(පසුගිය වෙසක් පොහොය වෙනුවෙන් ගල්කන්දේ ධම්මානන්ද හිමි සත්හඬට ලබාදුන් සාකච්චාව අදත්…….යළිත්…….)
මේ වෙසක් පොහොයේ ඔබවහන්සේ මොකක්ද බෞද්ධයන්ට ලබා දෙන පණිවුඩය?
බුදු හාමුදුරුවෝ රජ කුමාරයෙක් විදිහට බොහොම හොඳ ජීවිතයක් ගත කරන්න තියෙද්දී වෙනත් බොහෝ වෙනස් මැදිහත් වීමක් කළා. උන්වහන්සේ අවසන් හුස්ම හෙළන තුරුම පටන් ගත්ත වැඩ කොටසේ අවංකවම යෙදෙනවා.
වෙසක් උත්සවය එළැඹෙන මේ මොහොතේ රටේ ලොකු විනාශයක් සිදු වෙලා තියෙන්නේ. මේ මොහොතේ බෞද්ධයා කළ යුත්තේ කුමක්ද?
මට කාරණා දෙකක් කියන්න පුළුවන්. එක තමයි වියදම් කරමින් කරන උත්සව වෙනුවට ඒ වියදම් කරන්න අපේක්ෂා කරන සියලූ සම්පත් යොමු කරන්න මේ විපතට පත් වුණ පුද්ගලයන් සුවපත් කරන්න. කිසිම උත්සවයක්, පිංකමක්, සල්ලි වියදම් කරලා කරන දෙයක් කරන්න එපා. වෙන එකක් තබා ප‍්‍රධාන පන්සල්වල වෙසක් වෙනුවෙන් විශාල විදුලි බුබුළු ප‍්‍රමාණයක් දල්වන එක පවා මම කියනවා අපරාධයක්. මම කියන්නේ මිනිස්සු සංවිධානය කරන උත්සව, දන්සල් විතරක් නෙවෙයි හාමුදුරුවරු පන්සල්වල විදුලි බුබුළු දාලා මොකක් හරි කරන්න හිටියා නම් තීරණය කරන්න අපි ඒක කරන්නේ නෑ මේ සැරේ. ඒකෙන් මිනිස්සුන්ට ලොකු පණිවුඩයක් දෙනවා, අපි ඔක්කෝම සංවේගයට පත්වෙනවා කියලා. ඒ මුදල්, සම්පත් සහ ශ‍්‍රමය යොමු කරන්න මේ විපතට පත් වෙලා ඉන්න මිනිස්සුන්ට උදව් කරන්න, සහනය සලසන්න. ඒක මගේ පළවෙනි ඉල්ලීම.
දෙවනි එක විදිහට මම කියනවා රට පුරාම ඉන්න බෞද්ධ ජනයා පන්සල්, වෙහෙර විහාරවලට එකතු වෙනවා, එතකොට සීල ව්‍යාපාර ආදී දේවල් වෙන්න පුළුවන්. මම දැඩි විදියට අවධාරණය කරනවා මිනිස්සුන්ට සහකම්පනය ඇති වන විදිහට වැඩ කරන්න. ඔබ හිතන්න ඔබේ නිවසයි නාය යෑමෙන් කුඩු වුණේ, ඔබේ දරුවන් තමයි ඒ නැති වුණේ. අන්න ඒ විදිහට අර විපතට පත් මනුෂ්‍යා ගැන හිතන්න. ඒ කම්පනය ඇති කර ගන්න. ඒ විදියට වෙනවා නම් විපතට පත් මිනිස්සුන්ට පණිවුඩයක් යනවා ඔවුන් තනිවෙලා නෑ කියලා. ඒක ඔවුන්ට සන්නිවේදනය වුණාම එය ඔවුන්ට ශක්තියක් වෙනවා සුවපත් වෙන්න. සියලූ දේ අහිමි වීමෙන් පසු ඉතිරි වෙන්නේ මානසිකව තුවාල වුණ මිනිස්සු. මුල් කාරණාවට අයිති වෙන්නේ භෞතික දේවල්. මේකට අයිති වෙන්නේ අධ්‍යාත්මික දේවල්. ඒකට මිනිස්සු දැනුවත් කරන එක, සහකම්පනය ඇති කරන එක. ඔන්න ඔය දෙක තමයි වෙසක් වෙනුවෙන් කරනවා නම් කළ යුතු උසස් දේ විදිහට මම දකින්නේ.
ඔබවහන්සේ විශේෂ වෙසක් දින ප‍්‍රකාශයක් නිකුත් කරලා තියෙනවා. අපි කැමැතියි ඒ ගැන යමක් දැනගන්න?
‘බහුජන හිතාය’ කියන You Tube නාලිකාව ඔස්සේ අපි වරින් වර මේ සමාජය දැනුවත් කිරීම සඳහා සමාජයට යා යුතු දැනුම කාලයක් තිස්සේ මුදා හරිමින් හිිටියා. මේ වෙසක් එකටත් ඒ වගේ පණිවුඩයක් නිකුත් කළා. ඒ පණිවුඩයේ දී අපි අවධානය යොමු කළේ සාමාන්‍යයෙන් පොදුවේ අවධානයකට ලක් නොවෙන නමුත් ඉතාම බරපතළ වූ ප‍්‍රශ්නයක් ගැන. අපි අවධානය යොමු කරන්නේ පසුගිය යුද්ධය ගැන. අපේ අදහස ඒ යුද්ධයට පාත‍්‍ර වුණ සියලූ පාර්ශ්ව ස්වාභාවික මට්ටමේ ඉන්න අය නොවෙයි කියන එකයි. අපි ඒකට එන්නේ බෞද්ධ ඉගැන්වීමක් පදනම් කරගෙන. ඒ ඉගැන්වීම තමයි අනිත්‍යතාව. හැමවෙලේම වෙනස් වෙනවා කියන එක. ඒ වෙනස්වීම සිද්ධ වෙන්නේ අත්දකින්නට ලැබෙන අත්දැකීම්, තමන්ට කරන්න සිද්ධ වෙන දේවල් ඒ සියල්ල තුළින්. අපි ගමු යුද්ධයට සම්බන්ධ වුණ සොල්දාදුවෝ. තමන්ගේ ජීවිතය ගැන සැක සහිතව යන කෙනාට කරන්න සිද්ධ වෙන දේවල් සමහර විට තමන් පුංචි කාලේ ඉඳන් ගෙනාපු සාර්ධර්ම එක්ක එකඟ වන දේවල් නොවෙන්න පුළුවන්. ඒ අත්දැකීම්වලින් විශාල හානි වෙනවා. යුද්ධෙ ඉවරයි කියලා ඔක්කොම උත්සව පැවැත්වුවට පුද්ගලයාට වුණ හානිය පේන්නේ නෑ. සාමාන්‍ය පෙනුමෙන් එයා හොඳට හිටියට අභ්‍යන්තරයෙන් විශාල තුවාල සහිතයි. ඒක ඒ විදියමයි දෙමළ සමාජයේත්. ඔවුන්ගේ සටන් කරපු අයගේ තත්ත්වයත් ඒකමයි. ඒ වගේම ඔය අවසාන අවුරුදු තුන ඇතුළේ තැනින් තැනට ගියපු මිනිස්සු දැකපු දේවල් අන්තිම බිහිසුණුයි. තමන්ගේ දරුවෝ, ඥාතීන් මැරෙනව දකිනවා. ඒ සියලූ අත්දැකීම් ගත්තාම ඒ මිනිස්සු විශාල වශයෙන් මානසිකව හානි වුණ අය. ශාරීරික හානි වෙනයි. මානසික හානි විශාලයි. ඒ ටික අපි කාටත් එකඟ වෙන්න පුළුවන් කාරණා. නමුත් එතනින් එහා ගිහින් සාමාන්‍ය මනුෂ්‍යයා කියන කෙනා මේකට කිසිම සම්බන්ධයක් නැති වුණත් රූපවාහිනියෙන් අපි මේ හැම දෙයක්ම බලාගෙන හිටියා. බෝම්බ පුපුරපුවා අපි දැක්කා. නපුර, රුදුරුකම අපි අත්වින්දා. අද කිලෝ මීටර් කීයක් ඇල්ලූවද, හෙට මොකද වෙන්නේ ආදී මේ සියල්ල දෙස බලා හිටපු මේ මුළු සමාජයම, විශේෂයෙන්ම මාධ්‍යවේදීන් එය අත්වින්දා. මම කියනවා මාධ්‍යවල කටයුතු කරපු අය සුවපත් කිරීම අත්‍යවශ්‍යයි. ඔවුන් පුරුදු වුණා මිනිස්සුන්ගේ හැඟීම් ඇවිස්සෙන උද්වේගකර ප‍්‍රවෘත්ති ඉදිරිපත් කරන්න. සමාජයත් බලාගෙන හිටියේ උද්වේගකර ප‍්‍රවෘත්ති අහන්න. මේ ඔක්කොම අරගෙන මම කියනවා බරපතළ විදිහට හානි වුණ සමාජයක්, ඒ අයගේ ස්වාභාවික තත්ත්වයට වඩා නපුරුකමට බර වෙන්න තියෙන ඉඩ වැඩියි. මොකද අපි ඒ නපුරට දිගින් දිගටම හුරු වුණා. පසුගිය කාලයේ සමාජයේ වුණ සිදුවීම් තුළින් අපිට ඒ සඳහා ඕනෑතරම් උදාහරණ ගන්න පුළුවන්. ඒ නිසා මේ මුළු සමාජයම විශාල වශයෙන් හානි වුණ තැනක් කියලා පිළි අරගෙන ඒ සමාජය සුවපත් කිරීම සඳහා වන වැඩපිළිවෙළක් අවශ්‍යයි. මේක මම මෙහෙම කිව්වම කවුරුවත් ලොකුවට ගන්න එකක් නෑ. මොකද ඒක පිටට පේන්නේ නෑ. නමුත් මම එවැනි පුද්ගලයන් ගැන දන්නවා. එය තමයි යථාර්ථය.
පසුගිය දා දකුණේ සමාජය මිය ගිය හමුදා සොල්දාදුවන් සැමරුවා. උතුරේත් යම් සැමරීම් සිදු වුණා. මේක හැමදාම සිද්ධ වෙන්නේ යම් විරසකභාවයක් එක්ක. මේක ඔබවහන්සේ දකින්නේ කොහොමද?
යුද්ධය අවසන් වුණාට පස්සේ සිදු විය යුතු කළමනාකරණය නොවුණ එකේ ප‍්‍රතිඵල දැන් අපි භුක්ති විඳිනවා. යුද්ධයෙන් පසු සිදු විය යුතු සාකච්ඡුාව හා ඒ පාර්ශ්ව නැවත එකතු කර ගන්න විය යුතුව තිබූ මැදිහත් වීම සිද්ධ වුණේ නැහැ. ඒ විතරක් නෙවෙයි අපි තමයි දිනුවේ කියලා පරාජිතයෙක්ව නඩත්තු කරමින් ජයග‍්‍රාහී උත්සව ගෙනිච්චා. ඒක නඩත්තු කරනකොට රිදුණු විශාල පිිරිසක් හිටියා. උඹලා යටත් කියන පණිවුඩය තමයි ඔවුන්ට ගියේ. ඒක කරගෙන ආවා සෑහෙන කාලයක්. දැන් පොඩි අවකාශයක් ඇවිල්ලා තියෙනවා ඒ මිනිස්සුන්ට තමන්ගේ පැත්තෙන් අදහස ගේන්න. ඇත්තටම දැන් ඒක එන්නේ ප‍්‍රතිවිරෝධ අදහසක් විදියට. මේක හරියට කළමනාකරණය කරගත්තා නම් අවුරුදු හතක් ගත වුණාට පස්සේ මේ ප‍්‍රශ්නය තියෙන්නේ මෙතන නෙවෙයි. බෞද්ධ ඉගැන්වීමේ තියනවා ජයග‍්‍රාහකයෙක් නඩත්තු කරන තාක් කල් පරාජිතයෙක් ඉන්නවා, මේ දෙක නඩත්තු කරනතාක් කල් සාමයක් නෑ. මේ නඩත්තු කරගෙන ආපු එකේ ප‍්‍රශ්න තමයි අපි මේ දැන් දකින්නේ. උපදින කිසි කෙනෙක් ආයුධයක් අරන් ඉපදුණේ නෑ. ත‍්‍රස්තවාදියෙක්වත්, හමුදා සෙබළෙක්වත් ඉපදුණේ නෑ. ඉපදුණේ මනුෂ්‍යයන්. ඔවුන් ආයුධ ගන්නේ ඊට පස්සේ සිද්ධ වෙන දේවල් එක්ක. සමාජයක් ඒ තත්ත්වයට පත්වීමෙන් පිළිබිඹු වෙන්නේ ඒ සමාජයේ බිඳවැටීම. අපි අවංකවම කම්පා වෙමු එහෙම දෙයක් අපේ සමාජයේ වුණා කියලා. ඒක එකක්. අනෙක මේ මිය ගිය අය ශ‍්‍රී ලංකාවේ මනුෂ්‍යයෝ. ඔවුන් ජීවත් විය යුතුව තිබූ අය. අපි ඒ ගැන කම්පා විය යුතුයි. ඒ මිය ගිය අය කවුරු වුණත් ඒ මිනිස්සුන්ට සුගතිය අත්වෙන්න ඕනෙ. ඒ විදියේ වූ මැදිහත් වීමක් කළා නම් මිය ගිය අයගෙන් ඉතිරි වෙලා ඉන්න අයට සහනයක් දැනෙනවා. එය ඒ මිනිස්සු ඉන්න තත්ත්වයෙන් උඩට එන්න සහනයක්. එහෙම වුණා නම් අවුරුදු හතක් යද්දී ඉන්නේ මේ ඉන්න මිනිස්සු නෙවෙයි. මගෙත් අයියා යුද්ධෙන් නැති වුණේ. මගේ තියෙන අදහස තමයි කවදා හරි මගේ අම්මයි ඒ ත‍්‍රස්තවාදීන් යැයි නම් කරපු කෙනෙකුගේ අම්මා කෙනෙකුයි දෙගොල්ලම එකට එකතු වෙලා තමන්ගේ දරුවන්ට වුණ විපත ගැන සමරන දිනයක් එන්න ඕනෙ. දකුණේ උත්සවේ දිහා මං බලන් හිටියා. මට පෙනුණේ නැහැ මිය ගිය අය එතන වැදගත් වුණා කියලා. දේශපාලකයෝ තමයි එතන වැදගත් චරිත හැටියට මම දැක්කේ. දරුවෝ නැති වුණ අම්මලා, වැන්දඹුවෝ සුවපත් කිරීමක් එතන තිබුණෙත් නැහැ. එතන තිබුණේ දේශපාලන මොකක් හරි එකක්. හරි! කොහොම හරි ඒක එහෙම හරි කෙරුණනේ මෙහේ. අර මිනිස්සුන්ට ඒකත් නෑ. ඒ මිනිස්සු සුවපත් වෙන්න නම් ඒ මිනිස්සුන්ට ශෝක වෙන්න තියෙන අයිතිය ලබා දිය යුතුයි. ඒ වැලපීමට, දුක් වීමට, සිහි කිරීමට, පිං දීමට ඉඩ දෙන්නේ නැත්නම් ඒ වේදනාවත් එක්කයි ඒ මිනිස්සු හැමදාම ජීවත් වෙන්නේ.
වෙසක්, පොසොන් කාලයට කරළියට එන තවත් කාරණයක් තමයි ධාතු වන්දනාව. සමහරු එය ‘නිසැක ධාතු’ නමිනුත් හඳුන්වනවා. ඒ කියන්නේ සැක ඒවත් තියෙනවා වගේ. මේ දේවල් පිළිබඳ ඔබවහන්සේගේ අදහස මොකක්ද?
බුදු හාමුදුරුවන්ගේම ප‍්‍රකාශයක් තියෙනවා ‘යෝ ධම්මං පස්සති සෝ මං පස්සති’ කියලා. ‘යමෙක් මගේ ධර්මය දකිනවාද ඔහු හෝ ඇය මාව දකිනවා’ කියලා ඉන් අදහස් වෙනවා. අපිට බුදුන් දකින්න පුළුවන්. කොහොමද? ධර්මය දැකීමෙන්. සමහර විටෙක මේ බුද්ධි මට්ටමේ අඩු අයට ආධාරකයක් විදිහට යම් යම් දේ හඳුන්වා දීම් තිබෙනවා. සිරිපතුල, බෝධි වෘක්ෂය, බුදු පිළිමය ආදී දේවල්. දළදා පූජාවවත් ථෙරවාදී සම්ප‍්‍රදායේ එකක් නෙවෙයි. සමහර විට ඉන්දියාවේම ඇති වුණ වෙනත් සම්ප‍්‍රදායවල ප‍්‍රතිඵල වෙන්න පුළුවන් ඔය ධාතු පූජා කියන එක. මේවා අවුරුදු 2,000 ක් පමණ තිස්සේ එකතු වුණ දේවල්. අවුරුදු 2,000 ක් පමණ එහෙම එකතු වෙලා එකතු වෙලා දැන් ඉන්න තැන මුල් පණිවුඩයට බරපතළ වෙනස් තැනක් වෙන්න පුළුවන්. එතකොට මුල දන්නේ නෑ, පටන් ගත්තේ මොකටද කියලා දන්නෙ නෑ. එහෙම එකතු වුණ දේවල් තමයි ඔය තියෙන්නේ. ඒවායේ අමුතු කිසිම වටිනාකමක් නෑ. බුදුහාමුදුරුවන්ගේ ධර්මය මිසක් බුදු හාමුදුරුවන්ගේ අස්ථි කැබලි වටිනවා කියලා බුදු හාමුදුරුවෝ දේශනා කරලා නැහැ. මගේ විශ්වාසය එය මුල් පණිවුඩයට සම්පූර්ණයෙන්ම පටහැනියි.
මිනිස්සු බුදු පිළිමයකට, බෝධියකට වැඳලා පතන්නේ තමන්ගේ ආරක්ෂාව. නමුත් මිනිස්සු සේරම මැරිලා බුදු පිළිමය විතරක් ඉතුරු වෙලා. මේවා උත්කර්ෂයට නැංවීමෙන් බිඳවැටෙන්නේ බුදු දහමේ මූලික හර පද්ධතීන්ම නේද?
අනිවාර්යයෙන්ම! ඒකයි මම කලිනුත් කිව්වේ මූලික පණිවුඩය සමඟ කිසි සම්බන්ධයක් නැති මොකක්දෝ තරගෙක ඉන්නවා වගේ කියලයි මට දැනෙන්නේ කියලා. අපි තමයි හොඳම කියන්න මොකක් හරි සංකේතයක් හොයා ගන්නවා වගේ වැඩක්නේ ඕක. මෙන්න බුදු පිළිමේ ඉතුරු වෙලා, ඒ නිසා අපි තමයි හොඳම. සමහර විට ඔය වගේ කිතුනුවන්ගේ සුරුවම් එහෙමත් ඉතිරි වෙන්න පුළුවන්. කොන්ක‍්‍රීට්වලින් නම් හදලා තියෙන්නේ ඕකෙ බෞද්ධ, ක‍්‍රිස්තියානි කතාවක් නැහැනේ! බුදු පිළිම ඉතුරු වෙන්න ගොඩක් හේතු වෙනවා බුදු පිළිමය තනි බිත්තියක් නෙවෙයි, ඒකෙ වක‍්‍ර හැඩ තියෙනවානේ! එතකොට සුනාමියක් හෝ ගංවතුරක දී ජලය වටේ යන්න පුළුවන් එය ඉතිරි කරලා. ඒවා තාක්ෂණික හේතු. ඒවත් එක්ක ආගමේ සම්බන්ධයක් නෑ.
දයා නෙත්තසිංහ/කසුන් සමරතුංග
ඡායා- අජිත් සෙනෙවිරත්න
උපුටාගැනීම සත්හඬෙන්