රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය හෝ වෛද්‍ය සභාව, සයිටම් ආයතනය ආරම්භ කරන අවස්ථාවේ එයට කිසිදු විරෝධයක් නොදැක්වී යැයි ගාමිණි වියන්ගොඩ පවසන්නේ බොරුවකි.
නෙවිල් ප්‍රනාන්දු විසින් 2008 මාර්තු 31 දා, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙතින් සීමා සහිත නෙවිල් ප්‍රනාන්දු පුද්ගලික ආයෝජන සමාගම වෙත South Asian Institute of Technology and Management (SAITM) පිහිටුවීම සඳහා අනුමැතිය ලබා ගන්නා ලදි. නෙවිල් ප්‍රනාන්දු ගේ ඉල්ලීම මත මෙහි ප්‍රධාන ආයෝජකයා ලෙස සීමා සහිත නෙවිල් ප්‍රනාන්දු පුද්ගලික ආයෝජන සමාගම යන්න වෙනස් කරමින් පසුව පුද්ගලිකව තමන් වෙත නෙවිල් ප්‍රනාන්දු විසින් මෙම අනුමැතිය ලබාගෙන ඇත. මෙහිදී අනුමැතිය ලබා ඇත්තේ වෛද්‍ය විද්‍යාලයක් පිහිටුවීමට නොවේ. තොරතුරු තාක්ෂණය, ඉංජිනේරු, වෘත්තීය පුහුණු, සෞඛ්‍ය අධ්‍යාපනය, හෙද සහ භාෂා වැනි පුහුණු පාඨමාලාවන් වෙනුවෙනි.
2009 මැයි මාසයේදී ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ, වෛද්‍ය එච්.එච්.ආර් සමරසිංහ විසින් ශ්‍රි ලංකාවේ පුද්ගලික උපාධි ප්‍රදාන ආයතනයක් සහ විදේශ වෛද්‍ය විද්‍යාලයක් එක්ව පිරිනමනු ලබන වෛද්‍ය උපාධිය පිළිගැනීමට ශ්‍රි ලංකා වෛද්‍ය සභාව සතුව නීතිමය ප්‍රතිපාදන නොමැති බව දැනුම් දෙන ලදි. විදේශ විශ්ව විද්‍යාලයක වෛද්‍ය උපාධිය ශ්‍රි ලංකාව විසින් පිළිගැනෙන තත්ත්වයක් යටතේ පවා ඉහත “නිවුන් පාඨමාලාවන්” පිළිගත නොහැකි බව ඔහු වැඩි දුරටත් දන්වා තිබේ.
2009 සැප්තැම්බරයේදී නෙවිල් ප්‍රනාන්දු විසින් සයිටම් ආයතනය (මේ වනවිටත් එහි නම South Asian Institute of Technology and Management ය) එහි 40 දෙනෙකුගෙන් සමන්විත පළමු සිසු කණ්ඩායම වෛද්‍ය උපාධි පාඨමාලාව සඳහා ලියා පදිංචි කරන ලදි.
සිය දැනුම් දීම නොතකා රුපියල් ලක්ෂ 65 බැගින් අයකරමින් සිසුන් බඳවාගැනීමට සයිටම් බලධාරීන් කටයුතු කිරීම නිසා ශ්‍රි ලංකා වෛද්‍ය සභාව විසින් 2009 ඔක්තෝබරයේදී භාෂා තුනෙන්ම පුවත් පත් දැන්වීම් පළ කරමින් සයිටම්හි වෛද්‍ය උපාධිය පිළිගැනීමට ශ්‍රි ලංකා වෛද්‍ය සභාව සතුව නීතිමය ප්‍රතිපාදන නොමැති බව පෙන්වා දෙන ලදි. ඒ වෛද්‍ය උපාධිය පිරිනැමීමට අදාළ නෛතික හෝ ආයතනික සුදුසුකම් නොමැති ආයතනයක් විසින් ඒ බව වංචනික ලෙස සඟවමින් වෛද්‍ය උපාධිය පිරිනමන බව කියමින් පුද්ගලයන් රවටමින් මුදල් ගසාකෑම වැළැක්වීමටය. එහෙත් නෙවිල් ප්‍රනාන්දු ආරම්භයේ සිටම උත්සාහ කළේ සිය බලගතු දේශපාලන සබඳතා උපයෝගී කරගනිමින් වෛද්‍ය සභාව විසින් මතුකළ කරුණු යටපත් කිරීමටය. ඉන් අනතුරුව හෝ 2010 පෙබරවාරියේදී ද තවත් සිසු කණ්ඩායමක් බඳවාගැනීමට කටයුතු කළේය. මේ නිසා නැවතත් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් 2010 මාර්තු භාෂා තුනෙන්ම පුවත්පත් දැන්වීම් පළ කරමින් සයිටම් හි වෛද්‍ය උපාධිය පිළිගැනීමට ශ්‍රි ලංකා වෛද්‍ය සභාව සතුව නීතිමය ප්‍රතිපාදන නොමැති බව පෙන්වා දෙමින් ජනතාව දැනුවත් කරන ලදි.
රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ 2010 වාර්තාව
2010 සැප්තැම්බර් මස 01 දින පැවැත් වූ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මහා කමිටුවේ තීරණයක් අනුව සයිටම් ආයතනය පිළිබඳව විශේෂ වාර්තාවක් සකස් කිරීමට කමිටුවක් පත්කරන ලද අතර එම වාර්තාව දැන් ඔවුන්ගේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබේ. [බලන්න]
එම වාර්තාවේ මෙසේ සඳහන් වේ.
“4.1 ආයෝජන මණ්ඩලයට පටහැනි බව
මෑතක් වනතුරු ශ්‍රි ලංකා වෛද්‍ය සභාව හා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව ඇතුළු සමස්ත ජනතාවම විශ්වාස කරනු ලැබුයේ මාලඹේ පිහිටි පෞද්ගලික වෛද්‍ය ආයතනය ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලයේ පූර්ණ අනුමැතිය යටතේ පිහිටුවා ඇති ආයතනයක් බවය. නමුත් මෙම සියළු කාණ්ඩ මවිතයට පත්කරමින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ලිඛිතව ශ්‍රි ලංකා වෛද්‍ය සභාවට දැනුම් දී ඇත්තේ තම ආයතනය හරහා මාලඹේ අධ්‍යාපන ආයතනයට වෛද්‍ය විද්‍යාලයක් පිහිටුවීමට කිසිදු අනුමැතියක් ලබා දී නොමැති බවයි.
මේ අනුව පෙනී යන්නේ මෙම මාලඹේ පෞද්ගලික වෛද්‍ය ආයතනය ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන හෝ වෛද්‍ය සේවාවේ ප්රමිතීන් හෝ රටේ ආර්ථිකය පිළිබඳව තීරණ ගන්නා කිසිදු ආයතනයකින් අනුමැතිය ලබා නොමැති ව්‍යාජ ආයතනයක් බවයි.
4.2 විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවට පටහැනි බව
විශ්ව විද්‍යාල පනතේ අංක 21 සිට 25A දක්වා වූ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව යටතේ පවතින ආයතනවලින් කිසිදු ගණයකට මෙම ආයතනය අයත් නොවේ. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව පවසන ආකාරයට මෙය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ පවතින ශ්‍රමිකයන් පුහුණු කිරීමේ ආයතනයක් ලෙස පිහිටුවා ඇති නිසා මෙම ආයතනය අධීක්ෂණය කිරීමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවට බලතල නොමැත.
