පුවතකට වැඩි යමක්සාමාන්‍ය

ජාතිවාදීන් මැඬලීමට පොලීසියට බලයදෙයි

ජාතිවාදී ආගම්වාදී මුවාවෙන් රටේ විවිධ ප්‍රදේශවල මෙම දිනවල සිදුවන ක්‍රියාවන් මැඩ පැවැත්වීම සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය එම ප්‍රදේශවල පොලිස් ස්ථානාධිපතිවරුන්ට පැවරීට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තු සංකීර්ණයේ පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

එවැනි ජාතිවාදී ආගම්වාදී කිසිදු ක්‍රියාවක් රජය කිසිසේත් අනුමත නොකරන බව කී ඇමැතිවරයා ඒ පිළිබඳව ජනපති අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය විශේෂ අවධානය යොමු කළ හෙයින් කැබිනට් මණ්ඩලයේ දී මෙම තීරණය ගත් බව පැවසීය.

අමාත්‍යවරයා කියා සිටියේ රටේ නීතිය කිසිදු භේදයකින් තොරව සැමටම එකසේ ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කළ බවයි.

ඇමැතිවරයා මෙසේද කීය.

‘‘ කැබිනට් මණ්ඩල රැස්වීමේ දී විවිධ සංවිධාන හෝ පුද්ගලයන් විසින් මේ දිනවල රටේ තැනින් තැන සිදුකරන විවිධ ක්‍රියාවන් පිළිබඳව අවධානය යොමු කළා. ජාතිවාදී ආගම්වාදී විවිධ මුවාවෙන් නිතර නිතර රටේ කොහේ හෝ ප්‍රදේශයක යම් සිදුවීමක් ඇති කරන බව අපට දක්නට ලැබී තිබෙනවා.

ඒ පිළිබඳව ජනාධිපතිතුමා අගමැතිතුමා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ විශේෂ අවධානය යොමු කළා. මේ සිදුවීම් කිසි ලෙසකින්වත් රජය අනුමත කරන්නේ නෑ. රටේ නීතිය කාටත් එක සමානව ක්‍රියාත්මක කළ යුතුයි. කිසිදු භේදයකින් තොරව රටේ නීතිය කාටත් එක සමානයි. ඒකට දේශපාලන ලොකු පොඩි භේද ආගම් ජාති කුලමල හෝ වෙනත් කිසිම භේදයක් බලපාන්නේ නැහැ. ඒ අනුව ක්‍රියාත්මක වන ලෙස නීතිය හා සාමය පිළිබඳ ඇමැති පොලිස්පතිවරයාට උපදෙස් දී තිබෙනවා‘‘.

මේ පිළිබඳව අප සමඟ අදහස් දැක්වූ කිහිපදෙනකුම සඳහන් කර සිටියේ බොදුබලසේනා, රාවනාබලය, සිංහලේ ආදී එක් එක් නම් තබාගනිමින් මහජනයා මුලාකරමින් විවිධ දේශපාලඥයින්ගේ අතකොළු බවට පත්ව ලංකාවේ තවත් ලේ වැගිරීමක් ඇතිකිරීමේ දිගු කාලීන සැලැස්ම දැන්ම හඳුනාගෙන එයට ක්ෂනිකවම මුහුනදීමට සමත් පොලීසියක් ඇතිකිරීම ඉතා දිගුකාලීන අවශ්‍යතාවයක් වූ බැවින් යහපාලන ආණ්ඩුව පසුවී හෝ ගත් මෙම තීන්දුව ගැන තමන් ඇතුළු බොහෝ ප්‍රගතිශීලීන්ගේ සතුටට කරුණක් බවයි. ජාතිවාදය පටන්ගන්නාතැනින්ම අවසන්කළයුතු පිළිලයක් බවයි අපගේ කියවීම. රටක් වශයෙන් ඉතිහාසයේ ඕනෑවටත් වඩා මේ ගැන අප පාඩම් උගෙන ඇත.

ලංකාදීපය ඇසුරින්

සටහන: වසන්ත බංඩාර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *