සුසන්තිකා ජයසිංහ යනු මෙරට මලල ක්‍රීඩාව ලද සුපිරිතම සම්මානය බවට හැඳින්වූවාට කිසිඳු වරදක් නැත. හද්දා පිටිසර ගමකින්, කොස් දෙල් කා ක්‍රීඩාවට පිවිසි සුසන්තිකා අපේ මතකයේ රැඳී ඇති සමයේ ලෝකයම හෙල්ලූවේ ශ්‍රී ලංකාව නම් පුංචි දිවයිනේ හයිය 2000 සිඩ්නි ඔලිම්පික් උළෙල අවස්ථාවේ මීටර් 200 ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා දෙමින්ය. එකල සුසන්තිකා “ආසියාවේ කළු වෙළඹ“ ලෙස හැඳින්වූයේ ඇය ලංකාවට පමණක් නොව ආසියාවටම ආභරණයක් වූ නිසාවෙන්ය. 2007 අවුරුද්ද වන විට ඇය ඔලිම්පික් රිදී පදක්කමක් (මේරියන් ජෝන්ස්ට රන් පදක්කම අහිමිවූ නිසා), ලෝක මළල ක්‍රීඩා ශූරතා තරඟ වෙනුවෙන් එක් රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක්, ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කරමින් එක් රන් පදක්කමක්,රිදී පදක්කම් 2ක් සහ ලෝකඩ පදක්කමක්, ආසියානු මළල ක්‍රීඩා ශූරතාවලියේදී රන් පදක්කම් 6ක් සහ රිදී පදක්කමක් සමගින් ජයග්‍රහණ ගණනාවක් ලංකා ධජය ඉදිරියේ තබා ඇත. සුසන්තිකා තරම් ලංකාවට මලල ක්‍රීඩාවෙන් ජයග්රහන ගෙනා ආ කිසිවෙක් නොමැති. එසේම ක්‍රිකට් වලින් පමණක් ජාත්යනතරය දිනා සිටි ලංකාව මලල ක්‍රීඩාවේ නමින් ලෝකය පුරා සන්නිවේදනය වන්නේ සුසන්තිකා, දමයන්ති දර්ශා, ශ්‍රීයාණි කුලවංශ,සුගත් තිලකරත්න වැන්නවුන් නිසාය.
එහෙව් සුසන්තිකා පසුගිය සතියේ කියා සිටියේ තමන්ගේ ජීවිතයේ මහාර්ඝ වස්තුවක් වන ඔලිම්පික් රිදී පදක්කම ප්‍රසිද්ධියේ වෙන්දේසි කරන බවත්, එසේ සිදුකරන්නේ තමන්ට ජීවත්වීම සඳහා ආර්ථික හයියක් ලබාගැනීමට බවත්ය. සුසන්තිකා සම්බන්ධයෙන් විවිධ විවේචන තිබිය හැකිය, ඇයගේ පුද්ගලික ජීවිතය සම්බන්ධයෙන් දවස පුරා අනුන්ගේ කුණු රසකරමින් බුදිනා ඇත්තන්ට බරපතල විවේචන තිබිය හැකිය. එහෙත් අප මේ කතාකරන්නේ සුසන්තිකා නම් සම්මානනීය මලල ක්‍රීඩිකාව පිළිබඳවය. කුමක්දෝ ඉරණමේ වරදකට සුසන්තිකාගේම වචනයෙන් කිවහොත් අද අන්ත අසරණව සිටිමින් පදක්කම පවා විකුණන්නට සිදුව ඇත. අද ලංකාවේ ක්‍රීඩාවට සිදුව ඇති අභාග්‍යසම්පන්න ඉරණම හමුවේ සුසන්තිකාලාට එසේ කරන්නට වීමද පුදුමයක් නැත. ක්‍රීඩාවේ අවස්ථාවන් විකුණාකමින් රැකෙන අමාත්‍යංශයක්, ආයතන ගණනාවක් සහ සංගම් තොගයක් ඇරෙන්නට අපිට ක්‍රීඩාවෙන් ලැබී ඇති කෙංගෙඩියක් නැත. එහෙව් වාතාවරණයක සුසන්තිකාලාට මෙවැනි ඉරණමක් අත්වීම ගැන පුදුමයක් නැත.
අද 41 වැනි වියේ පසුවන සුසන්තිකාට පසුගිය 2016 අගෝස්තු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර විසින් මලල ක්‍රීඩා උපදේශ තරනතුරක් ලැබීම සහ ඇය ඒ වෙනුවෙන් ක්‍රියා කල ආකාරයත් සම්බන්ධයෙන් යම් අවබෝධයක් අපට ඇත. එහෙත් අද ඇය පවසන ආකාරයට ක්‍රීඩා අමාත්‍යවරයා ඇයගේ තනතුර සහ දීමනාව අහෝසිකරන තත්ත්වයක පත්ව ඇත්තේ ඇයිද යන්න ගැටළුවකි. මහජනතාවගේ සල්ලි වලින් ඇමතිකම් කරමින් සුරසැප විඳින ගමන් ඉඳහිට රූපවාහිනී නාලිකාවක සිංදුවක් කියා චූන් එකක් දෙන දයාසිරි සහ ඔලිම්පික් පදක්කම්ලාභී මෙන්ම අදටත මලල ක්‍රීඩා ක්ෂේත්රයට සම්පතක් විය හැකි සුසන්තිකා එකම තරාදියක දෙපැත්තක දැමුවහොත් සිහිබුද්ධියක් ඇති ඕනෑම අයෙක්ට සුසන්තිකාගේ සැබෑ වටිනාකම දැනගත හැකිය. එහෙව් සුසන්තිකාගෙන් ලංකාවේ මලල ක්‍රීඩාවට නිසි ප්‍රයෝජනයක් නොගෙන හමස් පෙට්ටියට දැමීමට තරම් ලංකාවේ ක්‍රීඩා බලධාරීන් කටයුතු කරනවානම් ඉදිරියටත් අපේ ක්‍රීඩාවට අබ සරණය.
ලංකාව ආසන්න වර්ෂ ගණනාවකදීම ජාත්‍යන්තර තලයේ කිසිඳු සැලකිය යුතු ජයක් ලබාගත නොහැකි තත්ත්වයට ක්‍රීඩාවෙන් පල්ලම් බැස ඇත. නමුත් කිසිඳු සංචාරයක්, පුහුණුවක්, වරප්‍රසාදයක් අතනොහරින හරක්බානක් බඳු නිලධාරී මණ්ඩලයක් නම් අප සතුව ඇත. එහෙව් හරක් බානකගෙන් ලද හැකි කාර්යක්ෂම සහ සඵලදායී ප්‍රතිඵලයක් නොමැත. ක්‍රිකට් ක්‍රීඩාව පල්ලම් බැස ඇති අයුරු පෙනෙන්නේ බංගලාදේශයද අප ඉක්මවා යද්දීය. බංගලාදේශයේ සාර්ථකත්වයේ නියමුවා වන්නේ ලංකාවේ ක්‍රීඩා බලධාරීන් තඹ සතයකට නොගෙන පැත්තකට දැමූ චන්දික හතුරුසිංහය. ඕස්ට්‍රේලියාව කෙටි පුහුණු සංචිතවලට පවා මුරලි කැඳවා අස්ප ගණන් ගෙවද්දී අපේ ක්‍රීඩා ලොක්කන්ට තමන් සට්ටැම්ඹිකම් කරන ගෝතයන් ඊට වඩා වටින නිසා මුරලලිලා, හතුරුලා පැත්තකට දමා සට්ටැම්ඹියන්ගේ යෝජනාවන්ට ඉඩදීමේ ප්‍රතිඵලයක් ලෙස ලංකාවේ ක්‍රිකට් තරඟ යද්දි ටී.වී ඕෆ් කරනා තරමටම ක්‍රීඩා ලෝලීන්ට ක්‍රිකට් එපාවී ඇත. රාජපක්ෂ පාලනයේ ක්‍රීඩා ඇමතිලා සහ යහපාලනයේ ක්‍රීඩා ඇමතිලා දෙගොල්ලන්ම එකම ගෝතකරුමයන්ම බැවින් අපේ ක්‍රීඩාව වලපල්ලට යනවා හැරෙන්නට වෙනත් කිසිවක් සිදුවන්නේ නැත. ආශ්චර්යයක් සිදුවී ගොඩගියොත් හැරෙන්නට අපේ ක්‍රීඩාව ගැන කතා කර පලක් නැත.
සුසන්තිකාට අද සිදුවන දේ සංගක්කාරලාට, මහේලලාට සිදුවූ බව හොඳින් පැහැදිලිය. ජයසූරියට දේශපාලනයේ පිහිට තිබූ නිසා තවමත් තැනක් ඉතිරිය. සුසන්තිකාලා දේශපාලනයේ සිට යහපාලනයට මාරුවුණු සිස්ටම් එක එතරම් හොඳ නැති නිසා අද සරණක් නැත. දැන් ලංකාවේ දේශපාලනය හරියටම දකුණු ඉන්දියාවේ දේශපාලනය වගේමය, ක්‍රීඩාවත් යන්නේ එතනටමය. දකුණු ඉන්දියාවේ කබඩි මොඩලයට ලංකාවේ ක්‍රීඩාව යන දවස වැඩි ඈතක නොවේය. ඒ නිසා සුසන්තිකාලා දයාසිරිලා යනු මේ ජරාජීර්ණ ක්‍රීඩා පරිපාලනයේ උස් පහත් ඉත්තන් දෙදෙනෙක් පමණි. එහෙත් ඒ ඉත්තන් අනුව මේ රටේ ක්‍රීඩාවේ හෙට දවස ගැනනම් ඕනෑම ගොනෙක්ට උපකල්පනය කල හැකිය.
උපුටාගත්තේ අපේ ඉසව්ව බ්ලොගයෙන්