4.3 ශ්‍රී ලංකා වෛද්‍ය ආඥා පනතට පටහැනි බව
මාලඹේ පිහිටි පෞද්ගලික වෛද්‍ය ආයතනය ඉහත සඳහන් කළ ආකාරයේ නිවුන් පාඨමාලාවක් ලෙස ආරම්භ කර ඇති අතර මෙම පසුබිම තුළ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මෙම ආයතනය ප්‍රතික්ෂේප කර ඇත. මේ බව ශ්‍රි ලංකා වෛද්‍ය සභාව ලිඛිතව එම ආයතන ප්‍රධානීන්ට හා භාෂා තුනෙන්ම පුවත්පත් දැන්වීම් හරහා මහජනතාවට දැනුම් දී ඇත. එම නිසා දැනට ක්‍රියාත්මක වන මාලඹේ පෞද්ගලික වෛද්‍ය ආයතනය ශ්‍රී ලංකා වෛද්‍ය සභා අනුමැතිය නොලත් ආයතනයකි. නමුත් පුදුමයට කරුණ වනුයේ මෙවන් පසුබිමක පවා එම ආයතනය එක් සිසුවෙකුගෙන් රුපියල් ලක්ෂ 65ක් බැගින් අයකරමින් දිගින් දිගටම සිසුන් බඳවා ගැනීමේ කටයුතුවල නිරත වීමය.
4.4 රුසියානු වෛද්‍ය සභාවේ අනුමැතිය නොමැති බව
ඕනෑම රටක විශ්ව විද්‍යාලයකට පමණක් ස්වකීය කැමැත්ත අනුව තම ආයතනයේ ශාඛා වෙනත් රටවල පිහිටුවීමට නීතිමය අවස්ථාවක් නොමැත. එම ශාඛාව පිළිගත් අධ්‍යාපන ආයතනයක් වනුයේ එය මව් විශ්ව විද්‍යාලය පිහිටි රටේ උසස් අධ්‍යාපනය පිළිබඳ බලතල සහිත ආයතනයෙන් අනුමැතිය ලබා ඇත් නම් පමණි. නිෂ්නිනොව්ගොරොඩ් විශ්ව විද්‍යාලය ලබාදෙන වෛද්‍ය උපාධිය රුසියානු වෛද්‍ය සභාව මගින් පිළිගනු ලැබූවද කොටසක් රුසියාවේදී හා ඉතිරි කොටස ශ්‍රී ලංකාවේදී අධ්‍යාපන ලබාදෙන පාඨමාලාවට රුසියානු වෛද්‍ය සභා අනුමැතිය නොමැත. මෙම සියළු කරුණු සලකා බැලීමේදී පෙනී යන්නේ මෙම ආයතනය වෛද්‍ය විද්‍යාලයක් මුවාවෙන් සිදු කරන මුල්‍ය වංචාවක් බවය.”
-සයිටම් පිළිබඳ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ වාර්තාව 2010
ආයෝජන මණ්ඩලය විසින් වෛද්‍ය සභාවට එවන ලද පිළිතුර-
2010 අගොස්තු 09 වැනි දා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ මහාචාර්ය ලලිතා මෙන්ඩිස් විසින් ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා වෙත ලිපියක් යවමින් ප්‍රශ්නමාලාවක් South Asian Institute of Technology and Management ආයතනය සහ එහි ලියාපදිංචිය පිළිබඳව විමසන ලදී.
එහි ලා ඇය විසින් ඉදිරිපත් කරන ලද ප්‍රශ්න කීපයක් සහ ආයෝජන මණ්ඩලය විසින් දෙන ලද පිළිතුරු පහත දැක්වේ.
“2. වෛද්‍ය විද්‍යාලයක් පිහිටුවීම සඳහා යෝජනාවක් ඉල්ලුම් පත්‍රයේ අන්තර්ගත වූයේද?
පිළිතුර- නැත.
3. ඉල්ලුම් පත්‍රය ඉදිරිපත් කර ඇත්තේ රුසියාවේ නිෂ්නි නොව්ගොරොද් රාජ්‍ය වෛද්‍ය ඇකඩමිය [Nizhny Novgorod State Medical Academy (NNSMA)] සමග විදේශීය විශ්ව විද්‍යාලයක් ශ්‍රි ලංකාව තුළ පිහිටුවනු සඳහා ඒකාබද්ධ ඉල්ලුම්පත්‍රයක් ලෙසද?
පිළිතුර- නැත. ඉහත දැක්වෙන ආකාරයට මෙය 100%ක්ම දේශීය ආයතනයකි.
4. NNSMA ආයතනය විසින් ශ්‍රි ලංකාව තුළ විදේශිය විශ්ව විද්‍යාලයක් පිහිටුවීම සඳහා වෙනම ඉල්ලුම් කර තිබේද?
පිළිතුර- නැත.
7. කාරුණාකර අනෙකුත් අදාළ විස්තර සපයන්න.
පිළිතුර- සීමාසහිත නෙවිල් ප්‍රනාන්දු පුද්ගලික ආයෝජන සමාගම ඔවුන්ගේ 2008 මැයි 21 දාතමින් යුතු ලිපිය මගින් ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය වෙත දැනුම් දී ඇත්තේ ඔහු ගරු සෞඛ්‍ය ඇමැතිවරයා, ජනාධිපති, ශ්‍රි ලංකා වෛද්‍ය සභාව, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව වෙත පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කිරීම සඳහා අවසර දෙන ලෙස ඉල්ලා ඇති බවයි. එමෙන්ම ඔහු ඔවුන් වෙත යැවූ ලිපිවල පිටපත් ඉදිරිපත් කොට ඇත.
2009 ජනවාරි 26 වැනි දින දාතමින් යුතුව නෙවිල් ප්‍රනාන්දු විසින් ලියන ලිපිය මගින් ඔහු දන්වා ඇත්තේ රුසියාවේ කීර්තිමත් විශ්ව විද්‍යාලයක් සමග එනම් නිෂ්නි නොව්ගොරොද් රාජ්‍ය වෛද්‍ය ඇකඩමිය සමග සම්බන්ධව (Doctor of Medicine) M.D වෛද්‍ය උපාධිය පිරිනැමීමට හැකි බවයි. එමෙන් ම ඔහු වැඩි දුරටත් දන්වා සිටියේ එම M.D උපාධිය දැනටමත් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව, එක්සත් රාජධානියේ වෛද්‍ය සභාව සහ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පිළිගෙන ඇති බවයි.”
(-2010 අගොස්තු 09 වැනි දා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ මහාචාර්ය ලලිතා මෙන්ඩිස් විසින් ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා වෙත යවන ලද ලිපියට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල සභාපතිවරයා විසින් එවන ලද පිළිතුරු ලිපියෙන්)
රුසියාවෙන් ලද ලිපිය-
රුසියාවේ සහතිකකරණ සහ අනුමත කිරීම් පිළිබඳ ජාතික ආයතනය National Accreditation Agency විසින් සයිටම් පිළිබඳ වෛද්‍ය චානක පෙරේරාගේ විමසුමට පිලිතුරු ලෙස එවන ලද ලිපියේ මෙසේ දැක්වේ. (මූලාශ්‍ර)
“නිශ්නි නොව්ගොරොද් රාජ්‍ය වෛද්‍ය ඇකඩමියේ ශ්‍රි ලංකා විශ්ව විද්‍යාලයේ ක්‍රියාකාරකම් පිළිබඳව විමසමින් විවිධ පුද්ගලයන්ගෙන් ලිපි ගණනාවක් ලැබී ඇති බව මම ඔබට දැන්වීමට කැමැත්තෙමි. ඒකාබද්ධ වැඩසටහන් පිළිබඳ පිළිගැනීම සහ අනුමැතිය දීම සහතිකකරණ සහ අනුමත කිරීම් පිළිබඳ ජාතික ආයතනයේ වගකීමක් නොවන බැවින් එම ලිපි සියල්ල අධ්‍යාපනය සහ විද්‍යාව පිළිබඳ ෆෙඩරල් සුපරීක්ෂක සේවය වෙත යොමු කරන ලදි.
තවද, රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් 2010 දී නිකුත් කරන ලද Report on the ill- conceived Private Medical College at Malabe (South Asian Institute of Technology and Management – SAITM) යන වාර්තාව ද අප වෙත ලැබුණ අතර අප එයද රුසියානු භාෂාවට පරිවර්තනය කර අධ්‍යාපනය සහ විද්‍යාව පිළිබඳ ෆෙඩරල් සුපරීක්ෂක සේවය වෙත යොමු කරන ලදි.
සහතිකකරණ සහ අනුමත කිරීම් පිළිබඳ ජාතික ආයතනය රුසියානු ෆෙඩරේෂනයේ සියලු උසස් අධ්‍යාපන ආයතන පිළිබඳ දත්ත පවත්වාගෙන යයි. එහෙත් නිෂ්නි නොව්ගොරොද් රාජ්‍ය වෛද්‍ය ඇකඩමියේ ශ්‍රි ලංකා විශ්ව විද්‍යාලයක් ගැන කිසිදු විස්තරයක් එහි අඩංගු නොවේ. මෙහි අදහස වන්නේ මෙම ඒකාබද්ධ වැඩසටහන රුසියාව තුළ පිළිගත් එකක් නොවන බවය. සියළු වැඩිදුර විමසීම් මොස්කව් හි අධ්‍යාපනය සහ විද්‍යාව පිළිබඳ ෆෙඩරල් සුපරීක්ෂක සේවය වෙත යොමුකළ යුතුය.
මෙම තොරතුරු උපකාරී වෙතැයි සිතමි.
ඔබේ විශ්වාසි,
ඉරීනා තතරිනෝවා
අධ්‍යක්ෂක
සහතිකකරණ සහ අනුමත කිරීම් පිළිබඳ ජාතික ආයතනය
රුසියාව”
2011 පෙබරවාරියේදී දී සයිටම් ආයතනය සිය නම South Asian Institute of Technology and Medicine ලෙස වෙනස් කරයි. මේ වනවිට ද වෛද්‍ය අධ්‍යාපනය සඳහා සිසු කණ්ඩායම් ගණනාවක් බඳවාගෙන පාඨමාලා ආරම්භ කර තිබුණි. 2011 දක්වා එහි ලියාපදිංචි වී වෛද්‍ය අධ්‍යාපනය ලැබූවන් ලියාපදිංචි වී ඇත්තේ South Asian Institute of Technology and Management යන ආයතන නාමය යටතේය. වෛද්‍ය සභාව සහ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයවිසින් මෙම ආයතනයේ යෝග්‍යතාව ප්‍රශ්න කිරීමත් සමගම නෙවිල් ප්‍රනාන්දු විවිධ දහංගැට දමමින් එම ප්‍රශ්න යටපත් කරන්නට උත්සාහ දැරූ බව පැහැදිලිය. මහින්ද රාජපක්ෂගේ සිට විවිධ බලගතු දේශපාලකයන්ගේ මැතිවරණ අරමුදල් වලට මිලියන ගණන් පුදමින් ද ඔවුන්ගේ දරුවන්ට සහ ඥාතීන්ට සයිටම් ආයතනය තුළ වෛද්‍ය විද්‍යාව හැදෑරිම සඳහා ශිෂ්‍යත්ව ලබා දෙමින් ද මෙම ආයතනය පිටුපස ශක්තිමත් මාෆියාවක් ගොඩනගා ගන්නට නෙවිල් ෆ්‍රනාන්දු සමත් වී තිබේ.
රජයේ වෛද්‍ය නිලධාරි සංගමය හෝ ශ්‍රි ලංකා වෛද්‍ය සභාව සයිටම් ආයතනය වෙත එහි ආරම්භක අවස්ථාවේදී විරෝධය පළ නොකළේ යැයි ගාමිණි වියන්ගොඩ හිතාමතාම බොරු කියන බව පැහැදිලිය. ඔහු මෙම බොරුව තුළින් ගොඩනැගීමට උත්සාහ දරන තර්කය වන්නේ රජයේ වෛද්‍ය නිලධාරි සංගමය හෝ වෛද්‍ය සභාවේ රාජපක්ෂ හිතවාදින් බවත් ඒ හේතුවෙන් ඔවුන් එදා විරෝධය පළ නොකළ බවත් අද ඔවුන් විරෝධය පළ කරන්නේ ඔවුන්ගේ සදාදරණීය යහපාලනයට එරෙහිව දේශපාලන කුමන්ත්‍රණයක් ලෙස බවත් ප්‍රචාරය කරමින් පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි සමස්ත අරගලය ජනතාව හමුවේ හෑල්ලු කිරීමටය.
මෙම ආයතනයේ වෛද්‍ය පාඨමාලාව සඳහා රුපියල් මිලියන 65 සිට 12 දක්වා මුදලක් ගෙවා ඇති සිසුන් සහ ඔවුන්ගේ දෙමව්පියන් මෙම ආයතනය සම්බන්ධව වෛද්‍ය සභාව හෝ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය කරන ලද අනතුරු ඇඟවීම්වලින් පසුවත් එකෙකු දෙන්නෙකු හැර සෙස්සන් ඒ පිළිබඳව නිසිලෙස සොයා බලා නැත්තේ මන්ද? මිලියන 12ක් යනු ඔවුන්ට එතරම් කජ්ජක් නොවූ නිසාද? නැතහොත් අවසානයේ දී තමන්රාජපක්ෂලා, රාජිත සේනාරත්නලා, එස්. බී දිසානායකලා, ලක්ෂ්මන් කිරිඇල්ලලා හරහා සියල්ල ඉටු කරගෙන තත්ත්වය පාලනය කරන බවට දුන් ප්රතිඥාවන් විශ්වාස කළ නිසාද?
ගාමිණි වියන්ගොඩ විසින් සයිටම් සිසුන් සිය ආයතනයේ සහ එහි පාඨමාලාවන්ගේ ප්‍රමිතිය පිළිබඳව රජයේ විශ්ව විද්‍යාලවල සිසුන්ට වඩා උනන්දුවක් දක්වන බැවින් එහි ප්‍රමිතිය වඩාත් උසස්මට්ටමක පැවතීමට එය හේතුවනු ඇතැයි තවත් ප්රලාපයක් ගොඩනගයි.
“….රජයේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයා තමන්ට නොමිලේ ලැබෙන නිසා එම අධ්‍යාපනයේ ප්‍රමිතිය ගැන ඇස් වසාගෙන සිටියාට, ලක්ෂ සීයක් පමණ වියදම් කරන සයිටම් ශිෂ්‍යයා තමන්ගේ අධ්‍යාපනය ගැන ඇස් කන් පියාගෙන සිටින්නේ නැත. එබැවින්, ප්‍රමිතිය පිළිබඳව අදාළ සෘජු පාර්ශ්වයේම මැදිහත් වීමක් පෞද්ගලික විශ්ව විද්‍යාලයකදී අපට දැක ගත හැකිය.”
-අධ්‍යාපනයේ නිදහස සහ සයිටම් පටලැවිල්ල (අංක- 7)
“රාජ්‍ය අංශයේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකු මෙන් නොව, තමන් ලබන අධ්‍යාපනයේ ප්‍රමිතිය පිළිබඳව පෞද්ගලික අංශයේ උසස් අධ්‍යාපනය ලබන ශිෂ්‍යයා විශේෂ උනන්දුවක් දක්වයි. එහිදී සයිටම් විශ්ව විද්‍යාලය උදාහරණයට ගනිමින් එහි ශිෂ්‍යයෙකු වැය කරන ලක්ෂ සීයක් හෝ ඊට ආසන්න අති විශාල මුදල් ප්‍රමාණය නිසා, ඒ මුදලේ වටිනාකමට සරිලන අධ්‍යාපනයක් ලබා ගැනීම කෙරෙහි එවැනි ශිෂ්‍යයෙකු ස්වභාවයෙන්ම විශේෂ උනන්දුවක් දක්වන බව පෙන්වා දුනිමි.
ලක්ෂ සීයක් යනු සෙල්ලමක් නොවේ. එබැවින්, ප්‍රමිතිය පිළිබඳව සයිටම් ශිෂ්‍යයෙකු වඩාත් සවිඥානක වනු නියතයි.”
-අධ්‍යාපනයේ නිදහස සහ සයිටම් පටලැවිල්ල (අංක- 8)
ශ්‍රි ලංකා වෛද්‍ය සභාව විසින් පළ කළ පුවත් පත් දැන්වීම් ගණන් නොගෙන මිලියන ගණන් නෙවිල් ප්‍රනාන්දුගේ වෛද්‍ය විද්‍යාල ජාවාරමට බැර කළවුන් දෙතුන් දෙනෙකු දැන් සයිටම් ආයතනයට එරෙහිව නඩු පවරා ඇත. සයිටම් ආයතනය තමන්ට වංචා කළ බව පවසමින් නිතිය හමුවේ සහ වෙනත් ආයතන හමුවේ පැමිණිලි කළ සිසුන්ගේ ශිෂ්‍ය භාවය අහෝසිකිරීමට කටයුතු කරමින් සයිටම් ආයතනය සිය “ඉහළ ප්‍රමිතිය” රැක ගෙන තිබේ. සයිටම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා විසින් සිය ආයතනයේ ප්‍රමිතිය රැකගැනීමට කොතෙක් කැපවී තිබේදැයි කිව හොත් ඔහු ඒ වෙනුවෙන් සිය මෝටර් රථයටම වෙඩි තබාගැනීමට තරම් පරිත්‍යාගශීලි වී තිබේ.
සයිටම් සිසුන් සහ ඔවුන්ගේ දෙමව්පියන් බහුතරය රුපියල් මිලියන 12ක් ගෙවා ඇත්තේ ශ්‍රි ලංකාවේ වෛද්‍ය සභාවේ අනුමැතිය තමන්ට ඇතැයි දරුසියාවේ නිශ්නි නොව්ගොරොද් රාජ්‍ය වෛද්‍ය ඇකඩමිය සමග ඒකාබද්ධව (Doctor of Medicine) M.D වෛද්‍ය උපාධිය පිරිනැමීමට කටයුතු කරන බවට ද පවසන ලද බොරු අමු අමුවේ ගිල දමමිනි. පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් මගින් වෛද්‍ය උපාධියක් පිරිනැමීම යනු විශේෂයෙන් අවධානය යොමු කළ යුතු කරුණක් වන්නේ එය ලංකාවේදී සාමන්‍යයක් නොවන බැවිනි. එහෙත් වියන්ගොඩගේ පවසන “ඉහළ ප්‍රමිතිය” මිලියන ගණන් දී මිලට ගත් සයිටම් සිසුන්ට හෝ ඔවුන්ගේ දෙමව්පියන් බහුතරයකට අඩු තරමින් මෙම ආයතනයේ හෝ එහි පාඨමාලාවන්ගේ අව්‍යාජත්වය තහවුරු කරගැනීමට පවා එතරම් උනන්දුවක් තිබී නැති සෙයකි. නැතහොත් ඔවුන් ද මෙම ආයතනයේ සිදුවන වංචනික සහ දූෂිත ක්‍රියාවලිය ගැන හොඳින්ම දැනුවත්ව අවසානයේදී දේශපාලන බලය යොදාගනිමින් වෛද්‍ය උපාධි සහතිකය මිලට ගැනීමට තමන්ට හැකිවෙතැයි යන විශ්වාසයේ පසුවන්නට ඇත. එහෙයින් මේ අතේ තිබූ දෙය කටේ දාගන්නට මොහොතකට පෙර සියල්ල කඩාකප්පල් කළ වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුව සහ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු සමස්ත සිසු පරපුරටත් රජයේ වෛද්‍ය නිලධාරි සංගමයටත් ඔවුන්ගේ දැඩි වෛරය එල්ල වී තිබීම තේරුම්ගත හැකි දෙයකි.
තම ආයතනයේ ප්‍රමිතිය පිළිබදව දැඩිලෙස සැලකිළිමත් යැයි වියන්ගොඩ විසින් පවසන සයිටම් සිසුන් බාලාංශ ළමුන් මෙන් එක් ශිෂ්‍යාවකගේ පියෙකු පිළිගැනීමට පෙළ සැදී සිටින අන්දම
නාමල් සයිටම් නෙවිල් කාර්යමණ්ඩලය සහ රෝහිත සහ ඔහුගේ දුව
නාමල් සහ රෝහිත අබියස සයිටම් නෙවිල් සහ එහි කාර්යමණ්ඩලය එකත්පස්ව සිටිමින්
අජිත් සී හේරත්
උපුටාගැනීම බූන්දියෙන්