ආසන්න ලේඛණ ප්‍රමාණයක් නිකුත් කොට තිබේ.

ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ප්‍රචණ්ඩත්වය සහ එදිරිවාදිකම් ගැඹුරට විහිදී ගිය කාරණයක් ලෙස දකින සී.අයි.ඒ. සංවිධානය සිංහල මෙන්ම දෙමළ දෙපාර්ශවයම තමන් සුළු ජාතින් යැයි තකන බව සඳහන් කරනු ලබයි. වාර්ගික ප්‍රචණ්ඩත්වය ඉතාම උග්‍ර තලයකට පැමිණි අවස්ථාව ලෙස සැලකෙන හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ පරිපාලනය සම්බන්ධයෙන් ඉතාම වැදගත් දේශපාලන කියවීමක් සී.අයි.ඒ. විසින් සිදුකොට ඇත. ජයවර්ධන රටේ සාමය ඇති කිරීම සඳහා අසමත් වීම මෙන්ම ඉන්දියානු මැදිහත්වීම සඳහා මූලික අවකාශය තනා දීම සම්බන්ධයෙන් වඩාත් තුලනාත්මක විශ්ලේෂනයක් ඉදිරිපත් කොට තිබේ.

ඉන්දියාව මෙරට දේශපාලනික වශයෙන් සිදුකරනු ලැබූ මැදහත්වීම හුදු ගැටුම් නිරාකරණය කිරීමට පමණක් නොව, එනම් තම අසල්වැසි රටක් ලෙස ශ්‍රී ලංකාව තම අභිමතය පරිදි රඳවා තබා ගැනීම සඳහා වඩාත් ක්‍රමෝපායිකව කටයුතු සිදුකොට ඇත. ජයවර්ධන පරිපාලනය තුළ මෙම තත්වය වඩාත් අවලසන්න ලෙස ඉන්දියානු වුවමණාවන් වෙනුවන් සකස්වූ ආකාරය දක්නට ලැබේ. ශ්‍රී ලංකාවට එරෙහිව සන්නද්ධ මැදිහත්වීමක් සඳහා ඉන්දියාව සූදානම් වෙමින් සිටි ආකාරය සී.අයි.ඒ. වාර්තා ඔස්සේද ඉතාම සියුම්ව පැහැදිලි කිරීමට උත්සහ දරා ඇත. ඉන්දියානු සාගරයේ නාවික බලය සම්බන්ධයෙන් සී. අයි. ඒ. සිදුකොට ඇති දීර්ඝ විශ්ලේෂණය ඔස්සේ මූලික ආරක්ෂක සහ දේශපාලනික කාරණයක් මතු කරනු ලබයි. එනම්, කලාපය තුළ ඉන්දියානු නාවික බලයට වඩා ශක්තිමත් නාවික බලයක් වෙනත් රටක ඇතිවීම කෙසේ හෝ වැලැක්වීම  ඉන්දියානු මූලික අභිප්‍රාය බව සඳහන් කොට තිබේ.

 

ශ්‍රී ලංකාවට අදාළ සී.අයි.ඒ. ලේඛණ කියවීම සඳහා පිවිසෙන්න

මෙහිදී වඩාත් වැදගත් කාරණය වන්නේ   ශ්‍රී ලංකාවේ රාජ්‍යය පරිපාලනය සහ විදේශ තානාපති කාර්යාලවල  එකල සේවය කළ නිලධරීන් වඩාත් බුද්ධිමත්ව බොහෝ කාරණා විමසා බලන ආකාරය මෙන්ම රටේ අනාගතය ගැන මනා සිහියෙන් බලා කටයුතු කරන ආකාරය ගැන සී.අයි.ඒ. අවස්ථා කිහිපයකදීම සඳහන් කොට තිබීමයි. නමුත් දේශපාලන නායකත්වය සෑම විටම හුදු පෞද්ගලික ප්‍රසිද්ධිය සහ කුමන හෝ තැනකින් මූල්‍යමය හොරකම් කිරීම මූලික කරගනිමින් කටයුතු කළ ආකාරය වඩාත් සියුම්ව නිරීක්ෂණය කොට තිබේ.

 

එසේම, ශ්‍රී ලංකාවේ සමාජවාදය රටට දරාගත නොහැකි සමාජවාදයක් ලෙස අර්ථකතනය කරන සී.අයි.ඒ. ඊට මූලික හේතුව ලෙස කෘෂිකරමාන්තයේ මූලික දෑ දිගින් දිගටම මඟහැරීම සහ අත්‍යවශ්‍යය භාණ්ඩ සඳහා විදෙස් රටවල් මත යැපීම අඛණ්ඩව සිදුකිරීම ලෙස දක්වා තිබේ. 1965 – 70 දක්වා ක්‍රමයෙන් වර්ධනය වෙමින් පැවති සහල් නිෂ්පාදනය 1970 සිට ක්‍රමයෙන් පහත වැටුණු බව සී.අයි.ඒ. පෙන්වා දී තිබේ.

දකුණේ මෙන්ම උතුරේ සිදු වූ තරුණ නැගිටීම සම්බන්ධයෙන් සී.අයි.ඒ. ඉතාම සියුම් අධ්‍යනයක් සිදුකොට ඇති බව දක්නට ලැබේ.  ආකර්ශනීය සහ ග්‍රාමීය ප්‍රජාවන්ගේ සිත් ඇදගන්නා නායකත්වයක් ලෙස රෝහණ විජේවීර සම්බන්ධයෙන් සඳහන් කරන සී.අයි. ඒ. 1971 තරුණ නැගිටීම හමුවේ, අග්‍රාමාත්‍යය බණඩාරනායක මහත්මියගේ පරිපාලනය ව්‍යාකූල වූ ආකාරය පැහැදිලි කොට තිබේ. අදාළ නැගීටීම සඳහා සාදාරණ සමාජ හේතු තිබූ බව සී.අයි.ඒ. සඳහන් කරන මූලික මතය වේ.  එක්තරා අවස්ථාවකදී අග්‍රාමාත්‍යවරිය තම ධූරයෙන් ඉවත් වී සියලු කටයුතු ඇගේ ඉතාම සමීපතම පුදගලයා වූ ෆිලික්ස් ඩයස් බණ්ඩාරනායක වෙත පැවරීම සඳහා සූදානම් වූ බව සී.අයි.ඒ. සඳහන් කොට ඇත.

1971 තරුණ නැගිටීම සිදුවන අවස්ථාවේදී මෙරට සන්නද්ධ බලය ඉතාම සීමා සහිත වූ බවත් ඉන් පසු ගෙවී ගිය මාස කිහිපය තුළ  බ්‍රිතාන්‍යය, ඇමෙරිකා එක්සත් ජනපදය, ඉන්දියාව, සෝවියට් සමුහාණ්ඩුව මෙන්ම චීනය රටට අවශ්‍යය අවි-ආයුධ ලබා දුන් බව සඳහන් කොට තිබේ. නමුත්, තරුණ සන්නද්ධ සංවිධාන තම අවශ්‍යතාවය සපුරාගනු ලැබුවේ දේශීයව මිස ඊට කිසිඳු විදෙස් රටකින් අවශ්‍යය ද්‍රව්‍යය නොලැබුණු බව සී.අයි.ඒ සඳහන් කොට ඇත.

මෙම තත්වය උතුරේ සන්නද්ධ සංවිධාන සම්බන්ධයෙන් වෙනස් වූ ආකරය සහ ඊට අවශ්‍යය පහසුකම් විදෙස් රටවලින් ලබාගත් ආකාරය සී.අයි. ඒ. ලේඛණ සඳහන් කොට තිබේ. ඉන්දියානු රාජ්‍යය මැදිහත්වීම ඔස්සේ පළමුවත් දෙවනුව ජාත්‍යන්තර වෙළඳ සමාගාම් සහ විවිධ රටවල සිටි නියෝජිතයින් ඔස්සේ දෙමළ සන්නද්ධ කණ්ඩායම් තම අවි-ආයුධ ලබාගත් ආකාරය සඳහන් කොට තිබේ.

රටේ දේශපාලනය මෙහෙයවන ප්‍රධාන පුද්ගලයින් ගැන මනා ලෙස කියවීමක් සිදු කොට ඇති සී.අයි.ඒ මෙරට ආරක්‍ෂක අංශ මෙන්ම ඒවායේ බලය සම්බන්ධයෙන්  සෑම මොහොතකම වඩාත් සැලකිල්ලකින් පසු වූ බව අදාළ ලේඛණ ඔස්සේ පැහැදිලි වේ.

සන්නද්ධ ව්‍යාපාර ඇතැම් අවස්ථාවලදී හුදු වාර්ගිකත්වයට පමණක් සීමා නොවූ ආකාරය සහ ඒවා පුළුල් දේශපාලන මතයක් වෙනුවන් පෙනී සිටීමට උත්සහ කළ ආකාරය පැහැදිලි කිරීමට සී.අයි. ඒ. උත්සහ කොට තිබේ. එසේම, එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුවක් සෑම විටම බටහිර වෙළඳපොල න්‍යායන් වලට අනුව කටයුතු කරන බව සඳහන් කරන සී.අයි.ඒ. ඉදිරිපත් කරන මූලික කාරණයක් වන්නේ, රටට අවශ්‍යය අරමුණු වෙනුවන් පැහැදිලිව සකස් කරනු ලැබූ විදේශ ප්‍රතිපත්තියක් කිසිඳු දේශපාලන බලවේගයකට නොමැති බවයි.

මේ ආකාරයෙන් රටේ පරිපාලන අවදීන්, එම පරිපාලන වලට එරෙහිව ඇතිවීමට ගිය කුමන්ත්‍රණ, රට තුළ ඇති වූ සන්නද්ධ සටන් ව්‍යපාර, රටේ මූලික ආරක්‍ෂක සහ ආර්ථිකමය කාරණා ගැන කල්පනාවෙන් සිදුකරනු ලැබූ හැදෑරීමක් ලෙස මෙම සී.අයි.ඒ. ලේඛණ හැඳින්වීම වරදක් නොමැත. ඒවායේ ඇති බොහෝ කාරණා අලුත් දෑ නොවන බව සැබෑය. නමුත්, රටක් තවත් රටක් දෙස බලන ආකාරය සහ එම රට තම ප්‍රතිපත්ති සැලසුම් කරන ආකාරය ගැන අවබෝධ කර ගැනීම සඳහා මෙය ඉතා වැදගත් අවස්ථාවකි. වැදගත් වන්නේ ඒවායේ අඩංගු කරුණු වත්මන් සන්දර්භයට ගැලපීමෙන් අවබෝධ කරගැනීමට උත්සහ කිරීම සහ ඒ ඔස්සේ තම රාජ්‍යය ප්‍රතිපත්ති සකස් කිරීමය.

දැනුම මෙන්ම එය සමස්ථ රටේ අභිනවය වෙනුවන් භාවිතා කිරීමට අවශ්‍යය පරිසරය නිර්මාණය කිරීම ඕනෑම රටක විශාල පරිවර්තන සිදුවීම සඳහා මූලික කාරණා වලින් එකක් වේ. රටක් ඉදිරියට ගමන් කිරීම සඳහා එය අත්‍යවශ්‍යය වේ. එසේම, රටක සිදු වූ දෑ සම්බන්ධයෙන් පැහැදිළි ලේඛණගත කිරීමක් අත්‍යවශ්‍යය වේ. එම ලේඛණ ගබඩා කිරීම මෙන්ම සුරක්ෂිත කිරීම වෙනුවට තම අවලස්සන ප්‍රතිපත්ති හෙළිදරව් වීම වැලක්වීම සඳහා ගිනිතැබීම ඔස්සේ සිදුවන්නේ, රෑ වැටුණු වලේ දවල් වැටීමටය.

දශක ගණනාවක් තිස්සේ මිනිස් රුධිරයෙන් තෙත් වූ රටක එම මකා දැමිය නොහැකි ඉතිහාසය නිවැරදිව පරිශීලනය කිරීමට රටේ මහජනතාව සඳහා පුළුල් අවස්ථා ලබාදීම මෙන්ම, රාජ්‍යය අනුග්‍රහය යටතේ ඊට අවශ්‍යය පසුබිම සකස් කිරීම ඉතාම වැදගත් වේ. සත්‍යයෙන් තොර ප්‍රතිසන්ධාන ගැන කතා කිරීම හුදු ව්‍යාජයක් පමණි.

උපුටාගැනීම: SLG

Leave a Reply

Your email address will not be published. Required fields are marked *