උපුටාගැනීම්විශේෂාංග

නැවෙන සුලූ විලෝ ගස් කුණාටුවට ඔරොත්තු දෙනවා (සංහාරයකුගේ පාපොච්චාරණය – 8)

මට ඔයාගෙන් එක දෙයක් අහන්න ඕන…”

”ඔව්… ඔයා අහන දේට උත්තරේ… ඒ ඉන්නෙ ඔයාගෙ පුතා… චන්දන…”

”ඒ…ඒ…හෙ…ම වුණේ කො…හො…ම…ම…ද?” පතිරණගේ හඬ වෙව්ලයි.”ඒක අපි දෙන්නම දන්නව… මගේ ජීවිතය බේරපු… ඔයා වගේ උතුම් මිනිහෙක් එක්ක හිටපු මම ආයෙ කවදාවත්, කවුරුත් එක්ක හිටියෙ නෑ… මං මැරි කළෙත් නෑ මැරි කරන්නෙත් නෑ…”

”හා… උතුම් මිනිහෙක්… ඔයා මට කැම්පස් එකේ දී කීවෙ… මම අධිරාජ්‍යවාදියෙක්… ධනපති ගැතියෙක්… පුහු පොලයක් වගේ බෝලෙකට පයිං ගහන නිකමෙක්… ධනපති පොලීසියේ ඔත්තුකාරයෙක්… ජනතා අරගලයට විරුද්ධ කුමන්ත‍්‍රණකාරයෙක් කියලනෙ…” පතී මඳක් උස්හඬින් කියයි.

”පතී… මෙහෙම කීවට සොරි… ඔයා තවමත් වෙනස් වෙලා නෑ… මම එදා කිව්ව ටික එහෙමමයි… හැබැයි මම වෙනස් වෙලා…එදා…උඩවලව කැලේ දී ඔයා මාව වෙනස් කළා… මම වෙනස් වුණා… මම පහුගිය අවුරුදු විස්සෙම ඒ, ධනපති කුමන්ත‍්‍රණකාරයට, ඔත්තුකාරයට, ධනපති රජයේ හමුදාකාරයාට ආදරය කළා… පතී… මම ඒ ආදරයෙන් ජීවත් වුණා… පතී… අද මේ සිද්ධිය නොවුණා නම්… මම කවදාවත් ඔයාව හොයාගෙන ඇවිත් කරදර කරන්නෑ පතී…”

මනෝජි… මම මැරි කළෙත් නෑ… ඒකට හේතුව මම දන්නෙත් නෑ… ඒත් මට දෙයක් කියන්න… චන්දන…?”

”ඔව් පතී… එදා කැලෙන් ඔයා මාව ගෙනල්ල ගෙදරට දාල ගිහින් සුමානෙන් විතර මගෙ තුවාල ටික වේළුණා…”

”මගෙත් එක්ක තව හිටිය නං තුවාල පෑරෙනව…” පතී අමුතු විදියට කියයි.

”ඔව්… ඊට පස්සෙ මට තේරුණා… මේ දරුව මගෙ කුසට ඇවිල්ල කියල… තාත්තා මාව අරන් හම්බෙගමුවෙ නැන්දගෙ ගෙදර හැංගුවා. මම උපාධිය කළා… චන්දනටත් ඉගැන්නුවා… ශිෂ්‍යත්වෙ පාස් කරලා…එයාගෙ තාත්තගෙ ඉස්කෝලෙට යැව්වා…එයාටත් පුහු පොල් ගෙඩිය වගේ බෝලෙට පයිං ගහන්න ඉගැන්නුවා… තාත්තගෙ පාරෙම හමුදාවට යැව්වා…”

”හරි මනෝජි… මට තේරෙනවා… මම විශ්වාස කරනවා… අපි හෙට මීට් වෙමු…”

” ඕකේ…සර්” මනෝජි කියයි… ”මට සර් කියන්න එපා…”

”මම තියන්නම් ගුඩ්නයිට්…!” දුරකථනය විසන්ධි වේ.

පතිරණ නින්දට ගියේය. නින්ද පලා ගියේය. යහන කෙතරම් සුවපහසු වුව ද පතිරණගේ ඇඟ වේදනා දෙයි. කොල්ලකු ලවා ‘ඇක්ස්’ ඔයිල් ටිකක් ගා ගන්න සිතුණ ද ”උන් ඔක්කොම නිදි ඇති…” පතිරණට සිතෙයි. වෙනදා තමාට ගුඩ් නයිට් කියන්නට එන නානා අද ආවේ ද නැත. ”ඌත් නිදි ඇති” පතිරණට සිතෙයි. විලෝ ගස් මතින් හමන සුළඟ මහා හඬක් නංවයි. ”නැවෙන සුලූ – විලෝ ගස් කුණාටුවට ඔරොත්තු දෙනවා ”පතිරණ ඔත්තුකරුවකුගේ මූලික සිද්ධාන්තයක් සිහිපත් කරයි. තම නිවස්නය ඉදිරියේ සිට බුරන බල්ලකු අවට අන් සියලූම බල්ලන්ගේ අවධානය දිනාගෙන ඇත. පතිරණ බලූ වරිගයාටම ශාප කළේය.

චන්දනගේ මූණ, ආයේ සැක කරන්න දෙයක් නෑ…ඒ මම ම තමයි… විදිල්ලක් මෙන් පතිරණගේ සිතුවිලි මාරු වෙයි. වන් එස්එෆ් (පළමු විශේෂ බළකාය) එකේ සී.ඞී.ලාගේ (අණදෙන නිලධාරීන්ගේ) නම් පිළිවෙළට ලියා ඇති පුවරුව පතිරණට සිහි වේ. තමා එහි අණ දෙන නිලධාරියකුව සිටියේ ලූතිනන් කර්නල් නිලයේ සිටිය දී ය.

එහි ලියා ඇත්තේ තම නම ලූති: කර්නල් පතිරණ එම්.පී.සී.ආර්. ලෙසිනි. කවද හරි චන්දනත් මගෙ යුනිට් එක කමාන්ඩ් කරයි. (අණ දෙයි) එදාට එයාගෙ නමත්, ලූති:කර්නල් පතිරණ එම්.පී.සී.ආර්. විදියටම ලියැවෙයි. මේ ගෑනි හිතලම චන්දන රුක්මාල් කියල දැම්මද දන්නේ නෑ… පතිරණ සිතයි. තාත්තයි පුතයි දෙන්නම සී.ඞී.ල… පතිරණට ‘පුතා’ යන්න සිහි වෙන විට ඇඟට අමුතු හිරියක් දැනේ. තම මව ද මිය ගිය පියා ද සිහි වේ.

ඔව් මගෙ පුතා… නව කතාවක් වගේ පතිරණට සිතේ… කමාන්ඩර් ආපසු කොළඹ ගියා ද දන්නෑ… මේක කමාන්ඩර් දැනගත්තොත්… ෂෙහානයා වෙරි වෙලා මොනව කිය කියා ගියාද දන්නෑ… මේක ලෝකෙට කියන්නෙ කොහොමද?… පතිරණට තම මව මතක් වේ… මට පුතෙක් ඉන්නවා… කරදරකාරී බිග්බෙන් ඔරලෝසුව එක පාරක් වැදුණි. රාත‍්‍රී දොළහහමාර, එක හෝ එක හමාර විය යුතුය. මම සෙබළෙක්, මේ ගෑනි ජවිපෙ සැකකාරියක්. මං අතින් මැරුණ කොල්ලො තුන්දෙනා… ඕන දෙයක් වෙච්චදෙන්. මං හෙට උදේ කොළඹ යනවා… නිවාඩුව කැන්සල් කරනවා… මට මුන් එකෙක්වත් වැඩක් නෑ… සිතූ පතිරණ පොරෝණයෙන් හිස වසා ගත්තේය.

සුළු නින්දකට බට පතිරණ දෙවරක් තිගැස්සුණි. දැඩි වේදනාවකින් පෙළෙන මනෝජී කෙඳිරිගාමින් වැලි තලාවක වැතිර සිටී. ඒ අසල මිය ගිය හමුදා සෙබළුන් තිදෙනෙක්ගේ මළසිරුරු පතිරණ දැක නැගී සිට ආචාර කරයි. ඒ සමඟම අවදි වූ පතිරණ වටපිට බලයි… පුරුද්දකට මෙන් පසුපස ද ඉන ද අතගායි. රාජකාරී පිස්තෝලය හිමාල් ළඟ විය යුතුය. කමාන්ඩර් කොළඹ යන්නැති…පතිරණ සිතයි. චන්දන මෙලහකට නිදි ඇති. කොල්ල දන්නවද දන්නෑ බි‍්‍රගේඩියර් පතිරණ එයාගෙ තාත්ත කියලා…

අද දිනට පෙර අවසන් වතාවට චන්දන හමු වූ දිනය පතිරණගේ සිහියට නැගේ. ඒ 2007 වසරේ රාජකීය විදුහල හා මහනුවර ති‍්‍රත්ව විදුහල අතර පැවැත්වෙන වාර්ෂික රගර් තරගය දිනයේ දී ය. හමුදා මෙහෙයුම්වල දැඩි ලෙස යෙදී සිටි පතිරණ, තම විද්‍යාලයේ ආරාධනය පරිදි තරගය නැරඹීම සඳහා වව්නියාව හරහා මහනුවරට පැමිණියේය. එදින ඔහු එනතෙක් මාලිගාවේ වෝල්ටර් අයියා, රාජු ඇතුළු පිරිස මහනුවර නගරයේ මඟ බලා සිටියහ. එදින තමා උගත් පාසල වූ රාජකීය විදුහල නියෝජනය කළ චන්දන, තම දක්ෂතා මොනවට එළි දැක්වීය. දවසේ තරුව බවට පත් වූ චන්දන පිළිබඳ සියල්ලෝ කතා කළහ. ආදි ශිෂ්‍ය හා ආදී රගර් ක‍්‍රීඩක පතරණ ද තරගය නිමවීමෙන් පසු චන්දන වැලඳගෙන සුබ පැතුවේය. එදා ඉංග‍්‍රීසි විස්තර විචාරකයා පුන පුනා කීවේ… මඩවල, රත්වත්තේ, වීරකෝන්… වැනි පියා හා පුතා යන දෙදෙනාම එකම විදුහලට ක‍්‍රීඩා කළ අවස්ථා ගැනයි. හරි නම් චන්දනට ද ඒ ගෞරවය අත්විය යුතුව තිබිණි.

”ඔව් චන්දන පතිරණ, රාජකීය විදුහල වෙනුවෙන් කැපී පෙනෙන දස්කම් දක්වනවා…මට මතකයට එනවා 1986, අවුරුද්දෙ ඔහුගේ පියා… අද ශ්‍රේෂ්ඨ රණවිරුවකු වන බි‍්‍රගේඩියර් චමින්ද රන්සර පතිරණ මේ පිටියේදීම මෙවැනි දස්කම් දක්වා තරග ජයග‍්‍රහණය, රාජකීය විදුහලට ගෙනාවා” ෂිහ්, චන්දන මගෙම පුතා… ඒ ගෞරවය චන්දනට නැති වුණා… පතිරණ සිතයි. මත් ගතියෙන් පෙළන පතිරණ.. නැවත තමාට පිස්සු හැදීගෙන එන්නේ දැයි සිතයි. පතිරණට සියුම් ලැජ්ජාවක් දැනෙයි… ඒ කුමක් නිසාද?… දැන් නම් වෙරි බැස ඇතැයි පතී සිතයි. කොල්ලෙක්ට ඇහැරවල තේ එකක් බොන්න තියේ නං පංකාදුයි… නෑ උන් මහන්සි වෙලා නිදන්න ඇත්තෙ… ආයෙ උන් පාන්දර නැගිටිනවනෙ… තේ ඕන් නෑ පතිරණ සිතයි.

පතී අනෙක් පැත්තට ඇල විය. අවධානයට ලක් නොවූ ජනෙල් පියනක් විවිධ හඬවල් නංවමින් වැසේ… පතිරණ කිසි දිනක වෙරි වන්නට බීවේ නැත. කර්නල් නිලයට පත් වූ පසු මත් පැන් පාවිච්චිය තවත් අඩු විය. තමා ලූතිනන්වරයකු හා කපිතාන්වරයකුව සිටි කාලයේ නටපු පිස්සු පතිරණගේ සිහියට එයි. පාසල් යාළුවන් සමඟ ගිය ගමන්, මත්පැන් පානය කළ ආකාරය, මැච් බලන්නට ගිය හැටි හා වැල්ලවත්ත ප‍්‍රදේශයේ පාලූ පටුමඟක තිබූ මසාජ් නිවස පතිරණගේ සිහියට නැගෙයි.

නින්ද එන්නේම නැත. මේ මොන කරුමයක් දැයි පතිරණට සිතේ. චන්දනගේ මුහුණ මෙන්ම හවස පෙරටිටුවේ දී දුටු මනෝජිගේ ස්වරූපය ඔහුගේ මනසේ හොල්මන් කරයි. ‘ලස්සන ලේඩි’ කෙනෙක් ලෙස මනෝජි ගැන විස්තර හිමාල් විසින් කර්නල් ෂෙහාන්ට කියනවා පතිරණට යම්තම් ඇසී තිබිණි. තාම මේකි කැම්පස් කාලෙ වගේ ලස්සන ද දන් නෑ… වහලයක් තිබුණ ද, තම යහනට උඩින් පතිරණට අහස පෙනේ… ඒ සමඟම ජෝතිපාලගේ මොකක්දෝ සින්දුවක් තම හිතට ආව ද එය මොකක්දැයි පතිරණට පැහැදිලි වූයේ නැත. ඒ සමඟම පතිරණ කාලය දිගේ ආපස්සට යයි. දැන් මනස සංසුන්ව අතීතාවර්ජනයකට සැරසේ…

1989 එක්තරා දිනක සිදු වුණ සිද්ධියක මතකය ක‍්‍රමයෙන් පතීගේ සිහියට නැගේ. බුරුල් වූ ටකරමක සද්දයක් පතිරණට ඇසි ඇසී තිබුණ ද පසුව එය නිහඬ විය. පතිරණ නිදියහනේ උඩුකුරු විය. විශාල අඳුරු කුටියක් වැනි යමකින් බි‍්‍රගේඩියර් පතිරණගේ සිත විනිවිද ගමන් කරයි.

දෙවන ගජබා ස්වේච්ඡුා සේනාංකයට ඍජු නිලධාරියකු ලෙස පත්වීම් ලැබූ ලූතිනන් චමින්ද රන්සර පතිරණ, ඉන්පසු එවකට බි‍්‍රගේඩියර් විජය විමලරත්නගේ අණ පරිදි එවකට ආර්.ඞී.එෆ්. හෙවත් වර්තමානයේ දී විශේෂ බළකායට අනුයුක්ත කෙරිණි. මේ වන විට උතුරේ ත‍්‍රස්තවාදී යුද්ධය හා දකුණේ ජවිපෙ දියත් කළ සිවිල් අරගලය හේතුවෙන් රට අර්ධ ලෙස අරාජික වී තිබිණි. ජවිපෙ විසින් දකුණේ රාජ්‍ය යාන්ත‍්‍රණය අඩපණ කොට තිබිණි. ජවිපෙ සන්නද්ධ අංශය වූ දේශපේ‍්‍රමී ජනතා ව්‍යාපාරය විසින් නිකුත් කරනු ලබන එක් නිවේදනයකින් මුළු රටේම නොනිල ඇදිරි නීතියක් පැනවිණි. එක තුණ්ඩු කැබැල්ලක් හේතුවෙන් නගරවල කඩ සාප්පු ක්ෂණිකව වැසී ගියේය. ති‍්‍රවිධ හමුදාව හා පොලීසිය ඔවුනට විරුද්ධව සටන් කළ ද, නිවැරැුදි ජේවීපී සටන්කරුවන් සිටිනා ස්ථාන සොයා ගැනීම උගහට විය. ඒ අතර කිසිත් නොදන්නා අහිංසකයන් බොරු චෝදනා පිට මැරුම් කෑහ. අහිංසකයන් පැහැරගෙන ගොස් විවිධ කප්පම් ඉල්ලන වෙනම බලවේග නිර්මාණය විය. ඊශ‍්‍රායල පුහුණුවෙන් පසු ලූතිනන් පතිරණ ආර්.ඞී.එෆ්. හෙවත් එස්එෆ් බළකායේ විශේෂ විමර්ශන හෙවත් බුද්ධි හෙවත් ‘අයි’ සෙක්ෂන් එකට අනුබද්ධිතව සේවය කළේය.

බුද්ධි මෙහෙයුම් කීපයකටම සහභාගී වී නැවත ජේ.ඞී.යී. හෙවත් ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානයට පැමිණ සිටි පතිරණ හොඳින් නා දිවා ආහාරය ද ගෙන, වෙනත් නිලධාරීන් කීපයක් සමඟ සල්ලාපයෙහි යෙදෙමින් සිට මදක් නිදා ගැන්මට ගියේය. එවකට පතිරණ නිල ඇඳුම් අඳින්නේ නැත. ඔහුගේ බුද්ධි රාජකාරී සඳහා නිල ඇඳුම බාධාවකි. ලූතිනන්වරයකු වූ මල්පහන එහා ඇඳේ නිදා සිටියා පතිරණට මතකය, ස්වල්ප වේලාවකින් නිවස්නයට ආ සාජන් නුගවෙල විසින් තම සමීපතම අණදෙන නිලධාරියා වූ කර්නල් බලගොඩ විසින් තමා මුත්තයියා පාරේ කාර්යාලයට කැඳවන බව කීය.

පතිරණ වට පිට බලනවා දුටු මල්පහන, ”යුනිෆෝම් ඕන්නෑ ඔහොම පලයන්” යැයි කීවෙන්, පතිරණ නැගිට මුහුණ දෙවරක් සෝදා ඩෙනිම් කලිසම හා ටීෂර්ට් එක පිටින්ම තිඹිරිගස්යායේ සිට මුත්තයියා පාරට යන්නට පිටත් විය. ඩී.අයි. හෙවත් ඩිරෙක්ටර් ඉන්ටෙලිජන්ස් (බුද්ධි අධ්‍යක්ෂ) තමාට කතා කරන්නට ඇත්තේ අලූත් වැඩක් පවරන්නට හෝ යම් තොරතුරක් දැන ගන්නට විය හැකිය. පතිරණට කර්නල් බලගොඩ හමුවන විට ඔහු හොඳ මූඩ් එකේ සිටියේය.

”කම් කම් පතී…සිට් සන්…” හේ පතී පිළිගත්තේය.

”හව් ආ ද තින්ග්ස් පතී?” (වැඩ කොහොමද?)

”සර්, අයි හෑව් ඩිප්ලොයිඩ් බෝයිස්” (සර්.. කොල්ලො වැඬේට දාල ඉන්නෙ)

”අයි, නෝ පතී… අයි හෑව් ඕල් කන්ෆිඩන්ස් විත් යූ… පුතා..” (මම දන්නවා පතී… මම ඔබ ගැන සියලූ විශ්වාස තබනවා..)

කර්නල් බලගොඩ පවසයි. පතිරණ තවත් ඍජු ලෙස පුටුවේ වාඩිවෙයි.

”පතී වයි අයි කෝල් යූ? ඊස් පතී, බයි එනි චාන්ස් යූ නෝ බලන්ගොඩ ඒරියා?” (පතී මම එන්න කීවෙ.. ඔබ බලන්ගොඩ ප‍්‍රදේශය දන්නවාද?)

”සොරි, සර්… අයි නෝ වෙරි ලිටිල්… වන්ස් අයි වෙන්ට් ෆෝ අ ෆියුනරල්…” (සමාවෙන්න… මම ඉතා ටිකයි දන්නෙ… ඒ පැත්තෙ අවමගුලකට ගිය නිසා)

”දැට්ස් ඕකේ පුතා… නව් ලිසන්ට් ටු මී… (කමක් නෑ දැන් මට සවන් දෙන්න)

”පතී, මේක අපේ ”හියුමන් රයිට්”ගෙන් ආව ඉන්ෆෝ එකක්. බි‍්‍රග් විජේ මට කතා කරල මේක පතීටම දෙන්න කීවා… ටාස්ක් එක ගන්න. ඕනෑ කරන පෙටිකෑෂ් මෙහෙන්ම අරන් යන්න…

” ඕ.කේ. සර්… වට් ඊස් ද ටාස්ක්?” (මොකක්ද කළ යුත්තේ)

”පතී… ‘ටාගට් වන්’ බලන්ගොඩ පැත්තේ ඉන්නවලූ. හියුමන් රයිට් අද උදේ බි‍්‍රග් විජයට හම්බවෙලා තියෙනවා… එහෙ වැලිගෙපොල කියල ප‍්‍රාදේශීය සභාවක් තියෙනවා. ඒකෙ සභාපති උදේනි වීරසේකර කියල කෙනෙක්. මිනිහා කන බොන මෑන්ලූ. මිනිහ ‘ටාගට් වන්’ ඉන්න තැන දන්නව කියලා විතරයි බි‍්‍රග් විජේට කියල තියෙන්නෙ… ඔයා ටාගට් එකට බහින්න. කෙළින්ම ‘ටාගට් වන්’ම ෆෝකස් කරන්න. මිනිහ ගත්තෙ නැත්නම් අපිට අමාරු වෙනවා… ආමි එකේ වුණත් සමහරුන් ‘අකුරු තුනට’ (ජේවීපී) කැමැතියි. ‘ටාගට් වන්’ ගත්තොත් ඔක්කොම ඉවරයි.”

”හරි. ඕකේ පතී… ඕකේ පුතා. ගෝ එහේඩ්… ඇන්ඩ් අයි විෂ් යූ ඕල් ද බෙස්ට්…” කර්නල් බලගොඩ උපදෙස් දී අවසානයේ අතට අත දෙයි.

– මතු සම්බන්ධයි

– කාශ්‍යප වීරක්කොඩි

උපුටාගත්තේ සත්හඬෙන්

සංහාරයකුගේ පාපොච්චාරණය – 7

One thought on “නැවෙන සුලූ විලෝ ගස් කුණාටුවට ඔරොත්තු දෙනවා (සංහාරයකුගේ පාපොච්චාරණය – 8)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *