උපුටාගැනීම්විශේෂාංග

ගෝඨාභයට වචනයක්

“මම කියන්නෙ මේ රටේ ඕනෑම රජයකට සාර්ථක වෙන්න ඕනෙ නම් වෘත්තිකයන් සම්බන්ධ කරගන්න ඕනෙ කියලයි. වෘත්තිකයන් ඈත් කර දේශපාලනඥයන් පමණක් රට පාලනය කරන්න ගියොත් කවදාවත් ඒ රට ඉදිරියට යන්නේ නැහැ” එසේ කියා තිබුණේ හිටපු ආරක්ෂක ලේකම්වරයාය. ඒ ජුනි 05 වනදා ලංකාදීපයේ සඳුදා හමුවට සහභාගීවෙමිනි.

ඔහු මෙම අදහස් පළ කරන්නේ වර්තමාන ආණ්ඩුවට අදාළවය. ඔවුන්ගේ කාර්යයේ දී වර්තමාන කාලයේයි යනුවෙන් මේ කාලයේදී ලොකු වෙනසක් නැත. වෘත්තිකයෝ සෑම කාලයකම ඒ සා කැමැත්තකින් දේශපාලනයට සම්බන්ධ නොවූහ. අනෙක් අතට ලංකාවේ දේශපාලනඥයන් වෘත්තිකයන් බවට පත් නොවිය යුතුදැයි ගෝඨාභයගෙන් අසන්නට සිදු වෙයි. දේශපාලනය කරන අය පළමුව වෘත්තිකයන් බවට පත් විය යුතුය. එවිට එම වෘත්තිකභාවය තුළ රටේ බොහෝ ප්‍රශ්න නිරාකරණය වීමට ඉඩ ඇත. දේශපාලනඥයන්ගේ වෘත්තීයභාවය පිළිබඳව ගෝඨාභය හෝ අන් කිසිවකුත් කතා කරන්නේ ද නැත.නිදහස

සඳුදා හමුව අරඹමින් ගෝඨාභය කියා තිබුණේ රටේ ඕනෑම පුද්ගලයකුට ජීවිත හෝ දේපළ හානියක් නොමැතිව ඕනෑම තැනකට යා හැකි වාතාවරණයක් යුද්ධය අවසන් වීමෙන් පසු ගත වන අට වන වසරේදීත් අත්විඳින්නට හැකි වී තිබෙන බවය. 2009 ජන. 18 වනදා එතෙක් පැවැති එල්ටීටීඊ සංවිධානයේ තත්ත්වාකාර බලාධිකාරයට එරෙහිව මිලිටරිමය ජයක් ලද බව සැබෑය. එහෙත් එමඟින් රටේ මානව නිදහස තහවුරු වූයේ නැත. එල්ටීටීඊ නම් වූ සතුරා අහිමි, එනම් අභියෝගයක් අහිමි තැන රාජපක්ෂ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, අධිකරණ ස්වාධීනත්වය, සංස්කෘතික නිදහස ඒකාධිපතිවාදයේ යකඩ සපත්තුවෙන් පාගා දැමූ සත්‍යය යළි ගෝඨාභය රාජපක්ෂට මතක් කරදිය යුතුය. එල්ටීටීඊයේ ග්‍රහණයෙන් මුදාගත් රට සිය පවුලේ නින්දගමක් බවට පත් කර ගැනීමට හිටපු පාලකයෝ කටයුතු කළහ. 18 වන සංශෝධනය ගෙනැවිත් අසීමිත කාලයක් බලයේ සිටීමට ගත් වෑයමේ සිට රට සහ මිනිසුන් තමාට ඕනෑ හැටියට හසුරුවන්නට මෙන්ම වෙනස් කරන්නට ගෝඨාභයට ලැබී තිබුණු අනිසි බලය ජනතාවට අමතක නැත. නියෝග කළ විට පදිංචි නිවසින් නොගියහොත් ඕනෑම නාගරික නිවාසයක් ඉතා කෙටි වේලාවකින් පොඩි පට්ටම් කර දමන්නට අද මානව නිදහස ගැන කතා කරන ගෝඨාභය ක්‍රියා කළේය.  තණකොළ පෑගිය නොහැකි මංතීරු, ලැප්ටොප් පරිගණක ළඟ තබාගෙන වැඩ කළ නොහැකි උද්‍යාන, ආරක්ෂක අංශ මෙම උද්‍යානවල සැරිසරන ජනයාගේ පෞද්ගලිකත්වයට මැදිහත් වන ගෝඨාභයගේ නිදහස ගැන කියන්නට ගියහොත් එය අරාබි නිසොල්ලාසයටත් වඩා දීර්ඝය.

තවත් ප්‍රවාදයක්

යුද්ධයෙන් පසු වසර පහක් ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළ තමා නැවත ත්‍රස්තවාදී තත්ත්වයක් මතු නොවන ආකාරයට කටයුතු කළ බව ඔහු මෙම සංවාදයේ දී කියයි.

එය තනිකරම ව්‍යාජ ප්‍රකාශයකි. උතුරේ එල්ටීටීඊයේ ක්‍රියාකාරිත්වයට හේතු වූයේ සමාජ ආර්ථික සහ දේශපාලන ප්‍රශ්නයකි. ඒ අරබයා උතුරේ තරුණ ප්‍රජාව ගත් ක්‍රියාමාර්ග (සිංහල ජනයා සමූල ඝාතනය වැනි) සාධාරණ යයි කිව නොහැකිය. අනෙක් අතට එල්ටීටීඊය මර්දනය සඳහා රජය පාර්ශ්වය ගත් ක්‍රියාමාර්ගය ද මුළුමනින් සාධාරණ නොවේ. උතුරට අවශ්‍යව තිබුණේ යුද්ධයට මෙහා ඇති දෙපාර්ශ්වයටම පිළිගත හැකි විසඳුමකි. ඒ සඳහා එල්ටීටීඊ සංවිධානය දිගින් දිගටම යහපත් ප්‍රතිචාර නොදක්වන්නේ නම් මැදිහත්කාර භූමිකාවට අන්තර්ජාතික සහාය ලබාගත හැකිව තිබුණි. එසේ සිදු නොවූ අතර තදබල මිලිටරිමය මැදිහත් වීමකින් එල්ටීටීඊය අවසන් කෙරිණි. එහෙත් ප්‍රශ්නය එතෙකින් අවසන් නොවේ. එල්ටීටීඊයේ ක්‍රියාකාරිත්වය අවසන් වූ නමුත් එල්ටීටීඊය බිහි වන්නට තුඩු දුන් සමාජ දේශපාලන මූල පදනම තවදුරටත් එසේම තිබේ. යුද්ධය දිනාගැනීමෙන් පසු හිටපු ජනාධිපතිවරයා පැවැත්වූ රාජ්‍ය සභා කතාවෙ දී සතුරු බලවේගයකින් රට බේරා ගැනීම අවධාරණය කෙරුණා මිස ජාතීන් අතර ඇති වූ ප්‍රශ්නයට සහ දේශපාලන සමාජ ආර්ථික ප්‍රශ්නයට විසඳුමක් ළඟා කර දීම වෙනුවෙන් ඔහු කැප වන බව හරයාත්මකව ප්‍රදර්ශනය නොකෙරිණි. දැන් ඉතින් රට අපේ, හූමිය අපේ යන සංකල්පය පෙරදැරිව ගෝඨාභය රාජපක්ෂ ක්‍රියා නොකළෙහිද? උතුරේ ජනයා තුළ සහෝදරත්වය වගා දිගා නොකර හුදෙක් අරක්කු හා කිරිබත්වලින් ජයග්‍රහණය සැමරීමෙන් මේ ප්‍රශ්නය ගමන්  කරන්නේ කවර තත්වයකටද යන්න ගෝඨාභය කල්පනා කළෙහිද? උතුරේ ප්‍රශ්නයට සාධාරණ විසඳුමක් ළඟා කර දෙන වැඩපිළිවෙළක් සම්පාදනය කිරීමෙන් තොරව භූමියේ බලය පමණක් ප්‍රදර්ශනය කෙරෙන දේශපාලන අභිවාදනයකින් මේ ප්‍රශ්න විසඳිය නොහැකි බව මහින්දවත්, ගෝඨාභයවත් කල්පනා නොකළහ. මේ වැරදි හා ආන්තික ආකල්පයත් ක්‍රියාකාරිත්වයත් උතුරේ යළි ත්‍රස්තවාදී ක්‍රියාවලට තුඩුදීමක් නොවේද? උතුරේ ප්‍රශ්නයට ඇත්ත විසඳුමක් නොදුනහොත් යහපාලන රජය වුව බරපතළ තත්ත්වයකට පත් විය හැකි බව එහි නායකයනුත් කල්පනා කළ යුතුය. අද සිටින නායකයන්ටත් උතුරට යාමට හැකි වී තිබෙන්නේ යුද්ධය අවසන් කළ නිසා යැයි ගෝඨාභය කියයි. එය සත්‍යයෙන් අර්ධයක් පමණයි. ඉතිරි අර්ධය වන්නේ වත්මන් ජනපති ජාතීන් අතර සහයෝගිතා පදනමකින් ක්‍රියා කරන්නට රිසි නායකයෙක් බව මුල සිටම ප්‍රකට කිරීමය. ඒ ලක්ෂණය ඔහු තුළ නොමැති වූවානම් යුද්ධයක් අවසන්ව තිබුණත් උතුරින් හොඳ ප්‍රතිචාරයක් ලැබෙන්නට විදියක් නැත. යුද්ධය අවසන් වූ පසු එක් අවස්ථාවක දී හිටපු ජනාධිපතිවරයා උතුරේ දී එබඳු මහජන විරෝධයකට මුහුණ පෑවේය. ජනපති මෛත්‍රීපාල සිරිසේනට තවම එවැන්නක් සිදු වී නැත.

මේවා පළිගැනීම්ද?

ගෝඨාභය තවදුරටත් කියා තිබෙන්නේ දූෂණ මර්දනයට මුවා වී වත්මන් යහපාලන ආණ්ඩුව දේශපාලන විරුද්ධවාදීන් මර්දනය කරන බවය.  විටින් විට විරුද්ධ දේශපාලනඥයන් බන්ධනාගාර ගත වූ බව සැබෑය. එහෙත් ඒ කිසිවෙක් විරුද්ධ දේශපාලනයේ නිරත වීම නිසා බන්ධනාගාරගත නොවූ බව රටවැසියෝ දනිති. මහින්ද රාජපක්ෂගේ සිට පහළට සෑම අයකුම ප්‍රශ්න කිරීමට ලක් වූයේ සහ වීරවංශ, නාමල්  රාජපක්ෂ යන අය බන්ධනාගාර ගත වූයේ බරපතළ චෝදනා හේතුවෙනි. තමා සතුව තිබෙන අධික ධන සම්භාරයක මූලය නාමල් රාජපක්ෂට හෙළි නොකළ හැකි නම් එය අර්ථ කථනය වනුයේ එම මුදල් අනිසි උපයා ගැනීමක් ලෙස මිස සාධාරණ කර්මාන්තයකින් උපයා ගත්තක් ලෙස නොවේ. බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසමේ ප්‍රථම ලේකම්වරයා වූ ලැසිල් ද සිල්වා සත්හඬ පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් කියා තිබෙන්නේ මහින්ද රාජපක්ෂට අදාළ වංචා විමර්ශනවල කෙළවරක් තම අධීක්ෂණය යටතේ දකිමින් සිටි බවය. බැසිල් රාජපක්ෂ නිදසුනකට ගතහොත් ඔහු ඉදිකළ මල්වානේ නිවස හිටි හැටියේම තමාගේ නොවන බව කීමට ඔහුට ශක්තිය තිබුණි. එසේ විශාල වටිනාකමකින් යුත් දේපළක් චෝදනාවකින් ගැලවීම උදෙසා තමාගේ නොවේ කියා අත්හරින්නට නම් තවත් කෙතරම් දේපළ ඔහු සතුව තිබිය යුතුද! එය මල්වානේ දේපළ මෙන් සිය ගණනකට වඩා වැඩි විය යුතුය. රටේ සාමාන්‍ය වැසියකු නම් තමා මහත් දුක් විඳ උපයා සපයා ගත් නිවස හා ඉඩම අතහැරීම යනු ජීවිතය අතහැරීම, හා සමාන ක්‍රියාවකි. මන්ද, ඉඩමක් නිවසක් වැනි දේපළක් ඉපැයීමට සාමාන්‍ය වැසියකු මුළු ජීවිත කාලයම දුක් විඳින නිසාය. හිටපු ඇමැති වීරවංශ රටේ ධනය වැය කර ඥාතීන්ට තුට්ටු දෙකට නිවාස දීම සහ මිතුරන්ට අමාත්‍යාංශයේ වාහන අවභාවිත කරන්නට ඉඩ සපයා තිබීම අත්අඩංගුවට ගෙන විමර්ශනයට ලක් නොකළ යුතු වරදක්දැයි ගෝඨාභය කියන්නෙහිද? රටේ ප්‍රධානීන්ගේ වංචා දූෂණ හැරුණු විට රාජපක්ෂ ආණ්ඩු කාලයේ ප්‍රදේශයේ දේශපාලනඥයන් කෙතරම් නම් දූෂිත ජීවිත ගත කළාද? ඔවුන් දේශපාලනයට එන විට තිබුණු වත්කම් සහ වසර කිහිපයක් ප්‍රාදේශීය දේශපාලනයේ නිරත වීමෙන් පසු වත්කම් පරීක්ෂා කර බැලුවහොත් මේ බව මනාව ඔප්පු වෙයි. බැසිල්ට වීරවංශට නාමල්ට පමණක් නොව මේ සියල්ලන්ටත් දඬුවම් පැමිණ විය යුතුය.

සංවර්ධනය

ගෝඨාභය කියන්නේ රාජපක්ෂ ආණ්ඩුව සමයේ රට විශාල සංවර්ධනයක් අත්පත් කරගත් නමුත් වත්මන් ආණ්ඩුව සමයේ දැනෙන සංවර්ධනයක් සිදුව නැති බවය. බැලූ බැල්මට එම කතාවෙහි එක්තරා ඇත්තක් තිබුණත් රජය ජනතාවගේ ඇස් ගිනිකණ වට්ටන ජාතියේ සෑම සංවර්ධන ව්‍යාපෘතියකින්ම දැවැන්ත ගසා කෑමක් සිදු කර ඇති බව පසුව හෙළිදරව් විය. දක්ෂිණ අධිවේගී මාර්ගය ඉන් එකකි. දුම්රිය මාර්ග ඉදිකිරීමේ සිට අනුරාධපුර දැයට කිරුළ භූමියේ ගස් කපා විකිණීම, නිධන් හෑරීම දක්වාම රාජපක්ෂ රජයේ සංවර්ධනයේ කැත සෙලුව දක්නට ලැබිණි. ඇතැම් විදෙස් ආයෝජකයන් ආයෝජනය කිරීමට පැමිණ ආපසු යන්නට ගියේ ආණ්ඩුවේ ලොක්කන්ට දිය යුතු අල්ලස අතිමහත් එකක් වූ නිසාය.

වත්මන් ආණ්ඩුව බලයට පත් වූ ගමන් රාජපක්ෂ ආණ්ඩුවේ ඇතැම් ව්‍යාපෘති නතර කිරීමට සිදු වූයේ ඒ සමහර ඒවා ශක්‍යතා අධ්‍යයනයක්, පරිසර වාර්තාවක් ආදී කිසිවකින් තොර වූ නිසාය. සමහර ව්‍යාපෘතිවල අත යට ගනුදෙනු සංවර්ධන ඉලක්කවලට වඩා වැඩි වී තිබුණු නිසාය. යටිතලයේ ගනුදෙනු බලවත් වුවත් සංවර්ධන අපේක්ෂාවන් ඉහළ හා පිළිගත හැකි  එකක් වූවානම් සමහර ව්‍යාපෘති සාධාරණීකරණය කළ හැකිව තිබිණි.

ගෝඨාභය කියන පරිදි මහා සංවර්ධනයක් රට තුළ  සිදු වූවා නම් හා සිදු වෙමින් පැවතියා නම් එහි ප්‍රතිලාභ ජනතාවට අත් විය යුතුය. සංවර්ධනයේ ප්‍රතිලාභ  නැත්නම් මෙම සංවර්ධනයෙන් ඇති ඵලය කුමක්ද යන්න විමසිය යුතුය. රාජපක්ෂලාගේ සංවර්ධනයේ නාමයෙන් සිදු වූයේ ලාංකිකයා තව තවත් දුප්පත් වීමය. දුප්පත්කමට පිහිට වන සංවර්ධනයක් රාජපක්ෂලාගේ හෝටල් හා කැසිනෝ ව්‍යාපෘති තුළ දක්නට නොවීය. වත්මන් ආණ්ඩුව සංවර්ධනය හා ජනතාවගේ ආර්ථික අපේක්ෂාව දැල්වීම නම් වූ වැදගත්ම ව්‍යාපෘතියට අත ගැසිය යුත්තේ ගෝඨාභයලා වරද්දාගත් තැන හඳුනාගෙනය.

නිදහස සහ ආර්ථික නිදහස

මත ප්‍රකාශ කිරීමේ දී තවමත් රටේ ජනයාට රාජපක්ෂ ආණ්ඩුව පැවැති සමයට වඩා සාපේක්ෂ නිදහසක් ආරක්ෂා වී තිබේ. පොදු විපක්ෂය නමැති කණ්ඩායමට මේසා ආණ්ඩුව විවේචනය කරන්නට සහ පොල් ගසන්නට ඉඩ ලැබී තිබෙන්නේ ඒ සාපේක්ෂ නිදහස තුළ බවත් අප ගෝඨාභයට අවධාරණය කළ යුතු වෙයි. මෛත්‍රීට පොල් ගැසූ ආකාරයට එකල මහින්දට පොල් ගැසුවා නම් ඒ කාගෙ කාගේත් ඉතිරි වන්නේ පොල් කුඩු පමණි. සංස්කෘතික නිදහස පිළිබඳ කාරණයේදීත් යහපාලන රජය සිටින්නේ රාජපක්ෂ රජයට වඩා ගව් ගණනාවක් ඉදිරියෙනි. වත්මන් ආණ්ඩුව ජාතිවාදය හා ආගම්වාදය පිටුදකියි. රාජපක්ෂ රජය ඒ දෙකම දේශපාලන ප්‍රතිපත්තියක් ලෙස පිළිගත්තේය. එබැවින් අදට වඩා එදා නිදහසක් තිබිණැයි කීමට ගෝඨාභයට නොහැකිය. කිව්වත් එය පුහු අදහසක් පමණි.

වත්මන් රජය දුබලව සිටින්නේ ආර්ථික සංවර්ධනය විෂයෙහිදීය. ඇමැති ධුර මාරු වුවත් ආර්ථිකය විෂයෙහි ගැඹුරු වැඩසටහන්වලට හා ව්‍යාපෘතිවලට අත තබන්නට වත්මන් රජයට හැකියාවක් ලැබී නැත.

රාජපක්ෂ රජය ආරම්භ කළ ඇතැම් සංවර්ධන ව්‍යාපෘති ඉදිරියටත් පවත්වාගෙන යා යුතුය. ඒවා තාර්කික අවසානයකට ද පත් කළ යුතුය. ඒ සමඟම එම ව්‍යාපෘතිවල ප්‍රතිලාභ රටට හා ජනතාවට අත්කර දෙන වැඩපිළිවෙළක් ගැන රජය අවධානය යොමු කළ යුතුය. ‘ආණ්ඩුව යන ගමන වැරැදියි’ යනුවෙන් ගෝඨාභය නඟන ප්‍රවාදයට තාර්කික පිළිතුරක් ලබා දිය හැක්කේ මිනිස් නිදහස පිළිබඳ ප්‍රශ්නය සේම ආර්ථික අර්බුදය ද ජයගැනීමෙනි.

විමලනාත් වීරරත්න

උපුටාගත්තේ සත්හඬෙන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *