සුනන්ද දේශප්‍රිය
අද්මිරාල් වීරසේකර ජීනීවා පැමිණ මේ තාක් කල් අප කියමින් සිටි කරුණක් සනාථ කළේය. එබැවින් ඒ උදෙසා ඔහුට සැලියුට් එකක් ගසා කියා පටන් ගනිමි.
විරසේකර පැමිණියේ අඬබෙර ගසා ගෙනය. ශ්‍රී ලංකාවෙහි රාජපක්ෂවාදී ජනමාධ්‍ය සේනාව වීරසේකරගේ ජිනීවා ගමන හදුන්වන ලද්දේ රාජපක්ෂගේ සොලදාදුවන් වැඩ පෙන්වීමට ජීනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත පැමිණනෙන බවට හෑලි ලියමිනි. ජිනීවාහිදී අද්මිරාල් වීරසේකගේ බච්චා කොලුවා ලෙස හැසිරුණූ දිවයින පුවත් පතෙහි යුද විශේෂඥ කීර්ති වර්ණකුළසූරිය ලියා තිබුණේ විරසේකර පැමිණෙන්නේ සරවනමුත්තුට පිළිතුරු දීමට බවයි.
ඔහු රාජපක්ෂගේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන බවද එම රාජපක්ෂවාදී ජනමාධ්‍යකරුවන් විසින්ම ප්‍රසිද්ධ කරන ලදී. මේ වාර්තා මගින් තවදුරටත් කියා තිබුණේ වීරසේකර පැමිණෙන්නේ මහ කොමාසාරිස් සෙයිඩ් හමුවී ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තා දෙකක්ද පිළිගැන්වීමට බවයි.
වීරසේකරට ජිනීවා මානව හිමිකම් මණ්ඩළය වෙත පැමිණීමට අපට මෙන්ම අයිතියක් තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයෙහි ලියා පදිංචි සංවිධානයක් නියෝජනය කරමින් සමාන්තර රුස්වීම් පැවැත්වීමටත් මානව හිමිකම් මණ්ඩලය ඇමැතීමටත් අයිතියක් තිබේ. එම අයිතිය වෙනුවෙන් අපි පෙනී සිටිමු.
කාරණය එය නොවේ. ජිනීවා පැමිණි වීරසේකර දැන් රාජපක්ෂවාදින්ගේ වීරයකු ලෙස පින්තාරු කර තිබීමයි. ඇත්ත වශයෙන්ම ඔහු වීර ක්‍රියාවක් කළේය. එනම් රාජපක්ෂවාදීන් විසින් මේ තාක් අධිරාජ්‍යවාදීන්ගේ අතකොළුවක් ලෙස හදුන්වා දෙමින් තිබූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයෙන් ශ්‍රී ලංකාවේ ‘රණ විරුවන්’ සුද්ධ කර දෙන ලෙස ඉල්ලීමක් කිරීමයි.
එංගලන්තයේ පිහිටි අන්තර්ජාතික බෞද්ධ සංගමය නම් රාජ්‍ය නොවන සංවිධානය නියෝජනය කරමින් මානව හිමිකම් මණ්ඩලය ඇමැතූ වීරසේකර කියා සිටියේ මෙයයි: ශ්‍රී ලංකාවේ යුද හමුදාව යුද අපරාධ කර නැත. යුද අපරාධ කරන ලද්දේ එල්ටීටීඊය විසිනි. එබැවින් ශ්‍රී ලංකා හමුදාවන්ට දොස් සහිත චෝදනා එල්ල කරන මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ 2014 ශ්‍රී ලංකා වාර්තාව ක්‍රියාවට නැංවීම නතර කොට ඒ පිළිබඳව පරීක්ෂා කිරීමට එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයකු පත් කළ යුතුය.
මහ කොමසාරිස්වරයාගේ වාර්තාව ක්‍රියාවට නැංවීමට ජිනීවා මානව හිමිකම් මණ්ඩලය කිසිදු පියවරක් ගෙන නැත. ඔහු ඉල්ලා සිටියේ නොකෙරෙන දෙයක් නතර කරන ලෙසය.
ඔහුගේ මත දැක්වීම හැරුන විට වීරසේකර මානව හිමිකම් මණ්ඩලයෙන් කළේ එකම ඉල්ලීමකි. එනම් මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ ශ්‍රී ලංකා වාර්තාව පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීමට එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයකු පත් කළ යුතු බවයි. මෙම යෝජනාව අප සැලකිය යුත්තේ ඒකාබද්ධ විපක්ෂයේ යෝජනාවක් ලෙසය. මන්ද යත් මේතාක් වීරසේකරගේ යෝජනාවට තමන් සම්බන්ධ නැතැයි රාජපක්ෂ කියා නැති නිසාය.
එම යෝජනාව සමඟ මම ද එකඟ වෙමි. මන්ද යත් එවැනි විශේෂ නියෝජිතයකු පත් කළ විට ඔහුට හෝ ඇයට ශ්‍රී ලංකාවට පැමිණ අදාළ සියළු පාර්ශව සමඟ සාකච්ජා කර අවශ්‍ය ගවේශණ සිදු කර යුද සමයෙහි සිදුවූ බවට චෝදනා කැරෙන යුද අපරාධ පිළිබඳ සත්‍ය හෙළිදරව් කර ගත හැකි නිසාය.
තනි තනි රටවලට අදාළව පත් කරන ලද විශේෂ නියෝජිතයින් ගණනාවක්ම මෑත වසරයන්හි මානව හිමිකම් මණ්ඩළය විසින් පත් කරන ලදී. අප දන්නා මර්සුකි දරුස්මාන් කාම්බෝජය පිළිබඳ විශේෂ නියෝජිතයා විය. විශේෂ නියෝජිතයින් පත් කරන ලද එවැනි රටවල් කිහිපයක් නම් සෝමාලියාව, මියන්මාරය, සූඩානය, උතුරු කොරියාව, හයිටිය, ඉරිත්‍රියාව යනාදියයි
මෙම රටවල නාමාවලිය දෙස බැලීමෙන්ම පෙනී යන්නේ මෙවැනි නියෝජිතයින් පත් කරනු ලබන්නේ ඉතා දරුණු මානව හිමිකම් කෙළෙසීම් වාර්තාවූ රටවලට බව පැහැදිළිය. දැන් ඒකාබද්ධ විපක්ෂ නියෝජිත වීරසේකරද ශ්‍රී ලංකාව ඇතුලත් කර ඇත්තේ එම රටවල් ගොන්නටය.
රාජපක්ෂවාදී පිරිස් අප වැනි අයට රාජද්‍රෝහී ලේබලය ඇලවීමට උත්සාහ කරන ලද්දේ මානව හිමිකම් කොමසාරිස්වරයාගේ කාර්යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටුවන ලෙසත් යුද සමයෙහි සිදුවූ බවට චොදනා කැරෙන මානව හිමිකම් කෙළෙසීම් පරීක්ෂා කළ යුතු බවටත් මානව හිමිකම් මණ්ඩලය හමුවෙහි ප්‍රකාශ කරන ලද නිසාය. දැන් රාජපක්ෂ නියෝජිත වීරසේකර කර ඇත්තේ ඊට බොහෝ දුර දිග යන යෝජනාවකි. එනම් ශ්‍රී ලංකාවෙහි යුද සමයෙහි සිදුවූ බවට චෝදනා කැරෙන අපරාධ සම්බන්ධයෙන් ඇත්ත නැත්ත විමර්ශණය කිරීමට එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයකු පත් කරන ලෙසයි.
පරීක්ෂා කළ යුතු බවට වීරසේකර සඳහන් කරන මහ කොමාසාරිස්වරයාගේ ශ්‍රී ලංකා වාර්තාව දීර්ඝ සහ විස්තරාත්මක එකකි. එහි යුද සමයෙහි සිදුවූ බවට චෝදනා කැරෙන අපරාධ සම්බන්ධ දීර්ඝ විස්තර සඳහන්ය. එක් උදාහරණයක් නම් සුදු කොඩි සිදුවීමයි. ඊට අදාළව එවකට ජනාධිපති වූ රාජපක්ෂ විසින් දෙන ලද පොරොන්දු සහ එවකට නිව්යෝක්හි එක්සත් ජාතීන්ගේ රාජපක්ෂ නියෝජිතයා වූ පාලිත කොහොන යනාදීන් සම්බන්ධ සාක්ෂි ද තිබේ. පැහැදිලිව හදුනාගත හැකි සොල්දාදුවකු විසින් ඝාතනය කරන ලද එල්ටීටීඊ සාමාජිකාවගේ මළ සිරුරෙහි තවමත් රශ්ණය ඇති බැවින් ඒ හා රමණය කරන ලෙස කෑ ගසන වීඩියෝවක් ද තිබේ. තවත් සිදුවීමක් නම් 2009 මැයි 19වන දින කිලිනොච්චියේදී යුද හමුදාවට බාර කරන ලද එල්ටීටීඊ ප්‍රධානීන් පසුව අතුරුදහන්වීමයි. එම එල්ටීටීඊ නායක පිරිස යුද හමුදා අත් අඩංගුවේ සිටින බවට වාර්තාවක් පවා දිවයින පුවත්පතෙහි පළ කරන ලදී. එම අවස්ථාවෙහි සිය සැමියා එල්ටීටඊටට බාරදුන් බවට සාක්ෂි දරන ස්ත්‍රීන් ගණනාවක්ම සිටිති. ඔවුන්ගේ ආරක්ෂාව සහතික කරනු පිණිස එම බස් රථයට නැගි ජෝෂප් නම් කතෝලික පියතුමාද අතුරුදහන් කර තිබේ. එමෙන්ම ශ්‍රී ලංකා ඝාතන භූමිය යනුවෙන් චැනල් ෆෝ රූපවාහිනිය විසින් නිපදවන ලද වාර්තා චිත්‍රපටයෙහි එන සාක්ෂි ද තිබේ.
දැන් වීරසේකරගේ මෙම ඉල්ලීම මානව හිමිකම් මණ්ඩලය පිළිගන්නේ නම් මෙවැනි බොහෝ සිදුවීම් පිළිබඳව ශ්‍රී ලංකාවටම පැමිණ පරීක්ෂා කිරීමට එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයකුට අවස්ථාව සැළසෙනු ඇත. මේ වනාහී ශ්‍රී ලංකාවෙහි සිදුවූ බවට චෝදනා කැරෙන යුද අපරාධ සම්බන්ධයෙන් අන්තර් ජාතික පරීක්ෂනයක් ඉල්ලා විවිධ මානව හිමිකම් සංවිධාන සහ ශ්‍රී ලංකික ඩයස්පෝරාව විසින් කළක් තිස්සේ කරගෙන එන උද්ඝෝෂණයට රාපපක්ෂගේ ඒකාබද්ධ විපක්ෂයද එක්වීමකි.
මෙම යෝජනාව මගින් අද්මිරාල් වීරසේකර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ බලාධිකාරය පිළිගනී. ඔහුගේ ප්‍රකාශයෙහි කිසිදු තැනෙක මානව හිමිකම් මණ්ඩලය අධිරාජ්‍යවාදීන්ගේ අතකොලුවක් යැයි කියා නැත.
ඇත්ත වශයෙන්ම නම් ඔහුට ප්‍රකාශයන් දෙකක්ම කිරීමට අවස්ථාව ලැබුණි. නමුත් දෙවතාවෙහිදීම ඔහු විසින් කියවන ලද්දේ එකම ප්‍රකාශයයි. ඊට එහා දෙයක් කීමට ඔහුට අවශ්‍යතාවයක් නොවූ බව ඉන් පැහැදිළිය.
අදමිරාල්ගේ බච්චා කොලුවා ලෙස ජිනීවාහි හැසිරුණු කීර්ති වරණකුලසූරිය විසින් වීරසේකර මානව හිමිකම් මණ්ඩලය අමතන අවස්ථාවෙහිදී ජංගම දුරකථනයකින් ගන්නා ලද සියලු ජායාරූප එහි ආරක්ෂක නිලධාරීන් විසින් මකා දමන ලද්දේ දුරකථනය අත් අඩංගුවට ගැනීමෙන් පසුය. අප ගැන ලියන බච්චා කොලුවා ඒ ගැන නිහඩය.
මේ බච්චා කොලුවා සිය පුවත්පත මගින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ උනන්දුවක් දක්වන බ්‍රිතාන්‍ය ජාතික ඩේව්ඩ් වේලිට චෝදනා කරමින් කියා තිබුණේ ඔහු බ්‍රිතාන්‍ය ඔත්තුකරුවකු බවයි. බච්චා කොලුවාගේ පැරණි ලිපිවලද වේලිට දිගටම පහර දී තිබුණි.
එසේ නමුත් අප බොහෝ දෙනෙකුට අවලාද නගමින් පසුගිය 29ද සිය පුවත්පතෙහි පළකරන ලද ලිපියක් මගින් මේ බච්චා ඩේවිට් වේලිට කිසිදු පහරක් ගසා තිබුණේ නැත. පුදුමයි නේද?
ඊට හේතුව නම් සරත් වීරසේකර මෙරටින් ගෙන ගිය වාර්තා දෙක මානව හිමිකම් කොමසාරිස්වරයාගේ කාර්යාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ අංශයට බාරදීමට අවස්ථාව සළසා දුන්නේ අර බ්‍රිතාන්‍ය ඔත්තුකරුවකු යැයි පහර දුන් ඩේවිඩ් වේලි විසින්ම වීමයි. එපමණක් නොව සරත් වීරසේකර සමඟ වේලි පැවැත්වූ දීර්ඝ සාකච්ජාවටද බච්චා කොලුවා සහභාගි වී සිටියේය!
මේ ඊනියා ඔත්තුකරුවා නොසිටින්නට සරත් වීරස්කරට සිදුවන්නේ එම වාර්තා දෙක ජිනීවා විලෙහි ගිල්වා ඉන් වතුර උගුරක් වී ආපසු එන්නටය.
අද්මිරාල් තුමනි, ඔබේ යෝජනාවට මගේ සම්පූර්ණ සහාය. කෙසේ හෝ ශ්‍රී ලංකාවේ යුද සමයේ ඇත්ත හෙළි කර ගැනීමට එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයතු ගේන්වා ගන්න. සත්‍ය යටපත් කළ නොහැක. එබැවින් ඔබේ යෝජනාවට ජයවේවා!
උපුටාගත්තේ ශ්‍රී ලංකා ගාර්ඩියන්