උපුටාගැනීම්විශේෂාංග

ආලෝකය නොදිටිමි!

මේ සටහන ලියැවෙන්නට තිබූවක් නොවේ. වැඩ නිමවී හවස 7:00ටලිඩෝ සිනමාහලට ගියේ “ප්‍රේමය නම්” නරඹන්නටය. අවාසනාවට, ප්‍රමාණවත් තරම් පිරිසක් නොමැති හෙයින් එය නොපෙන්වන බව දන්වා සිටි නිසා එළියට එනවිට ඉදිරිපස ඇති රිට්ස් සිනමාහලේ “ආලෝකෝ උදපාදී” පෙන්වන බව දුටුවෙමි. වෙන්කරගත් කාලය වෙනුවෙන් වෙනත් හොඳ විකල්පයක් සොයාගත නොහැකි විය. මේ සටහන හුදෙක් ප්‍රේක්ෂක අත්දැකීමක් අකුරුවලට පෙරළීමක් විනා සිනමා විචාරයක් නොවේ.

මුලින්ම කිවයුත්තේ රිට්ස් සිනමාහලේ තිරය සම්බන්ධවයි. ඩිජිටල් තිරය ඉතා හොඳ තත්ත්වයක ඇත. ලංකාවේ චිත්‍රපටයක රූපවල ගුණාත්මකබව ඉහළින් තැබීමට මෙම තිරය සහ ශබ්ද තාක්ෂණය ඉහළ නැංවීම ගැන එකී කළමනාකාරීත්වයට ස්තූතිවන්ත විය යුතුය.

රූපවාහිනී වැඩසටහනකදී විදර්ශන කන්නංගර පැවසූ පරිදි ජැක්සන් ඇන්තනිගේ “අබා”ගෙන් ආරම්භ වූ යුද වින්දන සිනමා කෘති අතරින් මට මතක තරමින් මා නරඹා ඇත්තේ අබා සහ ආලෝකෝ උදපාදී පමණක් වීමට තරම් මා වාසනාවන්තය. ආලෝකෝ උදපාදී ගැන මට දැනෙන පළමු හැඟීම, මේ චිත්‍රපටයට මෙන්ම ලංකාවේ සමකාලීන සමාජයට ද අදාළය. එනම්, මෙලෝ කලා රහක් නැති, කල් ඉකුත්වූ, වයසක පරම්පරාව තරුණයින්ට වද නොදී පැත්තකට වී සිටිය යුතු බවය. (ඉහත කුලකයට විශේෂණ තුනක් අයිති බව මතක තබාගන්න!) සමන් වීරමන්, තුසිත විජේසිරි යන ඉහත විශේෂණ ත්‍රිත්වයට අයත් දෙදෙනා විසින් චත්‍ර වීරමන් නැමැති දක්ෂ පුද්ගලයාව යටපත් කර ඇත. චත්‍ර දක්ෂ සිනමා අධ්‍යක්ෂණයට ද යන්න තීරණය කිරීමට මම ඉක්මන් නොවෙමි. එහෙත් ඔහු සතු දක්ෂතාවයක් ඇත. එය සිය පියා වෙනුවෙන්වත් කඩේ යැවිය යුතු නැත. විදෙස්ගතව සිටියදී මෙන්ම ගමේ සිටියදී ද කලාව පිළිබඳව කල් ඉකුත්වූ, පරිණත නොවූ පුද්ගලයින් පොරවල්ව සිටින අයුරු අවශ්‍ය තරම් දැක ඇත්තෙමි. සම්භාව්‍ය පෙනුමක් ආරෝපණය කරගෙන, පොදු අවස්ථාවල ඉදිරියට පැන වැඩකරන මේ පිරිසට කලාව ගැන පළල් කියවීමක් නැති කුඩා සමාජවල පිළිගැනීමක් ලැබීම ගැන ගැටළුවක් නැත. එහෙත් ඒ අය ඊට වඩා ඉදිරියට ගොස් සිය මුදල්, රාජ්‍ය සම්බන්ධතා ඉදිරියට දමා මෙලෝ රහක් නැති චිත්‍රපට කරන්නට යන විට පැත්තක සිටින පුත්‍රයින්ට අත්වන ඉරණම නැරඹීමට අවශ්‍ය නම් ඊට හොදම උදාහරණය ආලෝකෝ උදපාදී ය.

කල් ඉකුත්වූ පුද්ගලයින් හානිකරන්නේ සිනමාවට පමණක් නොවේ. එය රටේ හැම ක්ෂේත්‍රයකම පාහේ විසිර ගොස් ඇති ගැටළුවකි. මගේ පුද්ගලික අත්දැකීම් වලින්ම පවසන්නේ නම් බැංකු ක්ෂේත්‍රය තුළ නවීනත්වයට එරෙහිවන මෙකී කුලකයට අයත් පිරිස් බහුලය. නව තාක්ෂණයට අනුගත නොවන පිරිස් විසින් ක්ෂේත්‍රයම බිලිගෙන ඇත. රාජ්‍ය පරිපාලනය ගන්නම දෙයක් නැත. නවීන තත්ත්වය දක්වා හැඩගැසිය යුතු සංචාරක කර්මාන්තයට ද මේ තත්ත්වය පොදුය. මේ සියළු දේටත් වඩා ලංකාවේ ප්‍රගතිශීලි දේශපාලනයට ද එබඳු කල් ඉකුත් වූවන් විසින් කරනු ලබන්නේ හානියකි.

දැන් අපි සිනමා කෘතිය දෙසට හැරෙමු. තුසිත විජේසේන බොහෝ ආඩම්බරයෙන් පැවසූ පරිදි මේ චිත්‍රපටයේ විහිළු නැත. ගීත දෙකක් ඇතත් ඒවා වීරත්වය උද්දීපනය කිරීමට සැදූ ඒවාය. වෙනත් කිසිම ආකාරයක වින්දනයක් සපයන ආකාරයේ දෙබසක් සමස්ත පිටපත පුරාවට නැත. සැබැවින්ම මෙලෝ රහක් නැත. කැමරා හැසිරවීම, පසුතලය හා තාක්ෂණය නොමැතිනම් මේ චිත්‍රපටය මේ රැල්ලේ අසාර්ථකම චිත්‍රපටය වීමට ඉඩතිබිණි. අමාරැවෙන් සොයාගෙන ඇති නම් ගම් දැකීමෙන් පාසැල් කාලයේ බලෙන් පාඩම්කළ අමිහිරි මතකයක් ඇවිස්සෙනවා මිසෙක ඉතිහාසයට ආදරයක් දැනෙන්නේ නැත.

සිනමාත්මක කැමරා කෝණවලින් ඇරඹෙන සිනමා කෘතියේ පළමුවැනි බලාපොරොත්තුව බිදවැටෙන්නේ නවීන දමිළ අකුරුවලින් සමන්විත ලිපියත් සමගයි. වසර දෙදහසකට ආසන්න කාලයකට පෙර දමිළ අකුරු වත්මන් තත්ත්වයේ පැවතීමට කිසිම ඉඩක් නැත. සරල විකීපීඩියා සෙවුමකින් මෙය සොයාගත හැක. ඇත්තටම චිත්‍රපටයට සම්බන්ධ කිසිවෙකුටවත් ඒ ගැන උනන්දුවක් තිබී නැත. නැතිනම් දන්නේ නැත. දන්නේ නැතිවිට කළ යුත්තේ දන්න දේවල් කිරීමය.

වළගම්බා රජුගේ පෞරුෂය කිසිලෙකින්වත් ඉස්මතුවක්නේ නැත. ඊට වඩාදාඨිය ලෙස රගපාන ධර්මරාජ් මතුව එයි. මහාකළු සිංහලයාගේ කළු, රැවුල සහ කොණ්ඩය පමණි. චිත්‍රපටයේම පවසන පරිදි කුඩා කල කිසිම ආකාරයක දුක් විඳි බවක් ශරීරයෙන් නොපෙනේ. ශුෂ්ක රටක වායුසමනය කළ කාමර වල ජීවත්වන බවට ඔහුගේ ශරීරය සාක්ෂි දරයි!

පටු දෘෂ්ඨිවාදයක් හා ගලප්පන්නට උත්සාහ නොදරන්නේ නම් වළගම්බා කතාව අතිශයින්ම සිත්ගන්නා සුළු ඉතිහාස කතාවක් නිර්මාණය කරන්නට ඉඩකඩ ඇති කතා පුවතකි. කල් ඉකුත්වූ ඔළුවකින් බලන්නෙක්ට එය ටයිල් පොළොවක් තරම් සමතලා, සෘජු දේශපාලන ප්‍රචාරණයකට ඔබින තමන්ගේ පුද්ගලික ජීවිතවල හිස් වූ තැන් වසාගැනීමට යොදාගත හැකි ගෙතුමකි. සැබෑ වළගම්බා රජු වසර ගණනාවක් රටපුරා වාසය කරමින් සිය සංවිධාන කටයුතු සිදුකළා පමණක් නොව ඉන්පසු එකී ස්ථාන බෞද්ධ පන්සල් දක්වා ගොඩනැගූ බව අදටත් සිව්දෙස ඇති ‘වළගම්බා වෙහෙර විහාර’ සාක්ෂි දරයි. එසේ නොමැතිව මේ චිත්‍රපටයේ පෙන්වනවා මෙන් ආක්‍රමණයෙන් මිදී පළායාම සම්බන්ධයෙන් සෘජු තීරණයක් ගත නොහැකිව පසුබාන චරිතයක් බවට පෙරළීම ඔහුට කළ හැකි විශාලතම නිග්‍රහයයි.

දෙබස් හෝ කතාව වෙනුවෙන් කිසිමාකාරයක බටහිර ආභාෂයක් නොපෙනෙන තත්ත්වයක, පසුතලය වෙනුවෙන් වන බටහිර ආභාෂය පිටපත විසින් මෙහෙයවූවා යැයි සිතීම උගහටය. විශාල ඉඩම් හිමි රදලයින් විසින් සිය ඉඩම් වගාව සදහා ගම්මාන නිර්මාණය කරන විට එක ළඟ කූඩාරම් ඉදිකර ඇති ආකාරය බටහිර සිනමා කෘතිවල දැකිය හැක. ඒවා වැව් අසබඩ, ගංගා අසබඩ ඉදිකරන්නේ නඩත්තුවේ පහසුව උදෙසාය. ලංකාවේ ඓතිහාසික නිවාස ඉදිකිරීම් අතර එවැනි කූඩාරම් හෝ එක ළඟ ඉදිකළ නිවාස දකින්නට නැත. ඒ වෙනුවට ප්‍රමාණවත් ඉඩකඩ ඇති, මිදුල, පිළිකන්න ඇති, ගෙවත්තක් සහිත තනි තට්ටුවේ නිවාස අතීතයේ පවතින්නට ඇතිබව උපකල්පනය කළ හැක. අනෙක් අතට ලක්ෂ ගණනක් භික්ෂූන් පෝෂණය කිරීමට අවශ්‍ය සමාජ පසුබිම වනුයේ එයයි. වඩාත් උත්ප්‍රාසජනක කාරණය නම් ඔය කියන අතීත ශ්‍රී විභූතිය පැවතීමට නම් එවැනි සශ්‍රීක ගම්මානයක් ද පැවතුණු බව පෙන්විය යුතුව තිබීමයි. එහෙත් ඒවා අදාළ නැත. විශේෂයෙන් ලංකාවේ සිනමා රසිකයාට නම් ඒවා අදාළම නැත. රිට්ස්හි සැළකියයුතු තරම් ප්‍රේක්ෂක පිරිසක් චිත්‍රපටය නැරඹීමට පැමිණ සිටියහ. ඉන් එක් අයෙක් චිත්‍රපටයෙන් බාගයක් පුරාවට සිය ජංගම දුරකතනයෙන් කතාබහක නිරතව සිටි අතර තවත් පිරිසක් තමන් විසින් ගෙන ආ කෑම වර්ග ශබ්ද නගමින් අනුභව කළහ.

සියළු දුර්වලතා මැද අහඹු ලෙස මේනකා පීරිස්ගේ චරිතය මිනිස් හැඟීම් දනවන කාමුක පෙනුමක් සහිතව නිරූපණය කොට තිබීම කිසිලෙසකින්වත් පිටපතෙන් මෙහෙයවූවක් බව උපකල්පනය කළ නොහැකිය. ගැහැණියකගේ දණහිසෙන් උඩ අඟලක් දුටු විට උඩපනින ඊනියා සදාචාරයක් නියෝජනය කරන මතවාදයක් තුළින් එවැනි චරිතයක් ඉස්මතුවීම බටහිර කොපියකට එහා දෙයක් යැයි මා කිසිලෙසකින්වත් සිතන්නේ නැත. එවැනි කුඩා හෝ කාරණාවක් ඉස්තමතුවන්නේ චිත්‍රපටයේ මිනිස් හැගීම් දැනීම් ඇති කිසිම චරිතයක් හෝ සිද්ධියක් දැකගත නොහැකි නිසාවෙනි.

බලාපොරොත්තු තබා නැරඹීමට ගිය ‘ප්‍රේමය නම්’ සිනමා කෘතිය නැරඹීමට නොලැබීමට ගැන කණගාටුය. මෙවැනිම අත්දැකීමක් ෆ්‍රැන්ජිපානිනැරඹීමට යෑමේදී ද ලැබීමි. ආලෝකෝ උදපාදී වැනි දුර්වල චිත්‍රපට සිනමා ශාලාවල ප්‍රයිම් ටයිම්වල සාර්ථකව තිරගත වීම සිනමා කර්මාන්තයේ දියුණුවට හේතුවක් යැයි කිසිවෙකු කියන්නේ නම් ඒ ගැන මට කියන්නට දෙයක් නැත..!!

උපුටාගැනීම : බූන්දියෙන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *