උපුටාගැනීම්විශේෂාංග

යුනිෆෝම් හොරුන් ෆෝම්කිරීම

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ තමාගේ දේශපාලන ආගමනය වෙනුවෙන් වන මෙහෙයුමක් අනුව ක්‍රියාත්මක කරන වියත් මඟ නමැති සංවිධානයේ සාංවත්සරික සමුළුවක් පසුගිය දා පැවැත්විණි.

මෙම සමුළුව මඟින් නැවත නැවතත් ප්‍රකට කරවනු ලැබුවේ පැවැති රාජපක්ෂ පාලනයේ මජර ප්‍රතිපත්තීන් සාධාරණීය කර ගැනීමය. සිංහල බෞද්ධ ජාතිවාදය පදනම් කරගත් මිලිටරිමය යටත් භාවයට පත් කරවනු ලබන සමාජ දේශපාලන හා ආර්ථික සියලු ක්ෂේත්‍රය රාජපක්ෂ පවුලේ අධිකාරිය මත ක්‍රියාත්මක කරවනු ලබන පාලන තන්ත්‍රය නැවතත් යෝජනා කරනු ලැබීම හැර ඒ තුළ ‘වියත්’ යැයි කිසිදු මතයක් ප්‍රකාශයට පත් වූයේ නැත.

ගෝඨාභය රාජපක්ෂ මෙහි දී නිලධාරීන්ට අවශ්‍ය ලෙස නිදහසේ වැඩ කිරීමට ඇති අවස්ථාව කෙතරම් වැදගත්ද යන්න අවධාරණය කරනු ලැබීය. මෙහි දී නිලධාරීන් යනු රාජ්‍ය පරිපාලන නිලධාරීන් පමණක් නොව ත්‍රිවිධ හමුදා නිලධාරීන් ද මීට අයත් ලෙස සැලකීය. ඒ සඳහා ඔවුන්ගේ යුගයේ කළ කී දෑ උදාහරණ කොටගෙන ඒවායේ සාර්ථකත්වයන් ද ඔහු විසින් පෙන්වා දෙනු ලැබීය. ඒ අතරේදිම එම තීන්දු තීරණ රටේ නීතිය අබිබවා ගිය තීන්දු තීරණ බව ඔහු වෙතින් දැන නොදැන හෝ  ප්‍රකාශයට පත් වූයේ ඒ සියල්ල රටේ නීතිය අනුව දූෂිත ක්‍රියාමාර්ග ලෙස අර්ථකථනය කළ හැකි බව ද පවසමිනි. ඒ ඇත්තය. රාජපක්ෂවරුන්ට සහ එවක සිටි නිලධාරීන් ගණනාවකටමත් එරෙහිව දූෂණ වංචා චෝදනා බොහොමයක්ම ඉදිරිපත් වන්නේ මේ අනුවය. ගෝඨාභයගේ හා මෙහි දී අනෙක් දේශන පැවැත්වූවන්ගේ ප්‍රකාශ තුළින් ගම්‍ය වූයේ එවැනි චෝදනා ඉදිරිපත් වීම වැරැදිසහගත බවය.

වියත්මඟ යෝජනා කරන්නේ මේ නිලධාරීන්ට නිදහසේ තීන්දු තීරණ ගැනීමට අවස්ථාවක් තිබිය යුතු බවය. එහෙත් සැබෑ ලෙසම රාජපක්ෂ යුගයේ නිදහසේ වැඩ කිරීමට හැකිව තිබූ එකම නිලධාරියා ගෝඨාභය රාජපක්ෂ පමණකි. එදා සිටි ඇතැම් ඇමැතිවරයකු ඔහුව හැඳින්වූයේ නිල නොලත් ජනාධිපති ලෙසය. ඔහුගේ අණසකට සියලු රාජ්‍ය නිලධාරීන් අවනත විය යුතුව තිබිණි. මේ අනුව ගෝඨාභය කතා කරන්නේ ඔහු නිලධාරියකු ලෙස කටයුතු කළ නිදහස් හෝ හිතුවක්කාර ආකාරය ගැනය. එහෙමත් නැතිනම් ඔහුගේ නියෝගය පරිදි කටයුතු කළ අනෙක් රූකඩ නිලධාරීන් ගැන පමණකි. මේ නිසා නිලධාරීන්ට නිදහසේ කටයුතු කිරීමට ඉඩ දිය යුතු බව අවධාරණය කරන්නේ ඔහුගේ පන්නයෙන් කටයුතු කිරීමට ඉඩ දීම වඩා නිවැරැදි බව කියන්නටය.

නිලධාරීන්ට අවශ්‍ය ලෙස රටක තීන්දු තීරණ ගත හැකි නම් දේශපාලකයා අවශ්‍ය නැත. (දේශපාලකයා දූෂිත වීම වෙනම කතාවකි) පාර්ලිමේන්තුවක් ඇමැති මණ්ඩලයක් අවශ්‍ය නැත. පළාත් හෝ ප්‍රාදේශීය දේශපාලන අධිකාරයන් අවශ්‍ය නැත. එමෙන්ම රටකට නීතිය අධිකරණය යන්න ද අවශ්‍ය නැත. රාජ්‍ය හෝ ජාතික ප්‍රතිපත්තීන් අනවශ්‍යය. එනම් ඒකාධිපතියකුට හෝ ඒකාධිපති පාලන තන්ත්‍රයකට රටක් පාලනය කළ හැකි බවය. තවත් සරලව කියන්නේ නම් මේ රාජපක්ෂ පවුල් පාලන යුගයේ ලක්ෂණයන්ය.

රාජ්‍ය නිලධාරියා යනු රජයේ ප්‍රතිපත්ති පිළිගත් නීතිමය තත්ත්වයන් අනුව ඒ දැඩිව පිහිටා කටයුතු කළ යුතු පුද්ගලයකු විනා තමන්ගේ හිතුමතේට තීන්දු තීරණ ගත හැකි අයකු නොවේ. ඔහු අපක්ෂපාතී වීම හෝ ස්වාධීන වීම රාජ්‍ය ප්‍රතිපත්තීන්ට හා නීතියට යටත් වන අතර ඔහු කටයුතු කළ යුත්තේ ඒ අනුවය. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ සේවා ව්‍යවස්ථාව අනුව, රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයෙහිලා දායක වීම, ඒ ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රශස්ත උපායමාර්ග අනුගමනය කිරීම, කාර්යක්ෂම රාජ්‍ය සේවයක් සඳහා නායකත්වය හා මාර්ගෝපදේශකත්වය සැපයීම, රාජ්‍ය මුදල් සම්බන්ධයෙන් වගවීම හා වගකීම ද රාජ්‍ය පරිපාලන නිලධාරියාගේ සුවිශේෂ කාර්යභාරය අතර වෙයි. එහෙත් පසුගිය රාජපක්ෂ පාලනය තුළ ක්‍රියාත්මක වූයේ මේ නොවේ. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හමුවේ වන දස දහසකට ආසන්න පැමිණිලි සංඛ්‍යාවෙන් පවසනු ලබන සත්‍යය එයය.

කවර රාජ්‍යයක හෝ වේවා ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක යහපාලනයක් පවත්වා ගැනීම උදෙසා  විධායකයක්, ව්‍යවස්ථාදායක්, අධිකරණයක් මෙන්ම ශක්තිමත්  රාජ්‍ය සේවයක් පවත්වා ගැනීම අනිවාර්යය. රාජ්‍ය සේවය අපක්ෂපාත හා ස්වාධීන නොවූවොත් කවර පාලකයෙක් ආණ්ඩුවක් බලය අත්පත් කරගත්ත ද පුරවැසියාට ලබා දෙන සේවාවන් අපේක්ෂිත අයුරින් ඉටු නොවේ.

අල්ලස් හෝ දූෂණ පනතේ 70 වන වගන්තිය සකස් වන්නේ රාජ්‍ය නිලධාරීන්ට හෝ දේශපාලකයන්ට එලෙස හිතුමතේ කටයුතු කිරීම වැළැක්වීමටය.

ඒ අනුව, ආණ්ඩුවට අයුතු සහගත ලෙස හෝ නීති විරෝධී ලෙස පාඩු සිදු කිරීමේ හෝ තමා වෙත හෝ යම් තැනැත්තකු වෙත අයුතුසහගත ලෙස හෝ නීති විරෝධී ලෙස අර්ථ ලාභයක්, අනුග්‍රහයක් හෝ වාසියක් සිදු කිරීමේ චේතනාවෙන් හෝ ආණ්ඩුවට හෝ යම් තැනැත්තකුට අයුතුසහගත ලෙස හෝ නීති විරෝධී ලෙස පාඩු සිදු විය හැකි බව නැතහොත් යම් තැනැත්තකුට අයුතුසහගත ලෙස හෝ නීති විරෝධී ලෙස අර්ථලාභයක් අනුග්‍රහයක් හෝ වාසියක් සැලසෙන බව දැන දැනම පහත දැක්වෙන යම් ක්‍රියාවක් එනම්,

රජයේ සේවකයකු වශයෙන් වූ ස්වකීය ධුරය ප්‍රකාර කිරීමට තමාට බලය පැවරී ඇති යම් ක්‍රියාවක් කරන හෝ කිරීමෙන් වැළකී සිටින, රජයේ සේවකයකු වශයෙන් ස්වකීය ධුරය ප්‍රකාර කිරීමට වෙනත් යම් රජයේ සේවකයකුට බලය පැවරී ඇති යම් ක්‍රියාවක් ඉටු කිරීමට හෝ ඉටු කිරීමෙන් වැළකී සිටීමට වෙනත් යම් රජයේ සේවකයකු පොලඹවන, රජයේ සේවකයකු වශයෙන් ස්වකීය ධුරය ප්‍රකාර තමාට දැනගැනීමට ලැබෙන යම් තොරතුරක් පාවිච්චි කරන, රජයේ සේවකයකු වශයෙන් ස්වකීය ධුරය ප්‍රකාර යම් තීරණයක් ගැනීමේලා සහභාගි වන, රජයේ සේවකයකු වශයෙන් වූ ස්වකීය ධුරය කෙළින්ම හෝ අන්‍යාකාරයකින් හෝ පාවිච්චි කිරීමෙන් යම් ක්‍රියාවක් ඉටු කිරීමට හෝ ඉටු කිරීමෙන් වැළකී සිටීමට යම් තැනැත්තකු පොලඹවන යම් රජයේ සේවකයකු දූෂණය පිළිබඳ වරද සම්බන්ධයෙන් වරදකරු විය යුතු ලෙස දැක්වේ.

ගෝඨාභය කතා කරන්නෙ මේ නොතකා කටයුතු කිරීමට තරම් නිදහසක් රාජ්‍ය නිලධාරියාට තිබිය යුතු බවය.

තමා විසින් ඇවන්ට්ගාර්ඩ් සමාගම විසින් ඇරැඹූ පාවෙන අවි ගබඩා සංකල්පය සාර්ථකව ඉටු කළ බව මෙහි දී ගෝඨාභය විසින් පවසනු ලැබීය. එහෙත් රටට සාධනීය දෙයක් වුව ඒ ක්‍රියාත්මක කිරීමේ පිළිවෙතක් තිබිය යුතුය.

ඇවන්ට්ගාඩ් සමුද්‍රාරක්ෂක සමාගමට පා වෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට ලබා දීම අලුත් ව්‍යාපාරික සංකල්පයක් මෙන්ම රටට විදේශීය විනිමය ගෙන එන හා රැකියා විශාල සංඛ්‍යාවක් උත්පාදනය කිරීමට සමත් වූව ද එම ව්‍යාපාරික අවස්ථාව එම සමාගමට ලබා දීමේ දී ගෝඨාභය මෙන්ම එවක ආරක්ෂක අමත්‍යාංශය කටයුතු කර ඇත්තේ පිළිගත් නීතිමය තත්ත්වයන්ට එපිටින් ගොස් බවට බරපතළ චෝදනාවක් එල්ල වී තිබේ. නියමාකාරයෙන් රාජ්‍ය පාලනයක යෙදේ නම් එලෙස චෝදනා එල්ල විය නොහැකිය. මන්ද, ප්‍රජාතන්ත්‍රවාදය, විවෘත ආණ්ඩුකරණය හා රාජ්‍ය විනිවිදභාවය ඒ වෙනුවෙන්, ඒ ආකාරයෙන් නොවේනම් එතැන ඇත්තේ දූෂ්‍ය ක්‍රමවේදයක් නිසාය.

මෙම වියත්මඟ සමුළුවේ දී අනෙක් විවාදාත්මක දේශනය පැවැත්වූයේ විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න විසිනි. කමල් ගුණරත්නට අනුව ඔහුට අසන්නට ලැබුණු හිරිකිතම ප්‍රවෘත්තිය පසුගිය දා සිලාවතුර නාවික හමුදා කඳවුරේ නාවික සෙබළුන් හා ගම්මුන් අතර වූ ගැටුමෙන් පසු නාවික හමුදා කඳවුරට ශ්‍රී ලංකා පොලීසිය විසින් ආරක්ෂාව සැපයීමය. පොලීසියේ කාර්යභාරය ඔහුට හිරිකිත වී තිබේ. උතුරේ දෙමළ සංහාරයක ප්‍රධාන කොටස්කරුවකු වූ කමල් ගුණරත්න කල්පනා කරන්නේ මේ යුද හමුදාවකට රටක් පාලනය කළ හැකි බවය. ඕන ගොනෙකුට යුද්ධ කළ හැකි බව කියන්නේ නිකං නොවේ. ඒ සත්‍ය කියමනකි. යුද හමුදාවක් රටක සිවිල් යුද්ධයක් මැඩපැවැත්වීම සඳහා යොදවන්නට සිදු වන්නේ පාලකයාගේ ඇති මුග්ධභාවය හෝ අසරණකමටය. මහින්ද රාජපක්ෂ හෝ ගෝඨාභය රාජපක්ෂ යුද වීරයන් වන්නේ ඒ අනුව මිස ඔවුන්ගේ ඇති දේශපාලන නායකත්වයේ ගුණය මත නොවේ. ඒ බව කමල් ගුණරත්නලා වැනි යුද උන්මත්තක සොල්දාදුවන්ට වැටහෙන්නේ නැත. පිස්සාට අනෙකකු විසින් පිස්සකු යැයි කීවාට පිළිගන්නේ නැති සේම කමල් ගුණරත්නලා ද සිතාගෙන සිටින්නේ තමන් කරන කියන දෙයම වඩාත්ම නිවැරැදි බවය. එහෙත් ගෝඨාභය රාජපක්ෂලා මෙතරම් මුග්ධ ලෙස කල්පනා කරන්නේමැයි සිතිය නොහැක. මන්ද ඔවුන් පසුගිය කාලයේ ආරක්ෂක හමුදාවන් තමන්ගේ පෞද්ගලික දේශපාලන පලිගැනීම සඳහා ද යොදවා ගැනීම තුළ ඔවුන් විසින් සිදු කළ සටකපට යාන්ත්‍රණය ගැන ඇදක් කුදක් නොමැතිව සහතික කළ හැකි තරම් තොරතුරු හෙළිව තිබෙන බැවිනි. ගෝඨාභය රාජපක්ෂලා අපේක්ෂා කරන නිදහස් නිලධාරීවාදයට මේ මිලිටරි සාහසිකත්වය ද අයත්ය.

ශ්‍රී ලංකා යුද හමුදාවේ සුවිශේෂී මෙහෙයුම්වල යෙදී සිටි කණ්ඩායම වූයේ යුද හමුදා බුද්ධි අංශයය. මේ බුද්ධි අංශය එයට පැවරුණ නියමිත රාජකාරිවලින් බැහැරව දේශපාලන පලිගැනීම වෙනුවෙන් යොදා ගත් බව අද ඉතාම පැහැදිලිවම සාක්ෂි සහිතව ඔප්පු වෙමින් තිබේ. කීත් නොයාර් මාධ්‍යවේදියාව පැහැරගෙන ගොස් ජීවිතය නැති කිරීම සඳහා ගත් උත්සාහය සම්බන්ධයෙන් සියලු තොරතුරු මේ වන වන විට පැහැදිලිව නිශ්චය කර ගැනීමට පොලීසිය සමත්ව තිබේ. ඒ කාලකණ්ණි මෙහෙයුම් සියල්ල ගෝඨාභය රාජපක්ෂගේ සිට පහළම සොල්දාදුවා දක්වා වන සැබැඳියාව අද හෙළිදරව්ව පවතී. ලසන්ත වික්‍රමතුංග, ප්‍රගීත් එක්නැළිගොඩ, රවිරාජ් නඩරාජා, තාජුඩීන්, ත්‍රිකුණාමලයේ දී තරුණයන් 11 ක් ඝාතනය කිරීම ආදී සිදුවීම් ගණනාවක් පිටුපස යුද හා නාවික හමුදා බුද්ධි අංශය කටයුතු කළ බව පැහැදිලිවම අනාවරණය වී ඇත. එපමණක් නොව රාජපක්ෂ පාලන සමයේ දී මුස්ලිම් විරෝධී කැරලි කෝලාහල පිටුපස ද මේ යුද හමුදා බුද්ධි අංශවල සම්බන්ධතාවන් හෙළිව තිබේ.

යුද හමුදා බුද්ධි අංශය උතුරේ එල්ටීටීඊ මර්දනය වෙනුවෙන් කවර මෙහෙයුමක් කවර අර්ථයකින් සිදු කළ ද යුද හමුදා බුද්ධි අංශය යනු රාජපක්ෂලා විසින් පෝෂණය කළ ඝාතක කල්ලියකට සමාන වන අතර ඒ හිට්ලර්ගේ ගෙස්ටපො පොලීසියට දෙවෙනි නැත. ඒ රාජකාරීමය සීමාවෙන් ඔබ්බට ගොස් පෞද්ගලික පලිගැනීම දක්වා දිව ගිය එකකි. රාජපක්ෂ පාලනය අවසන් වුව එහි බලපෑම අද ද ඉතා තදින් තිබේ. වාර්තා වන ලෙස මෙම යුද හමුදා බුද්ධි අංශ ලෙස ගොනුව සිටින ස්ථිර නිලධාරීන්ගේ සංඛ්‍යාව 7,000 කට ආසන්නය. එසේම එම නිලධාරීන් යටතේ සිටින අනෙක් ඔත්තු සේවා සපයන්නන් 25,000කට ආසන්න බව කියැවේ. මේ සියලු දෙනා අද මේ සමාජය තුළ සියලු පුරවැසියන් හා ගැටෙමින් ගැවසෙමින් සිටී. අවශ්‍ය මොහොතක මේ පිරිසට අවශ්‍ය ලෙස ක්‍රියාත්මක විය හැකිය. ඔවුන්ගේ පක්ෂපාතීත්වය රාජපක්ෂවරු වේ නම් තත්ත්වය අතිශය අනතුරුදායක ලෙස කල්පනා කිරීමෙහි වරදක් නැත. රාජපක්ෂවරු තවමත් වපුරන ඊනියා දේශප්‍රේමය, සිංහල ජාතිවාදය, යුද උන්නතිකාමය අනුව මෙම කණ්ඩායම් ප්‍රජාතන්ත්‍ර විරෝධී, නීති විරෝධී කටයුත්තක් වෙනුවෙන් මෙහෙයවීම අපහසු කරුණක් නොවේ. රාජපක්ෂවරුන්ගේ උත්සාහයද ඒ විය හැකිය.

එම තත්ත්වයන් ජනාධිපතිවරයා වටහාගෙන කටයුතු කරන්නේද යන්න ගැන සැක සාංකාවක් ඔහුගේ රණවිරු ප්‍රේමය අනුව උපකල්පනය කළ හැකිය.

වත්මන් පාලකයන් එම තත්ත්වයන් වටහා ගෙන නොමැතිනම් තවත් අනතුරුදායක බව අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් ඊට පිළිතුර රණවිරු ප්‍රේමය නොවේ. මිලිටරි ආධිපත්‍යයකට යටත් කර ගත් ඊට හුරු වූ රාජ්‍යයක් එයින් නිදහස් කර ගැනීම වත්මන් පාලකයන් හමුවේ ඇති අභියෝගයකි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා එම පාර්ශ්වය රණවිරුවන් යැයි කොට්ඨාසයක් නඩත්තු කිරීම වෙනුවෙන් වෙහෙස වීමට ගන්නා උත්සාහය තුළ මේ අනතුර තවදුරටත් වර්ධනය වීම මිස වෙනෙකක් වන්නේ නැත. මෙම රණවිරුවන් හා ප්‍රශ්නයේ දී විය යුතුව තිබෙන්නේ යුද මානසිකත්වයක් රට තුළ වැපිරවීම සඳහා රාජපක්ෂවරු විසින් සිදු කළ මානසික මෙහෙයුම ආපස්සට කරකැවීමය. ඒ සිදු කළ හැක්කේ රණවිරු නාමයෙන් එම සෙබළුන් හා නිලධාරීන් යොදවා ගනිමින් සිදු කළ සාහසික අපරාධයන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම මඟහැරීම නොව වරද විනිශ්චය කොට දඬුවම් පැමිණවීම තුළය. රටක නීතිය අධිකරණය ස්වාධීනත්වය ස්ථාපිත කිරීම වෙනුවෙන් ඒ කළ යුතුය. රාජපක්ෂවාදීන් හා අතුරලියේ රතන හිමි වැනි ඊනියා දේශප්‍රේමීන්ගේ යෝජනා අනුව යුද හමුදා සාමාජිකයන් වෙන්ව සුවිශේෂී ජන කොට්ඨාසයක් කර සැලකීම නොවිය යුතුය. හමුදා සෙබළාට හෝ නිලධාරියාට අමුතු නීතියක් අවශ්‍ය නැත.

සත්‍ය ලෙසම හමුදා නිලධාරියා යන්නෙහි ගෞරවය ස්ථාපිත කළ හැකි වන්නේ ඔහු නීතිගරුක විනයගරුක, රාජපාක්ෂික නිලධාරියකු කිරීම තුළ පමණි. ත්‍රිවිධ හමුදාවේ කාර්යභාරය හා ඔවුන්ව පිහිටා තිබිය යුතු තැන ගැන පාලකයන් නිවැරැදි ලෙස තීන්දුව නොගතහොත්  අනාගතයේ දී රාජ්‍ය බලය සම්බන්ධයෙන් හමුදා කුමන්ත්‍රණයක් වුව සිදු වීමේ අනතුර තිබිය හැකි අතර ඊට ලෝක ඉතිහාසයේ උදාහරණ ද විශාල ප්‍රමාණයක් තිබෙන බව ද අමතක නොකළ යුතුය. කවර අඩුපාඩුකම් මධ්‍යයේ වුව ප්‍රජාතන්ත්‍රවාදී පාලන ව්‍යුහයක් නොකඩවා ක්‍රියාත්මක වූ මේ ශ්‍රී ලංකාව නම් භූමියෙහි ඉතිහාසයෙහි කාලකණ්ණිසහගත කළු පැල්ලම් ලකුණු කිරීම නොවිය යුතුය. මේ රණවිරු නාඩගම් නැවැත්වීම දැන්වත් විය යුතුව තිබේ. ගෝඨාභයලා වැනි අවස්ථාවාදී දේශපාලන කැට කැබිලිතිවලින් රටේ අනාගතයත් පුරවැසියාත් රැක ගැනීමට ප්‍රජාතන්ත්‍රවාදයේ නියමුවන්ට හැකි විය යුතුය. ජනවාරි 08 වන දා වූ වෙනස ඉල්ලා සිටි අනෙක් වුවමනාව එය ය.

– සුජය

උපුටාගත්තේ සත්හඬෙන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *