නිලන්ත ඉලංගමුව
ගෙවීගිය සතිය මුලදී ඉන්දීය ජන මාධ්‍යය විශාල ප්‍රචාරයක් ලබා දෙමින් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉන්දීය ජාතීක ධීවරයෙකු වෙඩිතබා මරා දැමූ බව වාර්තා කළේය. ඊට විශාල ප්‍රචාරයක් ශ්‍රී ලංකාවේ මාධ්‍යය විසින්ද ලබා දෙනු ලැබීය. මෙය අග්‍රාමාත්‍යය වික්‍රමසිංහ මහතා ඉන්දීය ජනමාධ්‍යකට මීට කලකට පෙර ලබා දුන් සම්මුඛ සාකච්ඡාව සිහිපත් කරනු ලබයි. අගමැතිවරයා එහිදී කියා සිටියේ, දේශ සීමා උල්ලඝණය කරන ඉන්දීය ධීවරයින්ට වෙඩිතැබීමට තමන් නියෝග කරන බවයි. කෙසේ වෙතත්, නාවික හමුදාව අදාළ වෙඩිතැබීම කළ බව සඳහන් කළද නාවික හමුදාව විසින් එය ප්‍රතික්ෂේප කළේය. දෙරටේ දේශපාලන සහ “ප්‍රචලිත” මාධ්‍යය මෙම කාරණයට දේශපාලන මුහුණුවරක් ලබා දෙනු ලැබුවෝය. එමඟින් ගැටලුවේ සැබෑ කාරණා පැත්තකින් තබා ඉන් තාවකාලික “ආස්වාදය” ලැබෙන සේ මාධ්‍යය හටනක් කිරීමට හැකි පසුබිම සකස් කර ගත්තෝය. වෛරය වැපිරීමෙන් ජනතාවට කිසිඳු ප්‍රයෝජනයක් අත්නොවේ.
මෙම ගැටලුව ඉතාම බරපතළ කාරණයක් වන අතර මෙහිදී නාවික හමුදාවට චෝදනා කිරීම මෙන්ම මෙරට ධීවර ප්‍රජාවගේ සැබෑ තත්වය නොසලකා හරිමින් කතා කිරීම කළ නොහැකිය. මෙම මූලික කාරණයේදී පළමුව සෑම අයෙකුම අවබෝධ කර ගත යුතු කාරණය වන්නේ ශ්‍රී ලංකාව ස්වාධීන රාජ්‍යයක් බව සහ ශ්‍රී ලංකාවට අයත් මුහුදේ ස්වාධිපත්‍යය ශ්‍රී ලංකාවට හිමිය යන්නය. එය විවිධ රටවල් හමුවේ බාල්දු නොකළ යුතුය. ශ්‍රී ලංකාව වූ කලී දූපතක් වන්නා සේම දුපතට වඩා විශාල ගුණයක් සහිත මුහුදකට හිමිකම් කියන දූපත් රාජ්‍යයකි. එහි අයිතිය හිමි වන්නේ රටට සහ රටේ සියලුම පුරවැසියන්ටය. නමුත් අවාසනාවට මෙන්, ශ්‍රී ලංකාවට අයත් මුහුද නිතරම පාහේ ධීවර ප්‍රජාව පමණක් සැලකිල්ලට ගන්නා කාරණයක් වන අතර එය රටේ වෙසෙන අනෙකුත් පාර්ශව වලට එතරම් වැදගත් මාතෘකාවක් වී නැත. එය එලෙස සිදුනොවිය යුතුවා සේම රටේ සෑම පුරවැසියෙකුටම මුහුදේ ඇති ආරක්‍ෂක සහ ආර්ථික වැදගත්කම සම්බන්ධයෙන් අවබෝධයක් පමණක් නොව එය භුක්ති විඳීමේ අයිතියක් තිබිය යුතු වේ.
මෙරට මුහුදු සීමාවේ ස්වාධිපත්‍යය අරඹයා පැවති නොපැහැදිලි කාරණා 1974 දී කච්චතිව් දූපත සම්බන්ධයෙන් වූ ගිවිසුම මඟින් මෙන්ම ඉන් පසු 1976 දී ඇති කරගත් මුහුදු සීමා නිර්ණය කිරීමේ ගිවිසුම ඔස්සේ නිරාකරණය කර ගනු ලැබූහ. නමුත්, ගිවිසුම් ප්‍රකාරව කටයුතු කිරීමට දකුණු ඉන්දීය ප්‍රජාව දක්වා ඇති නොහැකියාව මෙන්ම අවිනීතභාවය හේතුවෙන් කලාපය තුළ පවතින ආරවුල ඉතාම සංකීරණ වෙමින් තිබේ. එය ශ්‍රී ලංකාවට එරෙහිව මතයක් ගොඩ නැගීම සඳහා භාවිතා කිරීම අර්බුදය සම්බන්ධයෙන් ඒකපාක්ෂික වීමකි. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ සැබෑ තත්වය සහ ධීවර ජනතාව මුහුණ දෙන සැබෑ ඇත්ත ජාතික සහ ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ ගෙනහැර දැක්වීමට මෙරට රාජ්‍ය තාන්ත්‍රික ධූත ප්‍රජාව අපොහොසත් වූ බවට නැගෙන මූලික චෝදනාව වේ.
සන්නද්ධ ගැටුම් පවතින කාල වකාවනුව තුළදී ඉස්මත්තට නොපැමිණි මෙම කාරණය වර්තමානයේදී මතුපිටට පැමිණීමෙන් එය එකල නොපැවතුණේය, යැයි සඳහන් කළ නොහැකිය. කෙසේ වෙතත් මෙම මහාපරිමාණ ගැටලුවේ ඇති දේශපාලන, ආර්ථික මෙන්ම ආරක්‍ෂක කාරණා ගැන ශ්‍රී ලංකාවේ ආණ්ඩුව මෙන්ම ජනතාව මනා අවධියෙන් සිටිය යුතු වේ. එසේම, රටේ බලය ක්‍රියාත්මක කිරීමට නීතියානුකූල අයිතියක් ඇති සියලුම දෙනා මේ සම්බන්ධයෙන් හැදෑරිය යුතු අතර තම රටට කොන්දක් ඇතිබව ගැටලු ගැන කතා කිරීමේදී පෙන්විය යුතුය. මෙම මූලික කාරණයේදී ඉන්දීය ආණ්ඩුවට හෝ මෙරට මාළු අස්වැන්න මංකොල්ල කන ඉන්දීය ධීවරයින් විවේචනය කිරීමෙන් පමණක් පලක් නොවේ. වැදගත් වන්නේ 1974 සිට මේරට ආණ්ඩු කළ පිරිස් මෙම කරණය සම්බන්ධයෙන් ගත් ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගැන විමසා බැලීම සහ එහිදී ක්‍රියාවට නංවා ඇති ඇතැම් ඔලමොට්ටල තීරණ යළිත් සිදු නොවීමට වගබලා ගැනීමය. බලයේ සිටින අයෙකු දිරවීමට නොහැකි මට්ටමින් අල්ලස් ගැනීම සඳහා මෙවැනි මූලික රාජ්‍යය කාරණා අකුලේ හෙළීම සැබවින්ම ස්වයං-විනාශයකි.
කෙසේ නමුත් මෙම කාරණය සම්බන්ධයෙන් දීර්ඝකාලීනව අධ්‍යනය කළ මාගේ මිත්‍රයකු මෙන්ම ඉන්දියාවේ ප්‍රකට බුද්ධිමතෙකු වන මහාචාර්යය වී. සුරියනාරයන් දෙරටේ සම්බන්ධතා මූලික කරනිමින් සහ මෙම ධීවර ගැටලුව සම්බන්ධයෙන් ඉන්දීය මතය වඩාත් තුලනාත්මකව ඉදිරිපත් කිරීමට කටයුතු කළ අයෙක් ලෙස සැලකිය හැකිය. ඔහුගේ ඇතැම් අදහස් සමඟ එකඟ විය නොහැකි නමුත් ගැටලුව දෙපාර්ශවයට වාසි සහගත ආකාරයෙන් විසඳීමට උත්සහ කරන අයෙකු ලෙස ඔහු හැඳින්වීම වරදක් නොවේ. කෙසේ නමුත් පසුගිය වසරේ මෙම ගැටලුවට විසඳුමක් සෙවීමේ අරමුණින් මෙරටට පැමිණි අවස්ථාවේ හෙතම ඉදිරිපත් කළ යෝජනා මෙරට ධීරව ජනතාව විසින් එක හෙළාම ප්‍රතික්ෂේප කරනු ලැබීය.
මෙම මූලික කාරණය ඉන්දීය විශ්ලේෂකයින් කච්චතිව් දූපත මූලික කර ගනිමින් විමසීමට ලක් කළද ගැටලුව එය පමණක් යැයි සිතීම එතරම් යෝග්‍යය නොවේ. විශේෂයෙන් මූලික සංඛ්‍යා දත්ත වලට අනුව අදාළ කලාපය තුළ ධීවර කටයුතු සිදුකරන ශ්‍රී ලංකාවේ ධීවරයින්ගේ සංඛ්‍යාවට සාපේක්ෂව ඉන්දීය ධීවරයින්ගේ ගණන සීයට දෙසීයකට වැඩිය. එවැනි තත්වයක් තුළ ඉන්දීය ධීවරයින් මුහුණ දෙන මූලික ගැටලුව කච්චතිව් නොවන බව පැහැදිලිය.
ඉන්දියානු විශ්ලේෂකයින් මෙන්ම දේශපාලනඥයින් උපුටා දක්වන මූලික කරණය වන්නේ 1974 ගිවිසුම අත්සන් කරන අවස්ථාවේදී ඉන්දීය විදේශ කටයුතු ඇමති ස්වාරන් සිං සඳහන් කළ කාරණයකි. අමාත්‍යය සිංට අනුව කච්චතිව් දූපතේ ස්වාධිපත්‍යය ශ්‍රී ලංකාවට පැවරුවද ඉන්දීය ධීවරයින්ගේ සම්ප්‍රදායික අයිතීන් සහ සෑම මාර්තු මසකම අග භාගයේ පැවැත්වෙන ශාන්ත ඇන්තනි උත්සවය සඳහා සහභාගී වීමට අයිතිය ලබා දීමට 1974 ගිවිසුම ඔස්සේ දෙපාර්ශවය එකඟ වී තිබේ. නමුත් එම සම්ප්‍රදායික අයිතිය 1976 ගිවිසුම ඔස්සේ ඉවත් කොට තිබේ. ඉන්දීය දේශපාලනඥයින් මෙන්ම ඇතැමුන් ඉල්ලා සිටින්නේ එම නැති වූ අයිතිය සහ කච්චතිව් යළි පවරා ගනා ලෙසය. මෙහිදී මතක තබා ගත යුතු මූලික කාරණය වන්නේ සම්ප්‍රදායික අයිතීන් යනු සම්ප්‍රදායික මෙවලම් යොදා ධීවර කටයුතු කිරීමයි. යාන්ත්‍රික මෙවලම් ඔස්සේ සම්ප්‍රදායික කටයුතු කළ නොහැකිය.
කෙසේ වෙතත් 2011 ජුනී මාසයේදී දූපතේ අයිතිය සම්බන්ද්යෙන් තමිල් නාඩු ප්‍රාන්ත සභාව හිටපු මහා ඇමතිනි ජයලලිතාගේ ප්‍රධානත්වයෙන් යෝජනාවක්ද සම්මත කර ගනු ලැබුවෝය. එසේම අදාළ කාරණය සම්බන්ධ අධිකරණ ක්‍රියාමාර්ගය තවමත් සිදුවෙමින් තිබේ. ඉන්දියානු යෝජනාව වන්නේ ඉන්දීය – බංගලාදේශ සීමාව තුළ පිහිටි ටින් බංගා ප්‍රදේශය සම්බන්ධයෙන් ඇති කරගත් මූලික භුක්තිවිඳීමේ එකඟතාවය ශ්‍රී ලංකාවේ කච්චතිව් දූපත මූලික කරගනිමින් ඇතිකරණ ලෙසයි. එනම් ටින් බංගා ප්‍රදේශයේ ස්වාධිපත්‍යය ඉන්දියාවට හිමි නමුත් සිවිල් කටයුතු සඳහා එය බංගලාදේශ ජනතාවට භාවිතා කළ හැකි ආකාරයෙන් කච්චතිව් දූපතේ සහ ඒ වටා වූ මුහුදේ භුක්තියේ අයිතිය ඉන්දියාවටද ලබා දෙන ලෙසයි. මෙය කෙතරම් දුරට ගැලපෙන විසඳුමක්ද යන්න අපැහැදිලිය. එසේම ඉන්දීය ධීවර ගහනය සහ ශ්‍රී ලංකාවේ ධීවර ගහනය ගැන සැලකීමේදී කච්චතිව් දූපත යනු මෙම ගැටලුවේදී ඉන්දියාව තම වාසිය සඳහා භාවිතා කරන මෙවලමක් පමණි. කච්චතිව් වලින් පසු ඔවුන්ගේ ඉල්ලීම තවත් වෙනස් මාදිලියක් ගනු ඇත. මෙවැනි තත්වයක ශ්‍රී ලංකාව මෙම කරණය දෙස බැලිය යුත්තේ ආර්ථිකමය කාරණයක් ලෙස පමණක් නොව ආරක්‍ෂක සහ භූ-දේශපාලනික වැදගත්කම ඉතා ඉහල කාරණයක් ලෙසය.
ධීවර කටයුතු සිදු කිරීම සඳහා ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරුව තුළ යම්කිසි උපකරණයක් භාවිතා කිරීම ශ්‍රී ලංකා රාජ්‍යය විසින් තහනම් කොට ඇත්තේ නම් එය සෑම දෙනෙකුටම වලංගු වේ. රටට අයත් මත්ස්‍ය සම්පත හොරා කෑම මෙන්ම එලෙස හොරා කෑම සඳහා නීතී විරෝධී උපාංග භාවිතා කිරීමද වරදකි. රටේ මුහුදේ ආරක්ෂාව භාරව කටයුතු කරන නාවික හමුදාවට පැවරී ඇති මූලික කාරණා වලින් එකක් වන්නේ මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කරන පිරිස නීතියේ රැහැනට හසු කර ගැනීමය. එය විශාල බාධක රාශියක් මැද සිදු කිරීමට නාවික හමුදාව කටයුතු කරනු ලබයි. එය විවෘත මෙහෙයුම් පිළිබඳ මූලික නීතියානුකූල කාරණයකි.
නමුත් මෙහි ඇති උපායමාර්ගික සහ න්‍යායික කාරණා සම්බන්ධයෙන් ඉන්දියාවේ ඇතැම් විශ්ලේෂකයින් විවිධ හැදෑරීම් කර ඇති නමුත් ශ්‍රී ලංකාව පැත්තෙන් එය ඉතාම අඩුවෙන් දක්නට ලැබෙන කාරණයකි. විශේෂයෙන් කොතලාවල ආරක්‍ෂක විද්‍යාපීඨය වැනි ආයතන මේ සම්බන්ධයෙන් සුළුවෙන් හෝ අවධානයක් යොමු කර තිබීම අගය කළ යුතුය. නමුත් වැදගත් වන්නේ මේ සම්බන්ධයෙන් තුළනාත්මක පර්යේෂණ, විශ්ලේෂණ මෙන්ම උපායමාර්ගික යෝජනා ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍යය පහසුකම් මෙරට සිටින බුද්ධිමතුන්ට මෙන්ම අනෙකුත් පාර්ශව වලට ලබා දීමය. ශ්‍රී ලංකාවේ නාවික හමුදාව ඉන්දීය ධීවරයකු මරා දැමූ පුවත ඉතා සීඝ්‍රයෙන් ලෝකය පුරා සන්නිවේදනය වීමටත් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දිනපතා සිදුකරණ යහපත් කටයුතු ලෝකයෙන් මෙන්ම ප්‍රජාවගෙන් ඈත් වී තිබීමටත් හේතුව නිවැරදි සන්නිවේදන යාන්ත්‍රණයක් මේ සම්බන්ධයෙන් නැති වීමය.
ඒ වෙනුවට කලින් කලට පත් කරන විෂභාර ඇමතිවරුන් විසින් සිදුකරන වගතුවක් මෙන්ම වගකීමක් නැති දේශපාලන ප්‍රකාශ ඔස්සේ මෙම ගැටලුවේ ශ්‍රී ලංකාව මුහුණ දී සිටින සැබෑ අභියෝගකාරී තත්වය මෙන්ම රටේ ස්ථාවරය පැහැදිළිව ඉදිරිපත් වන්නේ නැත. විශේෂයෙන් මෙවැනි ක්ෂේත්‍ර සඳහා විෂයභාර ඇමතිවරුන් ලෙස පත්කිරීමේදී අදාළ ඇමතිවරුන්ට ධීවර සහ ජලජ සම්පත් ගැන පමණක් නොව රටේ ජාතික ආරක්ෂාව මෙන්ම සමුද්‍රීය නීතිය සහ එහි භාවිතාව ගැනද ගැඹුරු අවබෝධයක් තිබීම අත්‍යවශ්‍යය වේ.
ශ්‍රී ලංකාව මෙන්ම අනෙකුත් අසල්වැසි රටවල් එකඟ වී ඇති ජාත්‍යන්තර ප්‍රඥප්ති තිබේ. ඒවායෙහි රටේ ස්වාධීපත්‍යය මෙන්ම භෞමික සහ සමුද්‍රීය අඛණ්ඩතාවය ආරක්ෂා කරගනිමින් ජාතික සහ ජාත්‍යන්තර සහයෝගය ඇතිව කටයුතු කිරීමට එකඟ තිබේ. ශ්‍රී ලංකාව අනුගමනය කළ යුත්තේ එම මූලික කාරණා මිස එකිනෙකාගේ පෞද්ගලික අභිමතාර්ථයන් මුදුන් පමුණුවා ගැනීම සඳහා සිදුකරන තාවකාලික දේශපාලන අතවර වලට ලක්වී නැසී යෑම නොවේ.
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළ සිටින මත්ස්‍ය සම්පත නිවැරදිව කළමනාකරණය කිරීට රාජ්‍යය සහ පෞද්ගලික අංශ මැදිහත් වී රටට හිතැති රාජ්‍යය ප්‍රතිපත්තියක් සකස් කිරීම දැනටමත් බොහෝ ප්‍රමාද වී ඇති අත්‍යවශ්‍යය කාරණයකි. එය ස්වයං-පෝෂිත මත්ස්‍ය සම්පතක් රටේ සෑම පුරවැසියෙකුටම ලබා ගත හැකි පරිදි බෙදාහැරීමට පමණක් නොව රටට නිරෝගී ජනතාවක් බිහි කිරීමට සහ රටේ ජාතික ආරක්ෂාව සහතික කිරීම සඳහා ඉතාම වැදගත් සහ අතවශ්‍යය වේ.
උපුටාගත්තේ SLG