ඉස්ලාම් ආගම ලෝකයේ බොහෝ වාද විවාද වලට ලක්වන්නකි. ඒ එහි දැක්වෙන දේශපාලනික, ආර්ථික සහ සංස්කෘතික කරුණු පදනම් කර ගනිමිනි. ලොව පුරා ආගමික ව්‍යාප්තවාදය, අන්තවාදය සහ මූලධර්මවාදය ඉස්ලාම් දහම සමඟ සෘජුව බැඳී ඇතැයි ලොව බොහෝ දෙනෙක් සිතති. එහි එක්තරා ප්‍රායෝගික සත්‍යයක් තිබේ. එහෙත් එහි ඉස්ලාමීය ආගම හා සම්බන්ධ කිසිදු දාර්ශනික වැදගත් කමක් නැත. ඉස්ලාම් දහමෙහි එන ඇතැම් ඉගැන්වීම් වලට ලබා දී ඇති පසුකාලීන අර්ථ නිරූපණ මුල්කොට එසේ ඉස්ලාම් ව්‍යාප්තවාදය, මූලධර්මවාදය ලොව පුරා පැතිර යන බව මැදහත් නිරීක්ෂකයන්ගේ මෙන්ම මධ්‍යස්ථ ඉස්ලාම් භක්තිකයන්ගේ ද පොදු පිළිගැනීමය.
එහෙත් ලොව බොහෝ ආගම් අතර ඇතැම් කරුණු යථාර්ථවාදී ලෙසින් ප්‍රකාශ වීම අතින් ඉස්ලාම් දහමට විශේෂ තැනක් හිමිවන බව අප අවිවාදයෙන් පිළිගත යුතුය.
යක්ෂයන්, ප්‍රේතයන්, භූතයන්, පිසාචයන්, කුම්භාණ්ඩයන්, කුම්බරයන්ආදී වශයෙන් හඳුන්වන අමනුෂ්‍ය කොටස් පිළිබඳ විශ්වාසය මූලික ඉස්ලාම් දහමින් ඉඳුරාම ප්‍රතික්ෂේප වන බව බොහෝ දෙනෙක් නොදනිති.
ඒ අනුව ලෝක ජනගහනයෙන් වැඩි කොටසක් විශ්වාස කරන හොල්මන් අවතාර පිළිබඳව විශ්වාස කිරීමට ඉස්ලාම් භක්තිකයන්ට කිසිදු ආගමික අවසරයක් නැත.
මරණයට පත් වන විටත් නින්දට යන විටත් එම ප්‍රාණයන් අල්ලාහ් විසින් අත්කරගනු ලබන බව කුරානයේ (39:42) පැහැදිළිවම සඳහන් වෙයි. ඒ අනුව අල්ලාහ් ගේ එම පරම අයිතිය පිළිගන්නා සෑම ඉස්ලාම් ආගමිකයෙකුම නින්දට යාමට පෙර මෙසේ දෙවියන් යැදිය යුතුය.
“මාගේ ස්වාමීනි ඔබගේ පරිශුද්ධ වූ නාමයෙන් මම නැවත පිබිදෙමි. එහෙත් නින්දේ දී ඔබ මගේ ප්‍රාණය අත්පත් කර ගන්නේ නම් එයට කරුණාව දක්වනු මැනවි. ඔබ එය ආපසු භාර දෙන්නේ නම් ඔබගේ යහපත් වහලුන් මෙන් මගේ ප්‍රාණය ද ආරක්ෂා කර දෙනු මැනවි.”
ඉහත සඳහන් යැදුම අනුව සෑම මුස්ලිම්වරයකුම මරණයෙන් පසු නියත වශයෙන්ම දෙවියන්ගේ භාරයට පත්වේ. ඒ අනුව ජීවිතය සහ මරණය වෙන් කරන දිව්‍යමය තිරයක් ඔවුන් ඉදිරියේ නිර්මාණය වේ. ඉස්ලාම් දහමෙහි එම තිරය හැඳින්වෙන්නේ “බර්සක්” යනුවෙනි. කුරානයෙහි (55:19-20) ජීවත්වන්නවුන් සහ මළවුන් අතර ඇති මෙම දිව්‍යමය තිරය පිළිබඳව සඳහන් වෙයි.
මරණයත් සමඟම දෙවියන් විසින් මෙම තිරයෙන් වෙන් කරනු ලබන කිසිවෙකුටත් කවර ආකාරයකින් හෝ යළි කිසිදු අයුරකින් ජීවත්වන්නවුන්ගේ ලෝකයට පැමිණිය නොහැක.
ඒ පිළිබඳව ඉස්ලාමීය ආගමික ග්‍රන්ථවල සඳහන් වන රසවත් පුවතක් මෙලෙසිනි.
මරණයෙන් පසු භූමදාන වන තැනැත්තා වෙත කළු සහ නිල් පැහැති දෙනෙත් වලින් යුත් දේව දූතයෝ දෙදෙනෙක් පැමිණෙති. ඉන් එක් අයෙක්‘මුන්කර්’ නමින්ද අනෙකා ‘නකීර්’ නමින් ද හැඳින්වෙති. මේ දෙදෙනා මියගිය තැනැත්තාගෙන් දේව විශ්වාසය (ඊමාන්) පිළිබඳව විමසීමක් කරති. එහිදී දේව විශ්වාසය සේම ඒ තැනැත්තා ගත කළ සදාචාරාත්මක ජීවිතය පිළිබඳවද විමසීමක් කරනු ලැබේ. එහිදී මියගිය තැනැත්තාගෙන් සාර්ථක ලෙස පිළිතුරු ලද හොත් ඔහුගේ සොහොන (පරලොව ජීවිතය) එම දේවදූතයෝ ආලෝකමත් කරති. ඉන් සතුටට පත්වන මියගිය තැනැත්තා මෙම තොරතුරු මගේ පවුලේ අයට කියා නැවත එන්නදැයි එම දේවදූතයන්ගෙන් ප්‍රශ්න කරයි. ඉන්පසු ඔවුන් මියගිය තැනැත්තාට දැනුම් දෙනුයේ මිය ගිය කිසිවෙකුත් අවසාන විනිශ්චය හෙවත් ‘කියාමත් දිනය’ වන තුරු නැඟිටීමට අල්ලාගෙන් කිසිදු අවසරයක් නොමැති බවය. එබැවින් ‘කියාමත් දිනයේ’ අල්ලා පැමිණ නැඟිටුවන තෙක් අලුත් මනමාලයෙක් මෙන් එම සොහොනේ නිදා ගන්නැයි මිය ගිය තැනැත්තාට දන්වන ඔවුහු ආපසු යති.
නමුදු මිය ගිය තැනැත්තා දුෂ්ඨ ජීවිතයක් ගත කළ තැනැත්තෙකු (මුනාෆික්) නම් මෙම සුරදූතයන්ගේ ප්‍රශ්න වලට සාර්ථක ලෙස පිළිතුරු දීමට ඔහුට නොහැකි වෙයි. එවිට එම සුර දූතයන් ඔබ ජීවත් වන කාලයේදීත් දෙවියන් විශ්වාස නොකළ අයෙකු බව අපි දනිමු යැයි කියා ඔහුගේ ඇට කටු කුඩු වන තුරු සොහොන (පරළොව ජීවිතය) තුළ ඔහු තදකොට තබන බව ඉස්ලාමීය දහමෙහි සඳහන් වෙයි.
ලොව සෙසු බොහෝ ආගම් වල දේවත්වයට පත් වන මිනිසුන් පිළිබඳව සඳහන් වෙයි. ‘සාන්තු වරුන්’ යනු ද මෙසේ දේවාරෝපණයට පත් මිනිස්සුය. ඉස්ලාම් දහමෙහි මෙවන් ශ්‍රේෂ්ඨ මිනිසුන් හඳුන්වනුයේ නබි වරුයනුවෙනි. ඔවුනට පමණක් දෙවන වන ‘ෂහීඩ්’ නමැති ශ්‍රේෂ්ඨ මිනිස්සු ද වෙති. මෙම නබි වරුන් අතර ප්‍රමුඛයා ‘මොහොමඩ් නබි’ (සල්) තුමන්ය.
දෙවියන් වෙනුවෙන් කැප වූ එතුමන් වුව මරණයෙන් ‘උත්ථානය’ වූ බව පිළිගැනීම ඉස්ලාම් දහමට ඉඳුරාම පටහැනිය. ඔවුන් පවසනුයේ මොහොමඩ් නබි තුමන්ටවත් මරණයෙන් පිබිදීමට නොහැකි වී නම් සෙසු නබිවරුන්, ෂහීඩ් වරුන් ඇතුළු සාමාන්‍ය මිනිසුන් දෙවියන් යක්ෂයන්, භූතයන් නැතහොත් හොල්මන් අවතාර ලෙස යළි මිනිසුන් හමුවේ පෙනී සිටින්නේ ‘කෙසේද’ යන්නය.
ඒ අනුව ආගමික විශ්වාසයක් ලෙසින් හෝ මියගිය පුද්ගලයකු මුල්කොට හොල්මන් අවතාර පැන නැගිය හැකිය යන ලොවපුරා පවතින පොදු විශ්වාසයට පටහැනි යථාර්ථවාදී දහමක් සේ ඉස්ලාමය හඳුනාගැනීමේ කිසිදු වරදක් නැත.