උපුටාගැනීම්විශේෂාංග

ආරක්‍ෂක අමාත්‍යාංශයේ හිතන ටැංකිය ( Think Tank) කොයිබටද?

නිලන්ත ඉලංගමුව

පැවති පාලක පන්තිය පෙරලා දමා සමාජවාදී ආණ්ඩුවක් තැනීම සඳහා 1971 දී රටේ සිංහල තරුණ තරුණියන් විසින් සිදුකළ කැරැල්ල සිදු වී පසුගිය අප්‍රේල් පස්වැනි දිනට වසර 46ක් සම්පූර්ණ විය. බොහෝ දෑ සිදු විය. ඒ ගැන බොහෝ දෑ ලිව්වෝය, විවිධ අදහස් ලෝකය පුරා ව්‍යාප්ත විය. එසේම කාලයාගේ අවෑමෙන් එක් දේශපාලන අරමුණක් වෙනුවෙන් පෙළගැසුණු පිරිස් විවිධ පෞද්ගලික අභිමතාර්ථයන් මුදුන් පමුණුවා ලීම සඳහා විවිධ කණ්ඩායම් වලට බෙදී තම තමන්ගේ වින්දනය ලැබුවෝය. ඊට සමගාමිව රාජ්‍යය යාන්ත්‍රනය විසින් සිදු කරනු ලැබූ මර්ධනය විවිධ හැඩ තල ගනිමින් වඩාත් තියුණු බවක් පෙන්නුම් කළ අතර එය විසින් සිදු කරනු ලැබූ හෝ සිදු කිරීමට තල්ලු කරනු ලැබූ බොහෝ දෑ විසින් රටේ විශාල පිරිසක් මරා දැමූහ. පරිපාලනයේ මූලික අවිය බවට “ සමාජ බිය” පැතිරවීම සහ එමඟින් සෑම අයෙකුම මූලික මර්ධනයකට නතු කිරීමට වඩාත් උපායශීලීව සමත් විය.

අප්‍රේල් කැරැල්ල

අප්‍රේල් කැරැල්ල සම්බන්ධයෙන් ලියවෙන බොහෝ දෑ වල අඩංගු වන්නේ රාජ්‍යයට බැනවැදීම සහ එහිදී රාජ්‍යය විසින් සිදුකල මනුෂ්‍යය ‘සංහාරය’ පිළිබඳ විවිධ අර්ථ නිරූපණ ලබා දීම් වලට මූලික අවධානය යොමු කිරීමය. එමඟින් තමන් පිළිබඳව සිදුකළ යුතු තමන්ගේ අගුණ ගැන සිදුකරණ අර්ථ නිරූපණයට අඩු සාන්ද්‍රණයක් ලබා දෙති. 1971 කැරැල්ල යනු, රාජ්‍යය යාන්ත්‍රණයට එරෙහිව තම පටු අවබෝධයන් පෘථුල දැනුම් සම්භාරයක් ලෙස අධිතක්සේරු කොට අවසන් විනිශ්චයකට එල්බ ගනිමින් සිදුකළ අඥාන සෙල්ලමක් බව පිළිගැනීම බොහෝ “විප්ලවවාදීන්” ශූක්ෂ්මව මඟ හරිනු ලැබූ කාරණයකි. ඒ වෙනුවට තමන් කේන්ද්‍රීයව ලෝකය ගැන සිතා තීරණ ගැනීම සහ තමන් විසින් තැනිය යුත්තේ වන්දනාමාන කරන අනුගාමිකයින් මිස තමන්ට වඩා ඉදිරියට ගොස් ලෝකය දකින පිරිස් නොවේය; යන බමුණු සංකල්ප වල එල්බ ගනිමින් රටට හිමි වූ බොහෝ අවස්ථා අපහරණය කිරීමට සමත් විය.

යමක් සිදුකොට වැරදුනු පසු ඒ සම්බන්ධයෙන් බරපතළ ස්වයං විවේචනයක් මෙන්ම එය යළිත් පක්ෂය තුළ හෝ පිටත සිදු නොවීමට වග බලා ගැනීම සාර්ථක දේශපාලන පක්ෂ හෝ ව්‍යපාර විසින් සිදුකළ කාරණයකි. නමුත් මෙරට බොහෝ සමාජ සහ දේශපාලන ව්‍යාපාර ඒක පුද්ගල-කේන්ද්‍රීය ස්වභාවක් ගෙන තිබේ. එමඟින් සිදු කොට ඇත්තේ වාසියකට වඩා හානියකි. මෙය සංස්කෘතියේ මූලික එන්ජිම බවට පත්වී තිබේ.

එමඟින් රාජ්‍යය යාන්ත්‍රණය විසින් සිදුකරණ මර්ධනය තව තවත් තියුණු කරනු ලැබීය. එය නඩත්තු කිරීම සඳහා පුද්ගලයින් බලයට පත්වීම මිස එම ක්‍රමය වෙනස් කිරීම සඳහා පුද්ගලයින් පත්වූයේ නම් සිදුවූයේ ඉතාම කළාතුරකිනි. එලෙස පත් වූ පුද්ගලයින්ට දීර්ඝ කාලයක් රැඳී සිටීමට නොහැකිවීම හෝ තම ප්‍රතිපත්ති නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට හැකි පරිසරය ක්‍රමානුකූලව අවහිර කරනු ලැබීය. ඔවුහු ක්‍රමය තුළ ගොදුරු බවට පත් වී දේශපාලනික වශයෙන් පරිහානියට ලක්වූ අතර එසේ නොවුණු බොහෝ දෙනෙකුට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු විය. මෙම සමස්ථ ක්‍රියාවලීය තුළ සිදු වූයේ විකල්ප දේශපාලන ව්‍යාපාරයක් විසින් මුලින්ම ඇතිකළ යුතු ජනතාව අතර විශ්වාසය ගොඩ නැගීමට අවශ්‍යය පරිසරය ක්‍රමයෙන් අහිමි වීමය. එසේම එම විශ්වාසය ඇති කිරීම සඳහා හෝ තුලනාත්මක සංවාදයක් ජනතාව අතර ඇති කිරීම වෙනුවට කල්ලි නිර්මාණය කර ගැනීමක් දැක ගත හැකි විය. ඔවුහු හුදු විවේචකයින් පමණක් වූහ.

විප්ලවයක මූලාරම්භය වූ කලී කියවීමය. කියවීමට අවශ්‍යය පරිසරය සහ නිදහස අනෙකාට ලබාදීමය. ඉන් තොර විප්ලවයක් නොමැත. පාට හෝ විවිධ පුද්ගල සෙයාරූ වලට ලොල් වෙමින් ඊට ආලය පෑමෙන් විප්ලවයක් සිදුවන්නේ නැත.මීට දින කිහිපයකට පෙර ප්‍රසිද්ධ කරනු ලැබූ “චේ – මගේ සහෝදරයා” නමැති ග්‍රන්ථය ඔස්සේ ආර්නස්ටෝ චේ ගුවේරාගේ දේශපාලනය ගැන ඔහුගේ සහෝදරයකු වන ජුවාන් ගුවේරා කදිම අදහසක් ඉදිරිපත් කළේය.

එනම්, චේගේ දේශපානය විකෘති කොට ඇති බව සහ එය අභිවන්දනයක් ( කල්ට්) බවට පත්කොට ඇති බවයි. සත්‍යය වශයෙන්ම ආසියානු රටවල් බොහෝමයක දැක ගත හැකි කරණය වන්නේ මෙයයි. හැදෑරීම සහ සමස්ථ සමාජයේ අභිනවය උදෙසා සුදුසු ලෙස සහ වර්තමාන තත්වයට ගැලපෙන අයුරින් වෙනස් කොට ප්‍රතිපත්තිමය වශයෙන් අනුගමනය කිරීමට හැකි පිරිස් නිර්මාණය කිරීම වෙනුවට තම මඩිය තරකර ගැනීමට මන බැලීම බොහෝ දෙනෙකු සිදුකළ කාරණයකි.

සමාජයේ උන්නතිය වෙනුවෙන් පෘථුල මෙහෙවරක් සිදුකළ පිරිස් විසින් දායාද කළ දෑ මෙන්ම ඔවුන්ගේ ප්‍රතිමා සහ ප්‍රතිරූප මෙන්ම සංකල්ප සුළු පිරිසක් ඒකරාශී කරගෙන පුහු වීරත්වයක් ආරූඪ කර ගැනීම සඳහා අවභාවිතා කිරීම දැක ගත හැකිවිය. අපට යමක් මඟහැරී තිබේ.

සමාජ ව්‍යාපාර වලදී වැඩිම වශයෙන් වන්දි ගෙවීමට සිදුවන පිරිස වන විශ්ව විද්‍යාල මෙන්ම උසස් අධ්‍යාපනය හදාරණ පිරිස් විසින් සමාජ විප්ලවාදීන්ගෙන් ඇසිය යුතු එක් වැදගත් ප්‍රශ්ණයක් සෑම විටම අමතක කොට තිබේ. සමාජවාදයට ලැදිකමක් දක්වන පිරිස් හට හැදෑරීම සඳහා මීට දශක ගණනාවකට පෙර සෝවියට් දේශයේ ආධාර මත පරිවර්තනය කරනු ලැබූ කෘතීන් හැරෙන්නට වර්තමාන පරිසරය තුළ දැනුම වර්ධනය කිරීම සඳහා සිදුකොට ඇති මෙහෙවර කුමක්ද යන්නය? පක්ෂ වලට ලැබෙන මුදල් වලින් සැලකිය යුතු ප්‍රතිශතයක් මොළ ශෝධනය කොට තමන්ගේ ගූඪ අනුගාමිකයින් තැනීමට නොව විශ්ව දැනුම ඒකරාශී කරගෙන සැබෑ සමාජ ශෝධකයෙකු වීමට අවශ්‍යය පන්නරය ලබා දීමට සමත් වන්නේද? මෙම මූලික කාරණය විසඳීමකින් තොරව වංචාකාරී සහ අන්ත දූෂිත රාජ්‍යය යාන්ත්‍රනය සහ ඉන් තම පෞද්ගලික වාසි ලබා ගන්නා “මුදලාලිලා” කිහිප දෙනෙකු විසින් අධ්‍යාපනයට සිදුකොට ඇති විනාශයට තත්කාලීන විසඳුම් සේවය හැකි නොවේ. අනෙකුත් ගැටලුද එසේමය. විස්වාසය ඇති කිරීම සඳහා මෙන්ම සමාජය ශෝධනය කිරීම සඳහා ලබා දිය යුත්තේ දැනුම මිස අනෙකාට ඇති දේ ගැන වෛර බැඳීමට හුරු කිරීම නොවේ.

ආරක්ෂක අමාත්‍යංශයේ හිතන ටැංකියේ මාළු බාන්නේ කවුරුන්ද?

වසර තිහකට ආසන්න කාලයක් තිස්සේ මෙරට සිදු වූ උග්‍ර ප්‍රචණ්ඩත්වය සහ ඉන් පසු වසර අටකට වැඩි කාලයක් තිස්සේ සමාජය තුළ සිදුවී ඇති තත්වය ගැන සඳහන් කළ යුත්තේද එයයි. යුද්ධය අවසාන භාගය වන විට “අභිවන්දනයක්” දක්වා ගමන් කළ “රණවිරුවා” රටේ ප්‍රමුඛ “ දේශපාලන වෙළඳ භාණ්ඩයක්” බවට පත් විය. බෙදී ගිය සමාජය ඒකරාශී කිරීමේ වැඩපිළිවෙලක් වෙනුවට එම බෙදීම තව තවත් තියුණු කිරීමට ඇති මානයන් ගැන බොහෝ පිරිස් කල්පනා කරනු ලැබූහ.

මේ අතර තවත් වැදගත් කාරණයක් සිදු විය. එනම්, රටේ සිදු වූ සමාජ සහ දේශපලාන සංසිද්ධිය ගැන හැදෑරීමට බොහෝ පිරිස් යොමු වීමය. එය සිදු විය යුතු කාරණයක් මෙන්ම, රටේ සිදු වූ සිදු වීම් ගැන තව තවත් සාහිත්‍යය ලිවිය යුතු වේ. සාහිත්‍යකරණයේදී දැක ගත හැකි බොහෝ අංග ලක්‍ෂණ වෙති. අයෙකු තාවකාලීක ප්‍රසිද්ධියක් උදෙසා එය සිදු කරනු ලබයි. තවකෙකු තමන්ට ලබා ගත හැකි පෞද්ගලික වාසියක් උදෙසා එය සිදු කරති. තවත් පිරිස් ගැටුම් සම්බන්ධයෙන් තුලනාත්මකව දැක, ඊට ගොදුරු වූ අයට මෙන්ම අනාගතයේ එවැනි දෑ සිදු වීමේ අවදානමෙන් අනාගත පරමපරාව මුදා ගැනීම සඳහා සාහිත්‍යකරණය කරති. මෙරට පැවති ගැටුම් සම්බන්ධයෙන් හදාරණු ලැබූ බොහෝ දෙනෙකු මින් කුමන හෝ පාර්ශවයකට අයත් පිරිසක් වෙති. සමාජයක සිදුවන ප්‍රායෝගික සිදුවීම් වල සැබෑ අත්දැකීම් යනු ඉහළ වටිනාකමක් ඇති ජාතික සම්පතකි.

නමුත් ගත වූ කාලය තුළ දැක ගත හැකි වූ මූලික කාරණයක් වන්නේ රාජ්‍යය විසින් රටේ ගැටුම් ගැන හැදෑරීම සඳහා නිර්මාණය කළ ආයතන වල දැක ගත හැකි බරපතළ අවාසි සහගත තත්වයයි. මෙහි එක් කාරණයක් ඉතාම කෙටියෙන් මෙම තීරුවේදී සඳහන් කිරීම වැදගත් යැයි සිතේ. එනම්, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතාගේ අනුමැතිය මත, ත්‍රස්තවාදය ගැන එක්තරා විශේෂඥයෙකුගේ සංකල්පයක් මත නිර්මාණය කරනු ලැබූ ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව ගැන අධ්‍යනය කිරීමේ ආයතනයයි. මෙම විශේෂඥයාගේ සැබෑ පාට හඳුනා ගැනීමෙන් පසු පසුගිය කාලයේ සේවය කළ බුද්ධි අංශ ප්‍රධානියෙකු ඔහු එලවා දැමු බව සඳහන්ය. එසේම එක්තරා ද්‍රවිඩ ජාතික ඔත්තුකරුවෙකු හෙතමට පරුෂ වචනයෙන් බැන තම දුරකථනය විසන්දි කරනු ලැබුවේ සැබෑ පාට හඳුනා ගැනීමෙන් පසුය. නමුත් යළිත් පැරණි වෙස්මුහුණ වෙනුවට වෙනස් මුහුණක් දමා තම නාටකයේ පසුතලය වෙනස්කොට ඇත. මෙරට ජාතික අරාක්ෂාව සම්බන්ධයෙන් විමසීම, තොරතුරු එකතු කිරීම, විශ්ලේෂණය කිරීම මෙන්ම උපදෙස් දීම සම්බන්ධයෙන් රාජ්‍යය අනුග්‍රය යටතේ නිර්මාණය කළ “හිතන ටැංකියක්” ( තින්ක් ටෑන්ක්) ලෙස මෙම ආයතනය හඳුන්වා දී තිබේ.

මෙහි අධ්‍යක්ෂක ධූරය සඳහා දේශපාලන ප්‍රතිවාදීන් විසින් ඝාතනයට ලක් වූ දේශපාලනඥයෙකුගේ පුත්‍රයෙකු සේවය කරන අතර හෙතම රටේ ඉහළ තනතුරු වලට පත් වූ “ලාබාලතම” පුද්ගලයා මම යැයි කියා ගැනීමේ මේනියාවෙන් පෙළෙන්නෙක් බව ඔහුගේ සමාජජලා අඩවි දෙස බැලීමෙන් දක්නට ලැබේ. මෙවැනි ආයතන තමන්ගේ බූදලයෙන් හෝ වෙනත් අයෙකුගේ පෞද්ගලික ධනයෙන් රටේ නීතියානුකූල රාමුව තුළ සිදු කරන්නේ නම් ගැටලුවක් නැත. නමුත්, මෙවැනි ආයතන සඳහා රජයේ මුදල් මෙන්ම රාජ්‍යය නිලධාරීන්ගේ අනුමැතිය අවශ්‍යය වේ. එසේම මේ ඔස්සේ රටේ සෑම රාජ්‍යය රහසක්ම කිසිම “පරිශාවකින්” තොරව බෙදා හැරීමට හැකි භයානක පරිසරයක් සකස් වේ. මෙහි ඇති භයානක තත්වය වන්නේ, විෂය දන්නා අයෙකු විසින් විෂය තම පෞද්ගලික අභිලාෂයන් මුදුන් පමුණුවා ගැනීම සඳහා විෂය නොදන්නා පුහු ප්‍රසිද්ධියක් වෙනුවෙන් කටයුතු කරන්නෙකු රටේ මූලික න්‍යෂ්ඨිය වන ජාතික ආරක්‍ෂාවේ මූලධර්ම සහ පුද්ගල චරිත අයාලයේ හෙළීමය.

අදාළ ආයතනය රාජ්‍යය ආයතනයක් ලෙස හඳුන්වන්නේ නම්, එහි මතය රාජ්‍යය පරිපාලනය කරන ආණ්ඩුවේ මතය වේ. එය එසේනම්, අදාළ ආයතනයේ ප්‍රධානියා මෑතකදී ඉන්දියාවට ගොස් සිදුකළ එක්තරා අලුගුත්තේරු පන්නයේ දේශනය ගැන රටේ ආරක්ෂක අමාතංශයේ ලේකම්වරයාට කීමට ඇත්තේ කුමක්ද? ආරක්ෂක ලේකම්වරයා සම්බන්ධයෙන් හෝ මෙම හිතන ටැංකියේ මාළු බාමින් සිටින “කූඨ” බුද්ධිමතුන් ගැන කිසිම පෞද්ගලික අමනාපයක් කිසිවෙකුට නැත. නමුත් මෙම ආයතනය කටයුතු කරනු ලබන්නේ රටේ දහස් ගණන් ජීවිත පරිත්‍යාග කොට රට ලෝකයට ණයකාර රටක් බවට පත් කරනු ලැබූ විෂය ක්ෂේත්‍රයේ මෙහෙයුම් කරුවා ලෙස රජයේ මුදල් වලිනි. එවැනි විෂයක් සමඟ ගනුදෙනු කළ යුත්තේ විෂය ගැන ප්‍රායෝගික දැනුමක් මෙන්ම එහි බරපතලකම ගැන දන්නා පිරිස් නොවන්නේද? එවැනි පිරිස් සිටිති. නමුත් ඔවුහු තෝරා ගෙන ඔවුන්ගේ ජීවිත වලින් රටට ප්‍රයෝජනයක් ගැනීම අත්‍යවශ්‍යය වේ. ටැංකි නිර්මාණය කිරීම මෙන්ම ඒවා හිතන ටැංකි බවට පත්කිරීමට අවශ්‍යය වන්නේ නම් වැදගත් වන්නේ ස්වාධීන බුද්ධිමතුන් සහ විෂය ගැන ප්‍රායෝගික දැනුම ඇති අයවලුන් තොරගැනීමය. නායකත්වයක වගකීම එය නොවන්නේද?

මෙය ආරක්ෂක අමාත්‍යාංශය තුළ සිදු වූ ඉතාම බරපතළ සහ අනාරක්‍ෂිත කටයුතු වලින් එකක් පමණි. මෙවැනි දෑ සම්බන්ධයෙන් මනා පරීක්ෂාවකින් තොරව කටයුතු කිරීමෙන් රටට ලබාදෙන ආදර්ශය කුමක්ද? රාජ්‍යය ආයතනයක් ස්ථාපිත කළ පමණින් බොහෝ දෙනෙකු උකුසු ඇස් යොමා බලා සිටින්නේ තමන්ගේ දරුවකු හෝ නෑදෑයෙකු ඊට ඔබන්නේ කෙසේද යන්න පමණක්ද? මෙම හිතන ටැංකිය තුළ සිදු වී ඇත්තේද මෙයයි. ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ පිරිස් වලට මෙන්ම රටේ අභිමානයට සිදුකළ හැකි තවත් අපහාසයක් තිබේද?

උපුටාගත්තේ ශ්‍රී ලංකා ගාර්ඩියන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *