මුස්ලිම් ප්‍රජාව සහ අනෙකුත් සුළුතර ආගමිකයන් ඉලක්ක කොටගත් වෛරී සහ ප්‍රචණ්ඩකාරී කථන ප්රචාරයට පොළඹවන්නන්ට හා ප්‍රචණ්ඩකාරීව හැසිරෙන්නන්ට විරුද්ධව අවශ්‍ය සියලුම පියවර ගන්නා ලෙස නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයට සහ පොලිස්පතිවරයාට කඩිනම් නියෝග නිකුත් කරන මෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාවේ සභාපතිනි ආචාර්ය දීපිකා උඩගම මහත්මිය විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත සංදේශයක් යොමුකරමින් ඉල්ලීමක් කොට ඇත.
“ජාතික නීති පද්ධතිය යටතේ සහ ජාත්‍යන්තර මානව අයිතිවාසිකම්ලට අදාළව රජය විසින් පිළිගෙන ඇත්තාවු බැඳීම් වලට අනුව, එවන් ප්රචණඩාකරී ක්රියාමයන් වළක්වාලීම සහ ප්රචණ්ඩත්වය පෝෂණය කරන්නාව සහ ප්‍රවර්ධනය කරන්නා වූ වෛරී කථනයන් පිටුදැකීම සඳහා පමා නොවී කටයුතු කිරීම රජයේ වගකීම වේ. එසේ කටයුතු කිරීම අපොහොසත්වීම රටෙහි මානව අයිතිවාසිකම් ක්‍රියාදාමය මත කළු පැල්ලමක් වනු පමණක් නොව ජනාධිපතිතුමන් විසින් විශේෂයෙන් අවධාරණය කර ඇති සංහිඳියා යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමෙහිලා බලවත් බාධාවක් වනු ඇති” බවද මානව හිමිකම් කොමිසන් සභාව අවධාරණය කරයි.
“කිසියම් ප්රජාවකට විරුද්ධව එල්ල කරන්නාවු වෛරී සහ ප්‍රචණ්ඩකාරි කථනයන්, 2007 අංක 56දරන සිවිල් හා දේශපාලනික අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර ප්රඥප්තිය ආශ්රිත පනත සහ ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්රහයෙහි විධිවිධාන යටතේ අපරාධ ලෙස සැලකෙන ක්‍රියාවන්” වන බව මානව හිමිකම් කොමිසන් සභාව සඳහාන් කොට ඇත. “එවන් ක්‍රියාදාමයන් හි යෙදෙන්නන් අත්අඩංගුවට ගෙන නීති ප්‍රකාරව කටයුතු කිරීම අත්‍යවශ්‍ය වේ. පවත්නා නීති ක්‍රියාත්මක නොවී හුදෙක් වචනය පමණක් සීමා වි තිබීම නීතියේ ආධිපත්‍යයට එරෙහිව එල්ලවන බලවත් පහරක් වේ. එම නිසා රටෙහි පොදු යහපත තකා, මෙකී නීතිරීති ක්‍රියාවට නැංවීම අත්‍යවශ්‍යවේ.” යැයි කොමිසන් සභවේ සංදේශයෙහි වැඩිදුරටත් දැක්වෙයි.
1996 අංක 21 දරන පාර්ලිමේන්තු පනත යටතේ ස්ථාපිත කරන ලද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාවෙහි අරමුණ වනුයේ පැරිස් මූලධර්ම මත පිහිටා ජාතික සහ ප්‍රාදේශීය මට්ටම්වල සිට මානව හිමිකම් ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීමයි.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාවෙහි මූලික කාර්යයන් අතර මූලික මානව හිමිකම් උල්ලංඝනයන්හිදී විමසීම් සහ විමර්ශනය කිරීම, ශ්‍රී ලංකා රජයේ සියලුම ක්‍රියාපටිපාටීන්, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතිකකර ඇති මූලික අයිතිවාසිකම්වලට අනුව ඉටු කිරීමට වග බලා ගැනීම, මූලික අයිතිවාසිකම්වලට අනුකූලව නීති සම්පාදනය කිරීමටත්, පරිපාලන මගපෙන්වීම් කිරීමටත් රජයට උපදෙස් සහ සහයෝගය දීම, ජාතික නීති පද්ධතිය සහ පාලන ක්‍රමය ජාත්‍යන්තරව පිළිගත් මානව අයිතිවාසිකම්වලට අවනත වෙමින් ක්‍රියාත්මක කිරීමට රජයට උපදෙස් දීම, මානව හිමිකම් ක්ෂේත්රයේ ජාත්‍යන්තර මානව හිමිකම් ගිවිසුම් සහ අනෙකුත් ජාත්‍යන්තර මෙවලම් උපයෝගී කරගැනීමට රජයට උපදෙස් දීම, සහ රට තුළ මානව හිමිකම් පිළිබඳ දැනුවත් බව ප්‍රවර්ධනය කිරීම වෙයි. ඉහත සංදේශය ජනාධිපතිවරයා වෙත යොමු කොට ඇත්තේ එම බලතල ප්‍රකාරවය.
2010 දී එවකට පැවැති ආණ්ඩුව විසින් ගෙන ආ 18 වන සංශෝධනයෙන් මානව හිමිකම් කොමිසන් සභාවේ කොමසාරිස්වරුන් පත්කිරීමේ බලය විධායක ජනාධිපතිවරයා වෙත පැවරීමෙන් එහි ස්වාධීනතාවය අභියෝගයට ලක් විය. 2015 දී සම්මත කරගන්නා ලද 19 වන සංශෝධනය විසින් එහි ස්වාධීනත්වය නැවතත් ඇති කරන ලදී. වර්තමානයේදී සෙසු ස්වාධීන කොමිසන් සභා මෙන්ම මානව හිමිකම් කොමිසන් සභාවටද සාමාජිකයන් පත්කිරීම ජනාධිපතිවරයා විසින් සිදු කළද, ඔහු එසේ පත් කළ යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නම් බහු පාක්ෂික ආයතනයෙහි නිර්දේශ මත පමණකි.
“පසුගිය දින කිහිපය තුළදී අතිශයින් බරපතළ තත්ත්වයට පත්ව ඇති මුස්ලිම් ප්‍රජාව එල්ල කොටගත් ප්‍රචණ්ඩකාරී සහ ආක්‍රමණශීලි ක්‍රියාදාමයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව ස්වකීය බලවත් කණස්සල්ල පළ කර සිටින බව” කියන එකී සංදේශය “මීට පෙර අවස්ථාවක දියත් කරන ලද්දා වු මේ හා සමාන වු හැසිරිසීම් දාමය හේතු කොට ගෙන 2014 ජුනි මාසයේදී අලුත්ගම ප්‍රචණ්ඩත්වයට මග පැදුණු අතර, එමගින් ජීවිත සහ දේපළවලට වු හානිය කොමිසන් සභාව සිහිපත් කළ යුතු බවද, එමෙන්ම අලුත්ගම ප්‍රචණ්ඩකාරිත්වයට පෙළඹවීම් කළ සහ ප්‍රචණ්ඩකාරී ලෙස හැසිම්වලට වගකිය යුත්තන් නීතිය ඉදිරිපිටට ගෙන ඒම සඳහා අර්ථවත් ක්‍රියා පිළිවෙතක් මෙතෙක් ගෙන නොතිබීමද මෙනෙහි කළ යුතු බවද ජනාධිපතිවරයා වෙත යැවූ සංදේශයෙහි දක්වා ඇත.
මෙහිදී කොමිසන් සභාව ප්‍රධාන ධාරවේ මාධ්‍ය මෙන්ම සමාජ ජාල මධ්‍යයන්හි කාර්යභාරය ගැනද අවධානය යොමු කොට ඇත. “මුස්ලිම් ජනතාවගේ ආගමික සිද්ධස්ථානයන් සහ වෙළෙඳ ව්‍යාපාරවලට විරුද්ධව ප්රචණ්ඩත්වය දියත් කිරීම සඳහා ජනතාව පොළඹවාලමින් සමාජ මාධ්‍ය ජාලයන් සහ සමහර ප්‍රධානතම මාධ්‍ය ජාලයන් ඔස්සේ ප්‍රචාරය කරනු ලබන මුස්ලිම් ප්‍රජාව සහ ඉස්ලාම් ධර්මය ඉලක්ක කරගත් වෛරීය කථනයන් කොමිෂන් සභාවේ දැඩි අවධානයට ලක්වී ඇත. වගවීමකින් තොරව ක්‍රියාත්මක වන අන්‍යාගම් නොරිස්සීමේ භයානක ප්‍රවණතාවය කුළු ගන්වමින් මෑත අතීතයේදී ක්‍රියාත්මක කරන ලද ක්‍රිස්තියානි ආගමික සිද්ධස්ථානයන්ට එල්ල කරන ලද පහරදීම් මාලාවද ජනාධිපතිතුමන්ගේ කාරුණික අවධානයට ලක් කිරීමට අපි අදහස් කරන්නෙමු.” යැයිද කොමිසන් සභාව ප්‍රකාශ කරයි. ■
(මානව හිමිකම් කොමිසන් සභාව විසින් මාධ්‍ය වෙත නිකුත් කළ නිවේදනයක් ආශ්රයෙන් සකස් කළේ “සමබිම”)
උපුටාගැනීම සමබිමෙන්