ඇත්ත නැත්ත කුමක් වී නමුත් මන්ත්‍ර ශාස්ත්‍රය හදාරන්නේ නම් යකාගෙන් වැඩ ගැනීම ලෙහෙසි කටයුත්තක් නොවන බව ඒ ශාස්ත්රයේ දී ඉගෙන ගැනීමට ලැබෙනු ඇත. විශේෂයෙන්ම එහි දී ඇදුරා දැඩිව අනුගමනය කළ යුතු පිළිවෙත් ගැන කියැවේ. ඒ අනුව ඇදුරා ගතින් හිතෙන් පමණක් නොව වචනයෙන් ද පවිත්‍ර විය යුත්තේය. එසේම කොයි ඇදුරා වුවත් තමන්ට ගැළපෙන යකාව ද තෝරාගත යුතු අතර ඒකාට ගැළපෙන මන්ත්‍රයම මිස තමන්ට නොදැරිය හැකි නොදන්නා මන්ත්‍ර ජප කරන්නට යන්නේ නැත. මන්ද, මන්ත්‍රය වැරදුණහොත් එන යකා ඇදුරාවත් විනාශ කරගෙන ආතුරයාවත් විනාශ කරගෙන යන බව කියන නිසාය.
ඒ කොහොම වෙතත් ඊට සමානව අරූ හොරා මූ හොරා යැයි කියමින් මේ දෝෂ කාරකයන් දූරින්භූත කරනේමැයි කියමින් තමන්ට කරන්නට පුළුවන් දේ කුමක්ද බැරි දේ කුමක්ද යන්න ගැන නිනව්වක් නොමැතිව කටයුතු කළ පිරිස දැන් යක්ෂ ප්‍රේත කුම්භාණ්ඩාදීන් ඉදිරියේ අසරණභාවයට පත්ව ඇති සෙයක් පෙනෙන්නට තිබේ. ඒ වත්මන් යහපාලන නියමුවන්ය. එක ම දේ නැවත නැවත කියමින් යහපාලනය ගෙන එම්හ කියමින් පැමිණි දේශපාලන ඇදුරන් දැන් මන්ත්‍රය වරද්දාගෙන බව පෙනෙන්නට තිබේ. එමෙන්ම ඒ තිබිය යුතු පවිත්‍රතාවයන් ද උවමනාවටත් වඩා කෙලසාගෙන තිබෙන බවත් පැහැදිලිය. එහි ප්‍රතිඵලය ලෙස ආතුර ජනතාව යක්ෂ ප්‍රේත කුම්භාණ්ඩාදීගෙන් ගැලවෙනවා වෙනුවට තව තවත් ඒ දෝෂවල හිරකාරයන් වෙමින් පවතින බව පෙනෙන්නට තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ ප්රමුඛව යහපාලනය වෙනුවෙන් පේවී සිටි සියල්ලෝ ජනවාරි අට යාග කර්මයෙන් තාවකාලික සුවයක් ආතුර ජනතාවට ලබා දුන්න ද ඒ රාක්ෂ පාලනයේ දිෂ්ඨියෙන් ගැලවීමට තවමත් නොහැකිව තිබේ. එපමණක් නොවේ. එදා ජනතාවට වින කළ උන් බොහොමයක් බුරුතු පිටින් පැන ගියා හෝ සැඟ වුණ ද යළි කරළියට පැමිණ තිබේ. ඊටත් වඩා ඇදුරාට මන්ත්‍රය වැරදුණාද නැත්නම් ඇදුරා මේ යක්ෂ ප්‍රේත කුම්භාණ්ඩයන් සමඟ මිත්‍රව ආතුරයාටම වින කටින්න වීද යන්න දැන් සොයා ගැනීමට නොහැකි තරමින් තත්ත්වයන් ව්‍යාකූලව තිබේ.
ආණ්ඩුව සමඟ හොරු හෙලුවෙන්
ආණ්ඩුව ආවේ හොරු අල්ලන්න නමුත් හොරු විසින් ආණ්ඩුව අල්ලගෙන ඇති බව ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක පසුගිය දාක පවසා තිබුණු බව දැන ගන්නට ලැබිණි. ඒ ගැන විවාදයක් නොමැත. දැන් සිදුව තිබෙන්නේ එය ය. එහෙත් ආණ්ඩුවේ නියෝජිතයෙක් ලෙස එවැනි කතාවක් කියන්නට සිදුව තිබීම කනගාටුදායක තත්ත්වයකි. දැන් අසරණ පාර්ශ්වය බවට පත්ව ඇත්තේ ආණ්ඩුවය යනුවෙන් මෙහි දී හැඟී යා හැකිය. එහෙත් ඒ ඊට හාත්පසින්ම වෙනස් ය. ආණ්ඩුව හොරු අල්ලන්නට ආවා කීව නමුත් ආණ්ඩුව හොරු ඇල්ලීම සිදු කළේ නැත. අරූ මූ හොරා යැයි කියමින් සෑහෙන කාලයක් ගත කර ඒ හොරු සමඟම යහන්ගත වන තැනට ගියේ ආණ්ඩුව මිසක් හොරු නොවේ. ඒ අනුව දැන් හොරුන්ට යට වී සිටීම සිදුව ඇත. වත්මන් ආණ්ඩුවේ හොරු ඇල්ලීමේ කතා අනාගතයේ දී ‘අන්තිමට සුපර් මෑනුයි ස්පයිඩර් මෑනුයි එකතු වෙලා හොරු ටික අල්ලා ගත්තා…’ යනුවෙන් අවසන් වන රසබර ළමා ජනකතා බවට පත් වනවා හැර ඉන් මෙහා අනෙකක් සිදු වන්නේ නැති බවට දැන් කැට තැබිය හැකිය.
බහුතර එකඟතාව මන්දගාමීවීම
ඒ කොහොම නමුත් සූක්ෂ්ම ලෙස හොරකම් කර තිබීම, විමර්ශන සඳහා කාලය ගත වීම හෝ දේශපාලන උපක්‍රමයක් නිසා හෝ යැයි කියා හොරු නොඇල්ලීම සම්බන්ධයෙන් වන විවේචනය පසෙකට දැමිය හැකි වෙතත් වත්මන් ආණ්ඩුවේ හොරකම වංචා දූෂණය ඉහවහා යන තැනකට පත්ව ඇති තත්ත්ව තුළ ඒ නැවත නැවත සාකච්ඡාවට ගැනීමට සිදුව තිබේ. පැවැති රාජපක්ෂ පාලනය ඉවත් කර වත්මන් ආණ්ඩුව පත් කළේ මේ හොරකම් ඇල්ලීමේ වුවමනාවට වඩා අත්‍යවශ්‍යයෙන්ම කළ යුතුව තිබූ දේශපාලන ප්‍රතිසංස්කරණ සමාජය ඉල්ලා සිටීම නිසාය. විධායක ජනාධිපති ධුරයේ බලතල වැඩිකර ගනිමින් ඒකාධිපති පාලන තන්ත්රයක් ගොඩනඟමින් ගෙන ගිය ප්රජාතන්ත්ර විරෝධී ක්‍රියාවලිය අවසන් කිරීමත් ප්රජාතන්ත්රවාදී ව්‍යුහ ශක්තිමත් කෙරෙන නව පාලන ක්‍රමයක් හඳුන්වා දීමත් කළ යුතුව තිබූ අත්‍යවශ්‍යම කාරණය ය. ආර්ථික ප්‍රතිසංස්කරණ, සංවර්ධනය,වංචා දූෂණවලට ඉඩ ඇහිරීම ආදිය ඒ අනුව ඊට සමගාමීව සිදු විය යුතුව තිබූ ද්විතීක කාරණාය. එහෙත් මේ මේ සෑම කරුණක් සම්බන්ධයෙන් හෝ ආණ්ඩුව තුළ විටින් විට සාකච්ඡාවට, විවාදයට ගැනෙන බව පෙනෙන්නට තිබුණ ද ඒ කිසිවක් සම්බන්ධයෙන් නිශ්චිත අරමුණක් අනුව කටයුතු සිදු වන බවක් පෙනෙන්නට නැත. එක පක්ෂයක එක මතයක් දරන පිරිසක් විසින් ආණ්ඩුවක් මෙහෙයවනවාට වඩා පක්ෂ කිහිපයක විවිධ මතවාද දරන්නන් විසින් ආණ්ඩුවක් කරන විට ඇති වන ගැටුම්කාරිත්වය ඉහළ බවට අමුතුවෙන් කිව යුතු නැත. පක්ෂවලට හෝ පුද්ගලයන්ට විවිධ මත තිබුණ ද ආණ්ඩුවක් වශයෙන් සියලු කොටස්වල හෝ බහුතරයේ එකඟතාවයෙන් ගත යුතු සාමූහික වගකීම් සහිත තීරණ තුළ සිටිමින් කටයුතු කිරීම විය යුතුය. එහෙත් ආණ්ඩුව තුළ එවැනි කතාබහක් හෝ සිදු වන්නේ නැති බව පසුගිය
සතියේ දී ද හෙළි වූයේ විදේශ ඇමැති මංගල සමරවීර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හමුවේ සිදු කළ ප්‍රකාශය සහ ඊට ආණ්ඩුව තුළින්ම පැමිණි විවිධ ප්රතිවිරෝධී ප්‍රතිචාර නිසාය.
දුන් පොරොන්දු අමතකද?
මානව හිමිකම් කොමිසම හමුවේ මීට පෙර වූ පොරොන්දු අනුව මෙරට සිදු විය යුතු දේශපාලන ප්‍රතිසංස්කරණයන් නීතිය හා අධිකරණය නිසියාකාරව ක්‍රියාත්මක වීම ආදිය සම්බන්ධයෙන් මංගල නැවත වරක් එක්සත් ජාතීන්ට සහතිකයක් දුන් අතර ඒ වෙනුවෙන් වසර දෙකක කාලයක් ද ඉල්ලා සිටියේය. නමුත් ඒ මංගලගේ තනි කැමැත්තට සිදු වූවක්දැයි සැක සිතෙන තරමට මේ කරුණු විවාදාත්මක විය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම සම්බන්ධයෙන් මංගල පොරොන්දු අලුත් කරන විට ශ්‍රීලනිපයට සම්බන්ධ ඇමැතිවරු මෙරට මාධ්‍ය සාකච්ඡා කරමින් කීවේ නව ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පොරොන්දු දී නැති බවත් ජනමත විචාරණයකට නොයන සංශෝධන කිහිපයක් පමණක් සිදු කරන බවත් ය. ඒ අතරෙහි කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න කීවේ නව ව්‍යවස්ථාවක් ගෙන එන බවත් ජනමත විචාරණයකට යන බවත්ය. ශ්‍රීලනිපයේ මතය නොව ජනාධිපතිවරයා ජනතාවට දුන් පොරොන්දුව අනුව ආණ්ඩුව කටයුතු කරන බව ය.
ප්‍රමාදයි! ප්‍රමාදයි!! ප්‍රමාදයි!!!
මේ අනුව ආණ්ඩුවේ මතය කුමක්ද යන්න ඇත්තේ ගැටලුවකි. ජනාධිපතිවරයා නව ව්‍යවස්ථාවක් ගෙන එනවද නැද්ද යන්න ගැන ඔහුගේ තීන්දුව සම්බන්ධයෙන් මෙතෙක් කෙළ පොදක් හලා නැති නමුත් විය යුතුව තිබෙන දේශපාලන ප්‍රතිසංස්කරණ ගැන සුබවාදී ස්ථාවරයක සිට කරුණු දැක්වීම දිගින් දිගටම සිදු කරයි. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සහ බලය බෙදා හැරිය යුතු බවට වන එකඟතාව ඔහු වෙතින් කිහිප වරක්ම ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත්ව තිබේ. මෙම කාරණ ඉෂ්ට කර ගැනීමට ව්‍යවස්ථා සංශෝධනයකට සීමා වී කටයුතු යෙදුවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් පනවා ඇති නියමයන් අනුව ජනමත විචාරණයකට ගොස් ඒ සඳහා අනුමැතිය ගැනීමට සිදු වනු ඇත. ජනාධිපතිවරයා පවසන දෑ අවංකව ඉටු කිරීමේ අධිෂ්ඨානය ඔහු වෙත තිබේ නම් ඒ ජනමත විචාරණයකින් මෙහා සිදු කිරීමේ හැකියාවක් නැත. මෙය ජනාධිපතිවරයා නොදන්නවා ද විය නොහැකිය. ඒ අනුව ශ්‍රීලනිප මැති ඇමැතිවරු ජනමත විචාරණය ගැන කවරක් දෙඩවූව ද ජනාධිපතිවරයා සිටින්නේ ජනමතය විමසා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම වෙනුවෙන් බවට වන ස්ථාවරයේ බව විශ්වාසය තැබිය හැකිය. එහෙත් ඒ ඔහුගේ අවංකභාවයට සාපේක්ෂවය.
එහෙත් වත්මන් ජනාධිපතිවරයා බලයට පත්ව මේ වන විට වසර දෙක ඉක්මවමින් තිබේ. ඔහුට තව ඇත්තේ වසර තුනකට අඩු කාලයකි. ධුර කාලයෙන් අඩක් අවසන් වෙමින් තිබුණ ද ඔහු රටට වූ පොරොන්දුවලින් අළුක්කාලක් හෝ ඉටුව නොමැත. ඒ තබා රට තුළ අවුල්සහගත තත්ත්වයන් නිර්මාණය වෙමින් පවතී. එය අරාජිකත්වය දක්වා ගමන් නොකෙරුණ ද ඉදිරි මාස කිහිපය ද මෙලෙසම ගත වුවහොත් අත්දකින්න වනු ඇත්තේ අරාජක රාජ්‍යයකි. වෘත්තීය, සිවිල් සමාජ, ශිෂ්‍ය උද්ඝෝෂණ දැන් දෛනික පුරුද්දක් බවට පත් වෙමින් තිබේ. පාතාල ක්‍රියාකාරකම් හිස ඔසවමින් තිබේ. වංචා දූෂණ චෝදනාවල නිමක් නැත. හාල් පොල් මිල ද ප්රශ්නයක්ව තිබේ. ආන්දෝලනයට තුඩුව තිබෙන බැඳුම්කර ගනුදෙනුව ගැන ඉක්මන් විමර්ශනයක් සිදු කර එහි ඇත්ත නැත්ත රටට ප්‍රකාශ කළ යුතු වුව ද ඒ ප්‍රමාද වෙමින් පවතී. එවැනිම තවත් බරපතළ කාරණයක් වූ ගල් අඟුරු ටෙන්ඩර් ගනුදෙනුව ගැන විදුලි මාෆියාව ගැන වගේ වගක් නැත. මුදල් ඇමැතිවරයාට එල්ලව තිබෙන චෝදනා සුළු පටු නැත, මහාමාර්ග ඇමැතිවරයා ද ඒ පසුපසම සිටී. මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් සිදු කර තිබෙන වාර්තාව අනුව රට ආර්ථිකමය වශයෙන් දැඩි කඩා වැටීමකට ලක්ව තිබෙන බව ඒ තතු දත් අය මේ වන විට පෙන්වා දී ඇත. රටේ නීතිය හරියාකාරව ක්‍රියාත්මක වන බවක් පෙනෙන්ට නැත.
ළඟ පෙනෙන අනතුර
මේ කිසිදු කරුණක් සම්බන්ධයෙන් හෝ විසඳුම් ආණ්ඩුවට තිබෙන බව පෙන්වීමට ආණ්ඩුව අසමත්ව ඇත. ජනාධිපතිවරයා පසුගිය දා පවසා තිබුණේ නුදුරේ දී තමන් දැඩි තීන්දු තීරණ කිහිපයක් ගැනීමට සූදානමින් සිටින බවකි. පසුගිය සති කිහිපයේම මෙම තීරුවෙන් අප අවධාරණය කළේ ජනතාවට වූ පොරොන්දු ඉටු කිරීම වෙනුවෙන් ගත යුතු තීන්දු ගැනීම දැන්වත් වියයුතු බවය. දුම්මල වරම අතට ගත යුතු බවය. එහෙත් ඇතැම් දැඩි තීන්දු ගත යුතු කාලය මේ වන විට ජනාධිපතිවරයා නිකරුණේ වැය කර ඇතැයි කීම අසාධාරණ නැත. කවරකු ආණ්ඩු කළ ද ආණ්ඩුවක ජනප්‍රිය කාලය තිබෙන්නේ ඒ පත් වන මුල් වසරක දෙකක කාලයේ ය. එම කාලය තුළ දී කළ යුතු වෙනස්කම් වෙනුවෙන් කටයුතු නොකළහොත් පසු කාලයේ දී ඊට ජනතාවගේ අවසරය ලැබෙන්නේ නැත. මන්ද, ආණ්ඩුවේ අසමත්භාව තුළ ජනතාවට එල්ල වන පීඩනය, නව පාලනයක අපේක්ෂා දක්වා දිවයන බැවිනි.
ශ්‍රීලනිපයත් එජාපයත් එක්ව හැදූ යහපාලන ආණ්ඩුව හිතින් කයින් වචනයෙන් අපවිත්‍රව සිටී. කියන කිසිවක් වන්නේ නැත. කරන දෙයක් කියන්නේ නැත. අලසය. වරද්දා ගැනීම් එමටය. මේ අනුව පොරොන්දු ඉටු කිරීම කෙසේ වෙතත් ඉදිරි වසර තුනෙහි ආණ්ඩුවේ පැවැත්ම සහතික කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම ආණ්ඩුවට තිබෙන අභියෝගය බවට පත්වීමේ අනතුර දැන් ළඟටම පැමිණ තිබේ.
සුජය
උපුටාගත්තේ සත්හඬෙන්